යුධ අපරාධ යුක්තිය පසිදලිමට දේශිය අපරාධ නීතිය සුදුසු ද ?

Jan 11th, 2017 | By | Category: OTHER NEWS, Today Lead News, අවතැන්වූවෝ, දේශපාලන, නීතිය, ප්‍රතිසන්ධානය, බලය බෙදීම, සරනි ගුණතිලක

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ ය සහ ත්‍රිවිධ හමුදාව යන දෙපාර්ශ්වය අතින්ම යුද අපරාධ සහ මනුෂ්‍යයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත. මේ අපරාධ චෝදනා හමුවේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යම් අපරාධයක් සිදු වී ඇත්නම් ඒවා පිලිබඳ විමර්ශනය කර, නඩු පැවරීම දේශීය නීති යාන්ත්‍රනය යටතේ සිදු කල යුතු බවයි. එනමුත් මේ සඳහා දේශීය නීති යාන්ත්‍රනය සතු ශක්‍යතාවය විමසා බැලීමේදී ගැටළු රැසක් පැන නගී. මීට ඉහතදී අප විසින් අපරාධ වගකීම පැවරීම පිළිබඳව විමසා බැලුවෙමු. මෙවර මා අපේක්ෂා කරන්නේ යුද අපරාධ වලට එරෙහිව දේශීය අපරාධ නීතිය යටතේ නඩු පැවරීමේදී මතු වන තවත් ගැටළු කිහිපයක් පිලිබඳව සාකච්ඡා කිරීමටයි.

අන්තර්ජාතික අපරාධ නීතිය සහ දේශීය අපරාධ නීතිය

අන්තර්ජාතික අපරාධ නීතිය යනු ලෝකය තුල සිදු වන ඉතාම බරපතල ගනයේ අපරාධයන්ට වඩාත් වග කිව යුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට සකස් වී ඇති නීති පද්ධතියයි. මෙය අන්තර්ජාතික නීතියේම එක් කොටසක් වන නමුත් මෙහිදී වගකීම පැවරෙන්නේ තනි පුද්ගලයන්ට මිස රාජ්‍යයන්ට නොවේ. එසේම මෙම නීතියට අදාළ සියලු කොටස් එකම සම්මුතියකින් හෝ ග්‍රන්ථයකින් හෝ සොයා ගත නොහැකිය. අන්තර්ජාතික නීතිය මෙන්ම අන්තර්ජාතික අපරාධ නීතිය සම්බන්ධ නීති සහ මූලධර්මයන්, අන්තර්ජාතික සම්මුතීන්, සම්ප්‍රදායන් මත පදනම් වූ අන්තර්ජාතික නීතිය, අන්තර්ජාතික නීති මූලධර්ම, නඩු තීන්දු සහ විද්වත් ලිපි ආදියෙන් සොයා ගත යුතුය. උදාහරණ ලෙස රෝම ව්‍යවස්ථාව (Rome statute) සහ 1949 ජිනීවා සම්මුතීන් (Geneva Conventions) දැක්විය හැකිය.

41ne0ijdbl-_ac_ul320_sr220320_

දේශීය අපරාධ නීතිය යටතේ අප රට තුල සිදු වන නොයෙකුත් ආකාරයේ අපරාධ වැරදි වලට එරෙහි නීතීන් ඇතුලත් වේ. මෙම අපරාධ වැරදි සියල්ලක්ම පාහේ දණ්ඩ නීති සංග්‍රහය තුල දක්වා ඇත. ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහය මගින් අපරාධ නීති ක්‍රියාපටිපාටියද දක්වා ඇත. ශ්‍රී ලංකාව 1949 වසරේ ජිනීවා සම්මුතීන් වලට අත්සන් තබා ඇත. එහෙත් 1949 ජිනීවා සම්මුතීන් අදාළ වන්නේ අන්තර්ජාතික යුධමය තත්වයන්ට පමණි. ශ්‍රී ලංකාව තවමත් අන්තර්ජාතික අපරාධ නීතියෙහි සඳහන් එහෙත් අන්තර්ජාතික නොවන යුධමය තත්වයන්ට අදාළ යුධ අපරාධ, මානුශීයත්වයට එරෙහි අපරාධ හෝ වර්ග ඝාතන අපරාධ යන අපරාධ වලට අදාළ නීති දේශීය අපරාධ නීති පද්ධතියට අන්තර්ගත කර ගැනීම සිදු කර නැත. එබැවින් පවත්නා නීති රාමුව තුල අන්තර්ජාතික නොවන යුද්ධයකදී සිදු වූ යුධ අපරාධ වලට එරෙහිව දේශීය යාන්ත්‍රණයක් යටතේ නඩු පවරන්නේ නම් එය සිදු කිරීමට වන්නේ දේශීය අපරාධ නීතිය යටතේයි.

නමුදු දේශීය අපරාධ නීතිය සකස් වී ඇත්තේ රටක සාමාන්‍ය තත්ත්වයන් යටතේ අපරාධ සිදු වන ස්වභාවය සැලකිල්ලට ගනිමින් වන අතර අන්තර්ජාතික අපරාධ නීතිය සකස් වී ඇත්තේ යුධමය වාතාවරණයන් තුල අපරාධ සිදු වන ස්වභාවය සැලකිල්ලට ගනිමිනි. මෙය ඉතාම වැදගත් වෙනස්කමකි. මෙම වෙනස් වූ තත්ත්ව යටතේ අපරාධ සිදු වන ආකාරය සැබෑ ලෙසම වෙනස් වන බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. එනිසාවෙන්ම යුධ අපරාධ වලට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා දේශීය අපරාධ නීතිය යොදා ගැනීමට යාමේදී පහත ගැටළු උද්ගත වනු දැකිය හැකිය.

දේශීය නීතිය යටතේ අපරාධ ලෙස සලකනු ලැබුවද සැබවින්ම යුධ අපරාධ නොවන සිදුවීම්

දේශීය අපරාධ නීතිය යනු ඉහත කී පරිදි එදිනෙදා සාමාන්‍ය තත්ත්ව යටතේ සිදු වන අපරාධ පිළිබඳව කටයුතු කිරීම සඳහා සකස් වූ නීතියක් වන බැවින් යුධමය වාතාවරණයක සුවිශේෂී තත්වයන් පිළිබඳව අවධානය යොමු නොකරයි. එබැවින් අන්තර්ජාතික අපරාධ නීතිය යටතේ යුධ අපරාධ ලෙස නොසැලකෙන ක්‍රියාවන් දේශීය නීතිය යටතේ අපරාධ ලෙස සැලකෙන අවස්ථා දක්නට ලැබේ. වඩාත් පැහැදිලිව කිවතොත් අන්තර්ජාතික අපරාධ නීතියට අනුව සොල්දාදුවන් විසින් යුධ වාසි ලබා ගැනීම සඳහා සිදු කරන දේපල විනාශ කිරීම් සහ ජීවිත විනාශ කිරීම් සියල්ලක්ම අපරාධ ලෙස සලකන්නේ නැත. උදාහරණයක් ලෙස යුධ වාසි ලබා ගැනීමේ අරමුණින් ප්‍රතිවිරුද්ධ සටන්කරුවන්ට, යුධ ඉලක්ක සහ ක්‍රියාකාරී ලෙස යුද්ධයට සහභාගී වන සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික අපරාධ නීතිය යටතේ අපරාධ ලෙස නොසැලකේ. එහෙත් සිවිල් වැසියන් ඝාතනය කිරීම දේශීය අපරාධ නීතිය යටතේ අපරාධයක් ලෙස සැලකේ. අනෙක් අතට යුධ වාසි ලබා ගැනීමේ පරමාර්ථය යන්න දේශීය නීතිය යටතේ මනුෂ්‍ය ඝාතන හෝ දේපල විනාශ කිරීම් වලට විත්තිවාචකයක් සේ කිසිසේත්ම සැලකෙන්නේ නැත. එබැවින් දේශීය නීතිය යටතේ නඩු පැවරීම නිසා යුද්ධයට කැපවුණු සෙබළුන් හට අසාධාරණයක් සිදු වීමට ඉඩ ඇත.

war_crimes

මෙපමණක් නොව අන්තර්ජාතික අපරාධ නීතිය යම් කොන්දේසි වලට යටත්ව යුද්ධයට දායක නොවන සිවිල් වැසියන්ගේ ජීවිත හානි කිරීමද සාධාරණීකරණය කරනු ලබයි. එනම් එම ප්‍රහාරය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන යුධ වාසිය, එම යුධ වාසිය ලබා ගැනීමේ ඇති අවශ්‍යතාවය යන කරුණු වලට සාපේක්ෂව සිදු කිරීමට යන හානිය සාධාරණීකරණය කල හැකි වීම සහ ගත හැකි උපරිම ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබීම යන කොන්දේසි සපුරා ඇති විටක සිදු වන සිවිල් වැසියන්ගේ ජීවිත හානි පවා අන්තර්ජාතික අපරාධ නීතිය යටතේ සාධාරනීකරනය කරනු ලබයි. නමුත් දේශීය නීතිය යටතේ ගෙන බැලුවහොත් මෙම ක්‍රියාවන් අපරාධ ගණයට අයත් වේ.

මෙයින් පැහැදිලි වන්නේ අන්තර්ජාතික අපරාධ නීතිය යුද්ධයක සැබෑ ස්වරූපය හඳුනා ගෙන ඇති නමුත් දේශීය නීතිය එසේ සකස් වී නැති බවයි. එනිසාම දේශීය නීතිය යටතේ යුධ අපරාධ අභිචෝදනයට කටයුතු කළහොත් යුද්ධයක සැබෑ තත්වයන් නොසලකා නඩු පැවරීම කිරීමට සිදු වීම නිසා ආරක්ෂක අංශ සාමාජිකයන් හට දැඩි අසාධාරණයක් සිදු වනු නිසැකය.

තවත් කොටසක් 2017 සමබිම ජනවාරි කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 සරණී ගුණතිලක

Recent Posts

Tags: , , , , , , , , , , , , , ,

Leave a Comment