ජාතික සංහිදියාව යන්න සාම්ප‍්‍රදායික රාමුවෙන් ඔබ්බට

Dec 22nd, 2015 | By | Category: OTHER NEWS, Today Lead News, සාමිනාදන් විමල් - සමබිම තිරු ලිපි
ජිනීවා සමුළුවට පසුව ලංකාවෙහි දේශපාලන සංවාදය තුළ ජාතික සංහිදියාව යන්න වැදගත් මාතෘකාවක් බවට පත් ව ඇත. එයට හේතුව වන්නේ ලංකාවෙහි සමාජ ඉදිරි ගමන උදෙසා මග හැර යා නොහැකි අවශ්‍යතාවයක් බවට ජාතික සංහිදියාව පත්ව තිබීමයි. ‘ජාතික සංවාද’ යනුවෙන් නව අමාත්‍යාංශයක් පිහිටු වීම තුළ මෙම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඇති උනන්දුව පෙන්නුම් කෙරෙයි.
මෙහිදී මම අවධාරණයට ලක් කිරීමට අදහස් කරන්නේ මෙම ජාතික සංහිදියාව යන්න සාම්ප‍්‍රදායිකව පවතින රාමු දෙකකට සීමා නොවිය යුතුය යන අදහස අවධාරණය කිරීමයි. උතුරු දකුණු යන රාමුව සහ සිංහල දෙමළ යන රාමුව එම සාම්ප‍්‍රදායික සීමාවන්ය.
පළමුව ජන වාර්ගික ප‍්‍රශ්නය යන්න මෙම මොහොත වන විට උතුරේ ප‍්‍රශ්නය යනුවෙන් හැදින්වෙන තරමට ඌනිතව පවතින අතර දකුණෙන් උතුරට නෑදෑ ගමන් යෑම වැනි සරල ක‍්‍රියා මාර්ගයන් පවා අවධාරණය කරන්නේ උතුරත් දකුණත් අතර පාලමක් තැනීමක් වශයෙනි. නමුත් ලංකාවෙහි ජනවාර්ගික ප‍්‍රශ්නය වනාහි හුදු භූගෝලීය වශයෙන් පමණක් ධ‍්‍රැවීකරණයව පවතින්නක් නොවෙයි. වෙනත් අයුරකින් පවසන්නේ නම් ජාතික සංහිදියාව යනු උතුරු නැගෙනහිර වසන දෙමළ ජනයා සහ දකුණේ සිංහල ජනයා අතර පමණක් ඇති විය යුතු තත්ත්වයක් නොවෙයි. ජනවාර්ගික පීඩනයට එරෙහිව අභියෝගාත්මක ප‍්‍රතිචාර මතුවූයේ උතුරු නැගෙනහිරින් පමණක් වුවද ජාතිවාදි ක‍්‍රියා මාර්ගවලින් පීඩාවට පත් වූවේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා පමණක් නොවෙයි. ඇත්තෙන්ම උතුරු නැගෙනහිරින් එම අභියෝගය මතු වූයේ උතුරු නැගෙනහිර ඔවුන් දේශපාලනිකව බහුතරයක්ව සිටින නිසාය. නමුත් උතුරු නැගෙනහිරට බැහැරින් වාසය කරන දෙමළ ජනයා ජාතික සංහිදියාව සංවාදයෙන් ඈත්ව තබා ගැනීමට උත්සහ දරයි. ඔවුහු දේශපාලන බලයට අභියෝගයක්ව මතුවීමට ඇති හැකියාව ඉතාමත් අවමවීම මෙම බැහැර කිරීමට හේතු වී ඇත. දකුණේ තමන් වෙසෙන ප‍්‍රදේශයෙහි වාසය කරන දෙමළ ජනයා දෙස අවමන් සහගත ආකල්පයකින් කටයුතු කරන ගමන් උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග සබදකම් වර්ධනය කර ගැනීමට උත්සුක වන අවස්ථාවන් පවා බහුලව දක්නට ලැබෙන්නේ ඒ නිසාය. නමුත් ඇත්ත වශයෙන්ම ජාතික සංහිහිදියාව සදහා අවශ්‍ය වන වැදගත් අවශ්‍යතාවයක් වන්නේ තමන් සුළුතරයට අයත්ය යන හැගීම හේතුවෙන් ඇතිවන බිය විසින් ඇති කරනු ලබන අනාරක්‍ෂිත බව පිළිබද හැගීම අහෝසි කිරීමයි. උතුරු නැගෙනහිර දෙමළ ජනයාට මෙම අනාරක්‍ෂාව දකුණේදී ඇති කළත් උතුරු නැගෙනහිර දී තමන් ආරක්‍ෂිතය යන හැගීම ඇතිවන අතර දෙමළ මව්බිම පිළිබද හැගීම පවා ඇති වන්නේ ඒ නිසාය. නමුත් දකුණේ වාසය කරන දෙමළ ජනයාට සදාකාලිකවම තමන් ලංකාවෙහි අනාරක්‍ෂිත වාර්ගික අනන්‍යතාවයක් සහිත අයෙක්ය යන හැගීමත් එම හැගීම විසින් ඇති කරනු ලබන තමන් දෙවන පංතියේ පුරවැසියෙක්ය යන හැගීමත් ජාතික සංහිදියාව ඇති කර ගැනීමේ කාර්යෙහිදි ජයගත යුතු ප‍්‍රධාන අභියෝගයක්ව පවතියි. එහෙයින් ජාතික සංහිදියාව යන්න සමස්තයක් වශයෙන් ලංකාවෙහි සෑම ප‍්‍රදේශයක්ම ඉලක්ක කර ගත යුතු ක‍්‍රියාවලියක් වීම අතිශයින්ම අත්‍යවශ්‍යය.
අනෙක් කරුණ නම් ජාතික සංහිදියාව යන ක‍්‍රියාවලිය තුළට මුස්ලිම් ජනයා ඇතුළත් කර ගැනීමෙහිදි දක්වන අවම අවධානයයි. ඇත්තෙන්ම වඩාත් වැදගත් වන්නේ මුස්ලිම් ජනයා සිංහල සහ දෙමළ යන දෙපාර්ශ්වයෙහිම ජාතිවාදි බැහැර කිරීමට ලක්වීමේ අත්දැකීම් සහිත පිරිසක් වීමයි. එහෙයින් සිංහල ජනයා සහ මුස්ලිම් ජනයා අතර සංහිදියාව සේම දෙමළ ජනයා සහ මුස්ලිම් ජනයා අතර සංහිදියාව පිළිබ`දව අවධානය යොමු කළ යුතුය. උතුර තුළ දෙමළ ජනයා බහුතරයක්ව වාසය කරන අතර මුස්ලිම් ජනයා සුළුතරයයි. නැගෙනහිරදී මුස්ලිම් ජනතාව බහුතරය වන විට දෙමළ ජනයා සුළුතරය වෙයි. එහෙයින් උතුරු නැගෙනහිර සංහිදියාව යතාර්ථයක් බවට පත්වන්නේ මෙම ජනවාර්ගික කොටස් දෙක අතර සංහිදියාව ඇති කෙරෙන තත්ත්වයක් තුළය.
දකුණ තුළ ඉන්දීය දෙමළ යනුවෙන් හැදින්වීමට ලක්වෙන ජනයාත් දකුණේ වාසය කරන මුස්ලිම් ජනයාත් බැහැර කෙරෙන ජාතික සංහිදියා වැඩ පිළිවෙලක් කිසි සේත්ම සාර්ථක වීමකට ඉඩ නැත. එමෙන්ම ජාතිවාදි වාතාවරණයක යන්නට ආරක්‍ෂිත ස්ථානයක් නොමැත යන හැගීම විසින් වඩාත් පීඩාවට පත් වන්නේත උතුරු නැගෙනහිරට බැහැරින් වාසය කරන දෙමළ සහ මුස්ලිම් ජනයාය.
එහෙයින් ජාතික සංහිදියාව යනු යුද්ධයෙන් ඇති වූ තත්ත්වයකට ප‍්‍රතිකර්මයක් වශයෙන් ක‍්‍රියාත්මක වන්නක් වුවත් එය කිසිසේත්ම යුද්ධ කලාපය ලෙසින් පැවතුණු උතුරු නැගෙනහිර යන ප‍්‍රදේශ පමණක්ම හෝ නැතහොත් සිංහල දෙමළ යන ජනවාර්ගික දෙක පමණක් සීමා කරගත්තක් බවට හෝ පත් නොවී සමස්තයක් වශයෙන් ලංකාවෙහි සියලූම ජන වාර්ගික කොටස් සහ භූගෝලීය ප‍්‍රදේශ ඉලක්ක කරගත් කාර්යක් බවට පත් විය යුතුය.
සාමිනාදන් විමල්
උපුටා ගැනිම සමබිම දෙසැම්බර් කලාපය 

Recent Posts

Leave a Comment