සමහර ස්වාමිපුරුෂයන් ඉන්නවා තමන්ගේ ගෙදර ඉන්න ගැහැනිය ඔසප් වෙනවා කියල පවා නොදන්න

Feb 16th, 2017 | By | Category: OTHER NEWS, අධ්‍යාපනය, කාන්තා, දේශපාලන, පුද්ගල නිදහස, පුරවැසි අයිතිය, මානව හිමිකම්
ලෝකයේ සියලු ගැහැණුන් මාසිකව මුහුණ දෙන පීඩාකාරී අත්දැකීමක් ලෙස ඔසප් වීම ලෙස (Period) හඳුන්වා දිය හැකිය. අතිශය ස්වාභාවික සංසිද්ධියක් වුවද ඔසප් වීම ආරම්භයත් සමඟ සෑම කාන්තාවක්ම පාහේ අඩු වැඩි වශයෙන් ශාරීරිකව මෙන්ම මානසිකව එයින් පීඩාවට ලක්වේ. එම පසුබිම තුළ චීනය, ජපානය, සැම්බියාව වැනි රටවල රැකියාවල නියුක්ත කාන්තාවන්ට විවිධ තත්ත්වයන් යටතේ ඔසප් දින නිවාඩු ලබා ගැනීම රජයෙන් අනුමත කොට තිබේ. ලෝකයේ ඇතැම් රටවල් ගැහැනිය පිළිබඳ එවැනි සංවේදිතාවයක් දක්වද්දී එවැනි නිවාඩු ක්‍රමයක් ලංකාවට හඳුන්වා දීමට නොහැකිද? එවැනි නිවාඩු ක්‍රමයක් ලබා දීමේ තිබෙන බාධා මොනවාද? ලංකාවේ ගැහැනියට එවැන්නක් අවශ්‍යද? ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සහ සමාජ ක්‍රියාකාරිනී කුමාරි කුමාරගමගේ ඒ පිළිබඳ සමබිමට අදහස් දැක්වූහ.
1456926260242

 

z_p20-Highඔසප් දින නිවාඩුවක් කාන්තාවකට ලබා දීමට තිබෙනවා නම් හොඳයි
චන්ද්‍රානි බණ්ඩාර
ළමා හා කාන්තා කටයුතු ඇමතිනී
ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් දින නිවාඩුවක් අවශ්‍යයි කියල තවම කිසිම යෝජනාවක් කිසිවෙකුගෙන් අපිට ඉදිරිපත් වෙලා නැහැ. එවැනි යෝජනාවක් එනවා නම් අපිට පුළුවන් යම් සාකච්ඡාමය තීරණයකට එළැඹෙන්න. එහි තිබෙන අත්‍යවශ්‍යතාවය, බරපතළකම පිළිබඳව සලකා බලා කැබිනට් අනුමැතියක් හරහායි එවැනි නිවාඩු දිනයක් සඳහා අනුමැතිය ලබාගත හැකි වෙන්නේ. නමුත් තවමත් එවැනි සාකච්ඡාවකට යන්නට තරම් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ. කෙසේවුවත් මම හිතනවා ඔසප් දින නිවාඩුවක් කාන්තාවකට ලබා දීමට තිබෙනවා නම් හොඳයි කියල. එවැනි යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැති නිසා නිවාඩුවක් ලබා දීම සම්බන්ධයෙන් කුමනාකාරයේ බාධා ඇතිවේද යන්න කිව නොහැකි වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟත් සාකච්ඡා කරලා කාන්තාවකට එවැනි නිවාඩුවක් ලබා ගැනීමේ තිබෙන අවශ්‍යතාවය තවදුරටත් විමසා බලා තහවුරු කර ගැනීම තුළ යම් තීරණයකට එන්නට අපිට හැකියාව තිබෙනවා.
කාන්තාවක් හැටියට මමත් දන්නවා ඔසප් දින ඇතිවන වේදනාව දරාගන්න බැරි මට්ටමේ බොහෝ කාන්තාවෝ ඉන්නවා. ඒ ඔසප් වීම ඇරඹෙන දිනය හෝ දින දෙකක් එවැනි නිවාඩුවක් ලබා දීමේ ගැටලුවක් මම දකින්නේ නැහැ. නමුත් එය සිදුකරන්න වෙන්නේ නිසි ක්‍රමවේදයක් සහ පටිපාටියක් හරහායි. නමුත් ගැටලුව තිබෙන්නේ කාන්තාවන්ට ඔසප් දින නිවාඩුවක් ලබා දීම සම්බන්ධයෙන් අපිට එවැනි සාකච්ඡාවකට යන්නට තරම් කිසිදු අදහසක් හෝ යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති වීමයි. එවැනි යෝජනාවක් ඉදිරිපත් වුණොත් ළමා හා කාන්තා කටයුතු ඇමතිනිය විදිහට ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීමට මම මැදිහත් වෙනවා.

 

DSC_2110ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විවෘත කතාබහක් අපිට නැති නිසා මේවා හරි කැත වැඩ වෙලා
කුමාරි කුමාරගමගේ
සමාජ ක්‍රියාධාරිනී
පැහැදිලිවම එවැනි නිවාඩුවක අවශ්‍යතාවයක් ගැහැනියට තිබෙනවා. එවැනි නිවාඩුවක් අපිට නොමැතිවීමෙහි තිබෙන්නේ ගැහැනියකගේ විශේෂත්වය අපේ වගේ රටක කිසිසේත් පිළිනොගැනීමයි. භික්ෂුණී විනයට අනුව භික්ෂුණීන් ඉන්න තැනක රෙදි කැබැල්ලක් තිබෙනවා. එක් භික්ෂුණියකට මාසෙකට දවස් තුනක් ඒ රෙදි කෑල්ල ඉල්ල ගන්න පුළුවන්. ශරීරයේ කිසියම් හෝ හේතුවක් නිසා දවස් තුනට වඩා ඔසප් වීම වෙන්න බැහැ මේ විනයට අනුව. මේකෙ අනිත් පැත්ත තමයි යම් ආකාරයකින් හෝ භික්ෂුණියක් යම් පුරුෂයෙකු සමඟ ලිංගිකව හැසිරිලා ගර්භණී වෙන්න බැහැ කියන එකයි. භික්ෂුණී විනයට අනුව යට ඇඳුම් අඳින්න තහනම්. මේවා පිරිමි ලෝකෙ තීන්දු. ගැහැනු දරුවෙකු වැඩිවිය පැමිණිලා සිදුවන “ඔසප් වීම” පිළිබඳව වගේම ගැහැනියකට සිදුවන “අර්ථවහරණය” කියන දේ පිළිබඳවත් පිරිමි හරියට දන්නේ නැහැ. මේ නොදැනුවත්කම නිසා තමයි ගැහැනියකට ඔසප් වීමේදී දැනෙන වේදනාව පිළිබඳ කිසිදු අවබෝධයක් පිරිමින්ට නැත්තේ.
මම දන්න පිරිමි හිටියා තමන්ගේ ගෙදර ඉන්න ගැහැනියට ඔසප් වෙනවා කියල පවා නොදන්න. ඒ ගැහැනිය මේ වේදනාව දරාගෙන ගෙදර උයන්න ඕන, දරුවෝ බලාගන්න ඕන. පිරිමියා දන්නෙ නෑ ඔසප් වේදනාවක් හරි එහෙම දෙයක් වෙනවද කියලවත්. මෙය ඒ තරම් රහසිගත දෙයක්. අපේ රටේ ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් අවශ්‍යයි. මේක හරිම ස්වාභාවික දෙයක්. ගැහැනියකට ඔසප් නොවෙනවා නම් කොහොමද මේ ලෝකේ පවතින්නේ? අපි ගැහැනියක් දිහා බලන්නෙත් පිරිමියෙක් දිහා බලන්නෙත් වෙළෙඳපොළ අලෙවි භාණ්ඩ විදිහටයි. මේ ශරීරය සහ එහි අභ්‍යන්තරය පිළිබඳ සොයාබැලීමක් නැහැ. ඒවා අපිට කැත වැඩ. මේ සියල්ල පිළිබඳ මුළු සාකච්ඡාවම වෙන්නේ නැතිනම් ඔසප් නිවාඩු පිළිබඳ වන කතාබහ මේ සමාජයට උඩින් බස්සපු එකක් වෙනවා. මොකද මෙහි මුල පිළිබඳ කතා බහක් වෙලා නැති නිසා.
සමබිම වෙනුවෙන්  සාකච්ඡා කළේ ජයනි අබේසේකර

Recent Posts

Leave a Comment