සමකාමීන් වෙනුවෙන් කරන සටනක් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන සටනක්

Jan 20th, 2017 | By | Category: LGBTIQ ප්‍රජාව, OTHER NEWS, කාන්තා, කාලීන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුද්ගල නිදහස, පුරවැසි අයිතිය
_62811773_120909210012_transgenders_games_976x549_bbc-2
ශ්‍රී ලංකාවේ සමකාමී අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියේ ඉතිහාසය 1994 දක්වා දිව යන්නකි.
ඒ 1994 වර්ෂයයි. ශ්‍රී ලංකාවේ සමකාමී ප්‍රජාවටද (Sri lankan LGBT Community) සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන්ම මානව හිමිකම් ලබා දිය යුතු බවට එක් ශ්‍රී ලාංකිකයෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. දකුණු ආසියාතික සමකාමී සමුළුවකට සහභාගීවීමෙන් අනතුරුව ප්‍රථම වරට ජනමාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් මෙම ප්‍රකාශය කළේ ශර්මන් ඩි රෝස් මහතාය. ශර්මන්ගේ මෙම ප්‍රකාශයත් සමඟම ජනමාධ්‍ය තුළ මෙන්ම මුළු මහත් සමාජයේම දැඩි අවධානය සමකාමී ප්‍රජාව වෙත යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශර්මන් ඩි රෝස් මහතාට පෞද්ගලිකව නොයෙකුත් මරණ තර්ජන එල්ල විය. ඔහු වාසය කළ නිවසට ගල් මුල් ප්‍රහාරද එල්ල විය. මෙහිදී ජීවිත ආරක්ෂාව උදෙසා මෙරට මානව හිමිකම් ක්‍රියාධාරයන්ගේ සහ ක්‍රියාධරිනියන්ගේ උදවු ඇතිව ඔහුට රට හැර යන්නටද සිදු විය.
නමුත් කෙටි කලකින් පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම සමකාමී සංවිධානය ආරම්භ කළේය. 1995 දී ‘ගමන් මගෙහි සහකරුවෝ’ Companions on Journey-COJ සංවිධානය සිය වැඩකටයුතු ආරම්භ කළේ එලෙසිනි. COJ දිනෙන් දින වැඩෙමින් මහනුවර, අනුරාධපුරය හා අනෙකුත් ග්‍රාමීය පෙදෙස් වලද ශාඛා ආරම්භ කර එහි සේවාවන් සමකාමී ප්‍රජාවට ලබා දුන්නා සේම, පොදුවේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයෙහි ප්‍රබල හඬක් බවට පත් විය.
පොලිස් අත්අඩංගුවට පත්වන සමකාමීන් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධීකරණය කිරීම දක්වා ඔවුන්ගේ යාන්ත්‍රණය සංවිධානගත විය.මෙරට සමකාමී ප්‍රජාව අතර HIV/AIDS නිවාරණයේ මුලික අඩිතාලම දමමින් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව වැඩ කිරීමටද ඔවුන්ට හැකිවිණි. එමෙන්ම මේ සංවිධානය මෙරටෙහි දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ලෙස කතාබහ වන සංවිධානයක් බවට පත් විය. පොදුවේ ගත් කළ ‘ගමන් මගෙහි සහකරුවෝ’ සංවිධානය රට අභ්‍යන්තරයේ සිටිමින් රට අභ්‍යන්තරයෙන්ම විසදුම් ලබා ගැනීමටත් ශ්‍රී ලංකා දේශපාලනික ක්‍රියාවලියට සම්බන්ධව සිටිමින්ම මෙරට නොයෙකුත් මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාධරයන් හා සම්බන්ධතා පවත්වා ගනිමින් තම අරගලය ඉදිරියට ගෙන යන ලදී.
සමකාමී පිරිමින් උදෙසා ගමන් මගෙහි සහකරුවෝ සංවිධානය පෙනී සිටි අතර එහි විශාල හිඩැසක් වුයේ සමකාමී ගැහැනුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් මෙරට තුළ නොවීමයි.එම අඩුව පිරවීමේ උත්සාහයක් ලෙස ගමන් මගෙහි සහකරුවෝ සංවිධානය තුළම 2000 වසරේදී ‘කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම’ Women’s Support Group-WSG බිහිවිය. අනතුරුව තම වැඩ කටයුතු වෙනමම සිදු කළ ඔවුන් තම ක්‍රියාකාරකම් පොදුවේ සමකාමී ප්‍රජාවට ලබා දුන්නේ එම ක්ෂේත්‍රයේ දැනුම හා දැක්මන් වඩාත් විචාරශීලීබවට යොමු කරමිනි. සමකාමී ප්‍රජාවට මෙන්ම ලිංගික වෘත්තිකයන්ටද පොදුවේ සමස්ත කාන්තා ප්‍රජාවටද ඔවුන්ගේ සේවාව ලැබුණි.
2005 වසරේදී‘කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම’හි ක්‍රියාකාරිනියක විසින් ‘ඊක්වුල් ග්‍රවුන්ඞ්’ Equal Ground සංවිධානය බිහි කරන ලදී. LGBT ප්‍රජාවට විවෘත වූ ඊක්වුල් ග්‍රවුන්ඞ් සංවිධානයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සමකාමී ප්‍රජාවට සමානාත්මතාවය උදා කර දීමයි. Colombo Pride  එම සංවිධානයේ ප්‍රමුඛතම ඉසවුවක් වූ අතර ප්‍රජාවට සහන සැලසීමද ඔවුන් විසින් සිදු කරන ලදී.
මෙම සංවිධාන තුනම සමහරවිට වෙන වෙනමත්, ඇතැම් අවස්ථාවන්හිදී එක්වත් සමකාමී ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි අතර එය ප්‍රජාවේ උන්නතියට විශාල පිටුවලක් විය .මේ අතර ‘සකි’ (sakhi) හා ‘DAST’ වැනි කුඩා කණ්ඩායම් බිහි වූ අතර ඔවුන්ගේ දායකත්වය හා සහායද සමකාමී ප්‍රජාව වෙත විවිධාකාරයෙන් ලැබුණි.
2012 වසරේදී නීතිමය හා සංවිධාන පරිපාලන ගැටලු මත ‘ගමන් මගෙහි සහකරුවෝ’ සංවිධානය වසා දැමුණු අතර එයින් 2013 වසරේදී ‘Heart to Heart’ සංවිධානය බිහි විය. බොහෝ දුරට COJ සංවිධානය හා ක්‍රියාකාරී වූ පුද්ගලයින් මෙම සංවිධානය ඔස්සේ නැවත ඒකරාශී වූහ. තවද COJ සංවිධානයේ අරමුණු ඉලක්ක කර ගනිමින් H2H සංවිධානය බිම් මට්ටමේ වැඩකටයුතු සිදු කරන සංවිධානයක් ලෙස තම සේවය ලබා දෙයි.
53011576ea090

දැනට WSG සංවිධානයේ ආයතනික ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇති නමුත් එහි ක්‍රියාධාරියන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තම සහාය ලාංකීය සමකාමී ප්‍රජාවට ලබා දෙයි. මේ අතර 2015 වසරේදී සංක්‍රාන්ති ලිංගික හා අන්තර් ලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් ‘වෙනෙස’ සංවිධානය බිහි විය. සංක්‍රාන්තික ස්ත්‍රී පුරුෂ සමාජභාවී පුද්ගලයින් (Transgender) වෙනමම මුහුණ දෙන ගැටලුවලට හා පොදුවේ තම අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයට නිහඬව කටයුතු කරන මෙම සංවිධානය තමන් ලබා ඇති විශාලම ජයග්‍රහණය වනුයේ Gender Recognition Certificate නොහොත් ස්ත්‍රී පුරුෂභාව පිළිගැනීමේ සහතිකය ලබා ගැනීමට මුලිකව අනෙකුත් සංවිධාන හා පුද්ගලයින් සමඟ දායක වීමයි. 2016, එනම් මේ වසරේදී ‘චත්‍ර’ (Chatra) නමින් කණ්ඩායමක් බිහි වී ඇති අතර ඔවුන්ද තම ක්‍රියාකාරකම් කෙමින් කෙමින් සමකාමී ප්‍රජාවට ලබා දීමට පටන් ගෙන ඇත්තේ ප්‍රජාවේ වැඩකටයුතු වලට දායක නොවන පිරිස් ඒකරාශී කරගනිමිනුයි.

ශ්‍රී ලංකාවේ සමකාමී අයිතිවාසිකම් දිනා ගැනීමේ ප්‍රයත්නයේදී ඊක්වුල් ග්‍රවුන්ඞ්, Heart to Heart’හා වෙනෙස වැනි සංවිධාන මෙන්ම චත්‍ර වැනි කණ්ඩායම්ද වර්තමානයේ ක්‍රියා කරමින් සිටිනවා සේම තනි තනිව සමකාමී අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරනා ක්‍රියාධරයන් හා ක්‍රියාධාරියන් (Individual LGBT Activists) විශාල ප්‍රමාණයක් සිටිති. මොවුන් තිරයෙන් ඉදිරියේ/පිටුපස (ප්‍රසිද්ධියක් ඇතිව හෝ නැතිව) සිට කරන්නා වූ සේවය යම් විටෙක එළි පිටට නොපෙනුනද සමහර අවස්ථාවන්හීදී එය සුළු කොට තැකිය නොහැකි තරම් වන ක්‍රියාකාරකම් වලින්ද යුක්තය. ප්‍රජාවේ වසර ගණනක් රැදී සිටිමින් මොවුහු තනි පුද්ගලයින් වශයෙන් විශාල සේවාවක් ඉටු කරති. එක් මෑත උදාහරණයක් ලෙස යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා වෙනමම ඉදිරිපත් කරමින් ඒවා කෙටුම්පත් සභාවේ සැලකිල්ලට භාජනය කරවීමටද මෙම ක්‍රියාධරයන්ට/ධරිනියන්ට හැකි වී තිබේ. තවද සමකාමී නොවුවද, නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාධරයන්/ධරිනියන්, නීති ක්ෂේත්‍රයේ පුද්ගලයින් හා සංවිධාන, පොලිස් සේවයේ නිලධාරීන්, සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා පුද්ගලයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයින් යනාදී විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් ප්‍රජාවේ ආරම්භයේ සිටම විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවේ සමකාමී ප්‍රජාවට ලබා දී ඇති සහාය අදටද ලබා දෙමින් සිටිති. ඔවුන් මෙම ප්‍රජාවට නිහඬව සිදු කරන්නා වූ වැදගත් සේවය අතිමහත්ය. එය 1994 සිට අද දක්වාම එසේමය.
මෙම සටහනෙහි අරමුණක් වනුයේ ශ්‍රී ලංකාවේ සමකාමී ප්‍රජාව පිළිබඳ හෝ එහි දේශපාලනික වෙනස්වීම් හුදෙක් තනි පුද්ගලයෙක් හෝ සංවිධානයකින් පමණක් ලබා නොදෙන දෙයක් බවට පැහැදිලි කිරීමයි. නමුත් අවධාරණයෙන් හා විශ්වාසවන්තව කිව යුතුව ඇත්තේ තිරයෙන් ඉදිරියේ සේම, තිරයෙන් පිටුපසද ඉතා වැදගත් දේ සිදුවන අතර ඒවා දේශීය හා විදේශීය වශයෙන් ප්‍රචාරාත්මක ප්‍රවෘත්ති නොවුවත් ලාංකීය සමකාමී ප්‍රජාවට ඉමහත් සේ වැදගත් බවයි.
ශ්‍රී ලාංකීය සමකාමී ප්‍රජාව තරයේ සිහි තබා ගත යුත්තේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේදී තම පුද්ගලික තරාතිරම් හා ප්‍රසිද්ධිය පසෙක තබා පොදුවේ ප්‍රජාවට ලබා දෙන්නේ කුමක්දැයි වටහා ගැනීමයි. සමකාමී ප්‍රජාව සමන්විත වන්නේ සමකාමී ක්‍රියාධරයන්/ධරිනියන්ගෙන් පමණක් නොවේ; Facebook  හෝ අනෙකුත් සමාජ ජාලවල පෙනී සිටින්නන් පමණක්ද නොවේ. ශ්‍රී ලාංකීය සමකාමී ප්‍රජාව සමන්විත වන්නේ සමාජයෙන් වසන්ව ඉහත කී කිසි කණ්ඩායමකට සම්බන්ධ නොවූ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින බහුතර සමකාමී පුද්ගලයින්ද ඇතුළුවයි. ඉතින් අප විසින් සමකාමී ප්‍රජාව වෙනුවෙන් යැයි සිතා සිදු කරන මොන යම් දෙයක් වුවද කෙලින්ම හෝ වක්‍රවාකාරව ඔවුනටද බලපාන බවද සිහි තබා ගත යුතුය.
මෙය සමකාමීන්ගේ සටනක් පමණක් නොවේ. මෙය සමකාමීන් වෙනුවෙන් සඳහා පමණක් කරන සටනක්ද නොවේ. මෙය තනි සටනක්ද නොවේ. මෙය මානව වර්ගයාගේ මනුස්සකම රදා පවත්වා ගැනීම වෙනුවෙන් දරන්නා වූ ප්‍රයත්නයකි!
ඩෙන්ව පීටර්සන් විසින් 2017.01.22 රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි 

Recent Posts

Tags: , , , , , , , , , , , ,

Leave a Comment