ලෝක බලවතුන්ගේ දාම් ඉත්තෙක් වූ සාක් සංවිධානය

Nov 12th, 2015 | By | Category: OTHER NEWS, Today Lead News

ලෝකය නම් වූ රඟමඩල ආරම්භයේ සිට මෙතෙක් වේදිකා ගත වන දීර්ඝතම අන්දරය වන්නේ ලෝක දේශපාලන බල කී‍්‍රඩාවයි. මෙම බල ක‍්‍රීඩාවේ වර්ණවත් වූ වෙස් ගැන්වීම්, රංගනයන් පේ‍්‍රක්‍ෂයා නව නළු රසයෙන් කුල්මත් කරවයි. මෙය භීතිය මුසු වූ සංග‍්‍රාමයන්ගෙන් මෙන්ම කුල්මත් වන්නා වූ ආදර අන්දරයන්ගෙන් ද අනූන රංගයකි.

සමාජවාදී සහ ධනවාදී කඳවුරු වටා බැදුණු සීතල යුද්ධය අවසන් වීමත් සමඟම ලෝක දේශපාලනය නව මානයක් කරා යොමු විය . ආර්ථික, දේශපාලන සහ භූගෝලීය සාධක පදනම් කොටගත් ‘කලාපීය සංගම්’ නව කඳවුරු විශේෂයක් ලෙස ඉස්මතු වීම පටන් ගත්තේය.

දකුණු ආසියානු රටවල ඒකාබද්ධතාවයෙන් ගොඩනැගී තිබෙන සාක් සංවිධානය (SAARC) එලෙස ඉස්මතු වූ එක් කඳවුරකි. භූගෝලීය පිහිටීම පදනම් කරගෙන නිර්මාණය වූවක් වුවත් කලාපීය ආර්ථික සහ දේශපාලන සහයෝගීතාවය තුළින් කලාපීය පොදු ගැටලුු සඳහා සාර්ථකව මුහුණ දීම මෙම සාමූහිකයේ මූලික පරමාර්ථයයි. නමුත් වර්තමානය වන විට මෙම සංවිධානය හුදෙක්ම සාකච්ඡුාවට පමණක් සීමා වූ ස්ථානයක් බවට පත්වී හමාරය. නිරීක්‍ෂකයන් ගේ නිර්වචනයන්ට අනුව වර්තමාන සාක් සංවිධානය ” දුප්පතුන්ගේ සංගමයකි ”.

මෙම අසාර්ථකත්වයේ හේතූන් ලෙස බොහෝ දේශපාලන සහ ආර්ථික විචාරකයන් දක්වන්නේ දුර්වල දේශපාලන නායකත්වය , කලාපීය සහයෝගීතාවයේ ඌනතාවය සහ සම්පත් හිඟවීමය. සිය බලය තහවුරු කර ගැනීම සඳහා දඟලන ඉන්දියාවේ කි‍්‍රයාකලාපයත් ඇමරිකානු එක්සත් ජනපදයේ සහ චීනයේ ආක‍්‍රමණශීලී විදේශ ප‍්‍රතිපත්තියත් මෙම අසාර්ථකත්වය පසුපස තිබෙන ප‍්‍රබල දේශපාලන යථාර්ථයකි. මෙම කරුණ බොහෝ විචාරකයින්ට මග හැරී තිබෙන්නකි.

21 වන සියවස වන විට ලෝක බලතුලනයේ ඇති වූ විශාල වෙනස් වීමත් සමඟ චීනය, ජපානය, ඉන්දියාව වැනි යෝධ ආසියාතිකයන්ගේ පිබිඳීමක් ඇතිවිය. ඔවුන් පසු කාලීනව ලෝක බලවතා ලෙස හැඳින්වූ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව නැගී සිටින බලවේග බවට පත් විය. මේ සමඟ බලය යන්නට සම්මතව පැවතියා වූ නිර්වචනයන්හි විශාල වෙනසක් සිදුවිය.

බොහෝ දේශපාලන විචාරකයින් බල තුලනයේ මෙම වෙනස් වීම දක්වන්නේ 20 වන සියවස ඇමරිකානු එක්සත් ජනපදයේ දශකය ලෙසත් 21 වන සියවස චීනය, ඉන්දියාව ඇතුළු ආසියාවේ දශකය ලෙසත්ය.
චීනය යුධමය ශක්තිය වර්ධනය කර ගනිමින් ස්වකීය ආර්ථික හැකියාවන් ඔස්සේ සිය අධිපත්‍යය තහවුරු කර ගනිමින් සිටින අතර ඇමරිකා එක්සත් ජනපදය දැඩි විදේශ ප‍්‍රතිපත්තීන් ඔස්සේ ලොව හසුරුවමින් සිටී. චීනයේ යට කී ‘මිත‍්‍රශීලී උපක‍්‍රමයන්හි’ ගොදුරු බවට දකුණු ආසියාව , අපි‍්‍රකානු කලාපය සහ යුරෝපයද මේ වන විට පත්වී අවසන්ය.

ලොව තතු එසේ වන විට ඉන්දියාව සිය අසල්වාසීන් හා බල අරගලයක නියැලෙමින් සිය බලය තහවුරු කර ගැනීමට උත්සාහ දරමින් සිටී. මාලදිවයින සහ භූතානය හැර අන් සියළු සාක් සාමාජිකයන් ඉන්දියාව හා කුමනාකාර හෝ බල අරගලයකට පැටලී ඇත. නේපාලයේ පවතින භූගෝලීය සිරවීමෙන් ප‍්‍රයෝජන ගන්නා ඉන්දියාව නේපාල රාජ්‍යයේ ස්වාධීනත්වයට දැඩි බලපෑම් එල්ල කරයි. එසේම ශ්‍රී ලංකාව සමඟ ද කච්චතිව් දුපත අවට ගොඩනැගුනා වූ මසුන් මරන්නන්ගේ ගැටලුවේදී ඔවුන් භාවිතා කරනු ලබන්නේ මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක් නොවේ. පකිස්ථානය මෙන්්ම ඇෆගනිස්ථානය සමඟ ද මේ වන විට සන්නද්ධ අරගලයකට ඉන්දියාව වක‍්‍රාකාරයෙන් පැටලී ඇත. වර්තමානය වන විට මෙම අරගල හුදෙක් දේශසීමා ගැටුම් ස්වාභාවයෙන් මිදී සංස්කෘතික, ආර්ථික මෙන්ම කලාපීය අරගල බවට පොලා පැන තිබේ.

මෙම දුර්වල කලාපීය සහයෝගීතාවය චීනය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට දකුණු ආසියාව තුළ සිය බලය තහවුරු කර ගැනීම සඳහා වූ මහගු අවස්ථාවක් සපයයි. එහිදී චීනය සිය ආසියාතික තරගකරු වන ඉන්දියාවට එරෙහිව අනෙකුත් සාමාජිකයන් උපයෝගී කර ගනු ලැබීය. ශ්‍රී ලංකාව ,පකිස්ථානය මෙන්ම නේපාලයද චීනයේ විසින් මෙලෙස තෝරාගනු ලැබූ රාජ්‍යයන්ය. මූල්‍යයමය ආධාර, ණය සහ ආයෝජන ආදී ඉන්දියාවට සිය සහෝදර සාමාජිකයන්ට ලබාදිය නොහැකි දායකත්වයන් චීනය සිය බල අරගලයේ මෙවලම් වශයෙන් උපයෝගී කර ගත්තේය. 2009 න් පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශ ආයෝජන සහ ණය ආධාර පිළිබඳ අධ්‍යනය කිරීම මෙම තත්වය වටහා ගැනීම සඳහා වූ කවුලූවකි.

ඇමරිකා එක්සත් ජනපදය බලය රැුක ගැනීම සඳහා දගලන ඉන්දියාව සිය ආධාරකය ලෙස තෝරාගත් අතර ඔවුන් පැවැත්ම උදෙසා ඉන්දියාවට අවශ්‍යය මූල්‍යමය ආධාර හා යුධමය ශක්තීන් ලබා දුන්හ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සහ කලාපයේ අනෙකුත් සාමාජිකයන් අතර ගැටුම් වර්ධනය විය. එමෙන්ම ඉන්දියාව ද කලාපීය සහයෝගීතාව පසෙකලා ස්වාධීන චාරිකාවකට එලැඹුණේය. මේ නිසා සිදුවූයේ ‘කලාපයක් ලෙස එක්ව නැගී සිටිය යුතුය’ යන දර්ශනය දකුණු ආසියානු සාමාජිකයින් වෙතින් දුරස් වීමය.

ලෝක දේශපාලනයේ මෙම බල කී‍්‍රඩාව නතර වන්නක් නොවේ. එය අනාගතයේදීත් දක්නට ලැබෙනු ඇත. කී‍්‍රඩාවේ මුහුණුවර සහ කී‍්‍රඩා විලාසය පමණක් වෙනස් වනු ඇත. මෙහිදී අපට කලාපයක් වශයෙන් වඩා වැදගත් වන්නේ අනාගතයේදීත් යලි යලිත් මෙවැනි කී‍්‍රඩාවල පීඩිතයන් හා ඉත්තන් ලෙස ඉන්නවාද කී‍්‍රඩාවේ නියමුවන් වනවාද යන අරමුණ මත පදනම්ව වර්තමානය තෝරා ගැනීමයි.

නවක ලේඛිකා කසුනි රණසිංහ විසින් සමබිම පුවත්පතට සැපයු ලිපියකි 

 

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment