රනිල්-මෙෙත්‍රී සුසංයෝගය කියන්නේ පංති දෙකක සන්ධානයක්

Oct 7th, 2015 | By | Category: LEAD NEWS, කාලීන, දේශපාලන, සුදර්ශන ගුණවර්ධන

ඒක්තරා යුගයක කිසිසේත් පෙරලා දැමිය නොහැකි පාලනයක් ලෙස දිස් වු රාජපක්ෂ රෙජිමය මේ වනවිට සම්පුර්ණයෙන්ම පරාජය වි තිබේ.රාජපක්ෂ යුගය දෙස පසු අාවර්තියව හැරි බලමින් නිර්මාණය වි තිබේන නව දේශපාලන වටපිටාව පිළිබද සාකච්ජා කිරිම සදහා රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක නිතිඥ සුදර්ශණ ගුණවර්ධන සමග සමබිම කල සංවාදයේ සටහනයි මේ. නිතිඥ සුදර්ශණ ගුණවර්ධන රාජපක්ෂ පාලනයට ඒරෙහිව විපක්ෂයේ පක්ෂ හා සිවිල් සංවිධාන ඒක්සත් වී ගොඩනැගු නිදහසේ වේදිකාව සංවිධානයේ සමකැදවුම්කරු ලෙස ද ක්‍රියා කලේය.

ජනවාරි අට වෙනිදා ලංකාවේ ප‍්‍රබල දේශපාලන විපර්යාසයක් සිදු වුණා. ඊට පෙර අපේ සමාජයේ හොරකම් කිරීම, ස්ත‍්‍රීන් හා දරුවන් දුෂණය කිරීම, නීතිය හා යුක්තිය පසඳලීමේ ආයතන දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට හැසිිරවීම, රජයේ පොදු දේපල අයතා ලෙස භාවිතා කිරීම වැරැද්දක් නොවේය, නිර්මුක්තිය, නැත්නම් වැරදි කර දඩුවම් නොලබා සිටිය හැකිය කියා යම් ආඛ්‍යානයක් තහවුරු වී තිබුණා. එවැනි කි‍්‍රයා සෘජුවම හෝ වක‍්‍රව අනුමත කිරීමේ සංස්කෘතියක් තිබුණා. නමුත් ජනවාරි අට වැනිදායින් පසුව සිදු වූ දේශපාලන බල පෙරළියෙන් පසු සමාජයේ නව මතයක් ඇති වෙන්න පටන් ගත්තා පෙර කී දේවල් කිරීම වරදක්ය, එම වැරදි වලට නිසි දඩුවම් ලැබිය යුතුය කියලා. මෙය ඔබ දකින්නේ කොහොමද?

ජනවාරි 8 වනදා සහ අගෝස්තු 17 වනදා, දෙවරක්ම පරාජය කරන ලද්දේ රෙජීමයක් විතරක් නෙවෙයි, එක් ජීවන ක‍්‍රමයක්. එක පැත්තකින් අපේ රටේ අපේක්ෂාවක් තියෙනවා, වාමාංශික අපේක්ෂාව කියන්නත් පුළුවන්, පොදු ජනයාගේ නායකයෙක් බලයට පත් වෙන්න ඕන කියලා. සෑම විටම බලයට පත් වෙන්නේ පාලක පංතිවල පිරිස්. ඔවුන්ගේ ඇවතුම්, පැවතුම්, චාරිත‍්‍ර, සංස්කෘතිය සහ පොදු ජන සංස්කෘතිය අතර යම් පරතරයක් තියෙනවා. පොදු ජනයාට එයට කෙළින්ම කිට්ටු වෙන්න බැහැ. ඒ නිසාම ඔවුන් තුළ ප‍්‍රාර්ථනයක් තියෙනවා පොදු ජනයාගේ නායකයෙක් ඕන කියලා. මේක සමාජවාදීන්ගෙත් ජාතිකවාදීන්ගේ ප‍්‍රාර්ථනය. මේ දෙගොල්ලොටම ධනපති පන්තියේ නායකත්වය කියන එකට ළං වෙන්න බැරි තරම් දුරයි.

2005 මහින්ද රාජපක්ෂ බලයට පත් වීම කියන්නේ මෙන්න මේ පොදු ජනයාගේ මිනිසා බලයට පත් වීම. මහින්ද රාජපක්ෂව බලයට පත් කරන්න වැඩියෙන් මහන්සි වුණේ කවුද? සංඝ සමාජය. එහි දේශපාලන ප‍්‍රකාශනයන් වන ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, වෘත්තීය සමිති සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන. ඒ වගේම සම සමාජ-කොමියුනිස්ට් වැනි පැරණි වාමාංශික පක්ෂ. අනික ඒ වෙනකොට රට ජාතිය කියන එක අර්බුදයට ලක් වෙලා, ආරක්ෂාව ප‍්‍රශ්්නයක් වෙලා තිබුණා. සාකච්ඡුාවෙන් විසඳුමක් ගන්න බැරි තත්ත්වයට එල්.ටී.ටී.ඊ ව්‍යාපාරය ශක්තිමත්ව තිබුණා. ජාත්‍යන්තරයේ මැදිහත් වීමෙන්වත් එකග වෙන්න පුළුවන් සාකච්ඡාවක් සිදු නොවන බව නෝර්වේ සමග ඇති වෙච්ච සාම ගිවිසුම අසමත් වීමත් එක්ක පෙනී ගියා. එතකොට ඒ ව්‍යාපාරය සමග හැප්පිලා හෝ කතා කරලා හෝ මොනවා හෝ ආකාරයකින් සම්ප‍්‍රදායික නොවන ක‍්‍රමයකට මේ ප‍්‍රශ්නය විසඳගන්න පුළුවන් නායකයෙක් රටට අවශ්‍ය වුණා.

මුල් අවුරුදු දෙකේම මහින්ද උත්සාහ කළේ යුද්ධයෙන් ප‍්‍රශ්න විසඳන්න නෙවෙයි, එල්.ටී.ටී.ඊ එකත් එක්ක කතා කරන්න. හැබැයි කතා කරන්න ගියේ සම්ප‍්‍රදායික ක‍්‍රමවලින් නෙවෙයි. මීට කලින් කතා කරපු හැමෝම දේශපාලන විසඳුමක් නැමති දෙයක් බන්දේසියක තබලා එය උතුරට ඉදිරිපත් කරන ගමන්, දකුණේ ජනතාව අතරේ ඒ ගැන සාකච්ඡුාවක් ඇති කරන්න ක‍්‍රියා කළා. නමුත් මහින්ද රාජපක්ෂගේ අවස්ථාවේදී දේශපාලන විසඳුමකුත් නැහැ, ජනතාව අතර සාකච්ඡුාවකුත් නැහැ. ජනතාවට අපි යුද්ධ කරනවා කියලා ප‍්‍රකාශ කරන ගමන් එල්.ටී.ටී.ඊ එකත් එක්ක වෙන විදියේ ක‍්‍රියා මාර්ගවලට යන්න උත්සහ කළා. ඒවා අසමත් වුණාට පස්සේ යුදමය ක‍්‍රියාමාර්ගයට ගමන් කළා. ඒ යුදමය ක‍්‍රියාමාර්ගයට යන්න අවශ්‍ය මතවාදී සහාය සමාජයෙන් එයාට දුන්නා. ඡන්ද එක් ලක්ෂ අසූ දාහකින් වගේ දිනපු, පාර්ලිමේන්තුවේ ආසන හතරෙන් පංගුවක් පමණ තිබුණ ජනාධිපති කෙනෙකු වෙත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් කිට්ටු වෙන තරමට මන්ත‍්‍රීවරු ආවා.

මහින්ද වෙනුවට රනිල්-මෛත‍්‍රී සුසංයෝගය ලාංකිකයා හුදෙක් මතුපිටින් පමණක් ඉල්ලා සිටින ව්‍යූහාත්මක වෙනසක්ද නැත්නම් ඔවුන් අතිශය උපයෝගීතාවෙන් යුතුව සිය අභිප‍්‍රායන් ඉටු කරගැනීමට තීරණාත්මක අවස්ථා දෙකකදී එකී නායකත්ව මොඩලයන් අවස්ථානුකූලව භාවිත කළාද?

එහෙමම සරල නැහැ. පටන් ගනිද්දිම උපයෝගීතාවාදීන් කියන්න අමාරුයි. ලාංකිකයා සමස්තයක් කිව්වට පක්ෂවලට බෙදිලයි ඉන්නේ. මහින්ද රාජපක්ෂ දින්නේ එක් ලක්ෂ අසූදාහකින්. එල්.ටී.ටී. ඊ එක ඡුන්දය වර්ජනය කළේ නැත්නම් මහින්ද රාජපක්ෂ නෙවෙයි දිනන්නේ. දිනුවට පස්සෙ කරන්න දෙයක් නැහැනේ. දැන් ඉතින් මොහු ජනාධිපති වෙනවා අවුරුදු 5කට. දැන් ඉතිං මෙයා එක්ක ගමන් කරනවා ඇර වෙන විකල්පයක් නැහැනේ. ඉකුත් මැතිවරණයේදී කරට කර සටනකින් පසු මෛත‍්‍රී ඡුන්ද ලක්ෂ 4කින් දිනුවා. හැබැයි දිනන්න රනිල්-මෛත‍්‍රී සුසංයෝගයක් ඇති වුණා. මෛත‍්‍රී වටේ පිරිසක් එකතු වුණා. රනිල් තමයි බලවේගය. අගෝස්තු 17 දක්වා කාලය රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ නායකත්ව හැකියාව පෙන්වපු කාලය. රනිල් කියන්නේ විපක්ෂයේදී සාර්ථක නායකයෙක්ට වඩා ආණ්ඩුවේදී සාර්ථක නායකයෙක්. එයා ආණ්ඩුවේදී පෙන්නුවා නායකත්වය කියන්නේ මොකක්ද කියලා. ජන සමාජයේ ධනපති පන්තියේ නායකත්වය පිළිගන්න බැරි කොටස්වලට දැන් සහනයක් තියෙනවා. ඒ ධනපති පන්තියේ නොවන නායකයෙකුත් ඒ තුළ ඉන්න නිසා. මේ රටේ එක්තරා පන්තියක් නියෝජනය කරනවා එක්සත් ජාතික පක්ෂය, තවත් පන්තියක් නියෝජනය කරනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. මැද පන්තිය තමයි කැරැුල්ල ගහන්නේ. ඔවුන් තමයි ජාතිකවාදීන් වෙන්නේ. ඒ පන්තිය ආණ්ඩුවට ඇතුළත් කරගැනීම නිසා ඇති වන කැරලිකාරීත්වය සමනය වීමක් වෙනවා. ලාංකිකයා උපයෝගිතාවාදී වනවට වඩා මං හිතන්නේ කලින් වතාවෙන් පාඩම් ඉගෙන ගත්තා කියලා. කලින් අපි හිතුවනම් ජාතිකවාදී ආණ්ඩුවක් ආවානම් හොඳයි කියලා, ජාතිකවාදී ආණ්ඩුවක් ආවම මෙන්න මේකයි වෙන්නේ කියන එක අපි හැමෝම අත්දැක්කා. සමාජ මතය වෙනස් වීමට එය බලපෑවා.

ජාතිකවාදය ආමන්ත‍්‍රණය කරන වගේම බොරු කීම, හොරකම් කිරීම ආචාරධර්ම සේ සලකන නායකයෙකුගෙන් දීර්ඝ කලක් සැනසුන ලාංකිකයා 2015 ජනවාරි 8දා වනවිට ඊට හාත්පසින් වෙනස් නායකත්ව යුගලක් බලයට ගෙන එනවා. එකම සමාජයක් තුළ ඉතා කෙටි කාලයක් තුළ මෙකී අන්ත දෙකක හර පද්ධතීන් ඇගයීමට ඇති විභවය ඔබ දකින්නේ කොහොමද?

මේ පොදු ජන නායකයාගේ රාජ්‍ය තන්ත‍්‍රය අපේ පොදු ජනයා හැසිරුණ විදියටම හැසිරුණ රාජ්‍ය තන්ත‍්‍රයක්. බොරු කියන එක දුෂ්චරිතයක් නෙවෙයි කියලා පිළිගන්න රාජ්‍ය තන්ත‍්‍රයක්. සාමාන්‍යයෙන් මිනිසුන් බොරු කියනවනේ. අපේ රටේ බොරු කියනවා කියන එක සාමාන්‍ය දෙයක්. පසුගිය රෙජීමයේ ප‍්‍රධාන ලක්ෂණය බොරු කීම. බොරු කියන බව කවුරුත් දන්නවා. කවුරුත් මෙයා අරයට බොරු කිව්වට මට බොරු කියන්නෙ නැති වෙයි කියලා හිතලා සතුටු වෙනවා. ඇමරිකාවට බොරුවක් කියනවා. ඉන්දියාවට බොරුවක් කියනවා. එල්ටීටීඊ එකට බොරුවක් කියනවා. ජනතාවත් හිතනවා ඔවුන්ව ඇන්දුවට කමක් නැහැ කියලා. ඒ නිසා ඔවුන් බොරුව අගයන පිරිසක් බවට පත් වෙනවා. බොරු කියන එක වීරකමක් වෙනවා. අන්තිමට ලාංකිකයාවත් බොරු කියලා අන්දලා. මෙය මහින්ද රාජපක්ෂගෙ පුද්ගලික ස්වභාවයක් නෙවෙයි. මේක මුළු ජන සමාජයේම තියෙන ලක්ෂණයක්. එය පිළිබිඹු කරන නායකයෙක් හමු වුණා. ඉතිං මහජනයා කියනවා අපි ආස කරන නායකයෙක් ඉන්නවා කියලා. අපේ සමාජය එළියට කියනවා බොරු කීමට, කාම මිථ්‍යාචාරයට, හොරකම් කිරීමට සහ අනිකුත් වැරදි කිරීමට විරුද්ධයි කියලා. හැබැයි ඒ ඔක්කොම කරනවා, කරන බව කවුරුත් දන්නවා. ඒත් දන්නෙ නැහැ වගේ ඉන්නවා. දැන් ඒ වගේ නායකයෙකුත් සමාජයට හමු වුණා. මේ නායකයා ඉදිරිපිට බොරු කීම ප‍්‍රශ්නයක් නෙවෙයි, මොකද නායකයත් බොරු කියනවා. මේ නායකයා ඉදිරිපිට හොරකම් කිරීම ප‍්‍රශ්නයක් නෙවෙයි, නායකයත් හොරකම් කරනවා. යම් දුරක් දක්වා හැමෝටම මේක හොඳයි. නමුත් ඕනම දෙයක් යම් කලක් යද්දි ඒකෙන් වැඩි වාසි ගන්න පිරිසක් බිහි වෙනවා. එයින් තව පිරිසකගේ වාසි අඩු වෙනවා. මොකද පද්ධතිය තුළ ලබාගන්න පුළුවන් සම්පත් ප‍්‍රමාණය සීමා වෙනවා. එක කට්ටියක් දිගටම හම්බ කරනවා. අනිත් අයට කලින් වගේ දිගටම හම්බ කරන්න බැරිව යනවා. එතකොටයි මේ රෙජීමය පැරදවීම පොදු අපේක්ෂාව බවට පත් වෙන්නේ. එයයි විභවය.

පැරණි අර්ථයෙන් ධනවාදී පාලකයෙක් වන රනිල් වික්‍රමසිංහ සමාජවාදී මහින්ද රාජපක්ෂට වඩා හාත්පසින්ම වෙනස් දැක්මක් සහ පැවැත්මක් ඇති නායකයෙක්. ඒ වගේම ඔහුගේ සම්භවය අනුව ඔහු පොදු ජනයාගේ ආශාව බවට පත්වූ නායකයෙකුත් නෙවෙයි. අනෙක් අතට මෛත‍්‍රීපාල සිරිසේන කියන්නේ පෙරකී සමාජවාදී මහින්ද රාජපක්ෂ කදවුර වසර ගණනක් නියෝජනය කළ අයෙක්. රනිල්-මෛත‍්‍රී එකට පෑහෙන, සම්මුතිගත වන අක්ෂය මොකක්ද?

‘මහින්ද රාජපක්ෂට ආදේශකයක් හොයලා වැඩක් නැහැ; මහින්ද රාජපක්ෂව පරද්දන්න ඕන සම්පූර්ණයෙන්ම ඔහුට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිපත්ති සහිත නායකයෙක් මගින්’ කියලා අපි දිගටම විශ්වාස කළා. ඒ නායකයා තමයි රනිල් වික‍්‍රමසිංහ. නමුත් එක්සත් ජාතික පක්ෂයේම හිටපු විශාල පිරිසක් කිව්වා මහින්ද රාජපක්ෂ එක්ක රනිල් වික‍්‍රමසිංහට හැරෙන්නවත් බැහැ කියලා. විශේෂයෙන්ම පොදු ජනයාගේ ආශාව පරිදි ළමයි වඩාගන්නත් බැහැ, බොරු කියන්නත් බැහැ. ඉතිං මොහුුව මාර්කට් කරන්න බැහැ කියලා මාර්කට් කරන්න පුළුවන් නායකයෙක් සෙව්වා. ශිරාල් ලක්තිලක වගේ අය තමයි මේ ප‍්‍රවාදය ගෙනාවේ. ඊට පස්සෙ පක්ෂය තුළින්ම සජිත් පේ‍්‍රමදාස, කරූ ජයසූරිය වගේ ආදේශක ගේන්න හැදුවා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. ඒ මොකද ඒ ආදේශක වලින් මහින්ද රාජපක්ෂ වගේ කෙනෙකුට අභියෝග කරන්න බැහැ. නමුත් වෙනස අවශ්‍ය වුණා. මේ වෙනස කරන්න මහ ජනයාගේ කැමැත්ත ගන්න පුළුවන්ද කියන සැකය හැමෝටම තිබුණා. ඒ නිසා එක්තරා විදියකට වෙනත් නායකයෙක් අවශ්‍ය වුණා. මෙතනදි තමයි අවශ්‍ය ප‍්‍රතිසංස්කරණයන් කරන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි අතරේ සම්මුතියකින් රට පාලනය කිරීම සදහා වන නායකත්ව ව්‍යුහයක් හැදුණේ. එවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු දුෂණ වංචා සම්බන්ධයෙන් නම අඩුවෙන්ම කියවුණ, අවුරුදු 20ක් අමාරුවෙන් හිටපු, යම් කිසි ආකාරයකින් නායකයෙක් වන මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියට ආවා. ඒ සුසංයෝගයේ දෙන්නම මහින්ද රාජපක්ෂ වගේ නෙවෙයි. දෙන්නම නියෝජනය කරන්නේ බොරු නොකියන, අල්පේච්ඡ, ජනප‍්‍රිය මතය ගැන එතරම් නොසලකන හර පද්ධතියක්.

නමුත් ඔබ කලින් කිව්වා ධනපති පන්ති නායකත්වයක් පිළිගන්න අපේ ජන සමාජය ලැහැස්ති නැහැ කියලා.

නැහැ, මං එහෙම නෙවෙයි අදහස් කළේ. අපේ සමාජයේ ධනපති පන්තියේ නායකත්වයට අපිට ළං වෙන්න බැහැ, එයාලා අපිව ගණන් ගන්නෙ නැහැ, අපි දුරස්ථයි, ඒ නිසා අපිට අපි වගේම නායකයෙක් අවශ්‍යයි කියලා සිහිනයක් තිබුණා. නමුත් මං කියන්නේ ධනපති පන්තියේ නායකයෙක් අපිට අවශ්‍ය වෙනවා. අර කියපු සමාජවාදී නායකත්වය යටතේ තිබුණ බොරුව, වංචාව, දුෂණය, මිනීමැරුම් මහා පරිමාණයෙන් අත්දැක්කට පසුව අපි පැතූ නායකයා මේ වගේ නම් මේ වගේ නායකයෙක් ආයේ එපා කියන තත්ත්වයට සමාජය ක්‍‍්‍රමයෙන් තල්ලූ වුණා.

සමාජවාදය ගැන ලාංකික කියවීම මොන වගේද?

සමාජවාදය අපේ මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ සරලවම මෙහෙමයි. ධනපති පන්තිය සහ අධිරාජ්‍යවාදය විසින් අපිව සූරා කනවා, අපි සටන් කරලා ධනපති පන්තිය අතේ තියෙන බලය අරගෙන මේ සම්පත් බෙදා හදා ගන්න ඕනය කියන අදහස කුඩා කාලයේ ඉඳලම ලේ ඇට මිදුලූවලට කාවැදිලයි තියෙන්නේ. ඕන සභාවක සමාජවාදය කියන තර්කය දැම්මට පසුව ඕන කෙරුමෙක් නිශ්ශබ්ද වෙනවා. යම් කිසි ආණ්ඩුවක් අපි සමාජවාදය ගේනවා කියද්දී ඇතැමෙක් කැමැතියි, ඇතැමෙක් බයයි. සමාජවාදය සහ දේශපේ‍්‍රමය එකට කලවම් කරලා ගෙනාවට පසුව ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට ජන පදනම සුරක්ෂිත වෙන විදියේ වැඩ පිළිවෙළක් දාන්න වාමාංශික පක්ෂ සහාය දෙනවා. පොහොර සහනාධාරය දෙනවා, කම්කරුවන්ට පඩි වැඩි කරනවා. එහෙම වුණාම පහළ සමාජ තීරුවලට එක පැත්තකින් සුළු සහන ටිකකුත් ලැබෙනවා. තමන් පැතූ සමාජවාදයත් ලැබිලා තියෙනවා. තමන් ද්වේශ කරපු ධනවාදය නැති කරලත් තියෙනවා. තමන් වෛර කරපු දෙමළ බෙදුම්වාදී නැතිනම් එල්.ටී.ටී.ඊ ව්‍යාපාරයට පහර දීලා තියෙනවා. සමාජයේ යටි තලයේ මෙවන් පාලනයක් හැදෙනකොට වෙනත් තලයක අධිපතිවාදය, නිලධාරිවාදය, පුරුෂාධිපත්‍යය, ආගමික මූලධර්මවාදය ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. එයින් සමාජයේ විසම්මුතිකයන් ඉවත් වෙනවා. රැුඩිකල්වාදීන් ඉවත් වෙනවා. කලාව තුළ සිටින විකල්පවාදීන් ඉවත් වෙනවා. පසුගිය කාලයේ ලියවුණු පොත් බලන්න, චිත‍්‍රපටි බලන්න, පැහැදිලි සංස්කෘතික මර්දනයක් තිබුණා. ස්ත‍්‍රීන් දේශපාලනයෙන් අතුගෑවිලා යනවා. කාන්තා හා ළමා අයිතිවාසිකම් විහිළුවක් බවට පත් වෙනවා. එහෙම නෙවෙයිද පසුගිය වසර ගාණක් අපි හිටියේ කියලා මතක් කරලා බලන්න. ඒ තමයි සමාජවාදය.

ඒ අනුව සමාජවාදයයි ධනවාදයයි පැරණි අර්ථයෙන් විග‍්‍රහ කිරීමයි නව අර්ථයෙන් විග‍්‍රහ කිරීමයි අතර වෙනසක් තියෙනවා නේද?

ඔව් වෙනසක් තියෙනවා. සමාජවාදය කියන්නේ යම් කිසි අයිඩියල් එකක්. පරමාදර්ශයක්. ඇත්ත වශයෙන්ම සමාජවාදය කියන්නෙ අසමත් වුණ උදාහරණයක්. එයින් සාමාන්‍ය මිනිසුන්ට ලැබුණු වාසිත් තියෙනවා. මහින්ද රාජපක්ෂ ගත්තම මම කියනවා ඔහු ප‍්‍රගුණ කළේ පෙරළි කොමා අතර ”සමාජවාදය” කියලා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනය යටතට ගත්තා. එහෙම ගත්තම රාජ්‍යයෙන් පිටත තියෙන ව්‍යුහය වන වෙළඳපොළ පැවැත්ම නැති වෙනවා. විශේෂයෙන් රාජ්‍ය මගින් ණය දීම ආදිය පාලනය කළාට පසුව පුද්ගලික අංශයට ව්‍යාපාර කරන්න බැහැ. කරන්න වෙන්නේ රජයේම ව්‍යාපාර. රජයත් එක්ක ගැටගැහෙන්න ඕන. ඊට අමතරව තියෙන්නෙ රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය. සිවිල් සමාජය සම්පූර්ණයෙන්ම සීමා කරලා එයට රාජ්‍ය පිවිසුණා. රාජ්‍යයට පිටින් වෙන කිසිම වැඩක් කරන්න බැරි තත්ත්වයට පත් වුණා. සියලූ මාධ්‍ය, බැංකු රජයේ වුණා. රාජ්‍ය එහෙම වුණාම ඒ සමාජවාදය තමයි. පහළ පන්තිවලට යම් යම් සහන දුන්නා. පොහොර, බීජ සහනාධාර දුන්නා. පාරවල් හැදුවා. බස් දැම්මා, ලයිට් දුන්නා. රජයේ සේවයට තොග පිටින් බඳවගත්තා. පැරණි අර්ථයෙන් ඒක තමයි අපි සමාජවාදය කියලා ප‍්‍රගුණ කරන්නේ. සමාජවාදයෙන් වෙන්නේ ආර්ථිකය පාලනය රජය විසින් පවරගෙන රජයට ඕන විදියට සැලසුම්සහගතව පාලනය කිරීම. ඒ කරනකොට දේශපාලන බලයක් උත්පාදනය වෙනවා. ඒ දේශපාලන බලය මගින් රට පාලනය වෙනවා. ඡුන්දවලට ගිහින් දිනනවා. සුපිරි නිළධාරි පැළැන්තියක් හිටියා. ඒ නිළධාරීනුත් දේශපාලනයට සම්බන්ධයි.

ඒ කියන්නේ ජනතාව රාජ්‍යයෙන් පරිබාහිරව කි‍්‍රයාත්මක වූ මර්දනකාරී යැයි කියන වෙළඳපොළ හස්තයෙන් මුදවගෙන රාජ්‍ය මර්දනය තුළ යළි ගොනු කරගැනීමමයි…
ඔව්, දේශපාලනයේදීී අපි හිතන්නෙ වෙළඳපොළ තමයි දුෂ්ට බලවේගය, ඒ නිසා ඉන් දුප්පත් දුගී ජනතාව මුදවා ගැනීම අවශ්‍යයි කියලා. එක්තරා විදියකින් රාජ්‍ය නොවන සංවිධානවලිනුත් කළේ ඒක තමයි. රාජ්‍ය නොවන සංවිධානත් කල්පනා කළා වෙනත් විදියේ ආණ්ඩුවක් ආවොත් හොඳයි කියලා. ඒ තමයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. ඔවුන් ඇවිත් පෙරකී ජනතාව වෙළඳපොළින් මුදවගත්තා. මුදවගත්තා විතරක් නෙවෙයි නීතියේ ආධිපත්‍යට, සිවිල් සමාජයට හෝ වෙළඳපොළට වග නොකියන ආණ්ඩුවක් බිහිකළා. ආණ්ඩු විසින් දරුණු තීරණ ගන්නකොට වෙළඳපොළ විසින් ආණ්ඩුවට බල කරනවා එම තීරණය ගැනීමට පෙර දෙවරක් හිතන්න කියලා. වෙළදපොළට වගකීම තුළින් ආණ්ඩුවකට යම් කිසි මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන් හා නිර්ණායක ප‍්‍රමාණයක් රකින ලෙසට ගෝලීය වෙළදපොළ විසින් බල කෙරෙනවා. අපිට GSP ප්ලස් අහිමි වීම හොදම උදාහරණයක්. සමානත්වයේ අයිතිවාසිකම නැත්නම් රජය සතු සමාගමකුයි පුද්ගලික සමාගමකුයි තරග කරන්නේ කොහොමද? රජයට සම්බන්ධ කෙනෙකුයි නැති කෙනෙකුයි තරග කරන්නේ කොහොමද? විශාල බල පරතරයක්.

මර්දනය කළේ කාවද, කොහොමද කියන එක බැලූවොතින් මම හිතන්නේ නැහැ මහින්ද රාජපක්ෂගේ රජය විශාල වශයෙන් මිනිස්සු මර්දනය කළා කියලා. යුද්ධයේ නාමයෙන් මිනිස්සු කැමති වුණා ස්වයං මර්දනයක් යටතේ ජීවත් වෙන්න. සුදු වෑන් එයි, රහසේ ඇහුම්කන් දෙයි, රැස්වීම්වල ඇවිත්  වාඩි වෙලා ඉඳියි කියලා බය තිබුණා. ඒ වගේ සිදුවීම් කීපයකුත් වුණා. විශේෂයෙන්ම සිංහල ජාතිය ආරක්ෂා කරගැනීමට මේ වගේ මර්දනකාරී දේවල් අවශ්‍යයි කියන මතය ජන සමාජය තුළ ඇති කළා. ඒ වගේම රාජ්‍ය ආරක්ෂාව කියන මිථ්‍යාව තුළ මිනිසුන් තමන්ගේ නිදහස සීමා කරගන්න කැමති වුණා. හැබැයි ඒ කාලයේ ජනයා සංතෘප්ත කරලා තිබුණා. විශේෂයෙන් ආර්ථික වශයෙන් හැමෝටම දේවල් දීලා තිබුණා. ඒක තමයි යුද්ධය නැවැත්තුවට සංවර්ධනය නැවැත්තුවේ නැහැ කියලා කියන්නේ.

කවදත් ලංකාවේ දේශපාලන බල පෙරළියන් පිටුපස සිවිල් සමාජයේ සලකුණක් තිබෙනවාමයි. සිවිල් සමාජ ක‍්‍රියාධරයෙක් විදිහට ජනවාරි 8 සිදු වූ රාජපක්ෂ රෙජීමය ජනතාව අතරින් ප‍්‍රතික්ෂේප කිරීමට මතවාදීමය දායකත්වයක් ලබා දුන් අය අතර ඔබ ප‍්‍රමුඛයෙක්.

ප‍්‍රධාන ධාරාවේ පක්ෂ මහින්ද රාජපක්ෂ එක්ක සම්බන්ධ වෙලයි හිටියේ. ටික දෙනාටයි මහින්ද රාජපක්ෂට විරුද්ධව කෙළින් හිටගන්න පුළුවන් වුණේ. ඒ අය තමයි මේක ආරම්භ කළේ. අපිත් ඒ අතර හිටියා. 2009 දි අපි නිදහසේ වේදිකාව ආරම්භ කරල එක්තරා විකල්ප මතයක් සමාජය තුළ තහවුරු කළා. සාම්ප‍්‍රදායික සිවිල් සමාජය ප‍්‍රතික්ෂේප කළ රනිල් සම`ග එක වේදිකාවට අපි නැග්ගා. වෙනත් හර පද්ධතියක් වෙනුවෙන් සුළු ජාතික පක්ෂ, වාමාංශික පක්ෂ, සිවිල් සංවිධාන සහ යූ.ඇන්.පී කාරයෝ එකට එකතු වුණා. මේ අය එක්ක සමාජය තුළ ජනප‍්‍රිය නොවන වෙනත් මතයක් හැදුවා. අර ජනප‍්‍රිය බහුතර මතය ගැන කළකිරෙන පිරිස් අපි එක්ක තව එකතු වුණා. අපි අවශ්‍ය වෙනස කළා.

රනිල්ට බැහැ කියපු සමාජයේ පැවති එක් දුර්මතයක් පරාජය කිරීමට ඔබලාට හැකි වුණා. රනිල් සහ මෛත‍්‍රී සුසංයෝගය යම් ආකාරයට සිවිල් සමාජය විසින් ගෙන ආ තර්කයන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා කියා සිතනවාද?

එක් අවදියකදි කිව්වා රනිල්ට මේක කරන්න බැහැ, වෙනත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමු කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් උපක‍්‍රමික න්‍යායක් තුළ ආවා. ඒ පැමිණිලා ඡුන්දය ජයග‍්‍රහණය කළා. සුළු ජාතික පක්ෂ, සිවිල් සමාජය හා නිදහසේ වේදිකාව වෙන නමකින් එක් වීමෙන්. අලූත් මොඩලයේ නායකයෝ සහ වෙනසට හවුල් වූ ව්‍යාපාරයත් අලූත් ව්‍යූහයකට ගමන් කිරීමට දැනටමත් අනුකූලතාවක් දක්වමින් සිටිනවා. උදාහරණයක් විදියට සිවිල් සමාජය ශක්තිමත් කරන්න, ස්වාධීන කොමිසම් පිහිටුවන්න, අධිකරණය හා පොලිසිය ස්වාධීන කරන්න, කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න, දේශපාලනයේ ස්ත‍්‍රී නියෝජනය වැඩි කරන්න ආදී ලෙස උනන්දුවක් ඇති වී තිබෙනවා. මර්දනකාරී පාලනයක් එක්ක මේ වගේ සාකච්ඡුාවකටවත් එන්න බැහැ. ඒ නිසා අපට අලූත් හර පද්ධතීන් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපිට කැප කිරීම් කරන්න වෙයි. සිවිල් සමාජයට ලොකු වගකීමක් තියෙනවා මේ නව ක‍්‍රමය හරි මග යවමින් ආරක්ෂා කරගන්න.

සමාජවාදී රාමුව තුළ ධනවාදී ලක්ෂණත්, ධනවාදී රාමුව තුළ සමාජවාදී ලක්ෂණත් මුසු වුණ, අවස්ථාවෝචිතව එකී ලක්ෂණයන් ප‍්‍රමුඛ කරගන්නා සම්මුතිවාදී පාලනයක් නැත්නම් හයිබි‍්‍රඞ් ක‍්‍රමයක් තමයි ලංකාවේ මේ ඇති වෙලා තියෙන්නේ. ඒ හරහා ලංකාවට ගැළපෙන ජාත්‍යන්තර සහ දේශීය ප‍්‍රමිතීන් තුළ රට සංවර්ධනය කිරීමයි ඉදිරි අරමුණ. ඒ තුළින් ඔබ කිවූ නව හර පද්ධතියකට රටේ ජනතාව සමාජීයව, ආර්ථිකව, සංස්කෘතිකව, දේශපාලනිකව සහ ආගමිකව පුහුණු කිරීම, හුරු කිරීමේ වෑයමක් මේ. මේ වෙනස ගේන්න ඔබ ඇතුළු නිදහසේ වේදිකාව සහ අනෙකුත් විකල්ප බලවේග රාශියක් කටයුතු කළා. අලූත් හර පද්ධතියක් කරා යාමේදී බලපෑම් කණ්ඩායම් ලෙස ඔබගේ පාර්ශ්වයේ අනාගත වගකීම මොකක්ද?

2001 දී පත් වූ රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව නියෝ ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති මතයි ගමන් කරන්න උත්සහ ගත්තේ. ඒ කියන්නේ රජයේ කාර්ය භාරය සීමා කරලා සම්පූර්ණයෙන්ම වෙළඳපොළ මත පදනම්ව යන වැඩ පිළිවෙළක්. එය අසමත් වුණා. සමාජවාදී කොටස් ඈත් වුණා. ධනපති පන්තිය ඔහු සමග සිටියා. ඒත් 2005දී මහින්ද බලයට පත්වීමත් සමගම උපයෝගිතාවාදී විදියට ඔවුන් මහින්ද රාජපක්ෂ සමග අත්වැල් බැඳගත්තා. එක්සත් ජාතික පක්ෂය දුර්වල වුණේ ඔවුන්ගේ සම්ප‍්‍රදායික සමාජ බලවේග ඔවුන්ව හැර ගොස් රාජපක්ෂ සමග අත්වැල් බැඳ ගැනීම නිසා. රාජපක්ෂ රෙජීමය කියන්නෙත් අමුතු, හයිබි‍්‍රඞ් රෙජීමයක්. සමාජවාදී වෙස්මුහුණ දාගෙන ඉහළ ධනපතියන්ට හා තමන්ගේ ගජමිතුරු ධනපතියන්ට යහපත් කාලයක් ලබා දුන් පාලනයක්. එය බිඳ දැමීමේ උවමනාවෙන් බිහි වූ නිදහසේ වේදකාවේ අපිටත් මුලින් ප‍්‍රශ්නයක් මතු වුණා එක්සත් ජාතික පක්ෂය සමග වැඩ කරන්නේ කුමන පදනමකින්ද කියලා. එතනදී අපි වැඩ කළ පදනම තමයි සමාජ වෙළදපොළ මත පදනම් වුණු ආර්ථික ක‍්‍රමය. වෙළෙඳපොළ මගින් පාලනය වීමට ඉඩ දිය යුතු නැති සමහර කලාප තියෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, මහාමාර්ග, ප‍්‍රවාහනය වැනි දේවල්වලට රජය මැදිහත් වෙන, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙන, මානව හිමිකම් රකින, ස්වාධීන කොමිසන් සභා ගෙනඑන, සමාජ වෙළඳපොළ ආර්ථික ක‍්‍රමය අනුගමනය කරන අලූත් පාලනයක් අවශ්‍යයි. මේ නිසයි අපි අද එක්සත් ජාතික පක්ෂය වටා එකතු වෙලා ඉන්නේ. මෙහි සමාජවාදී අංගත් තියෙනවා, ධනවාදී අංගත් තියෙනවා. මේක ලොකු පිම්මක්. ඒ පිම්ම ගේන්න අපිත් ලොකු කාර්යභාරයක් කළා.

අපේ කාර්යභාරය බැලූවොත් පළමුව අපි රජය සමග එක් වෙලා රජයේ තියෙන ආයතන වඩා ස්වාධීන, වාස්තවික, අපක්ෂපාතී, අගතීන්ගෙන් තොර මහජනයාගේ අවශ්‍යතාවන්ට අමතන ආයතන බවට පත් කිරීම සඳහා ක‍්‍රියා කිරීමට අවශ්‍යයි. දෙවනුව ඊට පිටින් ඉඳගෙන යම් යම් ආකාරයේ උද්ඝෝෂණ ආදිය කරමින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව ක‍්‍රියා කරන්න කියලා රජයට බල කරන්න ඕන. තෙවනුව අපි තවදුරටත් රජයේ නොවන නමුත් ජනතාවට පැමිණ පොදු වැඩ කළ හැකි අලූත් මාදිලියේ පුරවැසි ව්‍යූහයන් හදන්න ඕන. රයිට්ස් නව් කියන්නෙ එක්තරා විදිහකට එවැනි නව මොඩලයක්. පොදු වැඩ කිරීමේ අලූත් මාදිලි ගොඩ නැගීම තමයි අපේ කාර්ය භාරය.

සාකච්ඡා කළේ – මනෝරි කලුගම්පිටිය 

උපුටා ගැනිම: සමබිම 2015 සැප්තැම්බර් කලාපය

 

Recent Posts

Leave a Comment