මරා ගත්තා ඇති දැන් සම්බන්ධ වෙමු

Oct 8th, 2015 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, කාලීන, දේශපාලන, ප්‍රතිසන්ධානය, ප‍්‍රබෝධ රත්නායක

අලූත් ආණ්ඩුව ගැන තෙරුම් ගැනීම් දෙකක් ඇත. එකක් මෙය අල්ලස, දුෂණය, හොරකම නැති කිරීමට බිහිවූ ආණ්ඩුවක් ලෙසය. අනෙක උතුරේ ප‍්‍රශ්නයට සංහිදියාව සහ වගවීම මගින් විසඳුමක් ක‍්‍රියාත්මක කරවන ආණඩුවක් ලෙසය. මැතිවරණයේදී සටන් පාඨයක් ලෙස බොහෝ ජනප‍්‍රිය වූයේ පළමු සටන් පාඨය වන හොරකම නැති කිරීම වන විට දෙවන සටන් පාඨය කිසිම ලෙසකින්වත් ජනප‍්‍රිය වූයේ නැත.

දැන් පරණ හොරු නැවතත් ජාතික ආණ්ඩුවේ සිටින නිසා හොරු ඇල්ලීම දෙස පමණක් බලා සිටි බොහෝ දෙනෙකු කලබල වී ඇත. එහෙත් මේ ගැන අපට ඇත්තේ වෙනත් අදහසකි. පසුගිය කාලයේ හොරු ඇල්ලීමේ සටන් පාඨය ජනප‍්‍රිය වූයේ පැවැති ආණ්ඩුව කාලයේ රාජ්‍ය බලය යොදා ජාතිවාදය පතුරවා තිබූ මොහොතක වාර්ගික සංහිදියාව වෙනුවෙන් ජනතාව එක් කිරීම මිරිගුවක් වූ නිසාය. එහෙත් දේශපාලනය ගැන හදාරන අය දන්නා පරිදි සහ ‘සමබිම’ අප දිගින් දිගටම කියූ ලෙස ලංකාව ජාත්‍යන්තර සන්දර්භයක තබා තෙරුම් ගන්නා විට එන අවබෝධයට අනුව වාර්ගික සංහිදියාව ඇති නොකර ලංකාව වැටී සිටින වළෙන් ගොඩ ගත නොහැක. ආරම්භයේ සිට අප පළ කළ සමබිම පුවත්පත් සියල්ල ඔබට නැවත පෙරළා බැලිය හැකි නම් අවබෝධ වනු ඇත්තේ අප ලංකාවේ ප‍්‍රධාන ගැටලූව ලෙස පෙන්වා දී ඇත්තේ ජාතික ප‍්‍රශ්නය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති වීම බවයි.

එම නිසා මතුපිටින් පෙනෙන පරිදි පසුගිය ආණ්ඩුවේ දුෂිතයන් මේ ආණ්ඩුවෙත් සිටීමට වඩා අප අවදානය යොමු කරන්නේ ජාතික ප‍්‍රශ්නය සහ සංහිදියාව වෙනුවෙන් ආණ්ඩුවේ තිබෙන දේශපාලන උවමනාව පිළිබදවය. දුෂිතයන් සහ හොරුන් පුද්ගල ප‍්‍රශ්නයක් ලෙස දකිනවාට වඩා පවතින ක‍්‍රමයේ ප‍්‍රශ්නයක් ලෙස දකින අප, යෝජනා කරන්නේ නීති රීති සහ ආයතන නැවත බලවත් කිරීම මගින් බලය අයුතු ලෙස භාවිතයට ඇති ඉඩ අවහිර කරන ලෙසය.

පසුගිය ආණ්ඩුවේ සිටි විවිධ චෝදනා වලට ලක්වූවන් පවා සම්බන්ධ කරගෙන නව ජාතික ආණ්ඩුව පිහිටුවා ගත් පසු, විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සංධානයේ සම්බන්ධන් මහතාට ලබා දීමේ සිට ජිනීවා සමුළුව දක්වා ආණ්ඩුව ගත් ස්ථාවරයන් අනුව අපට පෙනී යන්නේ ආණ්ඩුව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බවයි. දෙමළ ජාතිකයන්ට සමාන ඉඩ ප‍්‍රස්තාවන් විවර කෙරෙන බව ප‍්‍රායෝගිකව පෙන්වීම මගින් ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ යන අතර, එවැනි තීරණ ගනිද්දී මෙවැනි ආකාරයක ජාතික ආණ්ඩුවක් නොතිබුණේ නම්, මේ පාර්ලිමේන්තුවේ සිටින පරණ හොරු සුපුරුදු ජාතිවාදයට මුවාවී, ආණ්ඩුව අස්ථාවර කරනු ඇත. මෙම ජාතිවාදී හොරු ටික නැතිනම් හොර ජාතිවාදීන් ටික පාර්ලිමේන්තුවේ සිටිය යුතු යැයි තීරණය කළේ මේ රටේම ජනතාව මිස රනිල් වික‍්‍රමසිංහ හෝ මෛත‍්‍රීපාල සිරිසේන නොවේ. මේ දෙදෙනාගේ අභියෝගය මේ පිරිසත් සම`ග ආණ්ඩුවක් ගෙන යෑමයි. සංහි`දියාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකදී මේ හොරු ජාතිවාදීන් බවට පත් වී ආණඩු පෙරළීමට අවශ්‍ය පරිසරය පහවී ගොස් නැති තත්වයකදී සහ ඉතිහාසයේ එවැනි අත්දැකීම් අවශ්‍ය තරම් තිබියදී මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ දෙන ලද තත්ත්වය හොඳින් කළමනාකරණය කරගත හැකි දේශපාලන නායකත්වයකි. ඡුන්දයට පෙරම රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් පැවසුවේ තමන් පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් බවයි. ඔවුන් එසේ කීවේ ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පසුව මුහුණ දීමට සිදුවන ජාතික සහ ජාත්‍යන්තර අභියෝගයේ තරම ඔවුන් දැන සිටි නිසා වීමට ඉඩ ඇත. මේ වන විට ජිනීවා අභියෝගයට ආණ්ඩුව සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වී තිබෙන්නේ මෙසේ ආණ්ඩුව ස්ථාවර කර ගත් නිසාය. එකවර ආණ්ඩුව අභියොග දෙකක් ජයගත් බව පෙනෙන්ට ඇත. මේ ආණඩුව සාර්ථක පියවරක් ගනිද්දී වඩාත්ම කලබල වන පුද්ගලයා දයාන් ජයතිලක වන නිසා අවශ්‍ය නම් ඔබට අප කියන දේ තේරුම් ගැනීමට සහ ආණඩුවේ සාර්ථක සහ අසාර්ථක පියවරයන් මැන ගැනීමට මීටරයක් ලෙස දයාන් දෙස බැලිය හැක. ඔහු ගොඩක් කලබල වී ඇත්නම් ආණ්ඩුව සාර්ථක පියවරක් තබා ඇත.

විපක්ෂනායක කම ආර්.සම්පන්දන් මහතාට හිමිවීම දකුණේ සිංහල ජාතිවාදීන්ට අනුව තමන්ගේ මහා පරාජයක් වන අතර එය උතුරේ දෙමළ ජාතිවාදීන්ට අනුව ඔවුන්ව පාවාදීමකි. අපට අනුව මෙය ඉතා හොද ආරම්භයකි. නදීෂා චන්ද්‍රසේන සිය මුණු පොතේ තැබූ සටහනක් අපට නැවත උපුටා ගත හැක මරා ගත්තා ඇති දැන් සම්බන්ධ වෙමු.

ප‍්‍රබෝධ රත්නායක

උපුටා ගැනිම සමබිම පුවත්පත සැප්තැම්බර් කලාපය

Recent Posts

Leave a Comment