ඊළම් ඡන්ද මැතිවරණ සිතියමෙන් ඉවත් කිරීම

Jun 16th, 2015 | By | Category: OTHER NEWS, දේශපාලන, මැතිවරණ

තමන් ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ ඊළමේ ඡන්ද නිසායැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඔහු එයින් අදහස් කළේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ඡන්ද ඇතුළු සුළුතර ජනකොටස්වල ඡන්දයයි. ඔහුගේ කථාව ඇත්තක් නොවේ.පොදු අපේක්ෂක සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 62 නොව ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය වූ ලක්ෂ හතර සම්පූර්ණ කිරීමට පවා ඊළම් ඡන්ද ප්‍රමාණවත් නොවේ. ඇත්ත වශයෙන්ම බලනවිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට වැඩියෙන්ම දායක වූයේ තම පක්ෂයේ තීරණය අනුව, තම පරම සතුරු පක්ෂයේ මහලේකම්වරයාට නොපැකිලව සහය දුන් යූ ඇන් පී ඡන්දය.

නමුත් මහින්ද රාජපක්ෂගේ කතාව නැත්තක්ද නොවන්නේ “ඊළමේ” දෙමළ මිනිසුන් තම දේශපාලන පක්ෂය වූ දෙමළ ජනතා සංධානයේ මෙහෙයවීම අනුව ගෙඩිය පිටින්ම පොදු අපේක්ෂකයාට ඡන්දය නොදුන්නා නම් දකුණේ ප්‍රගතිශීලී බලවේග කෙතරම් කැපවීමක් කළද රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අසීමිත ලෙස යොදා ගත් මහින්ද රාජපක්ෂ කෙස් ගහෙන් හෝ නැවත ජයග්‍රහණය කිරීම විය හැකිව තිබූ බැවිනි. මෙයට මුස්ලිම් ඡන්දත් එකතු වීම නිසා මහින්දගේ පරාජය ස්ථිර විය. මහින්දගේ වචනයෙන්ම කිව්වොත් වැඩේ කෙළ වුණේය.

නමුත් මහින්දට අමතක වන්නේ 2005 ජනාධිපතිවරණයේදී තමන් වැඩි ඡන්ද 180,000කින් හෙවත් කෙස් ගහෙන් දිනුවේද ඊළමේ ඡන්ද නිසා බවයි. එදා එල් ටී ටී ඊ සංවිධානය ජනාධිපතිවරණය වර්ජනය කිරීමට තීන්දු නොකරන්නට ජනාධිපති ධුරයට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. තමන් පැරදුණේ ඊළම් ඡන්ද වලින් බව කියා රට ගිනි අවුලන්නට හොඳම අවකාශය තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට නමුත්, ඔහු කළේ වසර 10ක්ම නින්දා පරිභවයන්ට භාජනය වෙමින් නිහඬව ඉවසා සිටීමයි.

2015 ජනවාරි 08 සිදුවූ පරිවර්තනයේ එක් ප්‍රතිඵලයක් ලෙස විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල වලින් ටිකක් කප්පාදු කොට, ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම සඳහා පියවර ගැනීමට 19 වන සංශෝධනය සම්මත කරගැනීමට ලැබීම ජයග්‍රහණයකි. එහෙත් එය කළ හැකි වූයේ පරාජිත මහින්ද රාජපක්ෂ රෙජීමයේ නටඹුන් වල පාලනයට යටත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දහසක් බාධාකිරීම සහ කකුල් මාට්ටු දැමීම් මගින් සැර බාල කරනු ලැබීමෙන් අනතුරුවය.

දැන් කළ යුත්තේ මැතිවරණයකට ගොස් නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීමයි. ඉන් පසු ප්‍රමුඛතාවය විය යුත්තේ 2005දී මහින්දගේ ජයග්‍රහණයටද ඉන් පසු 2015දී මහින්දගේ පරාජයටද හේතුභූත වූ ඊළම් ඡන්ද ලංකාවේ දේශපාලන සිතියමෙන් ඉවත් කිරීමයි. එය කළ හැක්කේ නව පාර්ලිමේන්තුව විසින් නව සම්මුතියක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගෙන එමගින් දෙමළ සහ මුස්ලිම් ජනයාගේ දේශපාලන අයිතිවාසිකම් සහතික කොට ඔවුන්ද ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන තත්ත්වයකට පත් කරගැනීමෙනි.

එසේ නොමැතිව සුළුතර ජනතාවගේ දේශපාලන නියෝජනය තවත් කප්පාදු කරන මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා, සුළුතර සහ සුළුජන පක්ෂවල අදහස් සැලකිල්ලට නොගෙන, ප්‍රධාන පක්ෂවල සම්මුතියක් මගින් පමණක් රාජපක්ෂ නටඹුන්වලින් සමන්විත වර්තමාන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමෙන් නොවේ. 20 සංශෝධනය හෙවත් ඡන්ද ක්‍රමය වෙනස් කොට නැවත පැරණි ආසන ක්‍රමයට වැඩි බර තබන ඡන්ද ක්‍රමයක් කෙසේ හෝ සම්මත කරගන්නවා යැයි කියන උදවියට අප විසින් කිවයුත්තේ වලිගය විසින් බල්ලා නැටවීමට වැඩි ආයුෂ නැති බවය.

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment