19 සංශෝධනයේ ආර්ථික වාසි

May 8th, 2015 | By | Category: Today Lead News

sudarshana_

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 19 වැනි සංශෝධනය ලංකා ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියක් සලකුණු කරන්නේ ය. මේ සංශෝධනයෙන් ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තනි පුද්ගලයකු වෙත සංකේන්ද්‍රණය වී තිබුණු බලය බෙදා හැරීමකි. එනම් විධායක ජනාධිපතිවරයා වෙත තිබුණු සමහර බලතල පාර්ලිමේන්තුවට හා ඒ පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් නායකයා වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවරීම ය.

දෙවන වැදගත් කරුණ වන්නේ රටේ ප්‍රධාන පරිපාලන ආයතන පාලනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ඒ කොමිෂන්වලට සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිට තිබුණු බලය පාර්ලිමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරීම ය. මෙමගින් රටේ විප්ලවීය වෙනසක් සිදු වේ. එනම් ඒ ඒ ක්ෂේත්‍ර පාලනයට ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණතාවක් සහිත ස්වාධීන පුද්ගලයන් පත් කිරීමේ ඉඩ කඩ ලැබීම ය. එසේ ජනතාවගේ ඡන්දයෙන් පත් වන මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැඩි දෙනාගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා නායකයා වශයෙන් පත් කරගෙන ඒ නායකයා හෙවත් අගමැතිවරයා විසින් පාලනය වන කැබිනට් මණ්ඩලයක් හරහා විධායක බලය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ.

තුන් වෙනුව අධිකරණය විෂයෙහි කරන පත් කිරීම්වලට අදාළ ක්‍රමවේදය වැදගත් වේ. විශේෂයෙන් ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත්කිරීමේ දී තනි පුද්ගයකුගේ වුවමනාව මත කරන පත්කිරීම් වෙනුවට කුසලතාව හා සුදුසුකම් මත පදනම් වූ පුද්ගලයන් යම් ස්වාධීන ක්‍රමවේදයක් මත පත් කිරීමට මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් මඟ පෑදෙන නිසා ඒ විනිසුරුවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව ලැබේ. මෙහි අනාගත සුබවාදී ප්‍රතිඵලය වන්නේ රටේ සංවර්ධනය සක්‍රීය කිරීමට එමගින් ඉඩකඩ සැලසීම ය.

ශ්‍රී ලංකාව වැනි රටක් ආර්ථික සංවර්ධනය කරා ගමන් කිරීමේ දී සෘජු විදේශ ආයෝජන තීරණාත්මක සාධකයකි. සෘජු විදේශ ආයෝජන ලබා ගත හැකි එක් මාර්ගයක් වන්නේ ආණ්ඩු අධික පොලියට ණය ලබා ගැනීම ය. පැවති ආණ්ඩුව ආර්ථික වර්ධනය පවත්වාගෙන ගියේ චීනයෙන් අධික පොලියක් ‍යටතේ වාණිජ පදනමක් මත ණය ලබා ගෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මගිනි.

විදේශ ආයෝජන ලබා ගත හැකි අනෙක් ක්‍රමය වන්නේ රටේ සියලු පුරවැසියන්ගේ සංවර්ධනය වෙනු‍වෙන් ජාත්‍යන්තර සහයෝගිතාව මත ක්‍රියාකිරීම ය. එහි දී ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට හැකි වේ. එසේ ම ජාත්‍යන්තර වෙළෙඳාම ශක්තිමත් වීම නිසා රටේ නිෂ්පාදන දියුණු රටවලට අපනයනය කර විදේශ විනිමය උපයා ගත හැකි වේ. රටේ එවැනි තත්ත්වයක් පවතින විට සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලැබීම නිසා රැකියා අවස්ථාවල වර්ධනයක් සිදු වීමෙන් ද විදේශ විනිමය රට තුළට ගලා ඒම සිදු වේ.

රටේ ආර්ථිකය මෙවැනි තත්ත්වයකට ගෙන ඒමට නම් නීතියේ ආධිපත්‍යය පැවතිය යුතු ය. එනම් රටේ අධිකරණ හා අනෙකුත් නියාමන ආයතන දේශපාලන බලපෑම්වලින් පරිබාහිරව ස්වාධීනව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිවලට අනුව ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. එසේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන විට රට තුළ ආයෝජනයට සුදුසු පරිසරයක් තිබෙන බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙනෙන අතර ආයෝජකයන් රටට පැමිණීම සිදු වේ. එමගින් රටේ ආර්ථිකය සංවර්ධනය වී පුරවැසියාට දේශපාලන නිදහස, අදහස් පළ කිරීමේ නිදහස ලැබී ප්‍රජාතන්ත්‍රවාදී වාත­ාවරණය යටතේ නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබේ. ‍එනම් ඔවුන්ට ආර්ථික හා දේශපාලන නිදහස ලැබීම ය. එවිට ඔවුන්ට මේ රටින් වෙනත් රටකට සංක්‍රමණය වී සරණාගතයන් ලෙස යාමට තිබෙන වුවමනාව නැති වන අතර එවන් වුවමනාවක් තිබුණ ද එය ඔප්පු කර ගැනීමට නොහැකි වේ. කිසියම් රටක් මේ ආකාරයට තමන්ගේ පාලන ව්‍යුහය සකසා ගැනීමට කටයුතු කරන්නේ නම් දියුණු රටවල් ඒ සඳහා ආධාර කිරීමට සූදානමින් සිටියි.

අද රටේ සිදු වී ඇති වෙනස මත දේශපාලන වශයෙන් පක්ෂ එකතු වී ක්‍රියා කළහොත් රට සංවර්ධනය කර ගැනීමට විශාල අවකාශයක් ලැබේ. මෙය උදාහරණ දෙකක් ‍යටතේ පැහැදිලි කර ගත හැකි ය. පළමු උදාහරණය වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රශ්නයක් වන යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වී යැයි පවසන යුද අපරාධ සම්බන්ධ ප්‍රශ්නය ය. එනම් යුද්ධයේ අවසාන අදියරේ දී ජාත්‍යන්තර මානව හිමිකම් නීති යුද වැදුණු දෙපාර්ශවය ම කඩ කර තිබේය යන චෝදනාව එල්ල වීම ය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ඔහුට උපදෙස් දීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව චෝදනා පහක් එල්ල කර තිබේ. එල්.ටී.ටී.ඊයට විරුද්ධව චෝදනා හයක් එල්ල කර ඇත. මේ සම්බන්ධයෙන් දේශිය වශයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි සොයා බැලීමටත් බිඳුණු සිත් සතන් සුවපත් කිරීමට ප්‍රතිසංධාක ක්‍රියාවලියක් ඇති කිරීමටත් එවකට පැවති ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගත් බවට චෝදනාවක් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා තත්ත්වයට පත් වීමට මෙය හේතු විය. එමෙන් ම මේ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පරීක්ෂණයක් අවශ්‍යයැයි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ප්‍රධානතම අන්තර් රාජ්‍ය ආයතනය වන මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කර ගනු ලැබීය.

මේ යෝජනාව සම්මත කර ගැනීමට මුල් වූයේ අමෙරිකාව, යුරෝපා සංගමය ප්‍රමුඛ දියුණු රටවල් ය. එම රටවල් තනි තනිවමත් ශ්‍රී ලංකාවට යම් ආකාරයේ බලපෑම් ඇති කිරීමේ ක්‍රියා මාර්ග ගැනීමේ සූදානමක් තිබිණි. විශේෂයෙන් පහුගිය මාර්තු මස පැවැත්වීමට තිබුණු සමුළුවේ දී එවැනි යෝජනාවක් සම්මත වීමේ ඉඩක් තිබිණි.

ජනවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවේ ඇති වූ වෙනස එක් පක්ෂයක් පරදවා තව පක්ෂයක් බලයට පැමීණීමෙන් එහාට ගොස් රටේ ව්‍යවස්ථාමය හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ පොරොන්දුව මත සිදු වූවකි. එනිසා මාර්තු මස ඉදිරිපත් කිරීමට තිබූ වාර්තාව මාස හයකින් කල් දැමීමට ජාත්‍යන්තර ව රටවල් එකඟතාවකට පැමිණියේ ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතිශය බහුතරයකින් සම්මත වීම තුළින් ශ්‍රී ලංකාව රටක් වශයෙන් පෙන්නුම් කර තිබෙන්නේ රට තුළ ස්ථාවර බවක් තිබෙන බවය. එනම් ජනාධිපතිවරණයේ දී යෝජනා කළ ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ දේශපාලන අධිෂ්ඨානය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට තිබෙන බව ය. එය ඇති කරනු ලැබුවේ බාහිර බලපෑමක් මගින් නොව මේ රටේ ජනතාව ය. ඒ නිසා මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් රට තුළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ ඉඩ කඩ එනම් රටේ අධිකරණ හා අනෙකුත් ආයතන පාවිච්චි කර ක්‍රියා කිරීමේ ඉඩකඩ නැවත විවෘත වී ඇති බව ශ්‍රී ලංකාව පෙන්නුම් කර තිබේ. එනිසා මෙතෙක් ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිපත්තිවල සිටි රටවල් තමන්ගේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයට වෙනස් කිරීමට ක්‍රියා කරමින් සිටියි. එය ශ්‍රී ලංකාව ලබා ගත් විශාල ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රටින් පිටව ගොස් වෙනත් රටවල ජීවත් වෙති. ඔවුන්ගෙන් ඉතා සුළුතරයක් ශ්‍රී ලංකාවට විරුද්ධ දේශපාලන මතයක සිටිති. තවත් සුළුතරයක් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටිති. නමුත් විශාල පිරිසක් මතයක් නැතිව සිටිති. රටේ ඇති වුණු මේ වෙනස්කම නිසා නැවත ශ්‍රීලංකාව සමඟ සම්බන්ධකම් පැවැත්වීම අවශ්‍යයැයි යන විශ්වාසය ඔවුන් තුළ ඇති වී තිබේ. ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව දැන් නිර්මාණය වී තිබේ. ඒ විශාල පිරිසකගේ ආයෝජන මවුරට වෙත ගෙන්වා ගැනීමේ අවස්ථාවක් අද උදා වී තිබේ. එනිසා ඔවුන් රටට හිතවාදී ආකල්පයකට මාරු කර ගැනීමේ අවස්ථා ශ්‍රී ලංකාවට ලැබී තිබේ. මේ තත්ත්වය ව්‍යවස්ථා සංශෝධනය මගින් උදා වී තිබෙන වැදගත් අවකාශයකි.

දෙවැනි උදාහරණය වන්නේ ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබා ගැනීමේ ඉඩක් විවෘත වීම ය. ශ්‍රී ලංකාවේ අපනයන වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ යුරෝපයට හා අමෙරිකාවට ය. යුරෝපය හා අමෙරිකාව සමඟ කරන ගනුදෙනුවල දී ශ්‍රී ලංකාවේ වෙළෙද ශේෂය ශ්‍රී ලංකාවට වාසිදායක වූවකි. නමුත් චීනය හා වෙනත් රටක් සමග පවතින ගනුදෙනුවේ දී වෙළෙද ශේෂය ශ්‍රී ලංකාවට වාසිදායක නැත. එනම් ශ්‍රී ලංකාව එම රටවලින් කරන ආනයන වැඩි වීමයි. ජීඑස්පී ප්ලස් සහනය නිසා ශ්‍රී ලංකාවෙන් යවන අපනයවලට තීරු බදු සහනයක් දුන් නිසා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදයකයාට අපනයන ආදායම් ලැබීමේ හැකියාව ලැබිණි. 2004 දී යුරෝපා සංගමය මේ සහනය ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ප්‍රධාන පෙළේ මානව අයිතිවාසිකම් සම්මුති හා කම්කරු අයිතිවාසිකම් සම්මුති ගණනාවක් පිළිපැදිය යුතු ය යන එකඟතාව මත ය. විශේෂයෙන් ම පසුගිය ආණ්ඩු කාලයේ දී මේ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අවශ්‍යයැයි යුරෝපා සංගමය ඉල්ලා සිටිය ද පැවති ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේ ය.

යුරෝපා සංගමය ඉල්ලා සිටියේ තවදුරටත් සහනය ලබා දීමට නම් ප්‍රධාන සම්මුති තුනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය බවය.ශ්‍රී ලංකාව මේ සම්මුතිවලට ඇතුළත් වූයේ ස්වේච්ඡාවෙනි. එම සම්මුති වන්නේ සිවිල් හා දේශාපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වධහිංසාවට එරෙහිව ජාත්‍යන්තර සම්මුතිය හා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විරුද්ධ වීමෙන් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාව ඒවා ආරක්ෂා නොකරන බව ය. එහෙත් මේ ව්‍යවස්ථාසංශෝධනයත් සමඟ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙන්වා තිබෙන සංඥාව වන්නේ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ය. ඒ අනුව ජීඑස්පී ප්ලස් නැවත ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යුරෝපා සංගමය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පවසා තිබේ. යුරෝපා සංගමයත් ඒ සදහා සූදානම් බවට ප්‍රතිචාර ලැබෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අවශ්‍ය පියවර ගන්නේ නම් මෙයින් වාසි දෙකක් ලබා ගත හැකි ය. එනම් වෙළෙද වාසියක් මෙන් ම ආණ්ඩුව ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සම්මුති පිළිපැදීමෙන් පුරවැසියාට වාසිය ලැබීමයි. එම සම්මුති ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය දේශීය වශයෙන් සිදු කිරීමට අවකාශ ලැබී තිබේ. අධිකරණය හා මානව හිමිකම් කොමිෂම වැනි ආයතනවලට ඒ හැකියාව ඇත.

ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනතාව තහවුරු වී තිබේ. අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් අධිකරණයට ගිය විට බලපෑමකින් තොරව ස්වාධීනව තීන්දු දීමට අධිකරණය හැකියාව ලැබී තිබේ. ඒ තින්දුවලට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම වැඩි ය. එමෙන්ම මානව හිමිකම් ‍කොමිෂම ස්වාධීන ආයතනයක් බවට පත් වන බැවින් පුරවැසියන්ගේ පැමිණිලි විභාග කර රටේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගන්නට හැකියාව තිබේ. එනිසා රටේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කැඩපතක් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබේ. එනිසා ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් අද පවතින කැඩපතින් බලා ඒ අනුව තමන්ගේ සහයෝගිතාව ලබා දීමට අවස්ථාව උදා වී තිබේ. මේ උදාහරණ දෙකෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල අවකාශයක් විවෘත වී තිබෙන බව ය. යම් අවාසනාවකට මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුණා නම් මේ අවකාශය ශ්‍රී ලංකාවට අහිමි වීමට ඉඩ තිබිණ.

Recent Posts

Tags: , ,

Leave a Comment