“අපරාධ විද්‍යාව ඉගෙනගෙන ලංකාවේ පොලිසියට බැඳෙන්න එපා”

May 30th, 2016 | By | Category: LEAD NEWS, Today Lead News

මීට වසර 12 කට පමණ පෙර දිනක් මාගේ ප්‍රථම උපාධියේ අවශ්‍යතාවකට පොලිස් ස්ථානයකට ගොඩ වූ මා එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතාවට වැටුණි. එහිදී මාගේ උපාධියේ ස්වභාවය විමසා සිටි ඔහු මට කිව්වේ අපරාධ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගෙන ලංකාවේ පොලිසියට බැදෙන්න එපා කියාය. ඇයි යන්න විමසූ මට ඔහු කිව්වේ අපරාධ සෙවීමේ, මැඬලීමේ හා නිවාරණය කිරීමේ තාක්ෂණික හා සම්මත ක්‍රමවේද මෙරට පොලිසිය බොහෝ විට භාවිතා නොකරන බවය. එනම් වෙනත් දියුණු රටක පොලිසිය මෙන් අපරාධ මැඬලන ක්‍රමවේද හා සමගාමීව සලකා බලන බොහෝ අංශ මෙහි සලකා නොබැලෙන බවය.

ඩිල්කා සමන්මලී මෙහෙයවන දෙරණ අංශක 360 රූපවාහිනී වැඩසහනට පසුගිය දිනෙක අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැමිණියේය. එහිදී පසුගිය දිනවල කතාබහට ලක්වූ වත්තල ව්‍යායාම සඳහා වූ මං තීරුවක් රාත්‍රී කාලයේ අද්භූත ලෙස කඩා විනාශ කිරීම පිළිබඳ පැනයක් ඩිල්කා විසින් ඇමතිවරයා වෙත එල්ල කළාය. මෙම පැනයට පිළිතුරු දෙන්නට ගිය ඇමතිවරයා තවත් උදාහරණ ගෙන හැර පාමින් සිය තර්කය තහවුරු කිරීමට උත්සාහ කළ අතර ඔහු විසින් ගත් එක් උදාහරණයක් වූයේ කොටදෙණියාවේදී ළදැරියක් පැහැරගෙනගොස් ඇයට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ළදැරිය ඝාතනය කර දැමීමේ සිදුවීමය.

රටේ සිදුවන අපරාධ මැඬලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙහි ඇති අකාර්යක්ෂමභාවය පිළිබඳව ඩිල්කාගේ ප්‍රශ්නය අමාත්‍යවරයා ඉලක්ක කර ගත් අතර ඉහත කී උදාහරණ ගෙනහැර පාමින් අමාත්‍යවරයා දුන්නේ මෙවැනි ආකාරයේ අදහසක් සහිත පිළිතුරකි. එනම්, අපරාධකරුවන් අත්අංඩගුවට ගැනීමේදී ශ්‍රී ලංකා පොලිසිය හැකි පමණ කාර්යක්ෂමව කටයුතු කරන නමුත් යම් අපරාධයක් හෝ සමාජය කැළඹීමට පත්වන සිදුවීමක් වූ විගස ජනමාධ්‍ය විසින් එයට සම්බන්ධ අපරාධකරුවන් හෝ වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සිදුකරන විශාල බලපෑම නිසා ඇතැම් විට ශ්‍රී ලංකා පොලිසියට විශාල පීඩනයක් එල්ල වන බවය. එතකුදු නොව එම පීඩනය හේතුවෙන් ඇතිවන බලපෑම මත ඇතැම් විට නිවැරදිකරුවන්ද ශ්‍රී ලංකා පොලිසිය අතින් අත්අඩංගුවට ගැනෙන බවය.

මෙහිදී ඩිල්කා සිය අතට පැමිණි සැහැල්ලු පන්දුවට හයේ පහරක් එල්ල කිරීමේ වාසනාවෙන් පිනාගොස් එසේ බලපෑම් කිරීම ජනමාධ්‍යයේ පරම කාර්ය භාරය නොවේදැයි විමසා සිටියාය. අසාර්ථක පන්දු යැවීමකින් ප්‍රතිවාදියාට ලකුණු අත්කර දුන් අමාත්‍යවරයාගෙන් එයට කිසිදු ආකර්ෂණීය පිළිතුරක් නොලැබුණේය.

මෙහිදී මුලින්ම මෙම දෙපාර්ශ්වයටම කිව යුත්තේ ‘පිස්සො කලබල වුණාට දොස්තර කලබල විය යුතු නැති’ බවකි. මින් වසර එක හමාරකට පමණ ඉහත වාරියපොල බස්නැවතුමේදී තමන්ට ලිංගික හිංසනයක් කිරීමට පැමිණී තරුණයෙකුට තරුණියක් විසින් පහරදෙනු ලැබීය. ගැහැණියක් විසින් කෙතරම් කුපාඩි වැඩක් කරන ලද පුරුෂ රත්නයකට වුව අත එසවීම බරපතල අවුලක් ලෙස දකින පසුගාමී ලාංකික සමාජය මතු නොව වාරියපොල පොලීසියද මෙයින් මහත් සේ කැළඹී ඇඹරී ගියේය. ඒ කෙතරම්ද යත් එය කටඋත්තර දීමට පොලිසියට පැමිණී එම තරුණිය අල්ලා පොලිස් කූඩුවට දැමීමට තරම් බරපතල කැළඹීමක් විය. (එකී නීතිවිරෝධී රඳවා තබා ගැනීම සහ අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි පොලිස් ස්ථානය තුළදී කරන ලද වෙනස්කොට සැලකීම් වලට එරෙහිව වාරියපොල පොලිස් ස්ථානාධිපතිවරයාට හා පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වෙමින් පවතී. නිවැරදි පුද්ගලයෙක්, චෝදනා ලැබීමට ප්‍රමාණවත් සාක්ෂි නැති අයෙක් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පුද්ගල නිදහසට බාධාවක් වන අතර එය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ. එවැනි විටෙක ඔහුට හෝ ඇයට සිය අයිතිවාසිකම් කඩවීම ගැන නඩු පැවරීමට මෙරට නීතිමය ප්‍රතිපාදන පවතී)

Pisso

 

අනතුරුව පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය විසින් වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිලිකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටිමින් වාරියපොළ පොලිසිය ගරු අධිකරණයෙන් අපූරු ඉල්ලීමක් සිදු කරන ලදී. එනම් මෙම පහරදීමේ සිදුවීමෙන් පසු මාධ්‍ය හා සමාජය ඉතා කැළඹීමට ලක්ව සිටින අතර මේ පිළිබඳව දිගින් දිගටම වාර්තා කරමින් ජනමාධ්‍ය අවධියෙන් සිටින බවත් ඒ පිළිබඳ සලකා බලා මෙම තරුණියට ඇප ලබා නොදෙන ලෙසත්ය.

වාරියපොල පොලිසියේ මෙම අපූරු ඉල්ලීමට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා අධිකරණය අමතා වැදගත් ප්‍රකාශයක් සිදු කළේය. එනම් සමාජයේ දෛනිකව සිදුවන අපරාධ හා මතභේදයට තුඩුදෙන සිදුවීම් සම්බන්ධයෙන් සමාජය හෝ මාධ්‍ය කැළැඹීමට පත්වුණද රටේ නීතිය හා සාමය රකින පොලිසියට එයින් කැළඹීමට පත්විය නොහැකි බවත් එම සිදුවීම් පිළිබඳව නිවැරදිව කරුණු කාරණා සොයාබැලීම හා මහජන සාමය පවත්වාගැනීම පොලිසියේ රාජකාරිය බවත්ය. අවසාන වශයෙන් මහේස්ත්‍රාත්වරයා වාරියපොල පොලිසිය වෙනුවෙන් එම ඉල්ලීම කළ පොලිස් නිලධාරියාගෙන් ඇසුවේ ‘මාධ්‍ය කැළඹුණාට පොලිසිය කැළඹෙන්නේ ඇයි’ කියාය.

අපගේ දිගුකාලීන අත්දැකීම් වලට අනුව ශ්‍රී ලංකා පොලිසිය හා මෙරට අති බහුතරයක් ජනමාධ්‍ය යන දෙකටම තම තමන්ගේ භූමිකාවන් පටලැවී දෙපාර්ශ්වයම බල්ලාගේ වැඬේ බූරුවා කරන තත්ත්වයට පත්ව ඇත. එනම් පොලිසිය මීඩියාකාරයාගේ වැඬේද මීඩියා පොලිස්කාරයාගේ වැඬේද සිදු කරමින් සිටී. අප එකඟ නොවුණත් මිනිසුන් වැඩකරන විලාසය හා හැසිරීම දෙස බලා ඔවුන්ව ත්‍රීවිල්කාරයා, මාලුකාරයා ලෙස වර්ග කර සමාජය විසින් අමතන අතර මෙය පොදු ඇමතුමක් බවට විපරිවර්තනය වී ඇත. අපහාසාත්මකභාවය ඌණනය කිරීමට අවශ්‍ය විට යෙදෙන මේ ‘කාරයා’ යන පසුයෙදුම මාධ්‍යකරුවන් හා පොලිසිය වෙනුවෙන් යෙදෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ගේ ඇති විසුළු සහගතභාවය නිසාමය.

මෙරට බහුතරයක් මාධ්‍යකරුවන් මනුෂ්‍ය ඝාතනයක්, ස්ත්‍රී දූෂණයක්, චංචාවක්, අල්ලසක්, රිය අනතුරක් මතු නොව උපන් දින සාදයක් හෝ ආචාර ධාර්මික ලෙස නිවැරදිව වාර්තා කිරීමට නොදන්නා, යම් සිදුවීමක් හෝ අපරාධයක් සිදු වූ ස්ථානය අවට ඇති සියලු පරිවේෂණීය හා ඇසින්දුටු සාක්ෂි ඉවක් බවක් නොමැතිව විනාශ කර දමන, වාර්තාකරණයෙන් එහා ගොස් රිසි සේ විකිණිය හැකි කතා ගොතා සිය පෞද්ගලික මතවාදය බලහත්කාරයෙන් මිනිසුන් වෙත පටවන කිසිදු වෘත්තීයමය භාවයක් නොමැති පිරිසකි. බොහෝ දෙනා ගවේශනශීලී පුවත් වාර්තාකරණය අල්ලාගෙන සිටින්නේ එහි වැරදි කොණෙනි. විචාරශීලීව වාර්තාකරණය ඔවුන්ගේ ශබ්දකෝෂයේ ඇත්තේම නැත. ඉතින් එවැනි පිරිසකට සිදු කළ හැක්කේ මාධ්‍යකරුවාගේ වැඬේ වෙනුවට පොලිස්කාරයෙකු මෙන් ගමේ ගොඬේ ලන්දේ ඇවිද ගොස් ඕප දූප ටිකක් අසා බලා අහවල් අපරාධය වෙනුවෙන් අත්අඩංගුවට ගත යුත්තේ කවුද, අපරාධකරු සැඟවී සිටින්නේ කොහිද, අපරාධයේ ස්වභාවය කුමක්ද, ලැබිය යුත්තේ කුමන ආකාරයේ දඬුවම්ද ආදී කරුණු ලිවීම කියවීම හැර අන් කවරක්ද? ලොව පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ආචාර ධර්ම මෙන්ම සම්මතයන් පවතින බව නොදත් ලිං මැඬි මාධ්‍යකලාවේ අපේ උරුමය එපරිදිය.

මීට වසර 12 කට පමණ පෙර දිනක් මාගේ ප්‍රථම උපාධියේ අවශ්‍යතාවකට පොලිස් ස්ථානයකට ගොඩ වූ මා එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතාවට වැටුණි. එහිදී මාගේ උපාධියේ ස්වභාවය විමසා සිටි ඔහු මට කිව්වේ අපරාධ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගෙන ලංකාවේ පොලිසියට බැදෙන්න එපා කියාය. ඇයි යන්න විමසූ මට ඔහු කිව්වේ අපරාධ සෙවීමේ, මැඬලීමේ හා නිවාරණය කිරීමේ තාක්ෂණික හා සම්මත ක්‍රමවේද මෙරට පොලිසිය බොහෝ විට භාවිතා නොකරන බවය. එනම් වෙනත් දියුණු රටක පොලිසිය මෙන් අපරාධ මැඬලන ක්‍රමවේද හා සමගාමීව සලකා බලන බොහෝ අංශ මෙහි සලකා නොබැලෙන බවය.

එය එදාට වඩා අද අර්ථාන්විත කියමනකි. අපරාධයක්, සමාජය කැළඹෙන හෝ කම්පනය වන ආකාරයේ සිදුවීමක් සිදු වූ විට අද මුලින්ම පරල වන්නේ පොලිසියය. එවැන්නක් ගැන දැනගත් විටම පොලිසිය වැඩ කරන පිළිවෙල මෙසේයි. මුලින්ම හැකි ඉක්මනින් ප්‍රදේශයේ සිය හිතවත් මාධ්‍යවේදී සඟයින් අමතා සිදුවීම් වාර්තා කරයි. පසුව ඒ මාධ්‍යකරුවන් අමතා වොයිස් කට් එකක් දෙයි. ඉන්පසුව සිද්ධියට වගකිව යුතුයැයි ඒ මාධ්‍ය විසින්ම නම් කරනා එකෙක් හෝ දෙන්නෙක් අල්ලාගෙන ගොස් කූඩුවට දමා ඒ අපරාධකාරයා යැයි බෞතීස්ම කරයි. පසුව නියම සැකකරු යැයි නැවත නැවතත් එකී මාධ්‍ය විසින්ම සෝදිසි මෙහෙයුම් මගින් සොයා ගන්නා අලුත් සැකකරුවන් කුදලාගෙන විත් කූඩු කරයි. පොලිස් පරීක්ෂණ වෙනුවට මාධ්‍ය පරීක්ෂණ කොට සොයාගන්නා ලද උන්ගේ ඇට කුඩු වෙනතුරු තලයි. අනතුරුව කූඩුවේ පතබෑවී සිටින උන්ගේ ගෙවල්වල ඉන්නා උන් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නා නා විධ වොයිස් කට් අනුව මාධ්‍ය විසින් ගොතනා ලද අලංකාරික හා අශ්ලීල කතා පිරි විශේෂාංග ලිපි, වැඩසටහන් හා ප්‍රවෘත්ති වලට අනුව සියල්ලටම අවසානයේ පොලිස් පරීක්ෂණ ආරම්භ කරයි. ඒ වන විට පොලිස්කාරයින්ගේ හා මීඩියාකාරයින්ගේ හැර මෙරට සමස්ත සමාජයේම මිනිසුන්ගේ, ගැහැණුන්ගේ හා දරුවන්ගේ උපකල්පනවලින් තොර සත්‍ය තොරතුරු දැනගැනීමේ හා ඒවා පිළිගැනීමට හැකි විශ්වාස පද්ධතිය බිඳ වැටී හමාරය.

නමුත් අද ඕනෑම ගමක, නගරයක, හන්දියක සිටින දහදෙනෙක් තෝරාගෙන, (මෙය ප්‍රවේශමෙන් සිදු කළ යුතු අතර මුදල් බෙදා දීමට පැමිණී ටීවි එකක් හෝ රේඩියෝ එකක් ලෙස ඔබව වරදවා වටහා ගැනීමෙන් විශාල අකරතැබ්බයකට පත් වීමට ඉඩ ඇත) යම් සිදුවීමක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ කළ යුත්තේ කෙසේද හා මාධ්‍ය එය වාර්තා කළ යුත්තේ කෙසේදැයි ජොලියට මෙන් විමසා බලන්න. ඉන් බහුතරයක් කියනු ඇත්තේ දැනට පොලිසිය හා මීඩියා වැඬේ කරගෙන යන හැටිය තමා නියම පිළිවෙල කියාය. එය ඒ තරමටම අපේ සමාජයට දැන් පත්තියන් වී ඇත.

එහෙත් මේ පිළිවෙළ මෙසේ නිවැරදි විය යුතුය. යම් මතභේදයට තුඩු දෙන සිදුවීමක් හෝ අපරාධයක් තමන් වෙත වාර්තා වූ විට පොලිසිය කළ යුත්තේ එය තමන් මැදිහත් විය යුතු ආකාරයේ ක්‍රියාවක් නම් (ලැගුම්හල්වල සිටින කපල් ඇල්ලීම වැනි ඒවා පොලිසිය මැදිහත් විය යුතු රාජකාරීන් නොවන්නේය) එම ස්ථානයට හැකි ඉක්මනින් ගොස් (මාධ්‍ය එහි යාමට පෙර යාම නුවණට හුරුය) අගතියට පත් පාර්ශ්ව හඳුනාගැනීමට (ඔවුන් ප්‍රතිකාර දිය යුතු මට්ටමේ සිටිත්නම් වහාම ප්‍රතිකාර සඳහා ඔවුන් යොමු කර) පියවර ගැනීමය. එසේ අගතියට පත් පාර්ශ්ව හඳුනා ගැනීමට නොහැකි අවස්ථාවකදී පොලිසිය ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු අතර මේ අවස්ථා දෙකේදීම පොලිසිය සිය වැඩිම අවධානය යෙදිය යුත්තේ එකී ස්ථානය හා අවට භෞතික පරිසරයෙහි පැවති ස්වභාවය ආරක්ෂා කිරීමටය (මෙය රිය අනතුරකදී තරමක වෙනස් ආකාරයක් ගත හැක). මන්ද සිදුවීමට අදාළ පරිවේශනීය සාක්ෂි රැසක් ඒ අවට පරිසරයේ පවතින බැවිනි.

බොහෝ විට මෙවැනි අවස්ථාවකදී එම ස්ථානයට රොක්වන මාධ්‍යකරුවන් හා සිද්ධිය බැලීමට පැමිණෙන සාමාන්‍ය ජනයාගේ දැඩි කුතුහලය නිසාම ඔවුන් අතින් සිදුවීමට සම්බන්ධ අතිශය වැදගත් සාක්ෂි මැකී යාමට, විනාශ වීමට ඉඩ ඇති බැවින් ඔවුන් හැකි තරම් ඈතින් රඳවන්න.
පොලිසිය විසින් මාධ්‍ය වෙත නිල මෙන්ම නොනිල ආකාරයට නිවේදන නිකුත් කිරීම මීළඟ බරපතලම කාරණයයි. සිදුවීමක සාක්ෂි නිසි ලෙස නොවිමසා, සූක්ෂමව පරීක්ෂා නොකොට කිසිදු මාධ්‍යයක් වෙත ප්‍රකාශ නිකුත් කිරීම පොලිසිය සිදු නොකළ යුතුය. මුල් අවස්ථාවේදී පොලිසියට කළ හැක්කේ සිදුවීම තහවුරු කිරීම හෝ නොකිරීම පමණකි. පරිවේශනීය සාක්ෂි හා සමගාමීව ඇසදුටු සාක්ෂි එක්රැස් කිරීමද බොහෝ විට පොලිසිය විසින් සිදු කරන අතර මෙය ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. එනම් ඕපදූප, කටකතා, බොරු ප්‍රචාර හා මිත්‍යා විශ්වාස වලින් පොලිසිය නොමඟ යා හැකි නිසාය. කාලය එක් මෙහොතක් වුව අපරාධ පරීක්ෂණයකදී එය ඉතා වටින්නේය. ඉතින් ඕපදූප, කටකතා, බොරු ප්‍රචාර හරහා පොලිසිය නොමඟ යන සුළු මද වේලාවක් වුව අපරාධකරුට වාසි විය හැකි අතර අගතියට පත් පාර්ශ්වය හෝ පාර්ශ්වයන් අනාරක්ෂිත වේ (ඇතැම් පරීක්ෂණ රහස් පොලිසියට බාර දෙන අතර ඒවායේදී යෙදවෙන උපාය දූතයන් හා අනුගමනය කෙරෙන උපාය උපක්‍රම සාමාන්‍ය තත්ත්වයකට වඩා වෙනස් විය හැකිය).

සාමාන්‍යයෙන් අපරාධයක් හෝ එවැනි ආකාරයේ කැළඹිලි සහගත සිදුවීමකදී පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ අනන්‍යතාවන් හෙළිදරවු නොකළ යුතු අතර අධිකරණ ක්‍රියාවලියක් වෙත යන තෙක් ඒ පිළිවෙත රැකිය යුතුය. අධිකරණ තීන්දුවකින් පසුවද පුද්ගල අනන්‍යතා හෙළිදරවු කිරීමෙන් වැළකී අධිකරණ තීන්දුවේ ස්වභාවය කුමක්දැයි පමණක් ප්‍රකාශ කිරීම සුදුසු වන අතර එය වෘත්තීයමයද වන්නේ වැරදිකරුට මිස ඔහුගේ හෝ ඇයගේ පවුලේ නිර්දෝෂී සාමාජිකයින් දඬුවමකට පාත්‍ර නොවිය යුතු බැවිනි.

මෙවැනි සිදුවීමකදී ඉතාම අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නේ වින්දිතයා (අපරාධයට භාජනය වූ අය), සැකකරු හා අපරාධකරුගේ පවුල්වල ඥාති හිතමිත්‍රාදීන්ය. මෙහිදී ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණක් ඇත. එනම් යම් අප්‍රසන්න සිදුවීමකට මුහුණදීමෙන් අනතුරුව ඔබේ දොරකඩට පැමිණ තට්ටු කරන මාධ්‍යකරුවන්ට එකදු තොරතුරක් හෝ නොසපයා ඔවුන් ආපසු පිටත් කර හැරීමේ බලය ඔබට තිබෙන බවයි. මගේ මාධ්‍ය ජීවිත කාලය තුළ එසේ මාධ්‍යට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරමින් සිය පෞද්ගලිකත්වය විකුණන්නට ඉඩ නොදුන් ඥානාන්විත පිරිස් මට හමුවී ඇත. ඔබගේ පවුලේ සිදුවන මරණයක්, ඝාතනයක්, අපයෝජනයක්, ස්ත්‍රී දූෂණයක්, හොරකමක්, පැහැරගැනීමක්, වංචාවක්, දූෂණයක් පිළිබඳ ඔබ තොරතුරු ලබා දීමට නීත්‍යනුකූලව බැඳී සිටිනුයේ එයට අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන නිල ව්‍යූහයන් හා අධිකරණයට පමණක් වන අතර ඒ හැර ඕනෑම අයෙකුගේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු නොදී සිටීමේ ‘පෞද්ගලිකත්වයට ඇති අයිතිය – :(Right to Privacy) ඔබට ඇත.

මාධ්‍ය හා පොලිසිය විසින් මෙවැනි සිදුවීම් වලදී හැසිරිය යුත්තේ කෙසේද යන්නෙහි දිගුව මීට වඩා වන අතර මේ කෙටි සටහන වුව අවශ්‍ය අයෙකුට ධාරණය කර ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය.

පොලිසිය හා මීඩියා යන දෙපාර්ශ්වයම සිය කල්කිරියාවෙන් මෙරට පොදු ජන විශ්වාසය අහිමි කරගත් දෙපිරිසක්ය. දෙපාර්ශ්වයම තමන් වටා නිරායාසයෙන්ම ගොඩනැඟෙන සිවිල් බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා අයවලුන් වන අතර මේ අය වෘත්තීයමයභාවය යනු කුමක්දැයි සහ සිය භූමිකාවන්ගේ සීමා මායිම් මොනවාදැයි නිවැරදිව වටහා ගත් දිනෙක, දැනට ෆුට් සැලඞ් එකක් ලෙස අපේ ආලින්දයට එන අපරාධ හා සෙසු මාධ්‍ය වාර්තාකරණයන් පැහැදිලිව, නිරවුල්ව තෝරා බේරා ගන්නට මෙරට පොදු ජන සමාජය සමත් වනු ඇත.

ලංකාවේ මාධ්‍යයට පිස්සු බවත් ලද ඕනෑම මොහොතක ඔවුන් පිස්සු නටන බවත් අපි සියල්ලෝ හොඳින්ම දනිමු. එහෙත් ඒ නටන පිස්සුවේ තරමට කලබල වන පොලිසියකුත් අපට සිටිනවා යනු මානසික රෝහලේ වාට්ටුවක් තුළ පොලිස් පැමිණිලි බාර ගැනීමේ කවුන්ටරයක් විවෘත කළා හා සමානය. නමුත් මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් කෙතරම් බොරු පැමිණිලි කළත්, කතා ගොතා කිවුවත් පිස්සන්ට නම් නිදහසට කාරණා තිබෙන බවත්, ඔවුන්ට නඩු නොවැටෙන බවත්ය. එහෙත් පොලිසියේ තත්ත්වය මීට වඩා ටිකක් නරකය. සිතා මතා කළත්, ලොක්කෙක් නිසා කළත්, නීතිය වැරදියට වටහාගෙන කළත්, ලොකුකමට කළත් පොලිසියට කවදා හෝ නීතිය හමුවේ ඒවාට වගඋත්තර බැඳීමට හා දඬුවම් විදීමට සිදුවේ.

 

මනෝරි කලුගම්පිටිය

සමබිම මැයි කලාපය 2016

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , , ,

Leave a Comment