රජයේ නිලධාරියකුගේ තීරණයක් නිසා අසාධාරණයට පත් වුවහොත් ඔබට ඇති සහන මොනවාද?

Sep 23rd, 2015 | By | Category: LEAD NEWS

පොලිස් නිලධාරියෙක්, රෙගු නිලධාරියෙක්, විදුහල් පතිවරයෙක්, දේශීය ආධායම් බදු නිලධාරියෙක්, රජයේ කොමිෂමක, අධිකාරියක, දෙපාර්ත්මෙන්තුවක, මණ්ඩලයක නිලධාරියෙක්, අමාත්‍යංශ ලේකම් වරයෙක්, ඇමති කෙනෙක්, පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙක් හෝ නිලධාරියෙක් හෝ විනිශ්චය අධිකාරියක් ආදී නොයෙකුත් රජයේ නිලධාරීන් විසින් තම අභිමතානුසාරී බලතල අනුව දෙනු ලබන යම් පරිපාලනමය හෝ විධායක තීරණයක් හෝ ක්‍රියාවක් නිසා ඔබ අගතියට/අසාධාරණයට ලක්ව ඇත්තේ නම් එවිට ඔබට ඇති පිළිසරණ මොනවාදැයි යන්න දැන සිටීම ඉතා වැදගත්ය. පොදුවේ රටක මහ ජනතාවක් විසින් දැන ගත යුතු අත්‍යවශ්‍ය නීති පිළිසරණ අවස්ථා කිහිපයක් ලංකාවේ පරිපාලන නීතිය තුල පවතී. තම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිණිස පරිපාලනමය සහන නිරර්ථක වූ විටෙක පවතින අධිකරණ පද්ධතිය තුල ලබා ගත හැකි සහන පිළිඹඳ සටහනක් පහත දැක්වේ.

රජයේ පරිපාලනමය නිලධාරියෙකුට තම අභිමත බලය පාවිච්චි කරීම සඳහා බලය ලැබෙන්නේ යම් ලිඛිත නීතියකිනි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ පර්ර්ලිමේන්තුව විසින් පනවා ඇති යම් පනතක් හරහා ලැබෙන බලයකි.
යම් රජයේ නිලධාරියෙකුගේ පරිපාලනමය තීරණයක් ඊට ඉහල නිලධාරියෙකු ලවා සංශෝධනය කර ගැනීම හෝ අවලංගු කරවා ගැනීම අදාළ පනත් මගින් විශේෂයෙන් බලය අභිනියෝජනය කිරීම සඳහා පනවා ඇති විධිවිධාන යටතේ කල හැකිය. මෙය පරිපාලන ආයතනය තුලදීම සිදු කර ගැනීමට උත්සාහ ගත හැකි පළමු සහන අවස්ථාවයි. ආයතනය සමග පරිපාලනමය එකඟතාවයකට (administrative settlement) එළඹීමට ඇති හැකියාව නීතිය මගින් පිළිගනු ලැබේ. කෙසේ නමුත් අගතියේ බරපතලම අවස්ථාව උත්ගත වන්නේ අදාළ ආයතනයේ අවසාන බලධාරියාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලබන තීරණය මගින් අගතිය තහවරු වන අවස්ථාවයි.

එවන් අවස්තාවක එවැනි තීරණයකින්/නියෝගයකින් ඔබ අසාධාරණයට ලක්ව ඇත් නම් නීතිය යටතේ ඔබට පහත සහනයන් තිබේ:

i.අභියාචනා කිරීම
ii.අධිකරණමය විමර්ශනය
iii. මූලික අයිතිවාසිකම් නඩු පැවරීම

අභියාචනය කිරීම ඔබට නිසඟයෙන් ලැබෙන අයිතියක් නොවේ. එය අදාළ පරිපාලන අධිකාරියට බලය ලැබෙන පනත් මගින් විශේෂයෙන් ලබාදී ඇත්නම් පමණක් හිමිවන සහන අවස්ථාවකි. අභියාචනය කිරීම යම් පරිපාලනමය අධිකාරියකටම හෝ විනිශ්චයසභාවකට හෝ ඉහල උසාවියකට එනම්, මහා අධිකරණය, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කල හැකිය. බොහෝ අවස්ථාවල ඇපෑලක් මගින් සලකා බලනු ලබන්නේ ප්‍රශ්නගත තීරණයේ/තීන්දුවේ/නියෝගයේ නීතිමය වලංගු භාවයයි. එනම් ඇපෑලක් පදනම් වන්නේ නීතිමය ප්‍රශ්න මතයි. එමෙන්ම අභියාචනා සලකා බැලීමට පෙර අධිකරණයෙන් විශේෂයෙන් ඒ සඳහා අවසරය මුල් අවස්ථාවේම ලබා ගැනීමට ද සිදුවේ(leave to appeal).

අධිකරණමය විමර්ශනය යනු අධිකරණයේ අභිමතානුසාරී බලය යටතේ ලබාදෙන පරමාධිකාර රිට් ආඥා ලබාගැනීමයි. රිට් ආඥා නිකුත් කිරීමේ බලය මූලික වශයෙන් ලංකාවේ අභියාචනාධිකරණයට (පලාත්බද සිවිල් අභියාචනාධිකරනය ද ඇතුලත්ව) හා ශ්‍රේෂ්ඨාධිකරණයට තිබේ. රිට් ආඥා ලබාගැනීමේ අයිතිය ඔබට නිසඟයෙන් ලැබෙන අයිතියක් වන අත‍ර ඒ සඳහා විශේෂයෙන් පනතකින් අයිතියක් ලෙස තහවරු කර තිබීම අවශ්‍ය නැත. මෙම අධිකරණමය විමර්ශන නඩුවකදී අවසන් වශයෙන් ස්ර්ටියෝරරි, මැන්ඩාමුස්, ක්වෝ වොරෝන්ටෝ, ප්‍රසිඩේන්ඩො, හබෙයස් කොපුස් හා තහනම් නියෝග යන රිට් ආඥා ලබාගැනීමේ හැකියාව තිබේ. නඩු විමර්ශනය තුල දී නීතිමය කරුණු මෙන්ම සිද්දීමය කරුණු ද විභාගයට ලක් කෙරේ. ස්ර්ටියෝරරි හා මැන්ඩාමුස් ආඥා මගින් පිළිවෙලින් මූලිකවම සිදු වන්නේ යම් නීතියට පටහැනි, පනතේ බලය අභිබවා යන(ultra vires) සාවද්‍ය පරිපාලනමය තීන්දුවක් අවලංගු කරවා ගැනීම හා නිතිය මගින් ලබා දී ඇති යම් බලතලයක් එලෙස ක්‍රියාත්මක කරන ලෙස හෝ වගකීමක් ඉටුකරන ලෙස පරිපාලන අධිකාරියට/ රජයේ නිලධාරියාට බල කරන ආඥාවකි.

පරිපාලන තීන්දුවක් අභියෝගයට ලක් කල හැකි පදනම් රාශියක් පරිපාලන නීතිය යටතේ පවතින අතර මෙම පදනම් ඔප්පු කිරීම ලේඛන හා දිවුරුම් ප්‍රකාශ මගින් කල යුතුය. ස්වාභාවික යුක්තියේ රීති පිලි නොපැදීම, එනම් සෑම සම්බන්දිත පාර්ෂවයකටම සමාන අවස්ථා ලබාදී සවන්දීම හා පක්ෂග්‍රාහී නොවීම යන කරුණු ඉටුවී නොතිබීම එක පදනමැකී. බලය ලබාදී ඇති විධිවිදාන වලට පටහැනිව, ඊට පිටින්, ඊට ඔබ්බෙන් ක්‍රියා කර තිබීම තවත් පදනමකි.

මූලික අයිතිවාසිකම් නඩු පැවරීම පරිපාලනමය හෝ විධායක ක්‍රියාවක් අභියෝගයට ලක් කිරීමේ හා වන්දි ලබා ගැනීමේ ප්‍රචලිතම සහන මාදිලියයි. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන හා සිවුවන පරිචේදයේ සෑම පුද්ගලයෙකුටම හිමි මූලික අයිතිවාසිකම් හා සීමාවන් දක්වා ඇත. යම් පරිපාලනමය හෝ විධායක ක්‍රියාවක් නිසා මූලික අයිතිවාසිකමක් කඩ වී ඇති විට හෝ කඩ වීමට අත්‍යාසන්න අවස්තාවක මසක කාලයක් තුලදී මූලික අයිතිවාසිකම් නඩුවක් එනම් මානව හිමිකම් නඩුවක් පැවරිය හැක. මීට අමතරව මානව හිමිකම් කොමිෂමටද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. බොහෝ අවස්ථාවල සිදු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරීමට පෙර මානව හිමිකම් කොමිෂමට අදාළ මසක කාලය තුල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි.

කෙසේ වෙතත් පවතින යතාර්ථය නම් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම හෝ රීට් නඩුවක් පැවරීම යන්න පළල් මහා ජනතාවට දැරිය නොහැකි සුළුතරයක් අත්විඳින සුඛෝපභෝගී වරමකි.

© Legal First Aid/CPLE

Recent Posts

Leave a Comment