අඳුරේ තබා නිරුවත් කළ “ගැහැනිය” එළියට ගත් “28” |ජයනි අබේසේකර

May 15th, 2017 | By | Category: LEAD NEWS, කලාව, කාන්තා, සිනමාව
ඇය “සුද්දී”ය. ඔබට එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් සුද්දී මේ කියන්නේ ලංකාව වැනි රටක උපන් ඔබ, මම වැනි ගැහැනුන්ගේ කතාවයි. ඇයගේ කතාවෙහි සෑම ගැහැනියකටම චරිතයක් ඇතැයි හැඟේ. ඇයගේ හඬ තුළ ගැහැනුන්ගේ විලාපයක් සිරවී ඇතැයි හැඟේ. කිසිදු ලෙසකින් මඟ හැර යා නොහැකි ලෙස සුද්දී අපට අපවම නැවත මුණගස්වමින් ඇතැයි හැඟේ. කමලනී හෝ බියට්‍රිස් හෝ කුසුමේ හෝ එකී මෙකී නොකී නමින් වීදියේ ද මහ මඟ ද බස් රියේ ද දුම්රියේ ද මට හමුව ඇත්තේ සුද්දීලාය. ඔබ සුද්දීගේ කතාව ඇසුවේ නම් තවත් එක සුද්දියක ලෙස ඔබට මම ද මුණගැසෙනු ඇත.

th_e023c99a52a4d2c116e832026e09a6b5_28byprasannajayakodyalphaviolet

“අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට බැහැ. හැබැයි මම ඇත්තමයි කියන්නේ”. ඔබ, මම වැනි සුද්දිලාට මේ සුද්දිට තරම් අවංකව තමන් ගැන කියන්නට නොහැකිය. මන්ද ප්‍රසන්න අපි වෙත අභිමුඛ කරනා සුද්දී මියගිය ද අප තවමත් ජීවත් වන හෙයිනි. අබසිරිලා, මනිලා, ලෙනින්ලා මෙන්ම අබසිරිගේ මාමණ්ඩි වැනි පුරුෂයන්, ස්ත්‍රී අපට කටවසාගෙන වේදනා උහුලන්නට, අපහාස විඳින්නට, අඩත්තේට්ටම් විඳින්නට තරවටු කරමින් සිටිති. එනිසා අපට ප්‍රාණය නිරුද්ධ සුද්දීට තරම් ඇත්ත ඇති හැටියෙන් කියන්නට අසීරුය. එබැවින් අපි වෙනුවෙන් වන ඇයගේ පෙනී සිටීමට මම ආශක්ත වූයෙමි.
සුද්දී, ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න ජයකොඩිගේ “28” සිනමා කෘතිය නරඹන්නෙකුට හමුවනු ඇත. ඔහු ඇය වෙත හෙළන සානුකම්පිත බැල්ම, ඊනියා සදාචාරයක සිරවී සිටින සියලු ගැහැනුන් උදෙසා බැව් මගේ අදහසයි. සෙලෝලයිඞ් ෆැන්ටසි ස්ත්‍රීත්වයට ඔබ්බෙන් ස්ථානගත වෙන අපේ ගැහැනුකම, පුරුෂ සිනමාකරුවෙකු වන ප්‍රසන්න, සුද්දී හරහා ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන එන්නේය. ඓතිහාසික වැරැද්දක කරුමය ගෙවන ලාංකේය ගැහැනියගේ කතාවක් පුරුෂවාදී සිනමාවකින් ඔබ්බට ගොස් ස්ත්‍රී හැඩයකින් කියවා ගැනීමේ ආහ්ලාදජනක හැඟීමක් 28 මා තුළ ඇති කළාය. 28 ගැන කියනවා වෙනුවට මම, සුද්දී ගැන කියන්නේ එබැවිනි. ප්‍රේක්ෂකයාට සුද්දී මඟහැර “28” නරඹන්න යැයි මට ආරාධනා කළ නොහැකිය.
සුද්දී ගණිකාවකි. එහෙත් ඇගේ කතාව හුදු ලිංගික ශ්‍රමය සපයන්නියන්ගේ කතාවක් පමණක් නොවේ. ඇය අපේම ප්‍රතිබිම්බයක්ව අප ඉදිරියට එන්නීය. “නමයේ පන්තියට යන්න කලින් මම ලොකු ළමයෙක් වුණා. අලුත් අච්චු පොත් හම්බවෙච්ච ගමන්ම අපි පෙරළලා බැලුවේ සෞඛ්‍ය පොතේ අගටම තිබුණ ප්‍රජනන පාඩම. දැන් මට අවුරුදු 38ක්. ඒ පාඩම මට තාම උගන්නලා නැහැ”. සුද්දී සහ අප අතර වෙනසක් නැත. ඇය ඉගෙන නොගත් ඒ පාඩම මම ඉගෙන ගත්තේ ද නැත. මගේ පන්තියේ යහළු යෙහෙළියන් ඉගෙන ගත්තේ ද නැත. අපට ඉගැන්නුවේ ද නැත. සුද්දී ගොදුරක් වනුයේ ඒ “නොදැනුවත්කමෙහි”ය. ඇයට මඟ හැරුණු පාඩම අපි යමෙක් කොහෙන් හෝ යළි ඉගෙන ගනිද්දී සුද්දීට එය සදහටම මඟ හැරෙන්නේය. ඒ පාඩම ඉගෙන ගත් අයට වඩා මඟ හැරුණු සුද්දිලා ලංකාවේ බොහෝය. අවසන සුද්දි පුරුෂයන්ට තම දෙපා විහිදුවා ඒ පාඩම උගන්නට උත්සාහ ගත්තීය. එහෙත් අවුරුදු 38 ක් ව ඇය මිය යන විටත් ඒ පාඩමෙන් අකුරක් හෝ නූගත් බව ඇය පසක් කර ගන්නීය.

686_2048x1152

සුද්දී විවාහපත් ඇගේ ස්වාමි පුරුෂයා, අබසිරි, “කසාද බඳින්න උඹට තියෙන්නේ දෙපරැන්ද අස්සේ තියෙන එක විතර”යැයි සිය ඥාති පුත් මනිට කියද්දී ඔහුගේ පිළිතුර වන්නේ “ඒක තිබුණාම මදෑ” යන්නය. අද සමාජයේ බහුතර පුරුෂයන් නියෝජනය කරන්නේ ද සඟවන්නේ ද මනිගේම අදහස යැයි මම කියමි. ලිංගිකත්වය තමාගේ යැයි කියවා ගත් පුරුෂ සමාජයකට සුද්දි වැනි ගැහැනුන් තමන් නමට ද ලිංගිකත්වය පවරා ගැනීමට වෙර දැරීම ඔවුන් තැතිගන්වන්නේය. එකී පුරුෂ සමාජය ගැහැනියකගේ ආශාවේ දිග පළල නොදත්තේය; සිය ශරීරයට මිරිකී සිටින ගැහැනියකට අවදිව පුරුෂ ශරීරයක් මතින් නැඟී සිය ලාලසාවන් විදාහරින්නට හැකි බව නොදත්තේය. අනෙක් අතින් ඉතිහාසයේ උන් ගැහැනුන් මනිලාගේ සිතිවිල්ලට සහය දුන්නෝය. සුද්දි නූතන ගැහැනියක වුව ද ඇය ඉතිහාසය ප්‍රදානය කළ මෙකී යථාර්ථයත් සිය නොදැනුවත්කමත් තුළ අතරමංවන්නීය; අසමත්වන්නීය. සැබෑව නම් කිසිදාක නොකියුව ද සුද්දි අසමත් වුණු තැනින් අබසිරි හෝ මනි හෝ ලෙනින් හෝ සුද්දීගේ මාමණ්ඩිය හෝ සමත් නොවී තිබීමය. සුද්දීලාගේ නොදැනුවත්කම සහ අබසිරිලාගේ නොදැනුවත්කම අතර කිසිදු පරතරයක් නොතිබීමය.
එහෙයින්ම සුද්දී නොදත් ලිංගිකත්වය අබසිරි, මනි වැනි පුරුෂයන් කියවා ඇත්තේ වෙනස් අයුරකින් නොවේය. අබසිරිවත් මනිවත් අතීතය නොවී වර්තමානය වන්නේ අදත් එවැනි පිරිමින්ගේ නියෝජනයේ අඩුවක් නොමැති නිසාය. සුද්දී යනු නිරුවත් වූ ගැහැනියකි. ඇය පමණක් නොව මමද, ස්ත්‍රී ලිංගිකත්වයක් දරන ඔබද, පුරුෂ සමාජයක නිරුවත් වූ ගැහැනුන්ය. අපට රෙදි අන්දවන්නට පුරුෂයන් අතීතයේ හෝ වර්තමානයේ හෝ සිටියේ නැත. ගැනුන්ගේ නිරුවත් දෙපය දැකීම පවා ස්වයං වින්දනයේ යෙදෙන්නට හේතුවක් වූ පුරුෂ සමාජයකට ප්‍රසන්න ජයකොඩි රැගෙන එන්නේ වෙනස් කතාවකි. ඔහු ඓතිහාසිකව නිරුවත් වූ ගැහැනියට රෙදි අන්දවා ලංකාවේ පුරුෂයන්ව නිරුවත් කර පෙන්වන්නේය.
මා 28ට ආදරය කරන්නට පෙළඹෙන්නේ එතැන්හිදීය. ලංකාවේ ලිංගික අයිතිය සහ නිදහස හිමිව ඇත්තේ පුරුෂයන්ටය. ස්ත්‍රිය, ලිංගිකත්වය අවබෝධ කර ගත්තේ සහ විඳිනු ලැබුවේ විවාහපත් පුරුෂයා සමඟ අඳුරේ පැදුරක් මතදීය. තමන්ගේ ලිංගිකත්වය අඳුරේ තැබූ ලංකාවේ ස්ත්‍රීන් ලැජ්ජාව, බිය, කන්‍යාභාවය, ස්වාමි භක්තිය, පතිවෘතාව, දරුවන් හැදීම සහ රැකබලා ගැනීම උදෙසා සිය ජීවිත දන් දුන්හ. සුද්දී කැරලි ගැසුවේ එලෙස ගේ මුල්ලේ සිටි ගැහැනියට එරෙහිව වුව ද ඇය අසමත් වන්නේ ඇගේ ‘නොදැනුවත්කම’ තුළය.
කලක් ලංකාවේ “මිඞ්වයිෆ්” හෙවත් “මිසීලා”ට ගම් දනව්වල ඇවිදින්නට සිදුවූයේ “පුංචි පවුල රත්තරන්” යන සංකල්පය ව්‍යාප්ත කරන්නටය. මන්ද යත් ගම්වල කුප්පි ලාම්පුව නිවා දමා පැදුරට වැටෙන මිනිසුන්ට තිබුණේ ඒ අහවල් රාජකාරිය කරන්නට පමණය. එලෙස පැදුරට වැටෙන පුරුෂයන් තමන් හා පැදුරට එන ගැහැනියගේ ශරීර කූඩුව දකින්නේ නැත. තමන් හා එක්ව නිදියන පුරුෂයාගේ ශරීරය ඒ ගැහැනුන් දකින්නේ ද නැත. මන්ද යත් අපි ශිෂ්ටසම්පන්න ජාතියක් නිසාය. එනිසාම එකී රාජකාරියත් අපි අඳුරට පැවරුවෙමු. “ලාම්පුව නිවලා මෙට්ටෙ බිමට අරන් අපි දෙන්න රඟපාන්න ගන්නකොට එළිවෙලා”යැයි උණුසුම් හැඟුමකින් කියනා සුද්දී “අබසිරියි මායි බැඳලා අවුරුදු පහළොවක් වෙනවා හැබැයි ඊයේ රෑ තමයි අබසිරි පළවෙනි වතාවට මගේ හෙළුව දැක්කේ. ඒ මල් ශාලාවේ එම්බාම් ලෑල්ල උඩ”යැයි පවසන්නීය. සුද්දීගේ දෑසෙහිම කඳුළු සිර වෙන්නේ ද ඉකියක් උගුරෙහි සිරවෙන්නේ ද තමන් පිළිබඳවම වූ අනුකම්පාවකින්ය; වේදනාවකින්ය. කුප්පි ලාම්පුව නොනිවා තමන්ගේ ස්වාමි පුරුෂයා සමඟින් ඇඳට එන්නට හැකි වූ ගැහැනුන් අප රටේ සිටියේ නැත. හතර අතින් අඳුර ගලන තෙක් බලා හිඳ බිරිඳව ඇඳට ගන්නා පුරුෂයන් සිය ශරීරයට පොඩි වෙන මිරිකෙන ගැහැනියගේ සිතුම් පැතුම් ආශාවන්ට අවදිවන්නට ඉඩක් දී තිබේදැයි මම නොදන්නෙමි.
සුද්දිට නමය පන්තියේදී මඟ හැරී ගිය ඒ පාඩම අබසිරි වැනි පුරුෂයන් ඉදිරියේ යළි යළිත් අඳුරෙහි මග හැරී ගියාය; ඇගේ ශාරීරික ආසාවන් මෙට්ටය මත දියව ගියාය. අවසන සුද්දී, කුසුම් වී, බියට්‍රිස්වී ඇයවම සොයා ගියාය. ගැහැනුන්ගේ හැට හතර මායම් කියවමින් අබසිරි සහ මනි සිය නළියන පිරිමි ආශාවන් විරේචනය කරගනිද්දී සුද්දීට මිනී කාමරයකට යන්නට සිදුවන්නේ අන් කිසිවක් නිසා නොව අබසිරිලාගේ ලිංගික ආශාවේ දිග පළලත් ගැහැනුන්ගේ හැට හතර මායම්වලින් ඔබ්බට නොගිය බැවිනි. එම්බාම් ලෑල්ල මත සිටි සුද්දිගේ “හෙළුව” අබසිරිව කම්පනය කරන්නේ එනිසාය. සිය කාමරයේ අඳුරට වැසුණු සුද්දිගේ ශරීරයෙන් එතෙක් නොවිදි මිහිරක් අබසිරි පළමු වතාවට විදින්නේ විදුලි එළි දැල් වුණු මල් ශාලාවක නිරුවත් සුද්දීගේ මළ සිරුර මතින්ය.
සුද්දිගේ මාමණ්ඩියට බාත් රූම් එකට උඩින් එබී සුද්දිගේ හෙළුව බලන්න ඕන වුණේ ඇයි? “ගමේ කොල්ලෝ කුරුට්ටන්ට, නාකි මනමාලයන්ට” ගඟෙන් නාන්න දිය රෙද්දක් ඇඳන් එන සුද්දීගේ අඩනිරුවත් ශරීරය බලන්න ඕන වුණේ ඇයි? සුද්දී බාත් රූම් එකේ නෑවේ නිරුවතිනි. මාමාණ්ඩි තමන්ගේ බිරිඳගේ නිරුවත දැක තිබෙන්නට නොහැකිය. අබසිරි බාත්රූම් එකක් හදා දී සුද්දීව සංස්කෘතික කරන්න හදනා විට සුද්දී ඒ සංස්කෘතියෙන් එළියට පැමිණ “හෙළුවෙන්” නාන්නට වන්නීය. තම පියා සුද්දීගේ නිරුවත බැලීමට බාත් රූම් එකට උඩින් එබුණායැයි කීම පිළිගත හැකි ඇත්තක් වුව ද ගමම අවි අමෝරන්නේ සුද්දීට එරෙහිවය. සැබෑව නම් එකී එරෙහි වීම සුද්දීට නොව ඇගේ නිරුවතට වීමය. සුද්දීගේ නිරුවතට ආශා කරනා පුරුෂයෝ තමන්ගේ බිරින්දෑවරුන්ගේ නිරුවත අඳුරේ සඟවා තබා අපට නොතිබුණු සංස්කෘතියක ගැහැනිය සිරගත කර ඇත. පුරුෂ මනසින් හතර වටේ බලනා ස්ත්‍රීන් ද තම නිරුවත අඳුරේ හංගා ගනිමින් තම පුරුෂයන් පිළිබඳව වන ලිංගික බියකින් සුද්දීට එරෙහි වන්නෝය. එවන් වටපිටාවක ප්‍රසන්න ජයකොඩි සුද්දී රැගෙන එන්නේ ලංකාවේ පුරුෂයන්ගේ පමණක් නොව ස්ත්‍රීන්ගේ ද ෆැන්ටසියක් ලෙස යැයි මම සිතමි. මන්දයත් සුද්දිට එරෙහි වූ ගැහැනුන් හදවතින් තවත් එක් සුද්දියකි. අනෙක් අතින් පුරුෂයාගේ ආශාවේ වස්තුව සුද්දී මිස අඳුරෙහි නිරුවත් වන ගැහැනිය නොවීමය. සුද්දිට පිරිමින් “හූ” කියන්නේ තමන් පිළිබඳවම ඇති වූ බියකිනැයි මම සිතමි. මන්දයත් සුද්දිගේ නිහඬ අරගලය තවදුරටත් තම ආශාවන් වෙනුවෙන් මිස පුරුෂයන්ගේ ආශාවන් වෙනුවෙන් නොවීම ඔවුන් බියපත් කරන්නෙහිය.
th_e023c99a52a4d2c116e832026e09a6b5_28byprasannajayakody217
සුද්දී ගණිකාවක වනුයේ “නොදැනුවත්කමේ ගොදුරක්” ලෙස සහ අබසිරිලා වැනි පුරුෂයන් සුද්දී වැනි ගැහැනු සමඟින් කළ ගනුදෙනුව අසාර්ථක වීමෙනි. තමන් වැනි ගැහැනියක ලැජ්ජාවක් බයක් නැතිව කසාද බඳින්නට ඇසූ අබසිරි පිළිබඳව සුද්දී සිතනුයේ “ඒ කතාව අහලා තමන් ළඟදී ඇස් උඩ ගියපු කොල්ලෝ දෙන්නට” වඩා අබසිරි රැඩිකල් පුරුෂයෙකු කියාය. එහෙත් අබසිරි ද අයත් වනුයේ එම කොල්ලන් දෙදෙනාගේ ගොඩටමය. අබසිරිට සුද්දී මැජික් එකක් විය. සුද්දිව කසාද බැඳීමෙන් අබසිරි අපේක්ෂා කළේ අන් දෙයක් නොව ලංකාවේ පුරුෂයන් තමන් රිසි සේ සකසාගත් සංස්කෘතිය තුළට ඇයව ගන්නටය. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ට ඕනෑ වූ විට සුද්දී අඳුරට ඇදගෙන මැජික් බලන්නටය. සුද්දී අබසිරි හා විවාහයකට එකඟ කරවූයේ සිය අරගලය තුළ ඇය හුදෙකලා යැයි දැනෙන හැඟීම විසිනැයි මා සිතමි. එහෙත් සුද්දිට සියල්ලන් එරෙහි වන විට අබසිරි ද නිහඬ විය. එම නිහැඬියාව සුද්දී පුරුෂ සමාජයකින් තමන් වෙත ඉල්ලා සිටි තම ස්ත්‍රී අනන්‍යතාවයට කළ එරෙහි වීමක් විය.
සුද්දී ටවුමට ගොස් සිය දෙකකුල් පුරුෂයන් ඉදිරියේ මෑත් කරනුයේ ලිංගික ආශාවන්, ලිංගික නොඉවසුම පමණක් නොව මානසික අර්බුදයන් ද විරේචනය කිරීමට ක්‍රමයක් හොයනා පුරුෂයන් වෙනුවෙන්ය. ඒ අර්ථයෙන් ඇය කරනුයේ සේවාවක්ය. එහෙත් රාත්‍රියට තම ආශාවන් පිරිමසා ගන්නට මහමඟදී හමුවන ගැහැනියක සමඟ අඟුවකට රිංගන පුරුෂයන් උදේට ඒ ගැහැනිය දෙස බලනුයේ පිළිකුළෙන් යුතුවය. මේ තමා සමඟ ලිංගිකත්වය බෙදා ගැනීමට, තම ලිංගික හැඟීම් විමෝචනයට සහය වූ ගැහැනිය නොවේදැයි යන අනුකම්පාවෙන් සුද්දිලා දෙස බලනා පුරුෂයන් වෙනුවට අද සිටිනුයේ උදේට සදාචාරය ගැන පාරම් බා රාත්‍රියට “සුද්දි” කෙනෙකුගේ කලවා අතර සිරවී සදාචාරය කුඩුපට්ටම් කරන්නන්ය. අයිස්ක්‍රීම් වෑන් රථයේ ලෙනින් සුද්දිව හඳුනාගත්ත ද නාඳුනන්නේ එනිසාවෙනි.
සුද්දී එවන් වූ පුරුෂයන් අතින් ඝාතනයට ලක් වූවාය. මෝචරියේදී සුද්දී අපට කතා කර පෙන්වනුයේ තමන් වැනි සුද්දීලාවය; දූෂණයට ලක්ව මරා දැමුණු තමන් වැනි ගැහැනුන්වය. අබසිරිගේ නිවසේ මිනී පෙට්ටියේ වැතිර හිඳිනා සුද්දී අවසන් වශයෙන් කියනුයේ “අබසිරි, එළියේ ඉන්න මිනිස්සුන්ට කියන්න මැරිච්ච ගෑනු විතරක් නෙවෙයි උන්ව මරපු මිනිස්සුත් පව්” කියල යන්නය. සුද්දිගේ අනුකම්පාව තමන් මරා දැමුණු පිරිමින්ටත් අබසිරිටත් මනිටත් ලෙනින්ටත් මාමණ්ඩියටත් අයිතිය. ඒ අන් හැමටම වඩා තමාට මඟ හැරුණු “නමය පන්තියේ පාඩම” තමන් වෙත පැමිණි හැම පිරිමියාටමත් මඟ හැරී තිබූ බව ඇය හොඳින්ම දැන උන් නිසාවෙන්ය.
සුද්දිගේ මිනිය තනි කරන්නට දොර බාගෙට වසා අබසිරි ප්‍රේක්ෂකාගාරය දෙස ඇහි පිල්ලමක් සලමින් නිසොල්මන්ව බලා සිටින්නේය. ඔහු තවත් සුද්දිලා ප්‍රේක්ෂකාගාරයෙන් එළියට ඇදී එනු දකින්නට ඉඩ ඇතැයි මට සිතේ. නොනවතින සුද්දිගේ දීර්ඝ සුසුම්ලෑම් 28 පුරා මට ඇසේ. එය වියළිය. 28 නරඹා එළියට පැමිණි මට ඇසෙන්නේ සුද්දිගේ වෙහෙසකර කෙඳිරිය සහ සුසුම්ලෑම් පමණය. සුද්දී මිය ගියා නම් ඒ කෙඳිරිය ඉතිරි වූයේ කෙසේද? නැත. ඒ සුසුම් සහ කෙඳිරිය අයිති මටය. එය මතුව එන්නේ මා තුළින්ය. අබසිරි මා හඳුනා ගන්නට ඇත්ද?
ජයනි අබේසේකර විසින් 2016 දෙසැම්බර් සමබිම කලාපයට රචිත ලිපියකි 

Recent Posts

Tags: , , , , ,

Leave a Comment