ජාතික මට්ටමේ ස්ථීර වෙනසක් ඇති කිරීමට නම් දෙමළ ජනතාව එ් වෙනසට සම්බන්ධ විය යුතුය

May 1st, 2015 | By | Category: LEAD NEWS, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

|ආචාර්ය ජෙහාන් පෙරේරා

ආණ්ඩුවේ දීර්ඝකාලීන ස්ථාවරත්වය පිළිබද මේ වනවිට යම් දෙගිඩියාවක් මතු වී තිබේ. ඒ ස්වකීය තීරණ ප‍්‍රායෝගිකව බලාත්මක කරගැනීමට ආණ්ඩුව දක්වන අසමත්කම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය දක්වන විපක්ෂ බලවේග හිස ඔසවමින් සිටීම යන කරුණු නිසාය. ආණ්ඩුව ඉදිරිපත් කළ මුදල් පනත පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත්වීම ආණ්ඩුවේ ව්‍යුහාත්මක දුර්වලතාවය පිළිබ`ද සංඥාවකි. දූෂිතයින්ට දඩුවම්දීම සහ 19 වන සංශෝධනය සම්මත කරගැනීම ආදී ආණ්ඩුව විසින් ලබාදුන් ප‍්‍රධාන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමේදී ආණ්ඩුව මුහුණදී සිටින දුෂ්කරතාවය ආණ්ඩුවේ ශක්තිය ගැන තිබෙන මහජන විශ්වාසය ක‍්‍රමානුකූලව ඛාදනය වීම කෙරෙහි බලපා තිබේ. මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ආසන 126 කින් සමන්විත බහුතරයක් උසුලන අතර මුළු ආසන 225න් 41ක් පමණක් හිමි එක්සත් ජාතික පක්ෂය රග දක්වමින් සිටිනුයේ ‘සුළුතර ආණ්ඩුවක’ භූමිකාවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව තමන්ගේ සැලසුම් ක‍්‍රියාත්මක කරගැනීමට අවශ්‍ය සරල බහුතර ඡුන්ද ප‍්‍රමාණයවත් ලබාගැනීමේ හැකියාව ආණ්ඩුවට නැත. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අවශ්‍ය නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව වුව අගමැති කිරීමේ නොහැකියාවක් නැත.

ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ඇති වී තිබෙන දෙගිඩියාව වාර්ගික සුළුතරයන් බහුතරයක් ලෙස ජීවත් වන උතුරු හා නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ප‍්‍රකාශිත වී තිබේ. යාපනයේ හෝ වේවා මන්නාරමේ හෝ වේවා මඩකලපුවේ හෝ වේවා ජනතාව කලබලයට පත්කොට තිබෙන ප‍්‍රශ්නය වී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණේද යන ප‍්‍රශ්නයයි. මාස හතරකට පෙර පැවැති ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වැඩිම බහුතර ඡන්ද ලබාගත්තේ මෙම ප‍්‍රදේශවලින්ය. මැතිවරණය වර්ජනය කරන ලෙසට දෙමළ දේශපාලන පර්යාය තුළින්ම ආ ඉල්ලීම් සමග පොර බැදීමට දෙමළ ඡන්ද දායකයාට සිදුවිය. එසේම හිටපු ජනාධිපතිවරයා මැතිවරණය අවස්ථාවේදී තම මතය ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතිය වැළැක්වීම සදහා දරුණු ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි යන භීතිය ද දෙමළ ජනයා අතර වැඩ කළේය. ඒ හැගීම සමග ද ඔවුන්ට පොර බැදීමට සිදුවී තිබුණේය. කෙසේ වූවද ඡුන්ද දායකයෝ පැවැති ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිතා කිරීම නමැති අවදානම භාර ගත්හ. ඒ වෙනසක අවශ්‍යතාවය ඔවුන් තුළ මැදිහත්වීම තමාට තිබෙන එකම ගැලවුම යැයි ඔවුන් සිතයි.

ප‍්‍රතික්ෂේප වූ මැතිවරණ වර්ජන යෝජනාව
ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනයා අති විශාල වශයෙන් ඡුන්දය දීමට ඉදිරිපත් වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ මැතිවරණ වර්ජන තර්කය එම ජනයා විසින් ප‍්‍රතික්ෂේප කළ බවයි. මැතිවරණ වර්ජනයක් විසින් ඇති කළ හැකි අයහපත් ප‍්‍රතිඵල කවරේද යන්න ඔවුහු 2005 දී ප‍්‍රත්‍යක්ෂයෙන් අත්විද තිබුණාහ. එල්.ටී.ටී.ඊ. සංවිධානය එම අවස්ථාවේදී මැතිවරණය වර්ජනය කරන ලෙස දෙමළ ජනයාට බල කළ අතර රනිල් වික‍්‍රමසිංහ වෙත හිමි විය යුතුව තිබූ ඡන්ද ඒ නිසා අඩු විය. එය මහින්ද රාජපක්ෂට වාසිදායක ලෙස බලපෑ අතර එතුළින් අත්පත් කරගත් බලය ඔහු වසර දහයක් පුරාවට තම අත රඳවා ගත්තේය. අද මැතිවරණ වර්ජනයක් යෝජනා කරන අය සේම එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය ද කල්පනා කළේ මහින්ද රාජපක්ෂගේ ජාතිකවාදයට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රජාව තමාට සහයෝගය දක්වනු ඇති බවයි. එහෙත් යථාර්ථයේදී සිදුවූයේ හාත්පසින්ම වෙනස් දෙයකි. ඒ සැබෑවට සිදුවූ දෙයින් බැට කෑවේ දෙමළ පොදු ජනතාවය.

ඒ මොහොතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධ වීමට තරම් නිර්භීත වූවෝ දෙමළ දේශපාලන ප‍්‍රජාව තුළ දුර්ලභ වූහ. ඒ එල්.ටී.ටී.ඊ.ය ස්වකීය බලයේ හා මහන්තත්වයේ උපරිම ලක්ෂ්‍යයේ පසුවූ මොහොතයි. තමාට විරුද්ධ වන්නේ කවුද ඔහුට හෝ ඇයට වෙඩි තැබීමට එල්.ටී.ටී.ඊ.ය පසුබට නොවීය. වෙනස් මතයක් ඒ මොහොතේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ එක් දෙමළ නායකයෙක් වූයේ මන්නාරම රදගුරු රායප්පු ජෝසෆ් පියතුමාය. එසේම යාපනය රදගුරු තෝමස් සවුන්ද්‍රනායගම් ද එල්.ටී.ටී.ඊ.යේ මැතිවරණ වර්ජන ආඥාවට විරුද්ධ විය. කෙසේ වුව ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුදමය බලය විසින් දෙමළ සමාජය තුළ ඇති කොට තිබූ භීතිය අභිබවනය කිරීමට සහ දේශීය හා ජාත්‍යන්තර තලයේ දෙමළ ජාතිකවාදීන් විසින් ගෙන ගිය ප‍්‍රචාරණය මගින් ඇති කළ මතය යටපත් කිරීමට තරම් රදගුරුවරු දෙනමගේ සදාචාරමය බලය ඒ අවස්ථාවේ ප‍්‍රමාණවත් වූයේ නැත.

2015 ජනාධිපතිවරණයට ආසන්න කාලයේ දෙමළ ඡන්ද දායකයා ඡන්දය වර්ජනය කළ යුතු බවට වූ කැඳවුම නැවත ඉදිරිපත් වන්නට වූ විට රායප්පු ජෝසෆ් පියතුමා යළිත් වතාවක් එම කැඳවුමට එරෙහිව සිය හඩ අවදි කළේය. වෙනසක් ඇති කිරීම සඳහා තිබෙන ඉදිරි මග වැටී තිබෙන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රියාවලිය සමග සම්බන්ධ වීම තුළ බවට ඔහු දෙමළ ජනයා ඉදිරියේ කරුණු දැක්වීය. මේ වතාවේ දෙමළ ජනයා බිය ගැන්වීම සඳහා එල්.ටී.ටී.ඊ. තුවක්කු තිබුණේ නැත. එම පසුබිම තුළ මැතිවරණ ක‍්‍රියාවලියට සහභාගී නොවී වෙන්වී සිටීම සදහා කෙරුණු කැඳවීම් ප‍්‍රතික්ෂේප කිරීමට දෙමළ ජනතාව තීන්දු කළේය. ඒ වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කෙරුණු කැඳවුමට ඔවුහු ප‍්‍රතිචාර දැක්වූහ. සිංහල හා දෙමළ සහෝදර ඡුන්ද දායකයින් සමග එකතු වී තමාට අවශ්‍ය වෙනස ඇතිකර ගැනීම සදහා ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමය හා සම්බන්ධ වූහ.

සම්බන්ධීකාරක භූමිකාව
මේ වනවිට රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල රජයන දෙගිඩියාව වූ කලී නැවත වාර්ගික සුළුතරයන් අවිශ්වාසයට බදුන් වූ සහ කොන් කිරීමට ලක්වූ, එසේම වාර්ගික බහුතරවාදය ආධිපත්‍යය දැරූ පැරණි තත්ත්වය කරා පසුබැසීම පිළිබඳ අවදානම මතු කරන්නකි. දෙමළ දේශපාලන නායකයින් අන්තවාදී සහ දෙමළ ජාතිකවාදී ප‍්‍රකාශන නිකුත් කරද්දී එය සෙසු වර්ගවල අන්තවාදී ජාතිකවාදයන් ශක්තිමත් කිරීමට හේතු වන්නේය. ඒ වෙනුවට දෙමළ නායකත්වය තමා රට තුළ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා සෙසු ජන කොටස් සමග සහයෝගයෙන් ක‍්‍රියා කිරීමට සූදානම් බවටත් තමා වැඩ කරන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව සමග හුදෙකලාව නොවන බවටත් පණිවුඩයක් දෙමළ සමාජයට හා සෙසු ජන ප‍්‍රජාවන්ට ලබා දීමට ක‍්‍රියා කළ යුතුය. තමන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව උපයෝගී කොට ගැනීමට දෙමළ සමාජයේ ඇතැම් කොටස් දරන උත්සාහය සිංහල ජනයා අතර සැක සංකා වර්ධනය කිරීමෙහිලා හේතුවනු ඇති අතර එය අවසානයේ අයහපත් ලෙස බලපානු ඇත්තේ දෙමළ ජනයාටමය. මන්ද යත් එය දකුණේ සිංහල ජාතිවාදය නැවත වටයකින් ශක්තිමත් කොට දෙමළ ජනයා අකමැති වාතාවරණයක් යළිත් උද්ගත වීම කෙරෙහි හේතු විය හැකි බැවිනි.

ස්වකීය අවශ්‍යතා, සැක සංකා සහ අභිලාෂයන් රටේ වෙනත් ජනකොටස් වෙත සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය දෙමළ දේශපාලන ප‍්‍රජාව තුළ පවතී. මන්නාරම රදගුරු රායප්පු ජෝසෆ් පියතුමාව මෑතකදී මුණ ගැසුණු අවස්ථාවකදී එතුමා මට පැවසුවේ එබදු අදහස් හුවමාරුවක නියැලීම තමන්ගේ අභිප‍්‍රාය බවත් ඒ සඳහා කණ්ඩායමක් තමා එකතු කරමින් සිටින බවත්ය. එසේම දෙමළ දේශපාලන ප‍්‍රජාව ලංකාවේ ජීවත් වන වෙනත් ජන කොටස්වල අවශ්‍යතා, සැක සංකා සහ අභිලාෂයන් ගැන ද සැලකිලිමත් වීම වැදගත්ය. අදහස් හුවමාරු කරගැනීම් සහ සන්නිවේදනයන් හරහා දෙමළ, සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා දැන හදුනාගත යුතුය. අතීතය හා සම්බන්ධ ප‍්‍රශ්න සම`ග ගනුදෙනු කිරීමේදී දකුණු අප‍්‍රිකාව සම`ග එකට වැඩ කිරීමට තමා සූදානම් බව ආණ්ඩුව පෙන්වාදී තිබේ. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල දේශීය යාන්ත‍්‍රණයක් ඇති කිරීමට තමා සූදානම් බවට ආණ්ඩුව ප‍්‍රතිඥා දී තිබේ. දකුණු අප‍්‍රිකාවේදී මේ ක‍්‍රියාවලිය සඳහා නායකත්වය දුන් බොහෝ අය සිටියහ. එහෙත් ඒ සදහා සංකේතීය නායකත්වය ලබා දුන්නේ සත්‍යය හා ප‍්‍රතිසන්ධාන කොමිෂමේ සභාපතිත්වය ඉසිලූ රදගුරු ඩෙස්මන්ඞ් ටුටූ පියතුමාය. එතුමා වෙත එම භූමිකාව පැවරුණේ එතුමන් විසින් ඉසිලූ දැවැන්ත සදාචාරමය ආධිපත්‍යය නිසාය. අප‍්‍රිකානු හා ආසියාතික සමාජවල ආගමික පූජ්‍ය පක්ෂය විශාල මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ද සහභාගී විය. ඒ උතුරේ දෙමළ ජන ජීවිතය තුළ ජෝසෆ් පියතුමා විසින් රග දැක්වූ වැදගත් භූමිකාවට පිළිගැනීමක් ලබා දෙමිනි. ඔහු සෑම අවස්ථාවකදීම ඕනෑම ආකාරයක හිංසාවකට විරුද්ධ විය. සෑමවිටම සාකච්ඡාමය දේශපාලන විසදුමක් වෙනුවෙන් පෙනී සිටියේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන තර්ජනයට ලක්ව තිබූ අවස්ථාවලදී පවා එම ආයතනවල ආරක්ෂාව වෙනුවෙන් ඔහු පෙනී සිටි අතර ඔහුගේ එම මෙහෙවර ඇගයීමට ලක් විය යුතුය. සාමාන්‍යයෙන් කතෝලික රදගුරුවරු වයස අවුරුදු 75දී විශ‍්‍රාම යා යුතුය. කෙසේ වූව ද සේවය දීර්ඝ කිරීමට අදාළ ප‍්‍රතිපාදන ද ඇත. ශ‍්‍රී ලංකාව තමා ගිලී සිටි හුදෙකලාවෙන් මිදෙමින් සිටින සහ මානව හිමිකම් ගරු කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය රට තුළ තහවුරු වෙමින් තිබෙන යුගයක රායප්පු ජෝසෆ් පියතුමාගේ මට්ටමේ දෙමළ ආගමික නායකයෙක් සතුව අමිල වූ අගයක් පවතී. වාර්ගික බෙදීම් අතික‍්‍රමණය කිරීමට සහ අප එකිනෙකා අතර වඩා සමීප සම්බන්ධතාවයක් ගොඩනැගීමට එතුමන් වැන්නෙක්ට කළ හැකි කාර්යභාරය අති මහත්ය.

dddd

Recent Posts

Tags: , , ,

Leave a Comment