යුඅැන්පියත් සමග වැඩ කලේ කොහොමද ? – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Sep 2nd, 2015 | By | Category: OTHER NEWS, දේශපාලන, සුදර්ශන ගුණවර්ධන
මාධ්‍යවේදී ගුණසිරි සිල්වා එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පුවත්පතේ කර්තෘ ලෙස ලියනු ලැබූ කතුවැකි එකතුවක් අඩංගු‘අවිචාර සමය’ කෘතිය පසුගිය ජූලි 29 වන දා එළි දැක්විණ. ගුණසිරි සිල්වා ‘80 දශකයේ දී කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පුවත්පතේ සිනමා විචාරක ලෙස ක‍්‍රියාකළ ප‍්‍රකට වාමාංශිකයෙකි. මෙම අවස්ථාව අමතා රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන දැක්වූ අදහස් ආශ‍්‍රයෙන් මෙම ලිපිය සකස් කරන ලදී.
එක්තරා කාලයක , මැතිවරණ දේශපාලනය ඇතුළේ ඉදිරියට එමින් සිටිද්දී ජනතා විමුක්ති පෙරමුණ සටන් පාඨයක් ඉදිරිපත් කළා. ප‍්‍රධාන පක්ෂ දෙකම වරින් වර බලය ගන්නවා, උනුත් එකයි – මුනුත් එකයි , ඒ දෙගොල්ලම එක හින්දා මේ අයව පාලනය කරන්න අවශ්‍ය රිමෝට් එක අපිට දෙන්න කියලා ජවිපෙ කීවා. මේකේ අදහස තමයි මේ පක්ෂ දෙක අතර බලය මාරු වන විට, ඒ මාරු වෙන විදිහ පාලනය කරන දුරස්ථ පාලකය තමාට දෙන්න කියන එක.
ඒත් මේ රිමෝට් එකෙන් බලන්න පුලූවන් චැනල් දෙකයි තියෙන්නේ. එක චැනල් එකක් තියෙනවා, ඒකෙ තියෙන්නේ නිල් චිත‍්‍රපටයක්. ඒක දාන්න බැහැ. එතකොට දාන්න වෙන්නේ එකයි. ඒ තමයි එක්කෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චැනල් එක. අනෙක් චැනල් එකේ තිබෙන එක්සත් ජාතික පක්ෂය වාමාංශිකයින්ට, ප‍්‍රගතිශීලීන්ට අකැප භූමියක් , ඒ නිසා ඒක දාන්න බැහැ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ රිමෝට් එක පාවිච්චි කරලා චැනල් එක මාරු කළා, ඒ මාරු කළේ එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට. ඒ මාරු කිරීමෙන් වුණ දේ තමයි පාර්ලිමේන්තුවේ ආසන පනස් ගණනක් පමණක් තිබු පක්ෂයක හුදු සාමාජිකයෙක් පමණක් වූ කෙනෙක්, වැඩි ඡුන්ද එක් ලක්ෂ අසූදාහක් වගේ බොහොම පොඩි ඡුන්ද පරතරයකින් රටේ ජනාධිපති බවට පත්වීම. එහෙම ජනාධිපති වෙලා ඔහු අති විශාල බලයක් ක‍්‍රමානුකූලව එකතු කරගත්තා. එහෙම සුලූ ඡුන්ද පරතරයකින් ඔහු ගත් බලය පසුව රජ කෙනෙක්ගේ තත්වයට වර්ධනය කරගත්තා. එහෙම වර්ධනය වෙන්න බලපෑ ප‍්‍රධාන හේතුව යුද්ධය ජයගැනීම වුණත් ඒක පසුබිමේ තිබෙන අනිත් සාධකය තමයි අනෙක් විකල්පය වන එක්සත් ජාතික පක්ෂය කවරාකාර ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළත් ඒකත් එක්ක ගනුදෙනු කරන්න බැහැ කියන දැඩි ආකල්පය. අන්න එවැනි යුගයක තමයි ගුණසිරි සිල්වා ‘සියරට’ පත්තරේ වැඩ කරන්න පටන් ගන්නේ. මම හිතන විදිහට ඒක නිර්භීත වැඩක්.
ගුණසිරි වගේම ඒ වගේ වැඩ කළ තවත් දෙන්නෙක් තමයි ප‍්‍රගීත් එක්නැලිගොඩ සහ ජෝ සෙනෙවිරත්න. මේ දෙන්නාම අපේ පරම්පරාවේ පට්ට වාමාංශිකයෝ. එතකොට හැමෝම පුදුම වෙනවා මේ කට්ටිය කොහොමද සියරටට ගියේ කියලා. ඇයි ඒ පුදුම වෙන්නේ? මේක බොහොම අමුතු දෙයක්. එවකට තිබුණු ආණ්ඩුව කොච්චර මර්දනකාරී වුනත්, කොච්චර ජනතා ද්‍රෝහී වුනත්, කොච්චර ජාතිවාදී වුනත් පරණ සමසමාජ කොමියුනිස්ට් නායකයෝ වගේ බැණ බැණ හරි ඉවසගෙන ඉන්න එක හැර වෙන කරන්න දෙයක් නැහැ. මොකද වාමාංශිකයින්ට එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කරන්න බැරි නිසා.
මේ අදහස කඩන්න ගුණසිරි, ප‍්‍රගීත්, ජෝ වගේ අය පුරෝගාමී වුණා. මේ අය අවිචාර සමය තුළ, ඒ අවිචාර සමයට එරෙහි යම් සටනක් කිරීම සඳහා මාර්ගයක් තැනීමට පුරෝගාමී වූ පිරිසක්. ඒක දුෂ්කර කාර්යයක්. ඒක දුෂ්කර වෙන්නේ රාජ්‍ය මර්දනය හින්දා විතරක් නෙමෙයි, තමන්ගේ හිතවතුන්ගේ පරිහාසයට ලක්වෙන්න සිදුවෙන නිසා.
මේ අවිචාර සමය තුළ හැමදෙනාම එක මතයක් වෙනුවෙන්, යුද්ධය වෙනුවෙන් පෙනී සිටිමින් ගමන් කළා. එතනදී ආව සංකල්පය තමයි – ‘ අපි වෙනුවෙන් අපි’. ඔබට මතක ඇති ඒ කාලේ මේ නමින් රූපවාහිනී නාලිකාවල ප‍්‍රදර්ශනය වූ දැන්වීමෙන් මුලූ රටම එකට ඉන්නවා කියලා පෙන්නුවා. හැබැයි ඕනෑම සමාජයක් පැවැතීම සඳහා විමතිකයන් අවශ්‍යයයි. විසම්මුතිය අවශ්‍යයයි. ඒත් මේ හදපු සමාජය ඇතුළේ විසම්මුතියට ඉඩක් තිබුණේ නැහැ. විසම්මුතියට ඉදිරිපත් වෙන අය හැඳින්වූයේ ‘කොටි’ කියලා. ‘අපි වෙනුවෙන් අපි’ කියලා සේරම එකතු කළාට පස්සේ ඊට විරුද්ධ වෙන අය කොටි. එතකොට සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරන අය කොටි.
මේ විදිහට සේරම ‘අපි වෙනුවෙන් අපි ’ කියලා එකතු කරලා අනිත් අය කොටි කරලා තිබ්බ කාලයක, ඒ කොටි කියලා හංවඩු ගැහුණ අය එකතු වෙලා ඒ තත්වයට අභියෝග කළා. ඒ අභියෝගය දැන් එක්තරා ප‍්‍රමාණයකට මල් ඵල ගැන්විලා තිබෙනවා. දැන් නැවතත් විවෘත දේශපාලන තරඟයට අවස්ථාව තිබෙනවා. අර තිබුණු දෘෂ්ටිවාදී බාධාව කඩලා තිබෙනවා. අද ආපහු ඡුන්දය ඉල්ලලා ඉස්සරහට එන්න පුලූවන්. ප‍්‍රතිපත්ති ගැන වාද විවාද කරන්න පුලූවන්. එහෙම කරන්න අද පුලූවන් වෙලා තියෙන්නේ ගුණසිරිලා මේ පටන් ගත්ත වැඬේ ප‍්‍රතිඵලයක් විදිහට.
නිදහසේ වේදිකාව ඇතුළේ වැඩ කරද්දී එක්තරා ප‍්‍රමාණයකින් ගුණසිරි ගේ අත්දැකීමට මාත් මුහුණ දුන්නා. 2009 ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට පසු, එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කරන එක තහනම් වචනය වෙලා තිබුණ කාලයක ආණ්ඩු විරෝධී බලවේග එක්කාසු කරලා, එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා පුලූල් ව්‍යාපාරයක් විදිහටයි අපි ‘නිදහසේ වේදිකාව’ හැදුවේ. එතකොට යූඑන්පී එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා කට්ටිය අහන්න ගත්තා. මෙච්චර කල් වෙච්ච එක තමයි එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කරන අය එක්සත් ජාතික පාක්ෂිකයෝ වුණ එක. ඒත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහෙම වෙන්නෙ නැහැ. ඒ පක්ෂය වටේ නොයෙක් සන්ධාන හදාගෙන ඉන්න පුලූවන්. ඒත් මෙවර ඇති වූ තත්වය වෙනස්. මම හිතනවා මේ තත්වය එක්සත් ජාතික පක්ෂයෙත් ගුණාත්මක වෙනසක් ඇති කරන්න හේතු වේවි කියලා. දැන් පෙරමුණක් තියෙනවා. මේ පෙරමුණට එකතු වූ බලවේග තමන්ගේ අනන්‍යතාවය තියාගනිමින් තමයි වැඩ කරන්නේ. ඒ පෙරමුණ ඇතුළේ ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ඉදිරිගාමී සංස්කෘතියක් හැදීමේ අවකාශය තිබෙනවා.
‘සියරට’ පත්තරේට ලියන එක ගුණසිරිට නතර කරන්න වුණේ ඇයි කියන එක ගැනත් වචනයක් කියන්න ඕනෙ. සමහරු හිතන්න පුලූවන් එජාපයේ පැරණි දක්ෂිණාංශිකයෝ ගුණසිරිගේ ලිවීම නතර කළා කියලා. ඒත් මම වගකීමෙන් කියනවා මේක නතර කළේ ශිරාල් ලක්තිලක. ශිරාල් ලක්තිලක කියන්නේ සාමාන්‍ය යූඑන්පී කාරයෙක් නෙමෙයි. යම් වාමාංශික සම්භවයක් තිබෙන කෙනෙක්. මේක ශිරාල්ගේ පුද්ගලික ප‍්‍රශ්නයක් නෙමෙයි. සමාජයේ වැඩ කරද්දී විශ්වාසය කියන සංකල්පය ක‍්‍රියා කරන විදිහට උදාහරණයක් මේක. ශිරාල් මොකක්ද හිතුවේ? ‘‘ මම ගුණසිරි ලියන ඒවාට බය නැහැ. ඒවා ගියාට කමක් නැහැ. ඒත් සාමාන්‍ය යූඑන්පී කාරයා මේවා කියවලා අවුල් වෙයිද දන්නෙ නැහැනෙ. ඒ නිසා ගුණසිරි මේවා ලියන එක හොඳ නැහැ නේද?’’ මේ තමයි විශ්වාසය වැඩ කරන ආකාරය. විශ්වාසය අනුව මම මෝඩයෙක් කියලා පිලිගන්න මම කැමති නැහැ. මම බුද්ධිමතෙක්. හැබැයි එලියේ මෝඩයෝ ඉන්නවා. එලියේ ඉන්න මෝඩයා අවුල් වේවි කියලා සිතලා මම කියනවා, මේක නොකියා ඉමු කියලා.
හැබැයි ශිරාල් අවුල් කියලා හිතපු සාම්ප‍්‍රදායික එජාප පාක්ෂිකයාට පුලූවන් වුණා පොදු අපේක්ෂකයෙක්ට සහය දීලා, ඊට පස්සේ වෙච්ච කෙනෙහිලිකම් ඉවසගෙන, අද ඉන්න තැනට එන්න. ශිරාල් අද ජාතික ලැයිස්තුවේ ඉන්නේ ඒකෙ ප‍්‍රතිිඵලයක් විදිහටයි. ඒ නිසා අපි මෝඩයි කියලා හිතන අය අපිට වඩා බුද්ධිමත්. ඒක තමයි මෙතැන තියෙන පාඩම. අපි තුළත් ශිරාල්ලා ඉන්නවා. අපි තුළ ඉන්න කෙනා අමාරු දෙයක් කරද්දී ඒක නවත්වන්න හදන්නෙත් අපිමයි. අපි බය වෙනවා මේක මෙහෙම කළොත් එලියෙ ඉන්න අය අවුල් වේවි කියලා. මේ යුගයේ ප‍්‍රගතිශීලී කාර්යය තමයි මේ එලියේ ඉන්න කෙනාට බය නොවී, අපි හරියි කියලා හිතන දේ බය නැතිව කරන එක.
උපුටා ගැනිම : සමබිම අගෝස්තු කලාපය 

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment