නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සුරක්ෂිත විය යුතු LGBTIQ ප්‍රජාවගේ අනාගතය

Jan 5th, 2017 | By | Category: LGBTIQ ප්‍රජාව, OTHER NEWS, අධ්‍යාපනය, කාන්තා, දැනුම, දේශපාලන, නීතිය, පුද්ගල නිදහස, පුරවැසි අයිතිය

බොහෝ යටත්විජිත රටවල්වල මෙන්ම ශ්‍රී ලංකාවේ ද වර්තමානයේ පවතින නීතිය බ්‍රිතාන්‍යය වික්ටෝරියානු සදාචාරය මත පදනම් වූවකි. මෙහිදී ලිංගික කැමැත්ත හා දිශානතිය මත පදනම්ව සුළුතර යැයි සැලකෙන ලිංගික අනන්‍යතා සහිත කොටස්වලට අදාළව හානි සහගත නීතියක් පැවතීම කනගාටුවට කරුණකි. මුල් කාලීනව කාන්තාව සම්බන්ධව පැවති නීති හා රෙගුලාසි වෙනස් වී කාන්තාවන් සම්බන්ධ ප්‍රගතිශීලී වෙනස්කම් සහිත අයිතිවාසිකම් හා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ ද තවමත් 1883 සිට පවතින සමසෙනෙහස් ප්‍රජාවට (Lesbian and Gay) එරෙහිව බලපාන නීතිය බලසම්පන්න වෙමින් පවතී. 1978 දී සම්පාදනය කළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවිධ අවස්ථාවලදී සංශෝධනය වුව ද ශ්‍රී ලංකාවේ LGBT ප්‍රජාවට අදාළ නීති හෝ, වෙනස්කොට සැලකීම්වලට අදාළව වෙනස්කම් සිදුවූයේ නොමැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය, අන්තර්ජාතික මනෝවිද්‍යා සංගමය හා පිළිගත් මනෝ වෘත්තිකයින් වර්තමානයේදී පිළිගන්නා ආකාරයට යම් පුද්ගලයෙකු සමාන ලිංගිකයන්ට ආකර්ෂණය වීමට බලපාන හේතු එම පුද්ගලයාගේ මානසික ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වේ. යම් පුද්ගලයෙකුගේ මොළයේ වම් අර්ධය හා එය ශරීර අංගවලට ප්‍රතිචාර දක්වන ආකාරය අතර සෘජු සම්බන්ධතාවක් පවතී. පුද්ගලයාගේ මනසින් ඔහු හෝ ඇය ආකර්ෂණය වීමට අදාළ රසායනයන් නිකුත් කරන්නේ සමාන ලිංගිකයන් කෙරෙහි නම් එම පුද්ගලයා සමසෙනෙහස් හෝ පොදු සමාජයේ සමලිංගික ලෙස හඳුන්වන කෙනෙකු වේ. එහි කිසිදු ආකාරයේ ඇබ්බැහිවීමක් හෝ මානසික ව්‍යාධිමය තත්ත්වයක් නොපවතී. එහෙත් සමාජය මේ පිළිබඳ දැනුවත්වීමක් නොමැති නිසා මෙම පුද්ගලයන්ට එරෙහිව විවිධ ආකාරයේ හිංසනයන් සිදුවීම කනගාටුවට කරුණක් වී ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන පරිච්ඡේදය ශ්‍රී ලාංකේය ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කරන අතර එහිදී මානව සමාජයේම කොටසක් වන සුළුතර ලිංගික කොටස්වලට සමාන ලෙස සැලකීමේ අයිතිය තහවුරු කර නොමැත. එමෙන්ම සුළුතර ලිංගික ප්‍රජාව විවිධාකාරයෙන් හිංසාවට, පීඩාවට භාජනය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික අයිතිවාසිකම් පිළිබඳ නැවත ප්‍රශ්න කිරීමට අවස්ථාව සලසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ එන උප වගන්ති කිහිපයක් විමසීමට ලක්කිරීම මෙම ලිපි මාලාවේ අරමුණ වන අතර මෙවර සමබිම කලාපයෙන් ගෙන එන්නේ එහි පළමු කොටසයි.

affair-telugu-movie-photos-31

සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස හා ආගමික නිදහස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිතීමේ නිදහස ආරක්ෂා කර තිබීම වැදගත් කරුණකි. එහෙත් LGBTIQ සමසෙනෙහස් කාන්තා (Lesbian), සමසෙනෙහස් පුරුෂ (Gay), ද්වි සෙනෙහස් (Bi Sexual), සංක්‍රාන්ති සමාජභාවීය (Trans Gender), අන්තර්ලිංගික (Intersex) හා ලිංගික දිශානතිය ප්‍රශ්නභාවී පුද්ගලයන්ට (Questioning) ඔවුන්ගේ මනස මගින් ඔවුන් පොළඹවන ආකාරයටම සිතිය හැකිද යන්න ගැටලුවකි. සමාජයක් තුළ පවතින වාතාවරණය ලිංගික දිශානතිය වෙනස් පුද්ගලයන් කෙරෙහි අමානුෂික ලෙස සලකන්නේ නම් එම සමාජය පුද්ගල සිතීමේ නිදහස තහවුරු කරන්නේදැයි ගැටලුවක් පවතී. හෘද සාක්ෂිය යනු පුද්ගලයාගේ මානව නිදහස සමඟ සෘජුව සම්බන්ධ වන්නක් වේ. තම අනන්‍යතාවය, තමන් ලිංගිකව ආකර්ෂණය වන්නේ කා හටද යන්න පිළිබඳ පවතින කැමැත්ත සමාජීය වශයෙන් පවතින සාපරාධී මතවාද සමඟ සම්බන්ධ වන්නේ නම් ඛඨඊඔෂූ පුද්ගලයන්ගේ හෘද සාක්ෂිය ඔවුන් පිළිබඳ සත්‍ය තත්ත්වය ප්‍රකාශ නොකරයි.

වධහිංසාවලින් මිදීමේ නිදහස

වධහිංසා යනාදිය කායික, මානසික, වාචික වශයෙන් මෙන්ම චිත්තවේගීමය වශයෙන් සම්බන්ධ වේ. ශ්‍රී ලංකාව තුළ LGBTIQ ප්‍රජාව පවුලෙන්, දේශපාලන පක්ෂවලින්, මිතුරු සමාජවලින්, ආගමික සංවිධානවලින්, රැකියා කරන ස්ථානවලින්, අධ්‍යාපනය ලබන ස්ථාන මෙන්ම ඔවුන්ට අවශ්‍ය කාර්යයන් කරගැනීමට යන සෞඛ්‍ය, පොලීසිය ඇතුළු රජයේ ආයතනවලදී ද විවිධාකාරයෙන් හිංසාවලට භාජනය වන අතර එම හිංසාවන් සෘජුවම ලිංගික අනන්‍යතාවන්, ලිංගික ක්‍රියාවන් සමඟ සම්බන්ධ වේ. විශේෂයෙන් මෙම ප්‍රජාවට එරෙහිව භාවිත කරන අපහාසාත්මක වචන මානසික වශයෙන් මෙම ප්‍රජාව පහත් තත්ත්වයට ඇද දැමීමට හේතුවේ. පුද්ගලයන්, මාධ්‍ය ආයතන හා එහි සිනමා හා ටෙලි නාට්‍ය නිර්මාණ, ආගමික සංවිධාන, විවිධ පටු අදහස් සහිත දේශපාලන පක්ෂ හා නායකයින් සුළුතර ලිංගික ප්‍රජාවට එරෙහිව සිදු කරන විවිධ ප්‍රකාශ මෙන්ම මහජනතාවගෙන්, පොලීසියෙන්, නීතිමය ආයතන, විවිධ තැරැව්කරුවන්ගෙන් සිදුවන කායික, වාචික, මානසික මෙන්ම චිත්තවේගීමය හිංසන යනාදිය ද සැලකිය යුතු මට්ටමක පවතී. මෙලෙස පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය මත පදනම්ව එම පුද්ගලයා සාපරාධී ලෙස නොසලකා හැරීම හරහා ඔවුන්ට එරෙහිව සිදුකරන අපචාරී ක්‍රියා හරහා, ඔවුන්ට එරෙහිව පරිහරණය කරන විවිධ අපහාසාත්මක වචන යනාදියෙන් ගම්‍ය වන්නේ ශිෂ්ටසම්පන්න දියුණු මිනිසුන් සිටින සමාජයක හැසිරීමක් නොවේ.

මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රසිද්ධ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා සිටියේ සමලිංගිකත්වය නැතහොත් සම සෙනෙහස්භාවය මානසික රෝගයක් මෙන්ම සත්ත්ව සමාජයේවත් දැකිය නොහැකි ආකාරයේ අශ්ලීල හැසිරීමක් වන බවයි. වෛද්‍ය නලින්ද ජයතිස්ස පුද්ගල පෞරුෂ සංවර්ධන අවධියේදී කෙනෙකු සමලිංගික වීමට බලපෑ හැකි මානසික සාධක පිළිබඳ නොදැනුවත්වීම කනගාටුවට කරුණකි. පුද්ගල පෞරුෂය ගොඩනැගීමේ විවිධ අවධීන් අතර වයස 6න් පසුව සිදුවන පායුක අවධිය විශේෂ වන අතර එම කාලයේදී කුඩා ළමයෙකු තම ලිංගික ආකර්ෂණය පිළිබඳ සංජානනය කරගන්නා දේවල් මත ඔහුගේ හෝ ඇයගේ ලිංගික දිශානතිය තීරණය වන බව මෙම වෛද්‍යවරයාට දැනුම් දීමට කැමැත්තෙමි. නොදැනුවත් පිරිස් අතින් මෙන්ම උගත් ප්‍රජාව අතින් ද මේ ආකාරයට සුළුතර ලිංගික ප්‍රජාව සමාජය තුළ විවිධාකාරයේ වධහිංසාවලට ලක්වීම දැකිය හැකිය.

අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීමෙන් රඳවා තබාගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස හා අතීතයට බලපාන දණ්ඩ නීති පැනවීම තහනම් කිරීම

මෙහිදී අප විසින් අවධාරණය කිරීමට උත්සාහ දරන ප්‍රධානතම කරුණ නම් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට යම් ආකාරයේ හිංසනයක්, අපහාසයක්, පීඩනයක් හෝ ප්‍රචණ්ඩත්වයට ලක්වීමක් සිදු වුවහොත් එම පුද්ගලයාට නීතියේ ආරක්ෂාව හා සාධාරණය පැතීමේ ඉඩකඩක් පවතින නමුත් ඉහත කී ප්‍රජාවේ අනන්‍යතාව හා සම්බන්ධව, ඔවුන් පවත්වන සම්බන්ධතා, ඔවුන් හැසිරෙන ආකාරය වරදක් (අපරාධයක්) ලෙස සලකන ආකාරයේ නීතියක් පවතින නිසා එම පුද්ගලයන්ට නීතියේ සහාය පැතීමට ඇති ඉඩකඩ ද අහුරා තිබෙන බවයි.
තවත් කොටසක් සමබිම ජනවාරි කලාපයෙන් බලාපොරොත්තු වන්න.

තුෂාර මනෝජ් විසින් 2016 සමබිම දෙසැම්බර් කලාපයට රචිත ලිිපියකි 

Recent Posts

Tags: , , , , ,

Leave a Comment