වී වෙනුවට රෝසමල් ව්‍යාපෘතිය

Aug 11th, 2012 | By | Category: දේශපාලන

පළමු කොටස

දීප්ති කුමාර ගුණරත්න

 හැඳින්වීම –

ශිෂ්ටත්වයේ සිහිනය නම් උද්ධෘතය සහිතව පළමු ‘London’ සඟරාව නිකුත් වූයේ 2001 වර්ෂයේ ජනවාරි මාසයේදීය. එහි මාතෘකාව වූයේ ‛වී වෙනුවට රෝස මල්’ යන්නය. සඟරාවේ නමත් එහි අන්තර්ගතයත් තීන්දු වූයේ මගේ සිතට නැගුණ සිතුවිලිවලින්ය. ඉන්පසු සඟරා 22ක් සමාජයට නිකුත් විය. ‘London’ අවසාන සඟරාව නිකුත් වූයේ 2004 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. ඒ දක්වා සඟරාවට තනි අයිතිකරුවෙක් සිටියේ නැත.

සඟරා 22 ක පළවූ අන්තර්ගතය ප්‍රශ්න කරමින් වසර 2005 දී තවත් ‛London’ සඟරා තුනක් ප්‍රකාශයට පත් විය. එම සඟරා තුනට තනි අයිතිකරුවෙක් සහ උප අයිතිකරුවෙක් ද සිටියේය. අවසන් ‛ඛදබාදබ’ සඟරාවට පසු තවත් ‛London’ සඟරා තුනක් නිකුත් වූ නිසා ‛London’ අර්ථයට අතිරික්තයක් අලුතින් එකතු විය. එම අතිරික්තය නිශේධනාත්මක අර්ථයකි. මෙම අලුත් ‛London’ සඟරා 03 නිසා අලුත් අදහසක් සමාජයේ මතුවිය. එම අදහස වූයේ ‛London’ තුළම පැවති ප්‍රතිවිරෝධයයි. නමුත් මෙම අලුත් දැනුමේ නිශ්චිත අඩුපාඩුවක් විය. යමක ප්‍රතිපක්ෂය ලිවීම අපෝහකය නොවේ. වී.අයි. ලෙනින්ට අනුව අපෝහකවාදය (දයලෙක්තිකවාදය) යනු වස්තූන්ගේ හරය තුළම තිබෙන ප්‍රතිවිරෝධය අධ්‍යයනය කිරීම වෙයි.

අපි නැවතත් ආරම්භක ගැටලුව වෙතට ප්‍රවේශ වෙමු. වී වෙනුවට රෝස මල් ව්‍යාපෘතිය යනුවෙන් අදහස් කළේ කුමක්ද?

වී වෙනුවට රෝස මල් –
මෙම අදහස මා උපුටා ගත්තේ එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ක්‍රියා කළ පී.බී. ජයසුන්දරගෙනි. ඔහු පළ කළේ ආර්ථික අදහසකි. ඊට අනුව ලංකාවේ ආර්ථිකය විප්ලවීය ලෙස වෙනස් විය යුතුය. ඔහු එයට මෙලෙස අලංකාරිකයක් ගොඩනැගුවේය. ‛බලන්න කුරුණෑගල ගොවියෙක් හැමදාම ගොවිතැන් කරනවා. අපිට බැරිද ඒ ගොවියගෙ ජීවිත කාලය තුළම එයා කරන දේ වෙනස් කරන්න. උදාහරණයක් වශයෙන් කුරුණෑගල අපි අලුතින් ආරම්භ කරන්න නියමිත Apple සමාගමේ කොම්පියුටර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ විදුලි කාර්මිකයකු ලෙස එයාට ‛අලුත් වෙන්න’ බැරි ඇයි? මේ වෙනස් වන භූමිකාව අවශෝෂණය කරන විඥානයක් ගොඩනගන එකයි විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් කරන්න ඕනෙ.’

අවසාන ‛අලුත්’ London සඟරාව ප්‍රකාශ කරමින් එහි අයිතිකරුවන් දෙදෙනා එහි පාඨක සමාජය හඳුනාගෙන තිබුණේ මෙලෙසය.
‛අලුතින් සල්ලි හම්බ කරගෙන අගනගරවලට සංක්‍රමණය වූ පහළ මධ්‍යම පාන්තික තීරුවට ඇතුළත් වූ ලාංකිකයන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ ලෙස ඊනියා ලන්ඩන් ශිෂ්ට ව්‍යාපෘතියට සම්බන්ධ නොවීය. සඟරාව විසින් කිච කළ, ප්‍රතික්ෂේප කළ ග්‍රාමීය ජනයාම ඊට ආකර්ෂණය විය! ලන්ඩන් ව්‍යාපෘතිය තමන් වෙතට දිනා ගැනීමට උත්සාහ කළ අගනාගරික සමාජ පන්ති ස්ථරය ජාතිවාදයට දැඩිව ආකර්ෂණය විය.’
සඟරාවේ අලුත් අයිතිකරුවන්ට අනුව වී වෙනුවට රෝස මල් වැවීම ආරම්භ වූයේ නාගරික නිවාසවල මැද මිදුල්වලය.

London සඟරාවේ අවිඥානය-
සඟරාවේ අලුත් ප්‍රකාශකයන් සඟරාවේ ව්‍යාපෘතියට සරදම් කරන විට ඉතාම ක්ෂුද්‍ර එක කරුණක් මඟ හැර යයි. එනම් තමන් මෙම අලුත් London සඟරාවේ ප්‍රධාන කර්තෘ සහ උපකර්තෘ වූ බවයි. පී.බී. ජයසුන්දරගේ භාෂාවෙන් කියන්නේ නම් කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වූ නීතිඥවරයකුගේ නිර්නාමික ලිපිකරුවෙකුගේ පුතකු ‛London’ සඟරාව නිසා උපකර්තෘ කෙනෙකු විය. ඊට අමතරව ගල්කිස්ස ගාළුපාර අසළ පේළි ගෙයක ජීවත් වූ පීඩිත පවුලක සාමාජිකයකු සහ සෙන්ට් ඇන්තනීස් සමාගමේ හාඩ්වෙයාර් අංශයේ බිල් ලියූ පුද්ගලයකු London සඟරාවේ ‛ප්‍රධාන සංස්කාරක’ විය. පී.බී. ජයසුන්දර විසින් රෝස මල් කියන්නේ මේ සිදුවූ විපර්යාසයටය. චරිත හේරත් මේ වන විට මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ය. මේ වී වෙනුවට තැනෙන රෝස මල්ය. ‛London’ වස්තුවේ හරය තුළටම ගොස් අධ්‍යයනය කරන විට තමන්ම මඩ ගොඩක් යැයි කියන තැනින් ‛නෙළුම් මලක්’ නිර්මාණය වී ඇති බව තමන්ට සාක්ෂාත් වන්නේ නැත. ග්‍රාමීය පාදඩයන් නගරයන්ට පැමිණි විට ඒ අයව අගනාගරික පවුල්වල සාමාජිකයන් (හැටන් නැෂනල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරවරියකගේ දුවක් කුරුණෑගල පාදඩයෙක්ව ‛රෝස මලක්’ ලෙස වටහා ගන්නේ නම් ‛ලන්ඩන්’ සඟරාවේ ශිෂ්ට ව්‍යාපෘතිය හොර පාරකින් සාර්ථක වී ඇත) විසින් සුන්දර රෝසමල් ලෙස වටහා ගන්නේ නම් රටේ ‛ආර්ථිකය’ වෙනස් වී ඇත. මෙම සන්දර්භය තුළ ‛London’ යනු සාර්ථක ව්‍යාපෘතියකි. අද සමාජ-විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රකාශනවල පිටු සැලසුම්කරුවා වන්නේ ‛London’ සඟරාවේ පැරණි පිටු සැලසුම්කරුවාය. ඒ අර්ථයෙන් ‛London’ සඟරාව ඇමරිකාවේ පවා රෝසමල් වගා කර ඇත. ‛London’ සඟරාවේ ලොකුම ප්‍රතිලාභ ලැබූ සමාජ ස්ථරය වන්නේ කවුද? එතනදී සියලු දෙනා නිහඬය.

ගම විසින් අගනගරය වට කරනු ලැබූයේ කෙසේද? –
‛වී වෙනුවට රෝස මල්’ ව්‍යාපෘතියේ දෙවන තලයට අපි ගමන් කරමු. ගම විසින් නගරය දේශපාලනිකව යටත් කර ගත්තේ කෙසේද? උත්තරය සරලය – ඒ ප්‍රජාතන්ත්‍රවාදය හරහාය – එනම් මහජන ඡන්දයෙනි. මතුපිටින් බැලූ විට ජාතිවාදීන් ඉන්නේ කැස්බෑව, මහරගම, හෝමාගම, පිළියන්දල, මාතර වැනි පැතිවලය. නමුත් යුද්ධයේදී යුද්ධ කරන්නට සෙබළුන් පැමිණියේ කුරුණෑගල, අනුරාධපුරය, අම්පාර වැනි පැතිවලින්ය. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ දේශප්‍රේමී යුද්ධයේ අධෝ-ව්‍යුහය ආවේ දරිද්‍ර ග්‍රාමීය ප්‍රදේශවලිනි. යුද්ධයට ගිය සොල්දාදුවා අත ‛London’ සඟරාවක් තිබුණේ නම් එය අපගේ පැත්තෙන් ජයග්‍රහණයකි.

‛London’ සඟරාව ගමේ දී ජනප්‍රිය වූයේ මන්ද? –
චිරාත් කාලයක් අප අපගෙන් ඇසූ ප්‍රශ්නය අපි දැන් විධිමත්ව සමීකරණයක් සේ පහත සටහන් කරමු.
‛අපි හැමෝම දන්නවා උතුරුමැද පළාතේ වී ගොවියන්ගේ අස්වැන්නට ලැබෙන සහතික මිල ඉතාම අඩු බව. ජනතා විමුක්ති පෙරමුණේ උතුරුමැද නායකයන් වන එස්.කේ. සුභසිංහ සහ කේ.ඩී. ලාල්කාන්ත පසුගිය දශකය පුරාම මේ ගැටලුවට දිය හැකි හොඳම විසඳුම ඔවුන්ට දෙන්න පුළුවන් කියලා වාචිකව සහ ලිඛිතව සමාජයට කියලා තියෙනවා. නමුත් ඡන්දයක් තිබ්බම ජනතා විමුක්ති පෙරමුණ පරාදයි, අනිත් අය දිනුම්. මේ ඇයි?’
සම්භාව්‍ය මාක්ස්වාදය විසින් අපිට තේරුම් කරලා දීලා තියෙනවා ධනපති නිෂ්පාදන-ක්‍රමය තුළ කොහොමද සූරා කෑම, සමාජ අසාධාරණය, මර්දනය ක්‍රියාත්මක වෙන්නෙ කියලා. ඊළඟට සූරා කෑම, අසාධාරණය, මර්දනය නැති කරන විදිහත් අපිට න්‍යායිකව මාක්ස්වාදය කියල දීලා තියෙනවා. ඒ අනුව තමයි උතුරුමැද පළාතේ දී ‛ජනතා විමුක්ති පෙරමුණ’ වැඩ කරන්නෙ. ඒත් පරදිනවා. ඒ ඇයි? උත්තරය සරලයි. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ මාක්ස්වාදී පක්ෂයක් නෙවෙයි. ඒක සුළු ධනේෂ්වර පක්ෂයක්. ඒ නිසා ඒ අය ගොවියන්ව සංවිධානය කරන්නට යන විට ඒ සඳහා සිංහල දේශප්‍රේමයක් පොඩ්ඩක් කලවම් කරනවා. ඒ කලවම් කිරීම නිසා ඇතිවන ව්‍යාකූලත්වය තුළ අනුරාධපුරයේ බර්ටිත්, පොළොන්නරුවේ මෛත්‍රීපාලත් හැමදාම දිනනවා.

හැමෝම කියන ඉහත කතාව හරිද?
මෙතනදි තමයි අපිට දේශපාලනය ගැන අලුතින් හිතන්න වෙන්නෙ. ඇයි එහෙම වෙන්නෙ? ඒ අනුව ගැටලුව හරිම සංකීර්ණ කලාපයකට ගමන් කරනවා. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව පටු අර්ථයකින් පීඩිතයනුත්, පුළුල් අර්ථයෙන් කම්කරුවනුත් ද්‍රව්‍යමය සමෘද්ධියට කොන්දේසි විරහිතව එකඟයි. සරලව කිව්වොත් මිනිස්සු කැමතියි තමන්ගෙ ද්‍රව්‍යමය ජීවිතය පොහොසත් වෙනවා නම්. නමුත් උතුරුමැද පළාතේ බහුතරය තමන්ගේ ද්‍රව්‍යමය ජීවිතය සෘජු මාර්ගයකින් පොහොසත් කරගන්න කැමති නැහැ. ඒ වෙනුවට ඒ අය වඩා කැමති වෙන්නෙ “සිංහල බෞද්ධයෙක්” වෙන්න. එහෙමත් නැත්නම් දේශප්‍රේමියෙක් වෙන්න. වීවලට දෙන සහතික මිල වැඩි කරගෙන තමන්ගේ ද්‍රව්‍යමය ජීවිතය සෘජු ලෙස ඡන්දය හරහා පොහොසත් කරගන්නවාට වඩා උතුරුමැද පළාතේ සිංහල ජනයා අවිඥානිකව ආස කරනව සිංහල බෞද්ධයෙක් වෙලා, ඒ හේතුවෙන් දුප්පත් වෙලා විඳවලා ජීවත් වෙන්න. මෙතනදී ඔබට වැටහෙන්න ඕනෙ උතුරුමැද පළාතේ ජනයාට සාමූහික ආධ්‍යාත්මික ජීවිතයක් (Spirit) තියෙනවා කියලා. ඒ පළාතේ දේශපාලනය කරන බර්ටි සහ මෛත්‍රීපාල අමතන්නෙ මිනිස්සුන්ගේ ද්‍රව්‍යමය ජීවිතයට නෙවෙයි. ආධ්‍යාත්මික ජීවිතයට. ඒකයි ඔවුන් මෙහෙම කියන්නෙ. “වීවලට අඩු මිලක් ලැබිලා අපි බඩගින්නෙ හිටියත් මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ ජාතියේ අභිමානය ආයේ අරන් දුන්නා. තමුන්නාන්සේ්ලා තමන්ගේ යුතුකම කරන්න!” ඉතිං ඒ අය හැමදාම දිනනවා. ‛නිදහස’ කියන්නෙ වියුක්ත අදහසක් නෙවෙයි. කෙනෙකු ‛නිදහස’ ගැන කතා කරන විටම එහි කණපිට පැත්ත වන ‛බලය’ යන ප්‍රපංචයත් ගොඩනගන්න වෙනවා. සිංහලයන්ගේ ‛නිදහස’ වෙනුවෙන් පෙනී සිටින අය දෙමළුන්ගේ බල තණ්හාව කතා කරන්නෙ ඒ නිසයි. මේ අර්ථයෙන් ගත්තම පූර්ණ නිදහස කියන්නෙ පූර්ණ නොනිදහස. මෙම තලය තුළදී කෙනෙකුට නිදහස් වීමට තවත් අය යටත් විය යුතුයි. එනම් ‛සමාජය’ යන්න ගොඩනැගීමට අපට බලය සහ සතුරා-මිතුරා භේදය අත්‍යවශ්‍යයි කියන එකයි. සතුරන් නොමැතිව සමාජය යනුවෙන් දෙයක් විතරක් නෙවෙයි දේශපාලනය යනුවෙන් දෙයක්ද නැහැ. මෙතනදිත් ‛London’ සඟරාවේ අලුත් අයිතිකරුවන් ඉන්නෙ දේශපාලනය ගැන ගොබ්බ අවබෝධයක.

x කණ්ඩායම ලංකාවේ පැරණි වමෙන් සහ නව වම යැයි හඳුන්වන ව්‍යාපාරවලින් (ජනතා විමුක්ති පෙරමුණේ සිට සමානතා පක්ෂය දක්වා) වෙනස් වූයේ කෙසේද යන්න අපට සාකච්ඡා කිරීමට ඇති මීළඟ ගැටලුවයි. එහි ප්‍රථම පියවර අපි මෙලෙස සටහන් කරමු. (1) නගරය ද්‍රව්‍යවාදීය. (2) ගම ආධ්‍යාත්මිකය. (3) ‛ලන්ඩන්’ සඟරාවට ආකර්ෂණය වූයේ සිංහල ගමයි. (4) මේ අදහස පරස්පරය∎

දෙවන කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න

Recent Posts

Tags: , , ,

Leave a Comment