ජේ.වී.පී. මන්ත‍්‍රීවරු කවදාවත් පිල් මාරු කරන්නේ නැද්ද ?

Aug 15th, 2015 | By | Category: LEAD NEWS, දේශපාලන

එලැඹෙන මැතිවරණයේ දී ‘ජවිපෙට වැඩි බලයක් දෙමු ’ යන යෝජනාවට මහත් ජනප‍්‍රියත්වයක් ලැබී තිබේ. සාම්ප‍්‍රදායිකව ජවිපෙ නොවන බොහෝ කොටස් මෙවර මෙම යෝජනාව සමග පෙල ගැසී සිටිනු දැකගත හැක.

මහින්ද එලවන්න ජවිපෙ දායක උනා. මහින්ද ඊලග පාර්ලිමේන්තුවට ඇවිත් වෙන පක්ෂවල අයව බිලීබාගෙන ආණ්ඩුවක් හදන්න පුලූවන්. ඒක නවත්වන්න නම් වැඩි වැඩියෙන් ජවිපෙ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ. මොකද ජවිපෙ මන්ත‍්‍රීවරු විකිණෙන් නැහැ. පක්ෂෙ මාරු කරන් නැහැ.

මේ ජවිපෙට වැඩි බලයක් දිය යුතු යැයි යෝජනා කරන බොහෝ කොටස් ඉදිරිපත් කරන තර්කයකි.

බැලූ බැල්මට මේ කථාව ඇත්ත වගේ පෙනෙයි. ජවිපෙ මන්ත‍්‍රීවරුන් ප‍්‍රධාන පක්ෂ දෙකේ දේශපාලකයින්ට සාපේක්ෂව අවංකය. සොරකම් කරන්නේ නැත. පුද්ගලික අරමුණුවලට වඩා පොදු අරමුණට මුල් තැන දෙන බව පෙනෙන්නට තිබේ. අඳින්නේ පලදින්නේ සරල විදිහටය. ඉන්නේ පොලොවේ පය ගසාය.

( ඉස්සර නම් මනාප ඉල්ලූවෙත් නැත. ඉල්ලූවේ පක්ෂයට ඡන්දය දෙන්න කියාය. දැන් නම් එහෙම්මම නැත)

‘‘ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ තිස් නම දෙනා හැමවෙලේම ඉන්නෙ එකට. හිටගන්නෙත් ඉදගන්නෙත් අත උස්සන්නෙත් එකට’’

2007 අය වැය ඡුන්දය වෙලාවේ පාර්ලිමේන්තුව අමතා කථා කළ ජවිපෙ මන්ත‍්‍රී අනුර දිසානායක තම පක්ෂයේ සමගිය ගැන කීවේ ඒ විදිහටය.

බැලූ බැල්මට ඇත්ත කියා පෙනෙන මේ කථාව ඇත්තටම ඇත්තද?

ඒක හොයන්න පෙනෙන්නට තිබෙන දෙයට සීමා නොවී තරමක් අතීතයට යා යුතුය.

නන්දන ගුණතිලක ජවිපෙ ප‍්‍රබලයෙකි. 1994 දී ජවිපෙ නැවත ප‍්‍රතිසංවිධානය වීමේ දී විශාල වැඩකොටසක් කළ අයෙකි. 1999 දී ඔහු ජවිපෙ ජනාධිපතිධූර අපේක්ෂකයා විය. 2000 හා 2001 මැතිවරණවලින් ජවිපෙ නියෝජනය කරමින් හෙතෙම පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2004 ජවිපෙට ආසන 39 ක් ලැබුණු වෙලේ නන්දන නැවත පාර්ලිමේන්තු වරම් ලැබුවේය.

ඒ නන්දන අද කෝ?

ජවිපෙන් පාර්ලිමේන්තු ගිය නන්දන 2005 දී පිල් මාරු කලේය. පලමුව ඔහු ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් විය. පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දෙමින් ජවිපෙන් ඉවත් වූ ජාතික නිදහස් පෙරමුණ හා එක්විය. ඊටත් පසු ඉනුත් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියේය. දැන් නන්දන එජාප ලැයිස්තුවෙන් කලූතර දිස්ත‍්‍රික්කයට තරඟ වදී.

විමල් වීරවංශ ගැන අමුතුවෙන් මතක් කළ යුතු නැත. අද අනුර දිසානායක මාධ්‍ය ඉදිරියේ ජවිපෙ වෙනුවෙන් දක්වන භූමිකාව එදා රග දැක්වූයේ විමල් වීරවංශය. සෙනග ජවිපෙ රැුස්වීම්වලට ආවේ විමල්ගේ කථා අහන්නය. අද අනුර ජවිපෙ ‘තරුව’ වී සිටින්නේ යම් සේද එදා ජවිපෙ ‘ස්ටාර්’ එක වූයේ විමල්ය.

ජවිපෙන් පාර්ලිමේන්තු ආ විමල් 2008 දී විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැන්නේය. ඒ තවත් ජවිපෙ මන්ත‍්‍රීවරු 11 දෙනෙක් අරගෙනය. පියසිරි විජේනායක, ජයන්තර සමරවීර, වීරකුමාර දිසානායක, සමන්සිරි හේරත්, පද්ම උදය ශාන්ත, අචල ජාගොඩ, දීපාල් ගුණසේකර, නිමල් පේ‍්‍රමවංශ, රනවීර පතිරණ, මොහොමඞ් මුසම්මිල්, අන්ජාන් උම්මා එලෙස පිල් මාරු කළ පිරිසය. 2004 මහ මැතිවරණයට ඉල්ලන විට මේ හැමෝම කීවේ තමන් මතින් දුම්වැටියෙන් තොර, හොර බොරු නොකරන පිරිසක් බවයි. ජවිපෙ මුලූ මන්ත‍්‍රී සමූහයා ‘හිටගන්නෙත් එකට – ඉඳගන්නෙත් එකට’ යනුවෙන් එතෙක් අමාරුවෙන් නඩත්තු කරගෙන සිටි ඒකත්වය මේ පිල් මාරුවෙන් පස්සේ දෙදරා ගියේය.

ත‍්‍රිකුණාමලය නියෝජනය කරමින් 2004-2010 පාර්ලිමේන්තුවේ සිටි ජවිපෙ මන්ත‍්‍රී ජයන්ත විජේසේකර දැන් ඉන්නේ සන්ධානයේය. මහනුවර නියෝජනය කරමින් එම පාර්ලිමේන්තුවේ සිටි දිමුතු බණ්ඩාර අබේකෝන් දැන් ඉන්නේ එජාපයේය. ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් මැති සභයට ආ අන්ජානා උම්මා අවසානයේ එජාපයට ගියාය. අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරුව සිටි 2004-2010 පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්. අමරසිංහ පාර්ලිමේන්තු ධූර කාලය අවසන් වීමට පෙර හදිසියේ ඉල්ලා අස්විය. ජවිපෙට සම්බන්ධ ලංකාටෲත් වෙබ් අඩවිය ඒ අවස්ථාවේ කීවේ ‘කලෙකට ඉහත සේවක අරගලයක දී එල්ල වූ කඳුලූ ගෑස් ප‍්‍රහාරයක් නිසා ඇසට වූ ආබාධයක් උග‍්‍ර වීම නිසා අසනීප තත්වයට පත්වීම’ නිසා අමරසිංහ ඉල්ලා අස්වූ බවයි.

එහෙම ඉල්ලා අස්වූ අමරසිංහ ටික දවසකින් සන්ධාන ආණ්ඩුවේ සංස්ථා සභාපති කෙනෙක් බවට පත්විය. ඔහු සන්ධානය නියෝජනය කරමින් රූපවාහිනී සංවාදවලට පවා සහභාගි වන්නට විය. ‘ඇහේ අමාරු’ කථා කියා ජවිපෙට රටට බොරු කියන්නට වූයේ කොහෙවත් නැති අමුතු ඒකත්වයක් තම පක්ෂය තුල තිබෙන බව පෙන්වන්නට සිදුවූ නිසාය.

එස්. අමරසිංහ පමණක් නොව රෝහණ විජේවීරට පසු ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහ ද පසුගිය දා ජවිපෙ හැර ගියේය. ජනතා සේවක පක්ෂය යනුවෙන් පක්ෂයක් හදා ජාතික හෙළ උරුමය සමග එක්ව දියමන්තිය ලකුණෙන් ඡුන්දය ඉල්ලන්නට කල්පනා කළ ඔහු හෙළ උරුමය එජාපය සමඟ එක්වීම නිසා මේ දිනවල විස්සෝපයට පත්වී සිටී.

ජවිපෙ පමණක් නොව ඕනෑම පක්ෂයක සිටින්නේ සජීවී ගැහැණුන් සහ පිරිමින්ය. ලේ මස් වලින් සෑදී ඇති ඔවුහු පෘථග්ජනයෝය. බල අරගල, කුඩුකේඩුකම්, සිත් වෙනස්වීම්, කාලයත් සමග අදහස් වෙනස් කිරීම්, පක්ෂවලින් ඉවත්වීම් ආදිය දේශපාලන පෘථග්ජන ලක්ෂණයෝය. ජවිපෙ යනු ඊට වඩා වෙනස් අමුතු මිනිස් සමූහයක් සිටිනා පක්ෂයක් නොවේ. ඉතිහාසය දිහා බැලූවාම පෙනෙන්නේ ජවිපෙ මන්ත‍්‍රීවරුන් ද ඕනෑ තරම් පිල් මාරු කොට තිබෙන බවයි. වෙන පක්ෂ සමග සම්බන්ධ වී තිබෙන බවයි. අද කියන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් හෙට කියා තිබෙන බවයි.

ලංකාවේ දේශපාලන සංස්කෘතියට සාපේක්ෂව ඇතැම් අගය කළ යුතු සාධනීය ලක්ෂණ ජවිපෙ ක‍්‍රියාකාරීත්වය තුළ තිබේ. ඒවා අගය කල යුතුය. ඒත් ජවිපෙ මන්ත‍්‍රීවරුන්ගේ පිරිසිදුකම හා සිල්වත්කම ගැන අතිශයෝක්තියෙන් ගැරන්ටි දීම නම් උවමනාවට වඩා දුර දිග යාමකි. ඒ වගේ මිථ්‍යාවන්ට නම් දුටු තැන පහර දිය යුතුමය.

උපුටා ගැනිම : සමබිම අගෝස්තු කලාපය (මාලන් ජයතිලක)

සමබිම අගෝස්තු කලාපය කියවිමට පහතින් යන්න

de

 

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment