මාධ්‍ය කතා සහ ඇත්ත කතා

Jan 28th, 2017 | By | Category: OTHER NEWS, ආර්ථික, දේශපාලන, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා අතිරේකය
ජී. එස්. පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට මෙරට ඊනියා ජාතික පුවත්පත් කැසකැවූවද ඔවුන් තේරුම්ගත යුතු සත්‍ය නම් ජනතාව ඒදෙස වඩා විවෘත ඇසින් බලනා බවය. ජී. එස්. පී. ප්ලස් සහනය හුදු ආර්ථීකමය සංවර්ධනයක් පමණක් අරමුණු කර නොගන්නා අතරම එමඟින් මෙරට මානව අයිතිවාසිකම් තහවුරු කිරීම කෙරෙහි “මෘදු බලපෑමක්” කරනු ලබන්නේය. එහෙත් ඇතැම් පුවත්පත් රටේ ස්වෛරීත්වයට ඇඟිළි ගසන “අධිරාජ්‍යවාදී බලපෑමක්” ලෙස එය නිර්වචනය කරමින් තිබෙන්නේය. එහෙත් ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක කරක් ගසමින් ජී. එස්. පී. ප්ලස් සහනය සමඟ රටේ ආර්ථීක සංවර්ධනය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ නිදහසේ වේදිකාව සහ විදීයේ විරෝධය ලෙස සාකච්ඡා මාලාවක් රට පුරා ගෙන ගිය අපට නුවර, මාතර, අනුරාධපුරය සහ බදුල්ල යන පළාත්වල පැවති සාකච්ඡාවන්ට සහභාගී වූ ව්‍යාපාරික ප්‍රජාවගෙන් අසන්නට ලැබුණ අදහස් කිහිපයක් මෙසේ සටහන් කළ හැක.
laconventionsimplifiee_libertedexpression
සුළු අපනයන බෝග ක්ෂේත්‍රය ගත් විට කරාබු නැටි කඩන්න, සාදික්කා කඩන්න මිනිස්සු නැහැ වගේම ඒ සඳහා තාක්ෂණය ඇවිල්ලත් නැහැ. සුළු අපනයන බෝග ක්ෂේත්‍රය ආශ්‍රිතව යම් ආකාරයකට ආකාර්ෂණීය රැකියා ප්‍රමාණයක් ඇති කිරීමේ හැකියාව තිබුණත් අපේ රටේ අපනයන ක්ෂේත්‍රයේ තිබෙන ගැටලුව තමයි අපනයනය කරන්නේ අමුද්‍රවය වීම. අපි උත්සහා කළ යුතුයි අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීමට. ප්‍රශ්නය තමයි රජයන් මේ සඳහා කොයිතරම් දුරට මැදිහත් වෙනවද කියන එක.
රජයට දොස් කියනවා නොවෙයි නමුත් දිගින් දිගටම ආපු ආර්ථික පරිහානිය ගමට හොඳට දැනිලා තියෙනවා. අපිට දුන් මේ පොතේම තිබෙනවා ජී. එස්. පී. ප්ලස් සහනයෙන් සියයට 63.1 වෙන් වෙන්නේ ඇඟලුම් කර්මාන්තයට කියලා. ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉන්න අයට ඉහළ වැටුපක් තියෙනවා. ගමේ ඉඳලා කීයක් හරි හොයාගන්න ගොවිතැන් කරන මිනිහට එහෙම දෙයක් නැහැ. ඒ නිසා මේ ජී. එස්. පී. සහ යහපාලනය කියන දේ ගමේ මිනිහට හරියන විදිහට ගලපගන්න අවශ්‍යයි. ජීවන වියදම වැඩියි. රැකී රක්ෂා අමාරුයි. ඒවාට හේතු විදිහට රටේ ණය බර වගේ දේවල් කියන්න පුළුවන්. මේ සියල්ල ජනතාවට අවබෝධ කරවන්න තුන්වේල කන ප්‍රශ්නෙත් එක්කයි යන්න ඕන.  ඒ නිසා ගමේ මිනිහා එක්ක සංවාදයකට යන්න ඕන.
අපි කන බොන හෝටල්වල තිබෙන්නේ අපේ රටේ සහල් නෙවෙයි පිටරටවලින් ගෙන්වන ඒවා. නමුත් අපිට සහල් විකුණා ගන්න බැරිව තිබෙනවා. අපේ රටේ වැල වරකා කොච්චර තිබුණත් ඒවා පානය කිරීමට සුදුසු තත්ත්වයට පත් කරලා නැති නිසා මේ වැල වරකා බීම ගේන්නේ මැලේසියාවෙන්. අපේ නිෂ්පාදන වැඩි කර ගැනීමට කටයුතු නොකිරීම ගැටලුවක් වී තිබෙනවා. අපි අපේ නිෂ්පාදන තිබුණා වුනත් ඒවා අපේම පාරිභෝජනයට නොගැනීමත් ගැටලුවක්. ජී. එස්. පී. සහනය මේ තත්ත්වයට කුමනාකාරයට බලපාන්නේද?
අපේ රටේ ග්‍රාමීය ආර්ථීකය සම්බන්ධයෙන් කතා කළොත්, රැකියා වියුක්තියක් තිබුණා වුනත් විරැකියාව තියෙනවද? එය අපේ සමාජ ආකල්ප සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නයක්. මාතර නගරේ ඇවිදලා බැලුවොත් විවිධ රැකියා පුරප්පාඩු තිබෙනවා. නමුත් පිරිස් නැහැ. අපි රටක් විදිහට සමත් වෙලා නැහැ මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කරන්න. ආකල්පමය වෙනසක් රටේ සිදුනොවන නිසයි ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යාපාර සඳහා ශ්‍රම සම්පතේ හිඟයක් ඇතිව තිබෙන්නේ. මගේ මිත්‍රයන් (ව්‍යාපාරිකයන්) කියන්නේ එට්කා ගිවිසුම අත්සන් කරල ඇයි ඉන්දියානු ශ්‍රමිකයන් අපේ රටට ගේන්නේ නැත්තේ කියල. ජී.එස්. පී.ප්ලස් සහනය සමඟම මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති විය යුතුයි.
ජී.එස්.පී. සහනයෙන් රටට විදේශ විනිමය ගලා ඒවී. රටේ ආර්ථීක දුෂ්කරතා මඟ හැරේවී. නව කර්මාන්ත ශාලා ස්ථාපනය වීමේන් විරැකියාවට විසඳුම් ලැබේවී. එයින් වැඩි ආයෝජන උතුරු නැගෙනහිරට ලැබේවී. ආර්ථීක ප්‍රගතියට මේ ප්‍රදේශවල තිබෙන බාධා මඟ හැරී යාම සිදුවෙයි. විශේෂයෙන්ම අපනයන දිරිමත් කිරීම මඟින් රටේ ආදායම් වැඩි වනු ඇති. මේවාට ජනතාවගේ අකමැත්තක් තිබේයැයි හිතන්නේ නැහැ.
කෘෂිකර්මාන්තය සමඟ ජීවත්වන අඩු ආදායම් ලාභීන් බහුතරයක් ඉන්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ. දැන් රසායනික පොහොර භාවිතය අවම කරමින් යන අවස්ථාවක කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සහ භාවිතය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළට රජයෙන් මීට වඩා සහයක් දෙන්න අවශ්‍යයි. කොම්පෝස්ට් නිෂ්පාදන සම්බන්ධයෙන් පළාත් සභාව හෝ මධ්‍යම රජය සතුව වැඩපිළිවෙළක් නැහැ. එය ඉහළ නැන්වීම තුළින් රටේ කෘෂිකර්මාන්තයටත් වෘත්තිය අවස්ථා සඳහාත් මඟ පෑදෙනු ඇති.
සටහන ජයනි අබේසේකර විසිනි

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment