ප්‍රශ්නෙ මොකක් වුණත් මෙන්න පිළිතුර

Dec 30th, 2016 | By | Category: OTHER NEWS, Today Lead News, ආර්ථික, දේශපාලන

යහපාලන ආණ්ඩුව යටතේ දෙවන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සිවිල් සමාජය විසින් මේ දෙසැම්බර් 10 වන දින සමරනු ලැබීය. පළමු සැමරුම පසුගිය වසරේදී අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙවර එය නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය ප්‍රමුඛ සිවිල් සංවිධාන වල සංවිධායකත්වයෙන් විශාල සිවිල් සමාජ සහභාගීත්වයකින් කොළඹ දී පැවැත්විය. නිදහසේ වේදිකාවට සහ වීදියේ විරෝධයට අමතරව මෙවර පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය, නීතිඥ එකමුතුව, වමේ කේන්ද්‍රය, ජාතික සේවක සංගමය වැනි සිවිල් සහ දේශපාලන බලවේගවල නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමරුවට දේශපාලන නායකයින්ට ආරාධනා කළේ නැත. මෙවර දේශපාලන නායකයින්ගෙන් තොරව මානව හිමිකම් දිනය සැමරීමට නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය තීරණය කළේ බොහෝ දෙනෙකු කැමති දේශපාලයෙන් තොර පිරිසිදු සිවිල් සමාජ ව්‍යාපාරයක් හදා ගැනීමේ අවශ්‍යතාවය නිසා නොව මේ මොහොතේ සිවිල් සමාජ ක්‍රියාධරයන් වඩා දේශපාලනිකව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය පවතින නිසාය. මේ සටහන ඒ වෙනුවෙනි.

යහපාලන ආණ්ඩුව සරලව තෙරුම් ගත හැක්කේ කෙසේද?

රාජපක්ෂ පාලනයෙන් පසු ආණ්ඩුව ගෙන යා යුත්තේ මහින්ද රාජපක්ෂ නැති එක්සත් ජනතා නිදහස් සංධානය ද, රනිල් වික්‍රමසිංහ නැති එක්සත් ජාතික පක්ෂයද, එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ සහිත එක්සත් ජාතික පක්ෂයද යන දේශපාලන බල අරගලයට ලැබුණ පිළිතුර යහපාලන ආණ්ඩුවයි. එය මහින්ද රාජපක්ෂ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ රනිල් වික්‍රමසිංහ ඉන්නා එක්සත් ජාතික පක්ෂය එක්ව සාදාගත් මිශ්‍රණයක් බව නැවත නැවත මතක් කර දීමට සිදුව ඇත.

යහපාලන ආණ්ඩුව සමඟ සිවිල් සමාජයට ඇති සම්බන්ධය?

මහින්ද රාජපක්ෂගේ ජාතිවාදයට යට නොවූ සිවිල් සමාජය 2009 සිට ජීවත් වීමට ඇති අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් රාජපක්ෂ පාලනය සමඟ සටන් කරන ගමන්, එවක විපක්ෂය ජාතිවාදයට යෑමෙන් වලක්වා ගැනීමට දැවැන්ත උත්සාහයක් දැරුවාය. මහින්ද වෙනුවට මහින්ද මෙන් හොරකම් නොකරන නමුත් ජාතිවාදී නායකයෙකු නායකත්වයට ගෙන ඒම අපට පරාජය කිරීමට හැකි වූයේ මේ ක්‍රියාකාරීත්වය නිසාය. මෙහිදී අප නිදහසේ වේදිකාව ලෙස එවක ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමඟ නිදහසේ වේදිකාවේ පංච විධ ප්‍රතිපත්ති වෙනුවෙන් ගිවිසුමකට එළැඹුණෙමු. එම නිසා යහපාලන ආණ්ඩුව බිහි වූ පදනම වූයේද අප විසින් ගෙන ආ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීම, රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය සහ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩ නැගීමයි. නමුත් යහපාලන ආණ්ඩුවෙත් මේ සංකල්ප පිළි නොගන්නා පැරණි සම්ප්‍රදායේ අය සිටින බව නැවතත් මතක් කළ යුතුය.

සිවිල් සමාජය ආණ්ඩුව සමඟ ඇති ඩීල් එක?

සිවිල් සමාජයට ආණ්ඩුව සමඟ ඩීල් එකක් නැති වුණත් ආණ්ඩුවට සිවිල් සමාජය සමඟ ඩීල් එකක් ඇත. එනම් මේ මොහොතේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ වී ඇත්තේ පසුගිය කාලයේ සිවිල් සමාජයේ අප දිගින් දිගටම පෙනී සිටි වැඩ පිළිවෙළයි. සිවිල් සමාජයෙන් යහපාලන ආණ්ඩුවට ඕනෑම දෙයක් කිරීමට බ්ලෑන්ක් චෙක් එකක් ලියා දී ඇති බව මින් අදහස් නොවන අතර සංහිදියාව, රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍ර තුනේදීම සිවිල් සමාජය තව දුරටත් තීරණාත්මක බලපෑම් කළ යුතුය.

හොරු ඇල්ලීමට ඇති අපේ උනන්දුව?

යහපාලන ආණ්ඩුව ස්ථාවර වී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ සිටි හොරකම් වලට චෝදනා ලැබූ අයද එක් කරගෙන බව අමතක නොකළ යුතු අතර ඒ අප නොව වැඬේ වෙන විදිහට රටේ ජනතාව කැමැති වූ ආකාරයයි. මේ මොහොතේ හොරු ඇල්ලීමේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ආණ්ඩුව අස්ථාවර කරන න්‍යාය පත්‍රයක් පවතින බව අප තෙරුම් ගත යුතු අතර අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත හොරුන් සිටින මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් පරිදි අප බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද මේ පාර්ලිමේතුවෙන්ම සම්මත කර ගැනීම අපට ඇති මීළඟ ප්‍රධානම අභියෝගයයි. අනෙක් අතට ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය ආදිය මිස අපගේ න්‍යාය පත්‍රයේ හොරු ඇල්ලිීම කිසි විටෙක ප්‍රධාන සාධකයක් වූයේ නැත. අප රාජපක්ෂ රජයට එරෙහි වූයේ හොරකම් නිසා නොව ජාතිවාදය නිසාය.

හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට හමුදා නිළධාරියෙකු විසින් පහරදීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් සිවිල් සමාජය ලෙස අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

සිවිල් සමාජය අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතු යැයි සැලකෙන එදිනෙදා සිදුවීම් තිබේ. මාධ්‍ය නිදහසට එල්ල වන බාධාවන් ඉන් එකකි. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම ජනප්‍රිය සහ අවදානම් නොවූ කාලයක අප ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියෙමු. නමුත් දැන් එවැනි තත්වයක් නැත. උදාහරණයක් ලෙස පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියා වෙනුවෙන් හිරු නාලිකාවේ ප්‍රවෘත්තිවල විශාල කාලයක් වෙන් වන අතර දිවයින පුවත්පතේද සෑහෙන ඉඩක් වෙන් වී ඇති බව පෙනේ. අනෙක් බොහෝ මාධ්‍ය ආයතනද ඒ සඳහා සැලකිය යුතු කාලයක් වෙන් කර ඇත. එම නිසා මෙවැනි සිදුවීමක සංවාදයට ලක් නොවන සියලු මානයක් අප කතා කළ යුතුය. උදාහරණයක් ලෙස මෙම මාධ්‍යවේදියා සේවය කරනවා යැයි කියන හිරු නාලිකාවේ සහ දිවයින පත්තරයේ මාධ්‍ය භාවිතාව ගැන, මාධ්‍ය නිදහස නැති වෙන්නේ රජය නිසාද නැති නම් මේ මාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍රයන් නිසාද යන්න අප කතා කළ යුතුය. එසේම හම්බන්තොට වරායේ සිටින මහින්ද රාජපක්ෂගේ ගෝලයෝ ටිකක් මහින්ද විසින්ම උත්කර්ෂයට නැංවූ නාවික හමුදා වීරයන් විසින් මර්දනය කිරීමත්, එහිදී රණවිරුවන් මේ විදිහට ගොඩනැගීමට දායක වූ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු රණවිරුවෙක් අතින්ම ගුටි කෑමට සිදුවීමේ සමස්ථ දේශපාලන කතාව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කියන කාරණය පමණක් ඉදිරියට ගෙන ඒමෙන් වසා දමයි. ඒ නිසා අප මේ සියළු කාරණා අවධානයට ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේය.

නිතිඥ ප්‍රබෝධ රත්නායක විසින් 2016 දෙසැම්බර් සමබිම කලාපයට රචිත ලිපියකි 

Recent Posts

Tags: , , , , ,

Leave a Comment