ජනතා ද්‍රෝහීන්ට ඇරයුමක් – සුමිත් චාමින්ද

Jun 10th, 2015 | By | Category: LEAD NEWS, Today Lead News, දේශපාලන

යෝජිත 20 වන සංශෝධනයට එරෙහි වන්නන් ජනතා ද්‍රෝහීන් යයි ලංකාවේ විධායක ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු පසුගියදා රූපවාහිනියෙන් දුටිමි. ඉන්පසුව එදිනම රාත්‍රියේ ඊනියා ජනතා හිතවාදී සංශෝධන යෝජනාවක් කැබිනට් අනුමැතියෙන් සම්මත විය. දැන ගන්නට ලැබී ඇති පරිදි මෙම සම්මත යෝජනාවෙන් ‘ද්විත්ව ජන්දය’ (Dual Vote) පිලිබඳ අතුරු යෝජනාව ප්‍රතික්ෂේප කෙරී ඇත. එසේම යෝජනා වී ඇත්තේ ජාතික සමානුපාතික ලැයිස්තුවක් නොව දිස්ත්‍රික් සමානුපාතික ලැයිස්තුවක් සහිත ක්‍රමයකි. ඉන් අදහස් වන්නේ ප්‍රායෝගිකව මිශ්‍ර-මන්ත්‍රී-බහුතරවාදි (Mix -Member-Majoritarian, MMM) ලක්ෂණ රැගත් ක්‍රමයක් මිශ්‍ර-මන්ත්‍රී-සමානුපාතික (mix-Member Proportional, MMP) ආවරණයක් සහිතව හඳුන්වා දී ඇති බවයි. ද්විත්ව ජන්දයෙන් තොර මිශ්‍ර නියෝජන ක්‍රමයක් යනු බහුතරවාදි ද්වි-පක්ෂ ක්‍රමයක් සඳහා ඉඩ සලසන්නකි.

ප්‍රායෝගිකව මෙම ක්‍රමය ක්‍රියාත්මක වුව හොත් (1) විශාල (සිංහල) ධනපති පක්ෂ දෙකක් විසින් කුඩා පක්ෂ හා කණ්ඩායම් ගිල ගන්නා හෝ යටපත් කර ගන්නා තත්වයක් දකුණේද, (දැනට පවත්නා කොන්දේසි යටතේ) තනි දෙමළ පක්ෂයක් අත ඒකාධිකාරී ලෙස බලය සංකේන්ද්‍රනය වන තත්වයක් උතුරේද නිර්මාණය වනු ඇත. (2) ජවිපෙ වැනි පක්ෂයකට එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තෝරා යැවීමට රට පුරාම විශාල ජන්ද ව්‍යාපාරයක් දියත් කිරීමට සිදු වනු ඇත. එද එක් මන්ත්‍රීවරයෙකු හෝ තේරී පත්වේද යන්න සැක සහිතය. (3) සරල බහුතර ක්‍රමය යලි හඳුන්වා දීම නිසා ජනවාර්ගික බෙදුම් රේඛාවන් ඔස්සේ දේශපාලන දේහය යලි බෙදීමට ඇති ඉඩකඩ විශාලය (දෙමළ- අධිපති උතුර, මිශ්‍ර නැගෙනහිර සහ සිංහල-අධිපති දකුණ ලෙස) (3) පාර්ලිමේන්තු ප්‍රධාන ධාරාවෙන් ආන්තික වන අතරමැදි සමාජ පන්තීන් (intermediate classes) තුලින් යලිත් වරක් ප්‍රචණ්ඩ දේශපාලන ප්‍රකාශනයන් මතු වීමට ඉඩක් පවතී. (4) 19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපති සතු බලතල එතරම් අඩු වී නොමැති තත්වය තුළ විධායකයේ මෙන්ම ව්‍යවස්ථාදයකයේද බලය එක් පක්ෂ නායකත්වයක් අත සංකේන්ද්‍රණය වීමට ඉඩ තිබේ. එසේ වුවහොත් එය නිදහසින් පසු ලංකාවේ නිර්මාණය වන වඩාත්ම ප්‍රබල ව්‍යවස්ථාපිත ඒකාධිකාරය වනු ඇත. (5) පක්ෂ නායකත්වයන් සතු බලතල අසීමිතව වර්ධනය වීමෙන් පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය විශාල වශයෙන් ඛාදනය වී යනු ඇත. (6) සරල බහුතර ක්‍රමය සමානුපාතික ක්‍රමයට වඩා දේශපාලන ප්‍රචණ්ඩත්වයට සහ දුෂණ වලට ඉඩ කඩ සලසන ක්‍රමයකි. විශේෂයෙන් පක්ෂ අතර දරුණු ප්‍රචණ්ඩ ගැටුම් වලට එයින් වැඩි ඉඩක් සැලසෙනු ඇත. (7) නව ලිබරල් ආර්ථික ප්‍රතිසස්කරණ සඳහා පහසුකම් සලසන ස්ථාවර යහපාලන තන්ත්‍රයක් සඳහා මෙම නව ක්‍රමය වඩා උචිත වනු ඇත. එම තන්ත්‍රයට එරෙහි විරෝධතා මර්ධනය කිරීමේ රාජ්‍ය මර්ධන යන්ත්‍රයන් වඩා ශක්තිමත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කල හැකිය.

ඉහත සියලු තතු යටතේ විධායක ජනපතිදුන් පවසා ඇති පරිදි 20 වන සංශෝධන යෝජනාවට එරෙහි වන්නන් ජනතා ද්‍රෝහීන් නම් ඒ අතුරින් පළමු ජනතා ද්‍රෝහියා වීමට මම කැමැත්තෙමි. එක්කෝ 20 වන සංශෝධන යෝජනාව පැරදවීමට හෝ නැත්නම් එයට ද්වි-ජන්ද ක්‍රමය එක් කිරීම සඳහා බල කිරීමට මා වැනි සෙසු ජනතා ද්‍රෝහීන්ට මෙයින් ඇරයුම් කොට සිටිමි.

සුමිත් චාමින්ද

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment