හෙට ඉරක් පායයි

Aug 14th, 2015 | By | Category: LEAD NEWS, දේශපාලන, සුදර්ශන ගුණවර්ධන
අගෝස්තු 17දා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වේ. ඉලංකෛ තමිළ් අරසු කච්චි ප‍්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ හැරුණු විට අන් සියලූ බලවේගයන් යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන ප‍්‍රධාන බලවේගයන් දෙක තුළට ගොණු වී තිබෙන තත්ත්වයක් තුළ සටන පවතින්නේ බල කඳවුරු දෙකක් අතරය.
දැන් කාගෙත් ආශාව වන්නේ එක් එක් දේශපාලන බලවේග විසින් ලබා ගත හැකි ආසන සංඛ්‍යාව පිළිබඳව පුරෝකථනය කිරීමයි. රාජ්‍ය බුද්ධි අංශ යනුවෙන් වැරදියට සිංහලට පරිවර්තනය කොට ඇති ස්ටේට් ඉන්ටෙලිජන්ස් අංශ හෙවත් රාජ්‍ය වෙනුවෙන් දේශපාලන සහ මිලිටරි තොරතුරු එකතු කිරීමේ ඔත්තු සේවා වෙතින් ලබා ගත්තා යැයි කියන එම දේශපාලන තොරතුරු අනුව දැන් පවතින්නේ ප‍්‍රධාන දේශපාලන සන්ධාන දෙක වන යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර කරට කර තරගයකි. උතුරෙන් සහ නැගෙනහිරෙන් දෙමළ ජාතික සන්ධානය සහ සෙසු පළාත්වලින් ජනතා විමුක්ති පෙරමුණ සෑහෙන ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට/ පෙරමුණට ආණ්ඩුවක් සෑදීම සඳහා අවශ්‍ය සාමාන්‍ය බහුතරය වන ආසන 113 ලබා ගැනීම අසීරු වනු ඇතැයිද, එයින් නැවතත් දේශපාලන අස්ථාවරභාවයක් ජනනය වනු ඇතැයිද එකී පුරෝකථනකරුවන් අතින් ප‍්‍රකාශ වනු පෙනේ.
මෙහිදී අපගේ පුරෝකථන කරුවන් අවධානය යොමු නොකරන එක් ඓතිහාසික කරුණක් දෙස අප අවධානය යොමු කළ යුතුය. එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම ධුර කාලය වසර හතරක් සම්පූර්ණ වූ වහාම ජනාධිපතිවරණයකට ඉදිරිපත්වූයේ මන්ද යන්නයි. අපගේ අදහස නම් ඔහු හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නේ තමාගේ ආධිපත්‍යය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඛාදනය වීම ආරම්භ වී ඇති බව දැන සිටිනා බැවිනි. රාජපක්ෂ පාලනය ජාත්‍යන්තර වශයෙන් හෙළා දැකීමට ලක්වීම 2012 මාර්තු මාසයේදී ඇරැුඹෙන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර ප‍්‍රජාවේ බලවත් රටවල් විසින් ලංකාවේ ප‍්‍රතිසන්ධානය සහ වගවීම සම්බ්න්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන එන ලද යෝජනාව සම්මත වීමත් සමගය. ඉන් අනතුරුව පිට පිට තවත් වසර දෙකක් එනම් 2013 දී සහ 2014 දී මානව හිමිකම් කවුන්සිලය විසින් යෝජනා සම්මත කරගනු ලබන අතර, 2014 යෝජනාව මගින් ලංකාවේ සිදුවූ මානව හිමිකම් සහ මානවවාදී නීති උල්ලංඝනය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමටද නියම වේ. පැරණි පාලනය තවදුරටත් පැවතුණා නම් ඔවුන්ට 2015 මාර්තුවේදී මුහුණ දීමට සිදුවන්නේ පෙර නොවූ විරූ ජාත්‍යන්තර දේශපාලන හුදකලා වීමකට ගමන් කිරීමටය.
ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී නව ජනවරමක් ලබා ගන්නට මහින්ද රාජපක්ෂ උත්සාහ කරන්නේ සමහර සරලමතිකයන් කියන පරිදි එය පෙන්වා ජාත්‍යන්තර ප‍්‍රජාව සමග යුද්ධයකට යෑමට නොවේ. මේ සඳහා හොඳ නිදසුනක් ග‍්‍රීසියෙන් ලබා ගත හැකිය. ග‍්‍රීසියේ පාලන බලය හොබවන්නේ වාමාංශික ‘සිරිසා‘ ව්‍යාපාරයයි. යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ග‍්‍රීසියේ ණයහිමියන් විසින් ඉදිරිපත් කළ ණය කොන්දේසි වලට විරුද්ධ වූ අගමැති ඇලෙක්සිස් ට්සිප්රාස් ඇතුළු සිරිසා ආණ්ඩුව එම කොන්දේසිවලට ‘ඔව්‘ කිවයුතුද ‘නෑ‘ කිව යුතුද යන ප‍්‍රශ්නය ජනමත විචාරණයකට ලක් කොට කොන්දේසිවලට එරෙහි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එම කොන්දේසි පරාජය කළ යුතු යැයි ජනතා තීන්දුව ලැබීමෙන් අනතුරුව ට්සිප්රාස් ප‍්‍රමුඛ සිරිසා ආණ්ඩුව කළේ නැවතත් ණය කොන්දේසි පිළිගෙන යුරෝ කලාපයෙන් ඉවතට විසිවීම වැළැක්වීම සඳහා සාකච්ඡුා කිරීමය. චීනයෙන් ලබා ගත් ගිනී පොලී ණය මුදල් ආපසු ගෙවීමේ කාලය එළැඹ තිබුණු බැවින් රාජපක්ෂටද වෙනත් විකල්පයක් තිබුණේද යන්න සැකසහිතය. නමුත් ‘ගල උඩ සටනක්‘ බඳු වූ ජනාධිපතිවරණයෙන් ලක්ෂ 4 ක පමණ වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් පරාජය වීමත් සමග රාජපක්ෂට ආණ්ඩුව පමණක් නොව පක්ෂය ද අහිමි විය. යම් හෙයකින් ඔහු නැවත බලයට පත්වුවහොත් ඔහුට සිදුවන්නේ තමන්ට කලින් මුහුණ දීමට තිබූ ප‍්‍රශ්න වලට නැවත වතාවක් මුහුණ දීමටය. ඒ සඳහා පිළිතුර ඔහු සතුව නැති තත්ත්වයක් යටතේ නැවත ආණ්ඩු බලය ලබා ගැනීමට තැත් කිරීම වනාහි දුවන කෝච්චියට බෙල්ල තැබීමකි.
මේ අවස්ථාවේ පොදු මහජන අපේක්ෂාව ‘යහපාලන‘ නම් වචනයෙන් මූර්තිමත් වී තිබේ. ඒ වෙනුවෙන් කැපවීමක් කළ ප‍්‍රධාන දේශපාලන බලවේග සියල්ලම පාහේ එක්සත් ජාතික පෙරමුණ තුළ ගොණු වී ඇත. එයට එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය (හකීම් ) වමේ පෙරමුණ (ජයම්පතී/ උස්වැටකෙයියාව ) ජාතික හෙළ උරුමය (චම්පික, රතන හිමි ) ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ (රාධක‍්‍රිෂ්ණන් ) කම්කරු ජාතික පෙරමුණ (දිගම්බරම් ) සහ සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසයද (රිෂාඞ් ) අයත්ය. ඒ සඳහා පිටුබලය සැපයූ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය ඇතුළු සිවිල් සමාජ සංවිධානයන්ද එම පෙරමුණ සමග ගිවිසුමකට එළැඹ ඇත. මෙම බලවේගයට පිටින් සිටියද දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේද ‘යහපාලන‘ න්‍යාය පත‍්‍රය තුළය. එයට අමතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගනිමින් ‘යහපාලන‘ න්‍යාය පත‍්‍රයට එකඟ වන්නාවූ සැලකිය යුතු පිරිසක්ද සන්ධානයේ මැතිවරණ ලැයිස්තු තුළ යටි බිම් ගත වී සිටිති. එබැවින් මැතිවරණයේදී ඒ ඒ පක්ෂ ලබා ගන්නා ආසන ප‍්‍රමාණය කෙතරම් වුවද ‘යහපාලන‘ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන ජාතික එකඟතාවය පවතින හෙයින් බහුතරය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව පවත්වා ගැනීම වනාහි හිතන තරම් බරපතල ප‍්‍රශ්නයක් නොවේ.
ආසන 113 පිළිබන්ද තර්කය විදාරණය කිරීම පිණිස පළමුවෙන්ම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වීමෙන් අනතුරුව පවත්වන ලද මැතිවරණ ප‍්‍රතිඵල සන්සන්දනය කර බැලිය යුතුය. 1989 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 125ක් ලැබිණි. 1994 පෙරළියෙන් පසු චන්දි‍්‍රකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු පොදු ජන එක්සත් පෙරමුණට ලැබුණේ ආසන 102 කි. 2000 වසරේ එයට ආසන 107 ක් ලැබී ආණ්ඩුවක් පිහිට වූ නමුත් 2001 මැතිවරණයේදී පොදු පෙරමුණ එක්සත් ජාතික පෙරමුණට පරාජය විය. එක්සත් ජාතික පෙරමුන ඒ අවස්ථාවේදී ආණ්ඩුවක් පිහිටවූවත් ලබා ගත හැකි වූයේ ආසන 109ක් පමණි.
2004 දී පොදු පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා ගැනීමෙන් පසුව ජනාධිපතිනි චන්දි‍්‍රකා හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගියාය. එහිදී එ.ජ.නි.ස. ය ලබා ගත්තේ ආසන 105 ක් පමණකි. මේ තත්ත්වය වෙනස් වූයේ 2010 මැතිවරණයේදී වන අතර එහිදී යුද ජයග‍්‍රහණයේ හයියත්, ජනාධිපතිවරණ ජයග‍්‍රහණයේ හයියත් නිසා එම එක්සත් ජනතා නිදහස් සන්ධානයට පෑදී තිබුණේ කදිම පල්ලමකි. එහිදී වාර්තාගත ආසන 144 ක් දිනා ගත්තත් 2/3 බහුතරයක් ලබා ගැනීමට එයට හැකි වූයේ නැත. 2/3 ලබා ගන්නා ලද්දේ නොයෙකුත් උපා මාරු දමා මන්ත‍්‍රීවරුන් බිලී බා ගැනීමෙනි. මේ නිසා 1989 සහ 2010 යන ව්‍යතිරේකී අවස්ථාවන් දෙක හැරුණු විට කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකින් තනි පක්ෂයක් හෝ සන්ධානයක් විසින් 113 සීමාව පන්නා නැත. එහෙත් එම හේතුව නිසා එකී ආණ්ඩු වල පැවැත්මට හානියක් සිදු වී නැත්තේ පොදු ජන අපේක්ෂාව මත වැඩි ආසන දිනා ගන්නා පක්ෂය හෝ සන්ධානය සමග පරාජිතයන් අතරින් පිරිසක් එක්වන බැවිනි.
විපක්ෂයේ ජන බලවේගවල පිහිටෙන් හා අශීර්වාදයෙන් බලයට පත්වූ නැවුම් ජනාධිපතිවරයෙකු යටතේ පවත්වනු ලබන පළමු ඡුන්දය මෙම මැතිවරණයයි. එම ව්‍යාපාරයේ සිටි බලවේග අඩු වැඩි වශයෙන් තවමත් එකට සිටින අතර නැවතත් වතාවක් පොදු සතුරා ලෙස තමන් විසින් වරක් පරාජය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම නැවත මුනගැසීම නිසා එම බලවේග වල චිත්ත ධෛර්යය වැඩි වී ඇත. අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිදුව ඇත්තේ බරපතල ලෙස බෙදී ඇති බලසේනාවක් උපයෝගී කරගනිමින් ඡන්ද සටනට යන්නටය. සරලව කිවහොත් රාජපක්ෂට සටන් කිරීම සඳහා යොදාගැනීමට සිදුව ඇත්තේ ‘නොන්ඩි ගසන අශ්වයෙකි’. එබැවින් මෙම මැතිවරණය මින් පෙර පැවැති සෑම මැතිවරණයකටම වඩා අපූර්ව හෙවත් පෙර නොවූ විරූ තත්ත්වයක පැවැත්වෙන්නක් බැවින් එක්සත් ජාතික පෙරමුණට 113 ලබා ගැනීමට එතරම් අපහසුවක් ඇති නොවන බව අපගේ අදහසයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ සංවිධාන අනුදත් අයුරින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට 19 වන සංශෝධනය අසමත් වූ බව ඇත්තකි. නමුත් එවකට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යථාර්තවාදී ලෙස පොරොන්දුවූ අයුරින් විධායක ජනාධිපති ධුරය සතු අසීමිත බලතල කප්පාදු කිරීමට 19 වන සංශෝධනය සමත් විය. විශේෂයෙන්ම 18 වන සංශෝධනය මගින් ජනාධිපති ධුරයට සවිකළ විෂ දළ ගැලවීමට 19 සංශෝධනය සමත් විය. එමගින් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර පහකට සීමා කරන ලද අතර එක් පුද්ගලයෙකුට ජනාධිපතිවරයෙකු වශයෙන් සේවය කළ හැකි වාර ගණන ධුර කාලයන් දෙකකට, එනම් වසර 10 කට සීමා කරන ලදී. එයට අමතරව පාර්ලිමේන්තුව තේරී පත්ව වසරක් ගත වීමෙන් පසු ඕනෑම වේලාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පැවරී තිබුණු අත්තනෝමතික බලතල ඉවත් කොට ඒ සඳහා වසර හතර හමාරක් ගත වන තුරු සිටීමට සිදුවන තත්ත්වයක් ඇති කරන ලද අතර විධායක ජනාධිඅති සතුව තිබූ අසහාය බලතල පාර්ලිමේන්තුව වෙතට පවරන ලද්දේය. මේ අතර ඉතාම වැදගත් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් ඇති කොට ස්වාධීන කොමිසන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට නිර්දේශ කිරීමේ බලය එම සභාවට ලබා දීමයි.
මේ අනුව දැන් පවතින්නේ පෙර පැවැති විධායක ජනාධිපති ධුරය නොවේ. සෑහෙන දුරට සංවරණ සහ තුලනයන් මගින් පාලනයට ලක්වුණු ජනාධිපති ධුරයකි. එබැවින් අගෝස්තු 17 දිනට පසු උදා වනුයේ නව දේශපාලන සංස්කෘතියක් සඳහා දොරගුළු විවර කරන යුගයක් බව ප‍්‍රකාශ කළ හැකිය.
නිතිඥ සුදර්ශන ගුණවර්ධන

Recent Posts

Tags: , , ,

Leave a Comment