එළකිරි න්‍යාය- රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර

Jan 5th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News, අධ්‍යාපන, ආර්ථික, කාලීන, දේශපාලන, මොකක්ද මේ GSP+

dsc_0731

අද මෙතන හොද්දට ඕන කරන හැම බඩුවක්ම තියෙන නිසා හොද්ද ගොඩක් රස වෙයි කියල මම හිතනවා. මෙතන ඉන්නවා පරිපාලන සේවයේ අය, ඒ වගේම ගණකාධිකාරී සේවයේ අය, ක්‍රම සම්පාදන සේවයේ අය, නීති ශිෂ්‍යයෝ, නීතීඥයෝ, වෙනස් සමාජ ක්‍රියාකාරිකයින්, සිංහල දෙමළ ජන කොටස්, ව්‍යාපාරිකයින්, කුඩා ව්‍යාපාර නියෝජිතයින්, ජනමාධ්‍යවේදීන් මේ හැම දෙනාම අද මෙතන ඉන්නවා. අද හොද්ද හොඳට හදා ගන්න පුළුවන් ඔක්කොම අඩුම කුඩුම තියෙන හන්දා. මම මේ ළඟදි කියවපු පොතක ආර්ථික විද්‍යාවට අනුව විවිධ දේශපාලන ක්‍රමයන් එහි විග්‍රහ කරල තිබුණ ආකාරය මට මේ වෙලාවෙ මතක් වෙනවා.

සමාජවාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටී. රජය ඉන් එකෙක් ගෙන ඔබේ අසල්වැසියාට දෙයි.

කොමියුනිස්ට්වාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටී. ඔබ උන් දෙදෙනා රජයට දෙයි. රජය ඔවුන්ගෙන් ගන්නා කිරි වලින් ටිකක් ඔබට දෙයි.

ෆැසිස්ට් වාදය – ඔබට ගවයන් දෙදෙනෙකු සිටී. උන් දෙදෙනාව රජයට ගනී. රජය ඔබට ඔවුන්ගේ කිරි විකුණයි.

ධනවාදය – ඔබට ගවයන් දෙදෙනෙකු සිටී. ඔබ උන් දෙදෙනාගෙන් එකෙක් විකුණා ගොනෙක් මිලදී ගනී. එයින් ගව රංචුව ඉහළ යයි. ආදායම ඉහළ යයි. අවසානයේ හොඳ ආදායමක් ඇතිව විශ්‍රාම ගනී.

නාසිවාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටී. ඔවුන් දෙදෙනාම රජයට දෙයි. ඔබට වෙඩි තබයි.

නිළධාරිවාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටියි. උන් දෙදෙනාම රජයට ගනියි. එකෙකුට වෙඩි තබයි. උගේ මස් ගනී. අනෙකාගෙන් කිරි ගනී. කිරි ගබඩා කරයි. නරක් වී අහක දමයි.

ඒකාධිපතිවාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටියි. උන් දෙදෙනාම රජයට ගනියි. ඔබට වෙඩි තබයි.

වැඩවසම්වාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටියි. උන් දෙදෙනාගේම හිමිකම ස්වාමියා පවරා ගනියි. ඔබ ගවයන් දෙදෙනා බලා ගනී. ඒ වෙනුවට ඔබට කිරි ටිකක් ලැබෙයි.

මිලිටරි වාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටියි. උන් දෙදෙනාට වෙඩි තබයි. ඔබ හමුදාවට බඳවා ගනියි.

ප්‍රජාතන්ත්‍රවාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටියි. උන්ගෙන් කිරි බෙදා ගන්නේ කෙසේද යන්න ඔබේ අසල්වැසියන් එකතු වී තීරණය කරනු ලැබේ.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටියි. උන්ගෙන් කිරි බෙදා ගන්නේ කෙසේද යන්න ඔබේ අසල්වැසියන් එකතු වී තෝරනු ලබන නියෝජිතයා විසින් තීරණය කරනු ලැබේ.

චේගේ ප්‍රජාතන්ත්‍රවාදය – ඔබට ගවයන් දෙදෙනෙක් සිටියි. රජය ඔවුන්ගේ කිරි වලට ඉතා හොඳ අවංක මිලක් ලබා දෙයි. නමුත් ඒ මිලට කිරි මිල දී ගන්න කිසිවෙක් නැති නිසා කිරි විකුණා ගැනීමට බැරි වෙයි.

මම මේ ටික ඔබට කියන්නේ කාටවත් පහරක් ගැසීමේ අරමුණෙන් නෙවෙයි. ඔබ අද මෙතනට රැස් වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික වර්ධනයන් ශක්තිමත් කරලීමේ අරමුණෙනුයි. රටක් ඉදිරියට යන්න විශාල කාර්යභාරයන් ප්‍රමාණයක් තියෙනවා. සිවිල් පුරවැසියො විදියට, රජයෙ නිළධාරියො විදියට, ව්‍යාපාරිකයො හැටියට, සමාජ ක්‍රියාකාරිකයො හැටියට සහ ඒ පිළිබඳව උනන්දුවක් සහ අවබෝධයක් ඇති අය හැටියට අපිට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි රාජකාරීමය වගකීම, අනෙක තමයි සිවිල් සමාජයේ කොටස්කාරයෙක් හැටියට තියෙන වගකීම. මේ වගකීමෙන් සහ වගවීමෙන් අපට නිදහස් වෙන්න බැහැ. GSP+ ගැන මම පුවත්පත් වලින් කියවලා තියෙනවා. ඒ වගේම මම සමබිම පුවත්පතේ නිත්‍ය පාඨකයෙක්. නිදිමත නැතුව කියන්න පුළුවන් බොහොම හොඳ රසවත් දේවල් ඒ පුවත්පතේ තියෙනවා. ඒ පුවත්පත කියවන්න කියලා මෙතන ඉන්න අයට මම ආරාධනා කරනවා.

අපේ රට බලාපොරොත්තු වෙනවා GSP+ හරහා රටට සහනයන් ලබා ගන්න. GSP+ ලබා ගැනීමේදී එයට අදාල වන සියළුම ක්ෂේත්‍ර වල අය, එනම් මානව හිමිකම්, සේවක අයිතිවාසිකම්, ධරණීය සංවර්ධනය, යහපාලනය සහ පරිසර ආරක්ෂණය කියන හැම ක්ෂේත්‍රයකම අය අද මෙතන රැස් වෙලා ඉන්නවා. අපේ රට ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27 කට බැදිල තියෙනවා. අපේ දැනට තියෙන පාලන ක්‍රමය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත මම කලින් සඳහන් කල සංරචක පහට අදාළව ප්‍රඥප්තීන් 27 අපි ආරක්ෂා කරගත්තොත් අපිට 2010 දි අහිමි වුන GSP+ සහනය ආපසු ලබා ගැනීම අපහසු වෙන එකක් නැහැ.

Rights Now ආයතනය සහ Democracy Reporting International කියන මේ ආයතන දෙක එකතු වෙලා කරන්නෙ ඉතාමත්ම හොඳ වැඩක්. මිනිස්සු ඇත්තටම දන්නෙ නැහැ GSP+ ගැන. ඕනෑම ක්‍රියාවලියකට විරුද්ධ වෙන පිරිස් අපේ රටේ ඉන්නවා. මේක ලංකාවට ගැළපෙන්නෙ නැහැ, මේක හොඳ නැහැ වගේ කතා ඒ පිරිස කියනවා. නමුත් බදු සහන සහිතව යුරෝපා සංගමයට අයත් රටවල් වලට භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් GSP+ අපට ඉතා වැදගත් වෙනවා. ඒ අවස්ථාව නැවත ලබා ගැනීම අපට, රටේ සංවර්ධනයට, දියුණුවට ප්‍රයෝජනවත් වෙනවා. මේ හරහා විදේශීය ආයෝජන අවස්ථාවන් ඇති වෙනවා වගේම රැකියා අවස්ථාවන් බිහි වෙනවා. යුරෝපා සංගමය දැනට ලෝකෙ තියෙන ප්‍රබලම සංවිධානයක්. විශේෂයෙන්ම යුද්ධයෙන් පසුවත්, සංහිඳියා කාර්යය තුළත්, ඒ වගේම උතුරේ වෙසෙන සහ අසාධාරණය ලක් වූවයි පිළිගත හැකි සමාජ කොටස් නැවත නඟා සිටුවීමටත් යුරෝපීය සංගමය විශාල අනුබලයක් ලබා දුන්නා. GSP+කියන්නෙත් ඔවුන්ගේ එවැනි අනුබලයක්.

ඉතින් එවැනි තත්ත්වයක් තුළ මෙවැනි වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වීම මම භාග්‍යයක් කොට සලකනවා. යහපාලනය කියන වචනය ඇතුළත සාධාරණ සමාජය කියන දෙයත් තියෙන බව මම හිතනවා. යහපාලන ක්‍රියාවලිය හා සාධාරණ සමාජය තුළ මේ සඳහා බලපෑම් කළ කණ්ඩායම් දෙකක් හිටියා. එක කණ්ඩායමක් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්. අනෙක් කණ්ඩායම තමයි දේශපාලන අධිකාරියට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අය සහ ඇතුළත් වී සිටි අය. ඒ අනුව මේ දේවල් ග්‍රාමීය මට්ටමට එනකොට නිවැරදිව තේරුම් අරන් තියෙනවද කියන එක ගැන මටත් පොඩි සැකයක් තියෙනවා. ඉතින් අද අපිට පුළුවන් එකතු වෙලා සාකච්ඡා කරලා ඒ සැකය ගැන පැහැදිලි කර ගැනීමක් කර ගන්න. රජයේ නිළධාරියෙක් විදියට සහ සිවිල් පුරවැසියෙක් විදියට මමත් කැමතියි GSP+ සම්බන්ධයෙන් අපිට තියෙන අභියෝගය පිළිබඳව වඩාත් දැනුවත් වෙන්නට.

රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය විසින් නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය හා එක්ව ආර්ථික සංවර්ධනය සහ අයිතිවාසිකම් යනුවෙන් පවත්වන වටමේස සංවාද මාලාවේ පස්වන සංවාදය පසුගිය නොවැම්බර් 11 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී  පැවැත්විණි.  රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර විසින් එහිදී දක්වන ලද අදහස් මෙවර සමබිම ඔබ වෙත ගෙන එයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතා විසින් දැක්වු අදහස් 2016 දෙසැම්බර් සමබිම කලාපයට සකස් කලේ රුවිනි අයේෂා බියගම විසින් 

Recent Posts

Tags: , , , , , , , , , , , , , , , ,

Leave a Comment