හයිබි‍්‍රඞ් යන්ත‍්‍රණය ට්‍රෝජන් අශ්වයෙක්ද?

Oct 7th, 2015 | By | Category: OTHER NEWS, Today Lead News

අන්ධ කිවි හෝමර්ගේ අතින් ලියැවුණු ‘ඉලියඞ්’ සහ ‘ඔඩිසි’ වීර කාව්‍යන්හි විස්තර වන්නේ ට්‍රෝජන් යුද්ධය පිළිබඳවය. ග‍්‍රීසියේ අගමෙනොන් අග රජුගේ සහෝදරයා වන මෙනලාවුස්ගේ සුන්දර බිරිඳ හෙලන් ට්‍රෝයි පුරයේ ප‍්‍රියම් මහ රජුගේ කනිටු පුත් පැරිස් කුමරා සමග පළා යාම නිසා අගමෙනොන් ට්‍රෝයි දේශයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කරයි. පවුරකින් වටව ඇති ට්‍රෝයි පුරය යටත් කොට ගත නොහැකි වූ තැන ග‍්‍රීක හමුදාව උපක‍්‍රමිකව පළා යයි. නමුත් එසේ පළා යන්නේ ලීයෙන් කරන ලද විශාල අශ්වයෙකු ට්‍රෝයි භූමියෙහි අතහැර දමාය. ජයග‍්‍රහණයෙන් උදම් වන ට්‍රෝයිවරු මෙම අශ්වයා ට්‍රෝයි රාජ්‍යයේ පවුර තුළට ගෙන යති. රාත‍්‍රියේ සියලූ දෙනා ජයපැන් බොන අතර, දැව මුවා අශ්වයා වෙතින් පිටතට එන ගී‍්‍රක භට පිරිස කොටු පවුරේ දොර හැර, එතෙක් සැඟවී සිටි ගී‍්‍රක හමුදාවට නිර්බාධිතව ට්‍රෝයි පුරයට ඇතුළු වීමට ඉඩ ලබා දෙයි. ඉන් අනතුරුව ගී‍්‍රක හමුදාව විසින් ට්‍රෝයි හමුදාව සමූලඝාතනය කෙරෙයි.

ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව පිළිබඳව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද විමර්ශනයේ වාර්තාව මහ කොමසාරිස් සයිද් රාද් අල් හුසේන් විසින් ඉදිරිපත් කරන ලද්දේය. එම වාර්තාවෙහි එන වැදගත් යෝජනාවක් වන්නේ, මානව හිමිකම් සහ මානවවාදී නීති කඩකිරීම් පිළිබඳව දේශීය සහ විදේශීය සංඝටකයන්ගෙන් සමන්විත දෙමුහුන් හෙවත් හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවීමට කෙරෙන යෝජනාවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මෙයට වසර එක හමාරකට පෙර, එනම් 2014 මාර්තුවේහී යෝජනා සම්මතයක් මගින් ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන ජාත්‍යන්තර මානවවාදී නීති සහ මානව හිමිකම් නීති කඩකිරීම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය වෙත ඇණවුම් කරන ලදී. මෙම වාර්තාව වනාහි එම ඇණවුම අනුව කරන ලද ජාත්‍යන්තර විමර්ශනයක ප‍්‍රතිඵලයකි.

මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් නිර්දේශයන් පිළිබඳව මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල් විසින් අවිධිමත් ලෙස සාකච්ඡුා කරමින් පවතී. පිට පිට තෙවරක් යෝජනා ඉදිරිපත් කළ ඇමරිකාව මෙවර ප‍්‍රකාශ කළේ 2015 දී බලයට පත්වූ නව රජයේ ධනාත්මක ප‍්‍රවේශය අගය කරමින්, ලංකාවටද එකඟ විය හැකි ආකාරයේ ඒකාබද්ධ යෝජනාවක් ගෙනැවිත් බහුතර ඡුන්දයෙන් නොව සම්මුතියෙන් සම්මත කරගැනීමට තමන් ක‍්‍රියා කරන බවයි. ලංකාවේ ආණ්ඩුවද ඊට අනුකූලතාවය දක්වා ඇත. එම යෝජනාව කෙටුම්පත් කිරීමේදී වාර්තාව සහ එහි නිර්දේශයන් පිළිබඳව සැලකිල්ලට ගැනීම තර්කානුකූල වන අතරම, එයට අමතරව නව රජය බලයට පත්වීමෙන් පසුව වෙනස් වුණු දේශපාලන තත්ත්වයද සාමාජික රටවල් විසින් බරපතළ ලෙස සලකා බලනු ලැබීම අනිවාර්යය. මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථාවරයන් හතරක් නිරීක්ෂණය කළ හැකිය. පළමුවැන්න නම් කිසිදු ජාත්‍යන්තර නීති උල්ලංඝනයක් සිදුව නැති නිසා කිසිදු විමර්ශනයක් හෝ යාන්ත‍්‍රණයක් අනවශ්‍ය බවයි. දෙවැන්න, සිදුවීම් සිදුව ඇති බව පිළිගනිමින් ඒ සඳහා දේශීය යාන්ත‍්‍රණයක් පිහිටුවීමයි. තෙවැන්න, දේශීය වශයෙන් විමර්ශනයක් කිරීමට ලංකාවේ අධිකරණ පද්ධතිය සප‍්‍රමාණවත් නොවන නිසා එයට ජාත්‍යන්තර සංඝටකද එකතු කොට හයිබි‍්‍රඞ් යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු බවයි. සිව්වැන්න නම් මේ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ලංකාවේ ආණ්ඩුවට ඉඩ දීම ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’ වන බැවින් සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

මහකොමසාරිස්වරයාගේ වාර්තාව මගින් නිර්දේශ කරන්නේ ඉහත තුන්වන විකල්පය හෙවත් හයිබ්රිඞ් යාන්ත‍්‍රණයයි. ලංකාවේ ආණ්ඩුව කියා සිටින්නේ තමන් දේශීය යාන්ත‍්‍රණයක් ඇතිකිරීමට සූදානම් බවයි. තවදුරටත් කිසිවකු විමර්ශන නොකිරීම හෝ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් ඇති කිරීම පිළිබඳව කථා නොකරති. 

මෙහිදී මතුවන වැදගත් ප‍්‍රශ්නය යාන්ත‍්‍රණය දේශීයද නැත්නම් හයිබි‍්‍රඞ් ද යන්න නොවේ. මෙහිදී වැදගත් වන්නේ අධිකරණ බලය පිළිබඳ ප‍්‍රශ්නයයි. කිසියම් පුද්ගලයෙකුට විරුද්ධව අපරාධ නඩුවක් පවරා එය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමෙන් තොරව දඬුවම් නියම කළ නොහැකිය. එසේ කිරීමට නම් අදාළ අධිකරණයට ඒ සඳහා අධිකරණ බලය තිබිය යුතුය. මෙහිදී ප‍්‍රශ්නගත කාරණය වන්නේ ලංකාවේ සිදුවූයේය කියන යුද අපරාධ පිළිබඳව අදාළ වන්නේ දේශීය අධිකරණ බලයද නැත්නම් ජාත්‍යන්තර අධිකරණ බලයද යන්නයි. මෙහිදී ඉතා පැහැදිලිව කිවයුත්තේ අධිකරණ බලය ඇත්තේ දේශීය අධිකරණයන්ට බවයි. එබැවින් අවසාන විග‍්‍රහයෙහිදී අදාළ අධිකරණය සංයුක්ත විය යුත්තේ දේශීය අධිකරණ බලසීමාව තුළය.

ජනතාව විසින් දෙවරක් පරාජය කරන ලද මහින්ද රාජපක්ෂ රෙජීමයේ ක්ෂමාලාපකයන් විසින් මෙම දෙමුහුන් හෙවත් හයිබි‍්‍රඞ් යාන්ත‍්‍රණය හඳුන්වනු ලබන්නේ ට්‍රෝජන් අශ්වයෙකු වශයෙනි. යුද්ධය අවසානයෙන් පසුව ගතවූ කාල පරිච්ෙඡ්දය තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකාවේ වගවීම සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳව ගෙන එන ලද යෝජනා සම`ග අනන්‍ය වීමෙන් වැළකී යෝජනා සම්මතයන්ට විරුද්ධව කටයුතු කරන ලද තම රජයේ ප‍්‍රතිපත්තිය දිගටම ගෙන යනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එම යෝජනාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස සිදුකරන ලද ජාත්‍යන්තර විමර්ශනය විසින් යෝජනා කරන ලද හයිබි‍්‍රඞ් යාන්ත‍්‍රණය වනාහි, ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් ලංකාවේ කැමැත්ත සහ අනුග‍්‍රහය ඇතිව කරගෙන යාම සඳහා වන උපක‍්‍රමයක් ලෙස ඔවුහු සලකති. එය ට්‍රෝජන් අශ්වයෙකු සේ හඳුන්වන්නේ එබැවිනි. ඔවුන්ගේ අදහස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්ගේ වාර්තාව කුණුකූඩයට දැමිය යුතු බවයි. එනම් ඊනියා ට්‍රෝජන් අශ්වයා භාර නොගත යුතු බවයි.

සැබැවින්ම ඔවුන්ගේ මතය කි‍්‍රයාත්මක කළ හැකිද? කි‍්‍රයාත්මක කළ යුතුද? මෙම ප‍්‍රශ්න දෙකටම දිය යුතු සෘජු පිළිතුර වන්නේ නැත යන්නයි. මෙම යෝජනාව සිව්වන වතාවටත් ඉදිරිපත් කරන්නේ ඇමරිකාව විසිනි. මීට පෙර අවස්ථාවන්හිදී ඒ සඳහා යුරෝපා සංගමය ඇතුළු ලොව රටවල් 40ක පමණ අනුග‍්‍රහය ලැබිණි. ජාත්‍යන්තර ප‍්‍රජාවේ බලවත් රටවල් විසින් ඉදිරිපත් කෙරෙන මේ යෝජනාව හමස් පෙට්ටියට දමන්නේ නම් නැවත වතාවක් එම රටවල් සමග ගැටුම්කාරී ප‍්‍රවේශයකට යාමට සිදුවේ. නව සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ ප‍්‍රවේශය එය නොවන අතර එය බලයට පත්කිරීම සඳහා වෙහෙසුණු සිවිල් සමාජ බලවේගයන්හි ප‍්‍රාර්ථනයද එය නොවේ. එබැවින් අප කළ යුත්තේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවේ බලවත් රටවල්වලටත් පිළිගත හැකි, ජාත්‍යන්තර ප‍්‍රමිතිය සුරැුකෙන, දේශීය යාන්ත‍්‍රණයක් රට තුළ ගොඩ නැගීම වෙනුවෙන් කැප වී කි‍්‍රයා කිරීමයි.

උපුටා ගැනිම : සමබිම පුවත්පත 2015 සැත්තැම්බර් කලාපය 

Recent Posts

Leave a Comment