යහපාලනයට දිරි දීමනාවක්! යුරෝපයට ඩියුටි ෆ්‍රී බඩු යවන්න ලංකාවට වරම්

Jan 13th, 2017 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, ආර්ථික, දේශපාලන, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා අතිරේකය
1-Gsp
ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කරයි
ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් කරන දිරිගැන්වීමක් ලෙස ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපොළ වෙත පිවිසීමේ ඉඩකඩ පුළුල් කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර ඇති බව ජනවාරි 11 වන දින නිකුත් කරන ලද නිවේදනයකින් දැක්වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතය යන සහතිකය සහිත භාණ්ඩ යුරෝපා සංගමයට අයත් රටවල වරාය සහ තොටුපොළ ඔස්සේ යුරෝපා සංගමයට ප්‍රවේශ වීමේදී අය කරනු ලබන තීරු බදු (කස්ටම් ඩියුටි) ඉවත් කිරීම සිදු වනු ඇති අතර ඒ නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ වලට යුරෝපා සංගමය තුළ ඉහළ තරගකාරිත්වයක් හිමිවනු ඇත. කෙසේ වුවද මෙම වරම ලැබෙනුයේ තිරසර සංවර්ධනය, මානව හිමිකම් සහ යහපාලනය කෙරෙහි ශ්‍රී ලංකාව අඛණ්ඩ කැපවීමක් දක්වනු ඇති බවට වන කොන්දේසිය මත පදනම්ව වන අතර ඒ සම්බන්ධව අඛණ්ඩ විපරම් ක්‍රියාවලියක් සිදුවනු ඇත.
මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීම සහ යහපාලනයට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අපරානුමත කොට ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දක්වා ඇති කැපවීමට කරන අගය කිරීමක් ලෙස දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ උදෙසා පනවනු ලබන ආනයන බදුවලින් සැලකියයුතු කොටසක් ඉවත් කළ යුතු යැයි යුරෝපා කොමිසම 2017 ජනවාරි 11 දින යෝජන කළාය. ශ්‍රී ලංකාවෙන් පෙරළා කළගුණ සැලකීමක අපේක්ෂා නොකරමින් යුරෝපා සංගමය විසින් ලබා දීමට නියමිත මෙම වෙළෙඳ වරණයන් හේතුකොට ගෙන පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය වන ආකාරයෙන් තීරු බදු අයකරන භාණ්ඩ වර්ග වලින් 66% බදු සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇති අතර එයට ඇඟලුම් සහ මත්ස්‍ය නිෂ්පාදනද ඇතුළත් ය.
මෙම වරණයන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ජී.එස්.පී. ප්ලස් නමින් හඳුන්වන යුරෝපා සංගමයේ වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය යටතේය. මෙම වැඩපිළිවෙළ නිර්මාණය කොට ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් යුරෝපා සංගමය සමග සිදු කරන වෙළෙඳාම වැඩිදියුණු කිරීම මගින් සහ තිරසර සංවර්ධනය සඳහා වන ස්පර්ශීය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් දිරිගැන්වීම් ලබා දීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වීම පිණිසය.
යුරෝපා කොමිසම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය බලාත්මක කිරීමට පෙර මේ සම්බන්ධයෙන් කිසියම් විරෝධතාවයක් ඇතොත් ඒවා ඉදිරිපත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට සහ යුරෝපා කවුන්සලයට මාස හතරක කාලයක් -එනම් මැයි මස 11 දින දක්වා- ලැබේ.
“යුරොපා වෙළෙඳපොළ වෙත භාණ්ඩ අපනයනය කිරීම ඉහළ දැමීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සැලකියයුතු දායකත්වයක් ලබා දිය හැකි වනු ඇත. නමුත් ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය පිළිබඳව සිදුකරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහය දැක්වීමට යුරෝපා සංගමයෙහි ඇති උවමනාවද මෙයින් පිළිබිඹු වෙයි. මෙම ක්ෂේත්‍රයෙහි කාලෝචිත සහ හරයාත්මක ප්‍රගතියක් තවදුරටත් ඇති වනු ඇති බවට අප විශ්වාසය පළකරන අතර ජී.එස්.පී. ප්ලස් සංවාදය සහ විපරම්කිරීමේ හෙවත් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන නීති ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්වලට සම්පූර්ණයෙන්ම අනුකූලවන ආකාරයට නැවත සකස් කිරීමද මෙම ප්‍රතිසංස්කරණයන්ට ඇතුළත් විය යුතුය. බව යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මම්ස්ටොම් මහත්මිය ප්‍රකාශ කළාය.

madeinsl

කිසියම් රටක් වෙත ජී එස් පී ප්ලස් සහනය ප්‍රදානය කිරීමෙන් එම ප්‍රතිලාභය ලබන රටේ ඉහත දැක්වෙන ජාත්‍යන්තර සම්මුති සියල්ලට අදාළව සම්පූර්ණයෙන්ම සතුටුදායක බව අදහස් නොවෙයි. ඒ වෙනුවට එමගින් ඉහත ජාත්‍යන්තර සම්මුති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම කෙරෙහි දක්වන ප්‍රගතිය වෙනුවෙන් දිරිගැන්වීමක් ලෙස වෙළෙඳපොළට පිවිසීමට ඇති ඉඩ කඩ පුළුල් කිරීම සිදුවන අතර ගැටලු සහගත ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡාමය විසඳුම් වලට එළැඹිය හැකි වේදිකාවක් නිර්මාණය වෙයි. අනෙකුත් සියලුම ජී.එස්.පී. ප්ලස් රටවලට බලපාන ආකාරයටම ශ්‍රී ලංකාව කෙරෙහි තීරු බදු ඉවත් කිරීම සමගම රටේ තිරසර සංවර්ධනය, මානව හිමිකම් සහ යහපාලනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය පිළිබඳව බරපතළ විපරම් ක්‍රියාවලියක්ද සම්බන්ධ වේ.
අතීතයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය මගින් ප්‍රතිලාභ ලැබී තිබිණි. කෙසේවුවද, 2010 වසරේදී ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩයන්ට වරණීය සැලකිල්ලක් ලබා දීම නැවැත්වීමට යුරෝපා සංගමය විසින් තීරණය කරන ලද්දේ රට තුළ වාර්තා වුණු මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බැවිනි. 2015 දී බලයට පැමිණි ශ්‍රී ලංකාවේ නව රජය විසින් ජාතික සංහිඳියාව, මානව හිමිකම් ගරුකිරීම, නීතියේ ආධිපත්‍යය, යහපාලන මූලධර්ම සහ තිරසර ආර්ථික සංවර්ධනය අරමුණු කොට ගත් දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරන ලදී. 2016 ජූලි මාසයේදී ශ්‍රී ලංකා රජය ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අයදුම් කළ අතර, එම අයදුම්පත්‍රය අගැයීමට ලක් කළ යුරෝපා කොමිසම තීරණය කළේ යුරෝපා සංගමයේ රෙගුලාසි අනුව ජී.එස්.පී.ප්ලස් සහනය ලබාගැනීම සඳහා ඇතුළත් වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇති බවය.
පසුබිම:
මානව හිමිකම්වලට ගරුකිරීම වැඩිදියුණු කිරීම සහ යහපාලනය ස්ථාපිත කිරීම සඳහා වන වැදගත් පියවර රාශියක් ශ්‍රී ලංකාව විසින් ගෙන ඇත. ජාතික මානව හිමිකම් කොමිසන් සභාව වැනි වැදගත් ආයතනයන්හි ස්වාධීනතාවය යළි ස්ථාපිත කිරීමට දායක වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම වනාහි සැලකිය යුතු වර්ධනයකි. තවත් ක්ෂේත්‍ර රාශියක් සම්බන්ධව ශ්‍රී ලංකාව විසින් සංයුක්ත ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අතර, අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විභාග කරන බව සහතික කිරීම; වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට වඩා හොඳ රැකවරණයක් ලබා දීම; මතභේදයට තුඩු දී ඇති ත්‍රස්ත මර්දන රෙගුලාසි යටතේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම; ළමා ශ්‍රමය පිටුදැකීම ආදිය වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයන් සමඟ යළි ක්‍රියාකාරීව සම්බන්ධ වීමට පටන්ගති. ශ්‍රී ලංකාව විසින් සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිණිස තමන් ක්‍රියාත්මක වන බවට එකඟතාවය පළ කොට ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒ අතරින් ප්‍රමුඛ වෙයි. එයට අමතරව ශ්‍රී ලංකාව සිය සිස්‍ර සංවර්ධන ඉලක්කයන් බොහොමයක් ළඟාකරගෙන ඇති අතර, විශේෂයෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාවය යන ක්ෂේත්‍ර කැපී පෙනෙයි.
කෙසේවුවද, මෙසේ සාකච්ඡාවට බඳුන්ව ඇති කරුණුවල තත්ත්වය වර්ධනය කිරීම පිණිස තව බොහෝ දේ කළ යුතුව ඇත. තම ත්‍රස්ත විරෝධී නීති ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අනුකූල වන බවට ශ්‍රී ලංකාව වගබලා ගත යුත්තේය. ආරක්ෂක අංශ විසින් සිදුකරන වධහිංසා පැමිණවීම්වලට සහ ඒවාට වගකිවයුත්තන් නීති මගින් දඬුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව හෙවත් නිර්මුක්තිය සහිතව කටයුතු කිරීමට ස්ථිරසාර ලෙසම තිත තැබීම ප්‍රමුඛතාවයක් ලෙස සලකා ක්‍රියා කළ යුතුය. වෙනස්කොට සැලකීම, ගෘහස්ථ හිංසනය, විවාහවීමේ අවම වයස, ලිංගික සුරාකෑම ආදී ගැටලු ආමන්ත්‍රණ කොට ස්ත්‍රීන්ගේ සහ ළමයින්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහාද, වෘත්තීය සමිතිවලට අඩන්තේට්ටම් කිරීම වැළැක්වීම සඳහාද ආණ්ඩුව විසින් තම ප්‍රතිපත්ති සහ නීති සම්පාදන ක්‍රියාවලිය සමාලෝචනය කළ යුතුය. ධනාත්මක ප්‍රගතිය අඛණ්ඩව සිදුවන බව සහතික කිරීම පිණිස මෙම කරුණු සියල්ලම පිළිබඳ ජී.එස්.පී. ප්ලස් වලට අදාළ විපරම්කිරීමේ ක්‍රියාවලියට විෂය වනු ඇත.
යුරෝපා සංගමය වනාහි ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර ශ්‍රී ලංකාව විසින් ලෝකයේ සෙසු රටවලට සිදුකරන අපනයන අතරින් 1/3 කට වගකියනු ලබයි. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2015 වසරේදී යුරෝ බිලියන 4.7 ක් විය. ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය වෙත සිදුකරන ආනයනයන් ප්‍රමාණයෙහි වටිනාකම යුරෝ බිලියන 2.6ක් වන අතර ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ඇඟලුම්, රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ යන්ත්‍රෝපකරණ වෙයි.
මේ අවස්ථාව වන විට ජී.එස්.පී. ප්ලස් සහනය මගින් ප්‍රතිලාභ ලබන රටවල් ගණන 8කි. ඒවා නම් ආර්මීනියාව, බොලිවියාව, කේප් වර්ඞ්, කිර්ගිස්ථානය, මොංගෝලියාව, පකිස්ථානය, පැරගුවේ සහ පිලිපීනයයි. ශ්‍රී ලංකාවද එකතු වීමට වරම් ලබන්නේ මෙම කණ්ඩායමටය.
-යුරෝපා කොමිසම විසින් ජනවාරි 11 වෙනි දින නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක් ඇසුරෙන් නිතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017.01.15 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත සකස් කරන ලදී

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment