සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකට පසුබිම දැන් ටික ටික හැදෙනවා|මහාචාර්ය විජිතපුර විමලරතන හිමි

Jan 16th, 2017 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, ආර්ථික, දේශපාලන, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා අතිරේකය
යවනයනව
සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතව ගිය තැන රටේ ආර්ථීකයේ ගමන් මඟ සම්බන්ධයෙන් ජනතාව විවිධ සැකසංකා පහළ කරනවා. එවන් තත්ත්වයක රටේ ආර්ථීකයේ ඉදිරි ගමනක් තිබෙනවාද?
රටේ ආර්ථිකයට ඉදිරි ගමනක් සකස් කරගන්න නම් හොඳ පදනමක් තිබිය යුතුයි. 8%ක 10% ක පමණ ආර්ථික වෘද්ධියක් අවිච්ඡින්නව අවුරුදු 15ක් 20ක් හෝ 25ක් වැනි කාලයක් රටේ ගෙන යා හැකි නම් එය ලොකු පරිවර්තනයකට හේතු වෙනවා. රජයට මේ සම්බන්ධයෙන් අදහසක් තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පසුගිය අවුරුදු දෙකක කාලය එක්වී පසුබිම් වෙනස් කිරීමේ කටයුත්තේ නිරත වී සිටනවා. එම පසුබිම සකස් කර ගැනීමෙන් අනතුරුවයි රටක් වශයෙන් අපට වේගවත් ගමනක් යන්නට අවස්ථාව ලැබෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2030 දක්වා තිරසර සංවර්ධනය පිළිබඳ සැලැස්මක් සකස් වෙමින් තිබෙනවා. එමෙන්ම “බලගතු ශ්‍රී ලංකාවක්” සංකල්පයේ අවුරුදු පහකට අදාළව යම් කොටසක් ඉදිරිපත්ව තිබෙනවා.
එහෙත් ආර්ථීකය අරභයා රටේ විවිධ උද්ඝෝෂණ, විවිධ අදහස් පළ කිරීම් ඇතිව තිබෙනවා. අපේ රටේ නිල නාමයට අනූව එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වගකීමක් ඇතිව භුක්ති විදීමේ අයිතිය සහ නිදහස රටේ ජනතාවට තිබෙනවා. අපේ රටේ ජනගහණය මිලියන 20ක් පමණ වෙනවා. රටේ ජාතික නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 82ක් පමණ වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4000 කට මඳක් අඩුයි. එවැනි පරිසරයක් තුළ රටේ ඒක පුද්ගල ආදායම වැඩි කළ යුතුයි. ඒ සඳහා රටේ කර්මාන්ත අංශය, කෘෂිකර්මාන්තය, සේවා අංශය සහ විශේෂයෙන්ම අපේ අපනයන කටයුතු ආදී හැම අංශයක්ම පුළුල් කළ යුතුයි. එහෙත් මේ සියල්ලක් ආණ්ඩුවටම පමණක් කළ හැකි වෙන්නේ නැහැ. දේශීය පුද්ගලික අංශය, විදේශීය පුද්ගලික අංශය මෙන්ම රටේ හැම පුද්ගලයෙක්ම මේ කටයුත්තේදී සක්‍රීය සහභාගීත්වයක් දැරීය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම රටේ දැන් හොඳින් සකස් වෙන බව මගේ අදහසයි.
සම්මුතිවාදී ආණ්ඩුව සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමේ ආර්ථීක ඉලක්කයක් පෙරදැරිවයි කටයුතු කරන්නේ. මෙයින් සමාජය අමතක කරමින් වෙළෙඳපොළ වෙනුවෙන් හෝ වෙළෙඳපොළ අතහැර සමාජය වෙනුවෙන් හෝ වැඩ කිරීම වෙනුවට මේ දෙක අතරම වැඩ කිරීමට ආණ්ඩුව යෝජනා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ඵෙතිහාසික වශයෙන් බැලුවොත් ඉතාම සෞභාග්‍යමත් රටක්. වියළි කලාපය කේන්ද්‍රකර ගත් සංස්කෘතියක් අපිට තිබුණා. 13 වැනි ශතවර්ෂයේ මාඝ ආක්‍රමණයෙන් පසුව අපේ සභ්‍යත්වය පොළොන්නරුවෙන් දඹදෙනියට පැමිණියා. එයින් අනතුරුව තෙත් කලාපය පසුබිම් කරගනිමින් අපේ ආර්ථීක කටයුතු සැලසුම් කිරීම ආරම්භ වුණා. 1870 දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ආසියාවේ වැඩිම ඒක පුද්ගල ආදායම වුණා. ජාතික නිෂ්පාදිත ක්‍රමවේදයන් ඇස්තමේන්තු කිරීමේ සංකල්පය දියුණු වීම ඇරඹුණේ 1930 ගණන්වල මුල සිටයි. මේ මූලධර්මයන් පදනම් කරගෙන බ්‍රිතාන්‍යය ජාතික ආර්ථික විද්‍යා ඉතිහාසඥයෙක් වන ඇම්බුස් මෙඩිසන්ගේ පරීක්ෂණ කණ්ඩායම ජාතික නිෂ්පාදිතයන්, ජනගහණය ආදිය සම්බන්ධයෙන් අතීතයට යන තෙක් ඇස්තමේන්තු කරගෙන යන විට හඳුනා ගනු ලැබුවා ශ්‍රී ලංකාව ආසියාවේ අංක එකට සිටිය බව. බ්‍රිතාන්‍යය පාලනයේ අඩු පාඩු පැවතියත් එකලත් ආර්ථීක දියුණුවක් අපි අත්පත් කරගත්තා.
1948 නිදහස ලබා ගන්නා විටත් අපි සෞභාග්‍යමත් රටක් වශයෙන් පැවතුණා. නිදහස ලබාගත් මුල් යුගයේ මේ තත්ත්වයන් හා තනතුරු නියෝජනය කළේ රදළ පන්තියේ අයයි. නිදහස ලබා ගත් මුල්වකවානුවේ අපේ රටේ ජනතාවට සාක්ෂාත් කරගන්න විශාල සිහිනයක් තිබුණා. ඒ සිහිනය වුණේ ආණ්ඩුවේ නිලතලවලට, පාර්ලිමේන්තුවට එන්න, මැතිඇමතිකම් ලබා ගැනීම පිළිබඳවයි. එහි විශේෂත්වය මේ තනතුරුවලට එන්න ඕන ගමේ දන්න කියන අපේ දාඩිය සුවඳ දන්න සාමාන්‍ය මිනිස්සුය යන අදහසක් ජනතාවගේ තිබීමයි. වෛද්‍යවරයා, තැපැල් කන්තෝරුවේ ප්‍රධානියා, පොලිසියේ ප්‍රධානියා වගේ රජයේ නිල තනතුරුත්, පාර්ලිමේන්තුව වැනි ආයතන නියෝජනය කරන පිරිසත් අපි දන්නා කියන සාමාන්‍ය මිනිසුන්ගෙන් නියෝජනය වුවහොත් පමණක් අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේය යන අදහසක් ජනතාවට තිබුණා.
පහුගිය කාලේ ඒ සිහිනයේ කොටසක් සැබෑ වුණා. තැපැල් කන්තෝරුවේ හිටියෙත්, පොලිසියේ හිටියෙත් පාර්ලිමේන්තුවේ හිටියෙත් මැතිඇමතිවරුන් වුණෙත් සාමාන්‍ය ජනතාව අතරින් පැමිණි පිරිස්. එහෙත් දැන් අපි ප්‍රශ්න කර ගත යුතුයි, මේ පිරිස් අදාළ තනතුරුවලට පැමිණියාට පසුව ඔවුන් රටටත් ජනතාවටත් නිසියාකාරයෙන් සේවය කරනවාද යන්න? එදා සිටි රදළ පන්තියේ වෛද්‍යවරයා පුද්ගලික වෛද්‍ය සේවාවන් පවත්වාගන ගියේ නැහැ. එද සිටි රදළ පොලිස් නිලධාරීන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළා. එදා හිටි රදළ ගුරුතුමා, විදුහල්පතිවරයා වගේම විශ්වවිද්‍යාලවල පවා පාලන කටයුතු කළ රදළ පිරිස් තම කාර්ය භාරය නිසි ලෙස කළා. එදා රදළ පන්තියෙන් ආව මැති ඇමතිවරු තමන්ගේ දේපල නැති කරගෙන සමාජ කාර්ය භාරයන් කළේ. අද මේ සියල්ල කණ පිට ගැහිලා. නිහඬ විප්ලවයකින් සැබෑ වුණේ ජනතාවගේ සිහිනයේ කොටසක් පමණයි. පුතා ඉගෙනගෙන ලොකු රස්සවක් ගත්තට පස්සේ ගෙදර අමතක කළා වගේ වැඩක් සිද්ධ වුණේ. ඒනිසා රාජ්‍ය අංශයේ ක්‍රියාවලිය හරියට වුණේ නැතිනම් රට දියුණු කරන්න අමාරුයි. නිදහස ලබාගත් මුල්වකවානුවේ සිටිය මැති ඇමතිවරු තමන්ගේ දරුවෙකු රජයේ යම් තනතුරකට ඇතුළත් කරවාගන්න අනිසි බලපෑම් කළේ නැහැ. නියමිත සුදුසුකම් තිබුණා නම් පෝළිමේ ගිහින් ඒ තනතුරු ලබා ගත්තා. සුදුසුකම් තිබෙන අය මේ තනතුරුවලට බඳවා නොගතහොත් ආර්ථීක වශයෙන් හෝ සමාජීය වශයෙන් පරිවර්තනයක් රට සිදුවෙන්නේ නැහැ. සුදුසුකම් නොමැතිව තමන්ගේ ආසනයේ පිරිස්, ඥාතී මිත්‍රාදීන්, මැතිවරණයේදී තමන්ට උදව් කළ අය රාජ්‍ය අංශයේ තනතුරුවලට දානවා නම් අපිට අපේ සිහිනය සැබෑ කරගන්න හැකියාවක් නැහැ.
අප රට ආර්ථීක වශයෙන් ඉදිරියට ගමනක් යන්න නම් ඒ සම්බන්ධයෙන් මහජනයා අතර තිබෙන සැක සංකාවන් ආමන්ත්‍රණය කිරීමට ඔබ වැනි විද්වතුන්ගේ මැදිහත් වීම සිදුවිය යුතුයි නේද?
PV-4
මෙරට ස්වයං පෝෂිත විය යුතු බව නිදහස සඳහා නිහඬව අරගල කරපු කාලයේත් නිදහස ලැබුණ මුල් කාලයේත් දේශපාලනඥයින්, විද්වතුන් මෙන්ම සාමාන්‍ය ජනතාව කතා කළා. එකල ආර්ථීක සංවර්ධනය කියන කාරණය සමඟ ගැට හැගහුණේ රට සහලින් ස්වයං පෝෂිත කරන්න ඕන කියන කාරණය. ඒ සිහිනය සැබෑ වුණා. වර්ෂාව ආදී කාලගුණික දේශගුණික හේතුන් නිසා නිෂ්පාදනය උස් පහත් වුණත් අපි සහලින් ස්වයං පෝෂිත රටක්. ඒත් රට සංවර්ධනය වෙලා නැහැ. දැන් අපේ බලාපොරොත්තු වෙනත් අතකට යොමු වෙලා තියෙනවා. චීනයේ මාඕ සේතුං ගේ අභාවයෙන් පසුව ඩෙං ෂියාවෝ පිං 1978 චීන ආර්ථීකය ලෝකයට නිදහස් කළා. ලංකාව 1977 වර්ෂයේදී ආර්ථීකය නිදහස් කරද්දී ඊට එරෙහිව ඉන්දියාව විවිධ කටයුතු කළාය යන්න රහසක් නෙවෙයි. එහෙත් 1991 වර්ෂයේදී ඉන්දියාව තමන්ගේ ආර්ථීකය නිදහස් කළා. එකල ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාව  සිටි නරසිංහ රාවෝ, මුදල් ආමාත්‍යවරයාව කටයුතු කළ මන්මෝහන් සිං ඇතුළු පිරිස ඉන්දියානු ආර්ථීකය නිදහස් කළා. චීන ආර්ථිකයට මෙන්ම ඉන්දියාවටත් මෙයින් සුවිශේෂ වාසියක් තියෙනවා. ඒ මෙම රටවල් දෙකම ලෝකයේ වැඩිම ජන ඝනත්වයක් ඇති රටවල් වීමයි. ලෝකයේ ජනගහණය බිලියන හත හමාරක් පමණ වෙනවා. ජනගහනය බිලියන 1.4ක් වන චීනය ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට බවට පත්වෙනවා. ලෝකයේ දෙවැනියට විශාලතම ජනගහනය ඇති රටත් ප්‍රජාතන්ත්‍රීය රටවල් අතරින් විශාලතම ජනගහනය ඇති රටත් බවට පත් වන ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3ක් පමණ වෙනවා. මේ හේතුව නිසාම දේශිය වෙළෙඳපොළ පදනම් කරගත් වාසියක් මේ රටවල් දෙකටම තිබෙනවා. අනෙක් අතින් ඉන්දියාවට නොමැති එකම ආණ්ඩුවක් (චීන කොමියුනිස්ට් පක්ෂය) දිගටම පැවතීමේ වාසිය චීනයට තිබෙනවා. 1978 ආර්ථීකය නිදහස් කළද බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය චීනයට හඳුන්වා දුන්නේ නැහැ වගේම චීනය එය පිළිගන්නෙත් නැහැ.
ලංකාව 1977 විවෘත ආර්ථීකයට එළැඹීමෙන් අනතුරුව විශාල ප්‍රතිවිරෝධතා ඇති වුණා. චීනය විවෘත ආර්ථීක ප්‍රතිපත්තියට ගමන් කළ ආරම්භයේදී යම් කම්පනයක් ඇති වුවත් එය දිගට ඇදී ගියේ නැහැ. එහෙත් ලංකාවේ නිරන්තරයෙන්ම මීට විරුද්ධව බලවේගයක් තිබෙනවා. ලියන කියන මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජන කරන පිරිස් මීට එරෙහි වෙනවා. මෙහි අභාග්‍ය සම්පන්න කාරණය වෙන්නේ මීට විරුද්ධත්වය පළ කරන  අය බොහෝමයක් එක්කෝ දරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා ඇමරිකාවට යවන අය නැත්නම් අසනීපයක් වුණත්  බෙහෙත් ගන්න පිටරට යන අය වීමයි.
රටේ ආර්ථීකයේ ඉදිරිගමන පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය විජිතපුර විමලරත්න ස්වාමීන් වහන්සේ සහ සබරගමු විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත සමඟින් වන සාකච්ඡාවක් ජනවාරි 06 වැනිදාවේ ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනෙහි ඉදිරිපත් විය.  නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් මෙහෙයවන ලද මෙම සාකච්ඡාවේ විජිතපුර විමලරතන ස්වාමීන් වහන්සේ දැක්වූ අදහස් වලින් 2017.01.15 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත මෙම ලිපිය සැකසිනි.
සකස් කළේ- ජයනි අබේසේකර

 

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment