සුපිරි ඇමැති, සංවර්ධන පනත සහ දෙවන ආර්ථික විප්ලවය | හර්ෂ ගුණසේන

Jan 7th, 2017 | By | Category: OTHER NEWS, ආර්ථික, කාලීන, දේශපාලන, සමබිම ඉරිදා අතිරේකය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නුදුරු අනාගතයේදීම සම්මත වීමට නියමිතය. එහි ඇති ප්‍රධාන අන්තර්ගතයන් වන්නේ

අ.) ජනාධිපති ක්‍රමයේ ඇතිකිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් සහ

ආ.) බලය බෙදීම සම්බන්ධයෙන් ඇතිකිරීමට බලාපොරොත්තුවන වෙනස් කම්ය.

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත මේ අතරවාරයේ කරළියට පැමිණ තිබේ. මේ මගින් නිශ්චිත ඇමතිවරුන් දෙපළකට සංවර්ධනයට සහ ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව විශේෂ බලතල පැවරේ.  මෙයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක ඇති අවශ්‍යතාවයයි.

1970 දී බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් එවකට තිබූ උත්තර මන්තී මණ්ඩලය හෙවත් සෙනේට් සභාව අහෝසි කිරීම මගින් ආණ්ඩුවේ අණපනත් සම්මත කරගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වැළැක්වීමටද  දේශපාලන අධිකාරියක් ඇති කිරීම මගින් දේශපාලනඥයන්ට වැඩි බලතල දීම හරහා සිවිල් සේවයේ බල අධිකාරිය අවප්‍රමාණ කිරීමටද කටයුතු කරන ලදී. 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන ලද්දේ එවකට රටේ පැවති ප්‍රධාන සංස්කෘතික මතවාදයටද, ප්‍රධාන ආර්ථික මතවාදයටද එරෙහිව ඇතිකරන ලද විවෘත ආර්ථික ක්‍රමය ස්ථාපනය කිරීම සඳහායි. එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තු ආණ්ඩු විසින් විසඳුමක් දීමට අපොහොසත්වූ මෙරට ජාතික ප්‍රශ්නයට මෙතෙක් දී ඇති එකම විසඳුම වන 1978 ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ඇති කරන ලද්දේ මුළු රටමද එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයාද ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාද එරෙහිව සිටියදී ජනාධිපති වරයාගේ විධායක බලතල නිර්දය ලෙස පාවිච්චි කිරීම මගිනි. 13 වන සංශෝධනයට එදා එරෙහිවූ සහ එම සංශෝධනයෙහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ පළාත් සභා ඡන්දය වර්ජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද උතුර සහ නැගෙනහිර හැර සියලුම පළාත් සභා වල බලය දරයි.

ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්/ වරියන් විසින් ඔවුන්ගේ බලතල රටේ සංවර්ධන කාර්යයන් උදෙසා පාවිච්චි කර ඇති සේම එම බලතල සම්මත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන්ට පටහැනිව  අවභාවිත ද කර ඇත.  මෙම අවභාවිතය ඉහළින්ම කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දුවී බලයට පැමිණ පැවති ජනාධිපති ක්‍රමය 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා තව දුරටත් ශක්තිමත් කළ ඔහුගේ නීච ක්‍රියාව වඩාත් ප්‍රකට වන්නේ එම ක්‍රියාව  වර්තමාන ජනාධිපතිවරයා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා තමාගේ බලතල කප්පාදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාමත් උත්ප්‍රාසජනක විරෝධය නොතකා ක්‍රියා කළ ප්‍රසංශනීය ආකාරය සමඟ සැසඳීම මගිනි.

දැන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මූලික ව්‍යවස්ථාපිත ආයතනයන්හි ප්‍රධානීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි කිරීම හරහා එම ආයතනවල ස්වාධීනත්වය තහවුරු වී ඇත. එම ආයතනවල ස්වාධීනත්වය අවප්‍රමාණ වී තිබුණ පසුබිමක ජනතා අපේක්ෂාව වූයේ එයයි. එනමුත් පසුගිය කාලයේ එම ආයතන වල කාර්යක්ෂමතාවය නැංවීම සඳහා ක්‍රියා කළ දේශපාලන අධිකාරියේ බලය කප්පාදු වීම හරහා ඒවායේ කාර්යක්ෂමතාවයට බලපෑමක් විය හැකිය. අප සම්පුර්ණ වටයක් කැරකී එක්තරා ප්‍රමාණයකින් 1970 දී දේශපාලන අධිකාරිය ඇතිකිරීමට පෙර තිබූ තත්ත්වයට ආසන්න තත්ත්වයකට පැමිණ සිටිමු.  වඩාත් පැහැදිලිව කිවහොත්  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත්වීම තුළ රජවන නිලධාරිවාදය පිළිබඳ ගැටලුවට අපි මුහුණපා සිටිමු.

ඒ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත. විවෘත ආර්ථිකය දැන් මෙරට ස්ථාපිත වී ඈත. එයට විරුද්ධවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු මානුෂික මුහුණුවරක් දුන් විවෘත ආර්ථිකය සහ ජාතික මුහුණුවරක් දුන් විවෘත ආර්ථිකය හරහා විවෘත ආර්ථිකය දිගටම පවත්වා ගෙන ඇත. යුද්ධය අවසන්වී සාමය නුදුරු අනාගතයේදී ඇතිවීම හරහා දැන් රටට ආර්ථික වශයෙන් තවත් ඉදිරිපිම්මක් පැනීමට අවශ්‍ය වී ඇත. සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සලකා බැලිය යුත්තේ මේ පසුබිම තුළය.

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත අවශ්‍ය වන්නේ ඉක්මන් ආර්ථික දියුණුවක් සඳහා ඉලක්කගත වැඩ පිළිවෙළක් සඳහාය. මෙම පනත් කෙටුම්පත විවේචනය කරන්නවුන් ප්‍රධාන කාරණා දෙකක් සඳහන් කරති. එනම් පළාත් සභා වල බලතල සුපිරි ඇමතිවරයකුට පැවරීමත් මධ්‍යයේ වෙනත් ඇමතිවරුන්ටද  ජනාධිපතිවරයාටද ඇති බලතල මෙම සුපිරි ඇමති වරයාට පැවරීමත් ය.

මෙම පනත මගින් සංවර්ධනය සඳහා සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා ඒජන්සි දෙකක් ඇතිකිරීමටද ආර්ථික හා වෙනත් රාජ්‍ය ප්‍රතිපත්තීන් සැකසීම සඳහා වෙනම කාර්යාලයක් ඇතිකිරීමටද යෝජනා කර ඇත. සංවර්ධනය සඳහා වන ඒජන්සිය  ක්‍රියාත්මක වන්නේ පුද්ගලික අංශයේ සමාගමක මෙන් අධ්‍යක්ෂ මණ්ඩලයක් වැනි පාලන මණ්ඩලයක කළමනාකාර අධ්‍යක්ෂවරයකුගේ හා ප්‍රධාන විධායක නිලධාරියකුගේ පාලනය යටතේය. මොවුන් පත් කිරීමේ බලය ඇමති වරයාට ඇත. මේ මගින් ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරයා සතු විධායකයේ තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත් කිරීමේ බලය සිහිගන්වන බලයක් අදාළ ඇමතිවරයාට දී ඇත.

සංවර්ධනය සඳහා වන ඒජන්සියේ අරමුණු අතර ආර්ථිකය නවීකරණය කිරීම, ශ්‍රී ලාංකික අපනයනවලට ජාත්‍යන්තර සැපයුම් ජාල වලට සම්බන්ධ වී ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කිරීමට හැකි වීමට ඉඩ සලසා දීම, රැකියා උත්පාදනය කිරීම හා වෙළෙඳ ශේෂය අවම කිරීම වැනි  වහා කළ යුතු ආර්ථික ක්‍රියාකාරකම් ඇතුළත්ව ඇත. මෙම ඒජන්සිය ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයාගේ අධීක්ෂණයට යටත් වේ.
ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා යම් පළාත් සභා බල ප්‍රදේශයක සංවර්ධන කටයුතු කරණ විට අදාල මහා ඇමතිවරයාගේ අනුදැනුම ඇතුව එම  කාර්යයන් කළ යුතුය.

මෙයට අමතරව දිවයින දකුණ, වයඹ, මධ්‍යම, නැගෙනහිර සහ උතුර වශයෙන් ප්‍රදේශ 5 කට බෙදා ප්‍රාදේශීය මණ්ඩල 5ක් ඇතිකර ඇත. මෙම මණ්ඩල ඇත්තේ ඒජන්සියට පහළිනි. මේවා පාලනය වන්නේ අදාළ පළාත් සභා වල ලේකම්වරුන්ගෙන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩල මගිනි.

ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන ඒජන්සිය වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්, ආනයන හා අපනයන පාලක සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති වැනි ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් පාලනය වේ. මෙය ජාත්‍යන්තර වෙළෙඳාම භාර ඇමතිවරයාගේ අධීක්ෂණයට යටත් වේ.

මණ්ඩල වලටද ඒජන්සිවලටද සහ අදාළ ඇමැතිවරුන්ටද ඉහළින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, අදාළ  ඇමතිවරුන්ගේ බලතලවලට යටත් වන කාර්යයන් භාර ඇමතිවරු, මහා ඇමතිවරු සහ  තවත් අය ගෙන් සමන්විත ග්‍රාමීය නවීකරණ මණ්ඩලයක් ඇත. ග්‍රාමීය ආර්ථිකය නවීකරණයට සහ මහා ආණ්ඩුවේ හා පළාත් සභා සමඟ ඒජන්සියේ සම්බන්ධීකරණයට අදාළ නිර්දේශයන් ඒජන්සි වලට නිකුත් කිරීමේ බලය මෙම මණ්ඩලයට ඇත.

ආර්ථික හා වෙනත් රාජ්‍ය ප්‍රතිපත්තීන් සැකසීම සඳහා වන කාර්යාලයේ  කටයුතු හැරුණු විට අනෙක් සියලු කටයුතු  බලපැවැත්වෙන කාලය අවුරුදු තුනකි. මෙම ඒජන්සි සහ මණ්ඩලවල සාමාජිකයන් ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට පැමිණවීමට නොහැකි වන අතර මෙම මුක්තිය ලබාදීම පවතින සංවරණ සහ තුලන බිඳ දැමීමකි. ඇමතිවරයා විසින් පනවනු ලබන නියෝග පාර්ලිමේන්තුව විසින් අනුමත නොකළ හොත් එම අනුමත නොකළ දින සිට ඒවා ක්‍රියාත්මක වීම ඇණහිටිනු ඇත.

දැනට රජයේය අමාත්‍යංශ ක්‍රියාත්මක වන්නේ වෙන වෙනම වන අතර ඒවායේ සම්බන්ධීකරණය ඉතාම දුර්වල බව මහජනතාව අත්දැකීමෙන් දනිති. අවුරුදු තුනක කාලයකට ක්‍රියාත්මක වන මෙම පනත මගින් පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව එක්ව ක්‍රියා කිරීමේ යාන්ත්‍රණයක්ද  මධ්‍යම ආණ්ඩුවේ ආර්ථික සංවර්ධනයට අදාල වන විවිධ අමාත්‍යංශ සම්බන්ධීකරණය කිරීමේ යාන්ත්‍රණයක් ද සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ මෙන් කාර්යක්ෂම පරිපාලන ව්‍යුහයක් සකසා ඇත.

ඇමතිවරයා/වරුන්  සතු බලය නිශ්චිත කාර්යයක් සඳහා නිශ්චිත කාලයක් තුළ ක්‍රියාත්මක කළ හැකිය. මෙය පවතින ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු බලතල මෙන් සියලු දේ මත සදාකල් පවතින බලයක් නොවේ. පළමුවන ආර්ථික විප්ලවයේදී විධායක ජනාධිපති බලතල පාවිච්චි කළාක් මෙන් ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනා කර ඇති මෙම අවස්ථාවේදී දෙවන ආර්ථික විප්ලවය සඳහා මෙවැනි පනතක් අත්‍යවශ්‍ය වේ.

මෙම පනත ඇමති මණ්ඩලය මගින් අනුමත කර ඇත. එනමුත් ඇමති මණ්ඩල සාකච්ඡා වලදී නිහඬව සිටි ඇතැම් අමාත්‍යවරුන් මෙම පනත් කෙටුම්පත විවේචනය කරමින් සිටිති. එමෙන්ම සියලුම පළාත් සභා මෙම පනතට විරුද්ධ වී ඇත. උතුර සහ නැගෙනහිර හැර සියලු පළාත් සභා වල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුය. පළාත් සභා මෙම පනතට විරුද්ධවන ප්‍රධාන හේතුව දේශපාලනයයි. දැනට පවතින පළාත් සභා බලතල ප්‍රමාණවත් නොවන බව කියන දෙමළ ජාතික සන්ධානයේ පාලනය යටතේ පවතින උතුරු පළාත් සභාව මෙම පනත් කෙටුම්පතට එරෙහි යෝජනාවක් සම්මත කරගැනීම තේරුම් ගත හැකිය. නමුත් දකුණු ප්‍රදේශයේ පළාත් සභාවල බලය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටින්නේ පළාත් සභාවල බලතල ආරක්ෂා කිරීම වෙනුවෙන්ද යන්න නොපැහැදිලිය. මෙම පනතට විරුද්ධවන පළාත් සභා වලට 13 වන සංශෝධනයට එහා යන බලය බෙදිමකටද විරුද්ධ වීමට කිසිම අයිතියක් නොමැත. ඒ බව පළාත් සභා සහ ඒවායේ පාලක පක්ෂයන් විසින් පැහැදිලිව මතක තබා ගත යුතුය. එමෙන්ම මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇති ප්‍රාදේශීය මණ්ඩල 5 ට අනුරූපව බස්නාහිර පළාත් සභාවද ඇතුළුව පළාත් සභා ප්‍රමාණයද 6ක් දක්වා අඩු කිරීමට හැකි නම් එය ඉතාමත් ඉදිරිගාමී පියවරක් වනු ඇත.

වරළත් ගණකාධිකාරි හර්ෂ ගුණසේන මහතා විසින් 2017.01.08 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි .

Recent Posts

Tags: , , , , , , , , ,

Leave a Comment