උතුරට විශ්නේශ්වරන් පත්වුණාම අපිට බලාපොරොත්තුවක් අැති වුනා අන්තිමට විශ්නේශ්වරන් කාවඩි නටන්න ගත්තා

Feb 6th, 2017 | By | Category: OTHER NEWS, ආර්ථික, කුමාර් ඩේවිඩි, දේශපාලන, රුපවාහිනි දේශපාලන සංවාද, සමබිම ඉරිදා අතිරේකය, සුදර්ශන ගුණවර්ධන
hjyt
මහාචාර්ය කුමාර් ඬේවිඞ් මහතා සමඟ දේශපාලන ග්‍රහචාරය සාකච්ඡා කළේ සුදර්ශන ගුණවර්ධන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට අවශ්‍ය වෙන්නේ ඇයි යන්න මීට පෙර මෙවැනි සාකච්ඡාවකදී ඔබ අදහස් පළ කළා. අද ඔබ මොකද ඒ ගැන හිතන්නේ?
අද තත්ත්වය හොඳත් නැහැ, නරකත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් හොඳ දේවල් බොහොමයක් සිදුවී තිබෙනවා. පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවක් හදන්න එකට වැඩ කරනවා. මීට පෙර එවැනි තත්ත්වයක් අපේ රටේ තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනවා හරි දෙයක් ගෙනාවොත් එක්සත් ජාතික පක්ෂය එයට එරෙහි වෙනවා. එවැනි බාධා කිරීම් කළේ සිංහල, දෙමළ ඡන්ද ටික ගන්න වගේ පටු අරමුණු වෙනුවෙන් මිස ප්‍රතිපත්ති මත පිහිටා නොවෙයි. මෙවර ව්‍යවස්ථාව ගේන්න කටයුතු කරන්නේ පක්ෂ දෙකම එකට එකතුවී නිසා එලෙස නොවෙන්න ඉඩ තිබෙනවා. මේ කාර්යය නිසි ලෙස සිදුවුණොත් එහි ගෞරවය මේ දෙපිරිසටම බෙදී යනවා. අපි තවමත් ඉන්නේ මේ ගමනේ මැදයි. ඒ නිසා මේ ක්‍රියාවලිය තව ඉදිරියට යයිද? මෙතනින් නතර වෙයිද? කියන ප්‍රශ්නය තිබෙන නිසාම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හොඳ පැත්තක් වගේම ගැටුම්කාරී පැත්තකුත් තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ උපකාරක සභා හයක වාර්තා සභාගත වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔබ එය අගය කරමින් පුවත්පතකට ලියා තිබුණා. ඔබේ එම ලිපියේ මෙය හඳුන්වා දී තිබුණා සෞරග්‍රහ මණ්ඩලය සාමාන්‍යයෙන් කරකැවෙන්නේ සුර්යයා වටේ වුවත් මෙහි සූර්යයා වෙනුවට තිබෙන්නේ කලු කුහරයක් කියල. මේ කතාව පැහැදිලි කළොත්..
උප කාරක සභා හයේ වාර්තාවල යම් යම් අඩු පාඩු තිබුණත් යම් විශ්වාසයක් ඇති කිරීමට ඒ වාර්තා හය සමත් වෙනවා. විවිධ පක්ෂවල පිරිස් එකතු වී මේවා සකස් කර තිබුණත් මම දන්න තරමට ඒ උප කාරක සභා අභ්‍යන්තරයේ කිසිදු ගැටලුවක් මතු වී නැහැ. විශේෂ ප්‍රශ්න ගැන පාදක සටහන් මගින් වෙනත් මත ඉදිරිපත් කරල තිබුණේ එක වාර්තාවක පමණයි.  මධ්‍යය සහ පර්යන්තය අතර සම්බන්ධතාවය පිළිබඳ වාර්තාවේ විශාල ප්‍රශ්න ඇති වෙතැයි බොහෝ දෙනා සිතුවත් එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සිටියදී කිසිදු ගැටලුවකින් තොරව සියල්ලන්ගේ අනුමතයෙන්  වාර්තාව භාර දීමට හැකි වීම විශේෂයි. මේ වාර්තාව පදනම් කරගෙන ඉදිරියට ගියොත් මේ ප්‍රශ්නවලට විසඳුමක් සොයාගන්න ලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා පවා කියල තිබෙනවා. එවැනි විශ්වාසයක් ඇති කිරීමට හැකි වීම වැදගත්.මේ උප කාරක සභා වාර්තා තමයි මම කියන ග්‍රහලෝක හය. එහෙත් මධ්‍යය, එනම් මූලික ප්‍රශ්නය භාරව සිටින මෙහෙයුම් කාරක සභාවෙන් මේ පිළිබඳව තවමත් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ.
පළමු කාරණය, ඇතිකරනු ලබන්නේ විධායක ජනාධිපති ධුරයක්ද, අර්ධ වශයෙන් විධායක බලතල හිමි ජනාධිපති ධුරයක්ද, විධායක බලතල සම්පූර්ණයෙන්ම නොමැති විලියම් ගොපල්ලව වැනි ජනාධිපති ධුරයක්ද යන්න පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් නොමැති වීමයි. ජනාධිපතිවරයා බලයට පැමිණියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාවට පොරොන්දුවක් දෙමින් බැවින් එයින් පැනලා යන්නට ඔහුට බැහැ.
දෙවැනි කරුණ වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අතර බලතල බෙදී යාම සම්බන්ධයෙන් කුමක් සිදුවේද යන්නයි. දැනට තිබෙන්නේ අර්ධ වශයෙන් විධායක බලතල අඩු කරන ලද ජනාධිපති ක්‍රමයක්. මෙයින් තවදුරටත් විධායක බලතල අඩුකරනවා නම් ඒ කුමන ආකාරයකටද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
තුන්වැනි කාරණය, දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නොමැති වීමයි. බොහෝ දෙනා හිතන පරිදිම දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් තිබීම හොඳ බව මමත් හිතනවා. එසේ නම් මතුවන ප්‍රශ්නය වන්නේ එම පත් කිරීම් සිදුකරන්නේ කෙසේද? ඒ සඳහා පත් කරන්නේ කවුරුන්ද? ඒ සඳහා පළාත් සභාවලින් හෝ වෙනයම් ක්‍රමයට පිරිස් ඇතුළත් කරගන්නවාද සහ එහි බලතල කුමනාකාරද යන්නයි. ඔවුන් සම්බන්ධ වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට පමණද නොඑසේ නම් අය වැය සම්බන්ධ කාරණා ඇතුළු අනිකුත් ක්‍රියාවලීන්ටත් මැදිහත් වන්නේද යන්න පිළිබඳ අදහසකට පැමිණිය යුතුයි. ඒ අනුව පිහිටුවන්නේ සම්පූර්ණ බලතල සහිත දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ද යම් යම් ප්‍රශ්නවලට පමණක් සීමා වූ බලතල සහිත දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක්ද යන්න සම්බන්ධයෙන් එකඟතාවයක් තවමත් ඇති කරගෙන නැහැ.
උත්තරීතර බල ව්‍යුහය සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක් ඇති කර ගැනීමට තවම අසමත් වෙලා තිබෙනවා. මෙයයි සුර්යයා හෙවත් බලයේ කේන්ද්‍රය වෙන්නේ; නමුත් එය පැහැදිලි නැහැ. එහෙත් සුර්යයා නොමැතිව ග්‍රහලෝක හය කරකැවෙනවා. මම හිතනවා මෙහෙයුම් කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන්න වෙලාව දැන් පැමිණ ඇති බව.
ssssdd
දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන විශ්ලේෂකයෙකු වශයෙන් මේ ක්‍රියාවලිය හිර වී තිබෙනවා කියල ඔබ දකිනවා නම් එය සිදු වී තිබෙන්නේ කොතනින්ද?
ඔව්, මෙය හිර වී තිබෙන බව පේනවා. මේ පිළිබඳ සැක ඇති වෙනවා. විවිධ පිරිස් අතර විවිධ අදහස් පැතිරෙනවා. ඇතැම් විට ඒ කථා භයානකයි. උදාහරණයකට විධායක ජනාධිපති බලතල අහෝසි කරන්න එපා සහ ජනාධිපතිවරයා සමඟ ගෝඨාභය රාජපක්ෂව අගමැතිවරයා ලෙස සම්බන්ධ කර ගමනක් යන්න නම් ඒ සඳහා සිංහල බෞද්ධභාවයත් සමඟ විධායක ජනාධිපති ධුරය අවශ්‍යයයි යන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස්වලින් එන අදහසක්. මෙවැනි අදහස් පළ කරන්නේ නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන යාපා, එස්. බී. දිසානායක ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙක්. මේ අය හිටියේ මහින්ද රාජපක්ෂ සමඟයි. එහෙත් මේ පිරිසගේ ස්ථාවරය වූ විධායක ජනාධිපති ධුරය තවදුරටත් තබා ගත යුතුය යන අදහස 2015 ජනවාරි 8 වෙනිදා පරාජය වුණා. මේ පිරිස නැවතත් පස්ස දොරෙන් ඇවිල්ලත් ඒ කටයුත්තම කර ගැනීමට උත්සාහ දරනවා. එහෙත් ජනාධිපතිතුමා මෙතෙක් මේ අදහස පිළිගන්නා අන්දමේ කිසිවක් ප්‍රකාශ කර නැහැ.
බලය බෙදීම සම්බන්ධ කාරණය මධ්‍ය සහ පර්යන්ත (Centre Periphery) වාර්තාවේ තිබෙනවා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
බලය බෙදීම කියන වචනය අහපු ගමන් සිංහල මිනිස්සුන්ට මීමැස්මොරය හැදෙනවා. ඒ නිසා අපි මෙයට කියමු බලය පැතිරවීම් (Spread Out) කියලා. උපකාරක සභා හයේ වාර්තාවල අදහස් දෙකක් ඉදිරිපත් වී තිබුණා. ඒ නිර්දේශ අනුව මධ්‍යම ආණ්ඩුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන යන තුනටම ව්‍යවස්ථාව තුළ ඉඩකඩ ලබා දී තිබෙනවා මෙන්ම ග්‍රාම රාජ්‍ය නමින් වෙනම ආයතනයක් හැදීමටත් බලතල ලබා දී තිබෙනවා. මෙහි යෝජනා කර තිබෙන්නේ දෙවන සහ තුන්වැනි තලයන් අතර එනම් පළාත් සභා සහ පළාත් පාලනය අතර බලය විමධ්‍යගත කිරීමකුත් පළමු හා දෙවන එනම් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර බලය පැතිරවීමකුත්ය.
Devolution යනු පළාතට අදාළ කාරණාවලට නීති රීති හැදීමට බලය තිබීම වන අතර Decentralization යනු නීති හැදීමක් නොව ක්‍රියාත්මක කිරීම්ය කියන මේ අදහස වඩා හොඳින් පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. පළාත් සභා තලය තුළදී තමන්ගේ පළාතට වැදගත් වන නීති රීති රෙගුලාසි සකස් කර ගැනීම සඳහා ඉඩකඩ ලබා දීම  ෘැඩදකමඑසදබ යන්නෙහි මූලික පදනමයි.  පොලිස් බලතල, ඉඩම් බලතල පිළිබඳ ප්‍රශ්න දෙවනුව මතුවන කාරණායි. ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්තවලට බලපාන කාරණා සම්බන්ධයෙන් ප්‍රාන්ත මට්ටමින් නීති සෑදීමට හැකියාව තිබෙනවා.
අපේ ජීවිතය සම්බන්ධයෙන් අපිට ස්වාධීනව තීරණ ගන්න හැකි බව මිනිස්සුන්ට දැනෙන්නේ මේවාට ඉඩ දුන්නොත් පමණයි. මේ බලතල දීලා සිංහල, දෙමළ රට බෙදා ගනීවි කියා තියෙන්නේ පරණ කථාවක්. එහෙම බය වෙන්න දෙයක් නැහැ. තමන්ට රට බෙදන්න කිසිම උවමනාවක් නැති බව දෙමළ ජාතික සන්ධානය පවා කියල තිබෙනවා. මේ සියලු කාරණා නිසා මම හිතන්නේ බලය පැතිරවීමට ඉඩකඩ දීමේ උවමනාවක් තිබෙනවා.
බලය පැතිරවීමේ ව්‍යුහය හඳුන්වා දෙන්නේ 1987 වසරේදී. ඒ කාලේ සිටම ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළු මට්ටමින් මේ පිළිබඳ සාකච්ඡා සිදුවුණා. නමුත් මෙය එකවර මතුවෙන්නේ ඉන්දියාවේ මැදිහත් වීමෙන්. ඒ නිසා මෙය බලහත්කාරයෙන් දැමූ අදහසක්ය යන්න සිංහල ජනතාව අතර සැකයක් ඇතිව තිබෙනවා. ඒ තත්ත්වය සමඟ අපි ඉදිරියට යන්නේ කොහොමද?
එය බලෙන් පැටවූවක් කියන කථාව ඇත්ත. එල්.ටී.ටී.ඊ ය පාලනය කිරීමට ඉන්දීය සාම සාධක හමුදාව මැදිහත් වීමෙනුයි එය සිදුවුණේ. සිංහල ජනතාව දැක්කේ ඉන්දියන් හමුදාව (ගුවනින්) පරිප්පු දැමීම පමණයි. ඉන්දියන් හමුදාව සහ එල්. ටී. ටී. ඊ ය අතර තිබූ විශාල සටන ඔවුන් දැක්කේ නැහැ. කෙසේ වුවත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න නම් 13 වන සංශෝධනය ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. ඉදිරිපත් වී ඇති උපකාරක සභා හයක වාර්තා සියල්ල ඒකරාශී කරගෙන අපි අලුතින් මේ බලය පැතිරවීම කරන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුයි.
නමුත් එතනදී අපිට බලන්න වෙනවා නේද දැනට පළාත් සභාවල තිබෙන අත්දැකීම කෙසේද කියලා? මෙය සාර්ථක වෙලා තිබෙනවාද?
මම මෙතෙක් කියූ පරිදිම දෙමළ පළාත් සභාවලට පමණක් නෙවෙයි සියලුම පළාත් සභාවලට තම තමන්ට බලපාන කාරණා සම්බන්ධයෙන් නීති සකස් කර ගැනීමට ඉඩකඩ සකස් කර දීම හොඳ දෙයක්. එහෙත් අපි දන්නවා දැනට තිබෙන පළාත් සභාවල අත්දැකීම සතුටුදායක නැහැ. එතැනදී ලැබී ඇති බලයත් ප්‍රමාණවත් නැහැ. අයවැයත් ප්‍රමාණවත් නැහැ. ඒ වගේම නිදහස්ව වැඩ කිරීමට තිබෙන ඉඩකඩත් ප්‍රමාණවත් නැහැ. අනෙත් අතින් ඒවායේ බලයට පත් වී සිටින පිරිස සම්බන්ධයෙනුත් යම් යම් ගැටලු තිබෙනවා. යම් කෙනෙක්ට කියන්න පුලුවන් මගේ මේ අදහස පරස්පර විරෝධී එකක් කියල. මොකද මේ ඉඩකඩ පුළුල් විය යුතුයි කියල වගේම දැනට තිබෙන අපේ අත්දැකීම එතරම් හොඳ නැහැ කියලත් මම කියනවා. නමුත් අපිට යන්න වෙන්නේ මේ ප්‍රතිවිරෝධය තුළින් තමයි. වැඩි බලතල, වැඩි ඉඩකඩ ලබා දීලා මේක හරියට කරපන් කියන වගකීමත් ඔවුන් වෙත පැවරීම අපිට කරන්න සිදුවෙනවා. ප්‍රශ්නය වෙන්නේ ඔවුන් වගකීමක් ගන්නෙත් නැති වීමයි. උතුර ගත්තොත් මේ ප්‍රශ්නය තිබෙනවා. උතුරට විග්නේශ්වරන් පත්වුණාම අපිට බලාපොරොත්තුවක් ඇති වුණා. අපි හිතුවා මේ බලය පැතිරවීමේ වටිනාකම ඔහු පෙන්වයි කියල. උතුරේ මහ ඇමති විදිහට ඔහු අයවැයෙන් සියයට අනූවක් පමණ වියදම් කරලත් නැහැ. තිබෙන බලතල පාවිච්චි කරල යන්තම් පනත් දෙකක් වගේ පාස් කරගෙන තිබෙනවා. ඒ නිසා බලතල, ඉඩකඩ, නිදහස, මුදල් සියල්ල දීලා ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්  මෙච්චර දේවල් දීලත් ඇයි කිසිවක් නොකළේ කියල ඒ පළාත් සභාවට එරෙහිව නැගී සිටන්න ජනතාවට පුලුවන්.
මේ සියල්ල එක්ක අපි අපිට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කරගත යුතුයි නේද? අපි එය සකස් කර ගත යුත්තේ කෙසේද?
‘මධ්‍යය සහ පර්යන්ත’ උපකාරක සභා වාර්තාවෙන් එය සකස් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියි. එය බොහෝ දුරට හොඳ වාර්තාවක්. ඒකීය වගේ වචන කිසිවක් ඒ වාර්තාවේ පාවිච්චි කර නැහැ. ඔවුන් දන්නවා ‘ඒකීය’ කියන වචනය කිව්වොත් දෙමළ මිනිස්සුන්ටත්, ‘ෆෙඩරල්’ කියන වචනය කිව්වොත් සිංහල මිනිස්සුන්ටත් මීමැස්මොරය හැදෙනවා. මේ වචන ඉවත් කරල මධ්‍යම ආණ්ඩු, පළාත් සභා සහ පළාත් පාලන කියන ස්ථර තුනට අදාළව මොනවද බලතල කියන දේ සම්බන්ධයෙන් ස්ථිර අදහසක් ඇති කර ගෙන අපේ සිස්ටම් එක හදන්න පුලුවන්. ඒ වගේම එහි නීතිය හා සාමය පිළිබඳ උප කමිටු වාර්තාව තුළින් ජාතික පොලිස් බලකායක්, ප්‍රාදේශීය පොලිස් බලකා නමයක් සහ කොළඹට මෙගා පොලිස් වශයෙන් ඉතා හොඳින් බලතල ඉදිරිපත් කරල තිබෙනවා. මේවා අතර තිබෙන සම්බන්ධතාවය හොඳින් පැහැදිලි කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසම සමඟ පළාත් පොලිස් කොමිසම වැඩ කළත් ප්‍රාදේශීය පොලිස් කොමිසමට පළාත් ආණ්ඩුව සමඟ සබඳතාවය තිබෙනවා. ඒ වගේම ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරලා පළාත් පාලනයට වැඩි බලතල ලබාදීම හොඳයි. ඒ වාර්තාව පදනම් කරගත්තොත් බලය පැතිරවීමේ අපේම ක්‍රමයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට අපිට මාර්ගයක් සකස් වෙනවා. ■
සකස් කළේ: ජයනි අබේසේකර

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment