දේශීය යාන්ත්‍රණයකින් ගොඩ යෑම

Sep 23rd, 2015 | By | Category: LEAD NEWS, උපුටා ගැනිම්, දේශපාලන

ආන්දෝලනාත්මක මානව හිමිකම් කොමිෂන් වාර්තාව නිකුත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙම මහභේදාත්මක වාර්තාව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ මේ වසරේ මාර්තු මාසයේ දී ය. එහෙත් පසුගිය ජනවාරි 8 වැනි දා ජනාධිපති ෙ‍ෙමත්‍රීපාල සිරිසේන මහතා ලැබු ජයග්‍රහණයත් සමඟ ම එය මාස 6කින් ප්‍රමාද කිරීමට නැත්නම් සැත්තැම්බර් දක්වා කල් දැමීමට බලධාරීන් තීරණයක් ගෙන තිබුණි.

ඊට හේතුව දින 100යේ තාවකාලික රජය අවසන් වී මැතිවරණයෙන් පසු නව රජයක් බලයට පත් වීම. එම රජය ස්ථාපිත වන තුරු යම් කාලයක් ලබා දීම උදෙසා ය. එසේ ම නිකුත් වී ඇති වාර්තාව ද සැර බාල කර ඉදිරිපත් වූවක් සේ සැලකේ. මෙයට මෛත්‍රී පාලනය ලැබූ සුවිශේෂී ජයග්‍රහණ දෙකකි. මෙය දේශපාලනය කරන සමහර අයට නොතේරුණ ද සාමාන්‍ය ජනයාට වුව ද තේරේ.

වැරැදිලාවත් පසුගිය ජනවාරි 8 වැනි දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජය ලබා තිබුණි නම් නිකුත් වන්නේ මීට වඩා බිහිසුණු ගනයේ පුද්ගලයින් නම් කරණු ලැබූ කරමුලටම රට හිරවන වාර්තාවකි. එසේ ම වත්මන් වාර්තාවේ නිර්දේශීත ”දෙමුහුන් අධිකරණයක්” පිළිබඳ යෝජනාව ද ඉවත් වී කෙළින් ම ”අන්තර් ජාතික අධිකරණයක්” හෝ පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවක් ද ඉදිරිපත් වීමට ඉඩ තිබුණි.

ඊට හේතුව අප විසින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සියලූ කටයුතු සම්පාදනය කර ගෙන තිබුණේ සම්පූර්ණයෙන් ම ‘හැපිචෝල්’ ක්‍රමයකට වීම නිසාය. පසුගිය ජනාධිපතිවරණය පවා උපයෝගී කර ගැනීමට සැ දී පැහැදි සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යම් බලපෑමක් එල්ල කිරීමට බව පෙනේ. විවිධ සම්බාධක මඟින් අවසන මේ සියල්ලෙන් බැට කන්නේ රටේ ජනතාව බව ඔවුහු කල්පනා නොකළහ. එය ඔවුනට අවශ්‍ය වුයේ ද නැත. පසුගිය ආණ්ඩුවේ සමහර අය ජාත්‍යන්තරයක් ඇති බවක්වත් කල්පනා කළේ නැත. එ් අය අතර මහාචාර්යවරුන් පවා සිටීම කණගාටුදායකය. මහාචාර්යකමට වඩා කාට කාටත් අවස්ථාවාදය ලොකුවීය.

කෙසේ නමුත් ”මෛත්‍රීපාලනයක්” මගින් පසුගිය ජනවාරි 8 වැනි දා ජනතාව මේ සියල්ල වෙනස් කර තිබේ. ඊට හේතුව අවස්ථාවාදී පසුගාමී දේශපාලනයට වඩා ජනතාව ඉදිරියෙන් සිටීමය. බොරු දේශපේ‍්‍රමිත්වයක් මගින් ජාත්‍යන්තර ගණන් නොගෙන හා රැවටීමට ගොස් රටට සිදු වීමට යන හානිය ජනතාව තේරුම් ගෙන සිටීම මේ වෙනසට හේතුවයි. සිදු වූ වෙනසින් ජාත්‍යන්තරයම වෙනස් වී මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවට ද එය බලපා තිබේ දැන් මේ නිසා යම් ප්‍රමාණයකට අපේ කීර්ති නාමය ද ආරක්ෂාවන අයුරින් මෙවර ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව නිකුත් වී තිබීම ගැන සතුටු විය යුතුු අතර එය නව රජයේ ජයග්‍රහණයක් ලෙසින් ද කුුහකත්වයකින් තොරව පිළිගත යුතු ය.

රුපියලේ සිදු වන යම් අව ප්‍රමාණයක් සමඟ සමහර භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු වුව ද ඊට වඩා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දැනටමත් රට ලබා ගෙන තිබෙන ජයග්‍රහණය දැවැන්තය. සියල්ලට ම පෙර අපට එරෙහිව ඇති චෝදනාවලින් නිදහස් වී, රට ඉදිරියට ගමන් කිරීමේ මාවත සකසා ගැනීමේ බාර දුර කාර්යයක් අප හමු වේ ඇත.

 

වරද සෙවීම

පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළ ආකාරයට ම මේ නිකුත් වී තිබෙන්නේ වාර්තාවකි.

මේක වාර්තාවක් පමණයි. එ්වායේ ම අපට නව වාර්තා දෙකක් ගන්න තිබෙනවා උදලාගම වාර්තාවයි. පරණගම වාර්තාවයි එ්වා ලැබුණාම අපි ප්‍රතිචාරයක් දෙන්නම්.”

”යූ.එන්.වාර්තාවේ පවා වරදක් වුණාය කියා කියන්නේ නැහැ. වරදක් වුණා දැයි සෙවීමයි කරන්නේ. අපි තමයි මේ කියන්නේ වරදක් වුණා ආරක්ෂා වෙන්න පනතක් ඕන කියලා. යූ.එන්. වාර්තාවේවත් කියල නෑ මේ ගැන. යුධ අපරාධයක් වුණා කියලාවත් කියල නැහැ. මේවා වුනා ද කියල බලන්න කියලයි කියන්නේ ඉතින් අපි මොකටද පැනල කියන්නේ. වරදක් කලා ය සමා දෙන්න පනතක් ගෙන්න කියලා.”

අගමැති රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතා පැවසුවේ එලෙසිනි. මෙම වාර්තාවට එරෙහිව කරුණු ගෙනහැර දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදි ගෝමින් දායස්ශ්‍රී පවා සඳහන් කරන්නේ මෙය පසුගිය රජයේ වැරැදි ප්‍රතිපත්ති නිසා ඉදිරිපත් වූවක් බවයි. ඔහුගේ මතය එදා දේශීය වශයෙන් පරීක්ෂණයක් සිදු කළා නම් මෙවැන්නක් ඉදිරිපත් නොවන බවයි.

”දේශීය පරීක්ෂණයක් යුද්ධයෙන් පසුව වේගවත් ව පැවැත් වුණේ නම් ප්‍රශ්නය මේවන විට නිරාකරණය වී කිසිම විදේශීය බලපෑමකට ඉඩක නොලැබෙනු ඇත.”

 

පරණ ආණ්ඩුව

 

එවකට ත්‍රිවිධ හමුදාවේ ඉදිරිපත් වූ නීතිඥවරයකු වශයෙන් මා රජයට (පසුගිය) තරයේ කියා සිටියේ පවතින වෝදනාවලට පරීක්ෂණ පැවැත් වීම යෝග්‍ය බවයි. එනමුත් ඔවුන් (පසුගිය රජය) එය නොකළ නිසා ජාත්‍යන්තර පරීක්ෂණයකට භාජනය වන තත්ත්වයකට පැමිණීමට සිදු වුයේ ය. (අධිනීතිඥ ගෝමින් දයස්ශ්‍රී 20.09.2015 මාධ්‍ය)

දැන් මේ රජයට කර ගැසීමට සිදු වී තිබෙන්නේ පසුගිය රජයේ වැරදිවලටය. එහෙත් රටක් වශයෙන් ඊට මුහුණ දිය යුතු ය. බලය ලබාගත් පසුව හා ජනතාව බලය පැවරීමෙන් පසුව දැන් මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුය. ආණ්ඩුවේ මෙතෙක් පැවැත්ම ඊට සුදුසු ආකාරයෙන් පමණක් නොව නම්‍යශීලීව සැකසී තිබේ. එ් බව ජාත්‍යන්තර පවා පිළිගෙන ඇත. මේ නිසා මීට ප්‍රතිචාර දැන්වීම රජයට පහසු වී තිබේ. එසේ ම ආණ්ඩුවේ අදහසට ජාත්‍යන්තරයෙන් යම් නම්‍යශිලී ප්‍රතිචාරයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත.

මෙතැන් සිට හෝ අපේ අනන්‍යතාවය රැක ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කිරීමේ ක්‍රමවේදයක් අප විසින් සකසා ගත යුතු ය. දරුස්මාන් වාර්තාව නිකුත් වන්නේ 2009 බෑන් කී මූන් සමඟ වූ එකඟතාව කඩ කිරීම නිසාය. දරුස්මාන් වාර්තාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උපවාස කිරීමට රජයේ ඇමැතිවරයෙක් ම ඉදිරිපත් වීම එදා අප එතරම් ගණන් ගත්තේ නැත. එ් ඇම­ැතිවරයාට තැඹිලි වතුර පොවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහි උපවාසය අනුමත කළේ ය.

මේ සමඟ ම සියල්ල වෙනස් විය. දිගින් දිගටම ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කිරීමටත් ඊට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට සමත් වීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරුණි. රට අභ්‍යන්තරයේ සිදු වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හා හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීම ආදී කාරණා නිසා අපේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය පලූදු විය. මේ සියලූ තත්ත්වයන් වත්මන් යෝජනවට පාදක වි තිබේ.

ත්‍රස්තවාදය මර්දනය කිරීමට මුවා වී පුරවැසි අයිතීන් උල්ලංඝනය කිරීමේ හැකියාව ලොව කිසිම රටකට නොමැත. 2009 මැයි 19 වැනි දා අවසන් වූ යුද්ධය සම්බන්ධයෙන් අභ්‍යන්තර සොයා බැලීමකින් අනතුරුව සැකසුණු පිළිගත් වාර්තාවක් අප සතුව පවතී. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තා එ් සඳහා අපට ඇති හොඳම නිර්දේශයන් අඩංගු ය. ඊට ජාත්‍යන්තර පිළිගැනීමත් ලැබී තිබේ. එය ද අප ප්‍රතිකේෂ්ප කර ඇත.

 

වාසිදායක තත්ත්වය

 

මේ නිසා අවසානයේ මෙවන් වාර්තාවක් නිකුත් වීම ගැන පුදුම විය යුතු නැත. අදාළ වාර්තාව සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඩොලර් මිලියන 15ක් වැය කර ඇතැයි දැන ගැනීමට තිබේ. එ් නිසා මෙවැන්නක් ඉදිරිපත් කරන ලද සංවිධානයක් ඉන් අනතුරුව අපට අපේ වැඩක් කර ගැනීමට ඉඩ දී වැඩේ අත හැර දමනු ඇතැයි සිතිය නොහැක.

මේ නිසා රටක් වශයෙන් අනිවාර්යයෙන් ම මීට මුහුණ දිය යුතුය. එ් සඳහා ශ්‍රී ලංකාවට වාසිදායක කාරණා කීපයක් ද නිර්මාණය වී තිබේ. ඉන් ප්‍රධාන කරුණ වන්නේ ජනවාරි 8 ජයග්‍රහණයයි. එ් සමඟ ම මෙ දක්වා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍ෂේත්‍රයේ රට ඇතුලේ සිදු වී තිබෙන වෙනස්කම් ද අපේ වාසියට හේතු වී තිබේ.

එසේ ම වාර්තාවේ දක්නට ලැබෙන නම්‍යශීලි ස්ථාවරයන් ද අපට වාසිදායකය. මෙහි කිසිදු තැනක පුද්ගලයන් නම් කර නැත. යුද අපරාධ සිදු වු බවක් ද සඳහන් නොවේ. එහි සඳහන් කර ඇත්තේ යුද අපරාධයක් සිදු වූ දැයි විමසීමක් පමණි. අවසානයේ වැදගත් වන්නේ මෙම ලියවිල්ල පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලගේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් වන යෝජනාවයි. අදාළ වාර්තාවට යම් බලයක් හා වටිනාකමක් ලැබෙන්නේ එම යෝජනාව මගිනි.

යෝජනාවට අදාළ විමර්ශනය සිදු වන්නේ මිශ්‍ර අධිකරණයක් මගින් ද සම්පූර්ණ වශයෙන් ම දේශීය අධිකරණයක් මගින් ද යන නිර්දේශය තහවුරු වන්නේ ද මානව හිමිකම් කවුන්සලයේ සභා ගත වන යෝජනාවට අනුවය.

මේ අතර අදාළ වාර්තාව මගින් එල්ල කර ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත් වීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ඇති කිරීමට සහාය පළ කරමින් යෝජනාවක් ගෙන එ්මට අමෙරිකා එක්සත් ජනපදය සූදානම් වන බව ද අපට දැන ගැනීමට තිබේ. මෙහි දී වැදගත් වන්නේ අමෙරිකාව මගින් ගෙන එ්මට සූදානම් වන අදාළ යෝජනාවයි. පසුගිය ජනවාරි 8 වැනි දා පැවැති ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙසින් තරග වැදුණු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය ලියවිල්ලෙහි 93 වැනි වගන්තියේ සඳහන් වන්නේ ද යුධ සමයේ මානව හිමිකම් කඩ වූ බවට ජාත්‍යන්තරයෙන් නිරතුරුවම එල්ල වන චෝදනා පිළිබඳව කරුණු සොයා බැලීමට පිළිගත හැකි දේශීය යන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බවයි.

මේ වගන්තියට මහජන අනුමැතියක් ලැබී තිබේ. වෙන විදිහකින් සඳහන් කරන්නේ නම් ජනතාව අනුමත කර තිබෙන්නේ දේශීය යන්ත්‍රණයක් මගින් විමර්ශනයක් කිරීමටයි. ඉන් පිටස්තරව ජාත්‍යන්තර විනිසුරුවන් ද සහභාගි වන දෙමුහුන් යන්ත්‍රණයකට ඉඩක් නොමත. ඇමෙරිකාව ද සුදානමින් සිටින්නේ සිය යෝජනාව සමඟින් ඊට අවශ්‍ය අනුමැතිය ලබා දීමටය. අදළ මානව හිමිකම් වාර්තාවේ ඇති තීරණාත්මක සාධකය කුමන යන්ත්‍රණයකින් ඔවුන් යෝජනා කරන විනිශ්චය සිදු වන්නේ ද යන්නයි. ඔවුන් යෝජනා කරන්නේ දෙමුහුන් යන්ත්‍රණයකි. ඊට දේශීය හා විදේශීය විනිසුරන් සහභාගි වෙති.

එහෙත් එ් සඳහා ජනමතයක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති ප්‍රතිපාදනයක් ද නොමැත. මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ හා ඉන්දියාවේ ස්ථාවරය මේ වන විට සැකසී තිබෙන්නේ අපට වාසිදායක ලෙසිනි. එනම් දේශීය පරීක්ෂණයකට ඉඩ කඩ සලසා දෙමිනි. මේ නිසා රජයේ ස්ථාවරය පැහැදිලිය. විපක්ෂයේ වගකීම විය යුත්තේ පටු දේශපාලන වාසි වෙනුවෙන් රට එකඟ නොවන ආණ්ඩුව හා මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවකින් සම්මත වීමට ඉඩකඩක් නොමැති දෙමුහුන් යෝජනාවක් සම්බන්ධයෙන් රට ගිනි තැබීම නොවේ.

රාම්

උපුටා ගැනිම : http://www.dinamina.lk/

Recent Posts

Leave a Comment