නුගේගොඩ රැලියට ආවේ 10,000යි පළමුව ඒකාබද්ධ විපක්ෂය මට්ටු කරමු|මහාචාර්ය කුමාර් ඩේවිඩ්

Feb 18th, 2017 | By | Category: LEAD NEWS, ආර්ථික, කුමාර් ඩේවිඩි, දේශපාලන, සමබිම ඉරිදා අතිරේකය
පසුගිය පෙබරවාරි 07 වනදා නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය විසින් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය සමඟ එක්ව සිවිල් සමාජ සංවිධානවල නියොජිතයන්ගේ සමුළුවක් කොළඹදී කැදවන ලද්දේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමේ පුළුල් ක්‍රියාවලියේ එක් කටයුත්තක් වශයෙනි. දිවයින පුරා විසිර පැතිර සිටින සිවිල් සංවිධාන සියයකට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිවිල් සමාජ නායක නායිකාවන් රාශියක් මෙන්ම දේශපාලන පක්ෂ නායකයන්ද මෙම සමුළුවට සහභාගී විය. මෙම සමුළුවේදී අදහස් දැක්වූ මහාචාර්ය කුමාර් ඩෙවිඞ් එහිදී ඔහු දැක්වූ අදහස් සහ සමුළුවේ අත්දැකීම් ද පාදක කර ගනිමින් First trounce the Joint Opposition යනුවෙන්  ලියන ලද ලිපියේ සිංහල පරිවර්ථනය මෙවර සමබිමේ පළකෙරේ.
ශ්‍රී ලංකාව තුළ දැනට මුලුදෙමින් යන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විසින් ගෙන එන ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් බහුතරයක් දෙනා එක් පොදු අදහසක් පිළිගෙන තිබෙනු දැකිය හැක. කෙටුම්පත් වන නව ව්‍යවස්ථාව ඒ සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ ඇති සැබෑ අවශ්‍යතාවයන් ඉටු කරන ආකාරයේ එකක් වුවහොත් එය අතිශය පුළුල් සහ ජනමත විචාරණයක් හරහා සම්මත විය යුතු එකක් වනු ඇතිය යන්න එකී පොදු අදහසයි. වර්තමාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අවසන් වන්නේ මුළුමනින්ම නව ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පතක් රට හමුවේ තබමින් නම් එකී කෙටුම්පත සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම පිණිස ජනමත විචාරණයක් කැඳවීම නොවැරදීම සිදුවිය යුත්තකි. එවැනි ජනමත විචාරණයක් කැඳවූ කල්හි එය ජයග්‍රහණය කළ හැකිවේද යන ගැටලුවට ලැබෙන පිළිතුරු විවිධාකාරය. එතැනදී ඒ අභියෝගය ජයග්‍රහණය කළ නොහැකි වනු ඇතැයි පුරුද්දක් ලෙස කියා සිටින අමාත්‍යවරුන් යම් ප්‍රමාණයක් දැකිය හැකිවා මෙන්ම එයිනුදු බහුතරය යහපාලන ආණ්ඩුව තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කරන්නන් බවද දැකිය හැකිය. අනෙක් අතට දේශපාලන රැඩිකල් මතධාරීන් සියල්ලම පාහේ මේ මොහොතේ සිටිනුයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් හරහා සම්මත කරගතහැකි යැයි විශ්වාස කරන පාර්ශවය තුළය. මෙකී පාර්ශව දෙකම මේ මොහොතේ නොබලන නොදකින තවත් එක් කාරණයක්ද මේ පසුපස ක්‍රියාත්මකය. ගැටලුව ඇත්තේ එතැනය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සහිතව ජනමත විචාරණයකට යන්නේ නම් එයට පෙර ඒකාබද්ධ විපක්ෂය නමැති දේශපාලන කණ්ඩායමත් වෛරී සහගත මත වපුරන්නාවූ අන්ත ජාතිවාදී කණ්ඩායමත් යන දෙපිරිසම අප විසින් මතවාදීව ගෙන දමනය කළ යුතුව ඇත.
මෙකී කණ්ඩායම් විසින් පතුරුවන්නාවූ ද්වේශ සහගත මතවාද සියල්ල පරාජය කළ යුතුය. එකී මතවාද ඔඩුදුවා ගොස් ඒ විසින් සැබෑ ප්‍රශ්නය යට ගසන්නට පෙර එය කළ යුතුව ඇත. නිසල දිය මත නෞකාවක් ගෙන යාම කොතරම් පහසුද දේශපාලනිකව කඩා බිඳ දැමූ ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජනමත විචාරණයක් හරහා ජයග්‍රහණය කරවීමේ උත්සාහය ද එතරම්ම සරලවනු ඇත. අන්ත ජාතිවාදී කණ්ඩායම්වල අනාගත හැසිරීම ද මෙතැනදී තීරණාත්මක වනු ඇත. මෙවැනි කණ්ඩායම් නීතිය සහ සාමය කඩකරමින් සිය සුපුරුදු කලහකාරී හැසිරීම් සමග පෙරට පැමිණියහොත් එවැනි පරිසරයක් තුළ ජනමත විචාරණයක් වැන්නක් කැඳවීම පවා කළ නොහැක්කක් වනු ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ මොහොතේ වුව තැනින් තැන විරෝධයන් සහ බාධා පැමිණවීමේ උත්සාහයන් සිදුවනු දැකිය හැකිය. මේවාගෙන් සමහර ක්‍රියාවක් ඒවා සිදුකරන ජාතිවාදී කඩාකප්පල්කාරීන් විසින් හිතාමතාම සිදුකරන ක්‍රියා වන මුත් සෙසු බහුතරය ඒකාබද්ධ විපක්ෂය විසින් පොළඹවනු ලදුව සිදුකරන ලද ඒවා බව පැහැදිලිය.
මෙතැනදී මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ සිටිනුයේ කොතැනද? මේ උදාවී ඇති මොහොත තුළ මේ දෙපළ අතින් ඉටුවිය යුතුව ඇත්තේ ඉහත කී කණ්ඩායම්වල අභියෝගවලට මුහුණ දෙනු පිණිස ඉදිරියට පැමිණීමය, ඔවුන්ගේ අදහස් බලාපොරොත්තුවෙන් ඔවුන් වෙත මානා ඇති අවිවලට පිළිතුරු සැපයීමය, නැතහොත් අවශ්‍ය නම් වීදියට හෝ බැස ඒකාබද්ධ විපක්ෂය පරාජයකිරීම සඳහා ජනතාව සංවිධානය කරලීමය. එහෙත් ඔවුන් දෙදෙනාගෙන් කවරෙකු හෝ මෙකී අවශ්‍යතාවයන් ඉටුකිරීම පිණිස ඉදිරියට පැමිණ නැත. දෙදෙනාගෙන් එක් අයෙක් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද? රට තුළ බලතල බෙදා හැරීම සඳහා යෝජනා කරන යාන්ත්‍රණය කුමක්ද?  රාජ්‍යයේ ව්‍යූහය විය යුත්තේ කුමක්ද? යනාදිය සම්බන්ධයෙන් නිසි තීරණයකට පැමිණිය නොහැකිව සිය පක්ෂ අභ්‍යන්තරයේම ඇතිව තිබෙන අරගලවලට මැදිව සිටියි. අනෙකා මේ සියලු ප්‍රශ්න මගහැර සැඟව සිටින සේයාවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ උත්සාහයන් මේ මොහොතේ මුහුණ දෙන උභතෝකෝටික අර්බුදය නායකත්වය පිළිබඳ එකකි – අන් ලෙසකින් කියනවානම් නායකත්වයක් නොමැතිවීමේ ගැටලුවකි. අභ්‍යන්තර බලවේගයන් විවිධ දෙසට විසිර යන තැනට කටයුතු සලසන්නට මෙකී හිස්තැන හේතුවක්ව ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය මතය ප්‍රකාශ කරන්නට හෝ තමන් විසින් සහය දක්වන්නට බලාපොරොත්තුවන මූලධර්ම සම්බන්ධයෙන් පැහැදිලි පෙනීසිටීමක් කරන්නට හෝ මෙතෙක් සමත්ව නැත. ඒ අතර රනිල් වික්‍රමසිංහ මුළුමනින්ම කරලියෙන් අතුරුදහන්ව සිටියි.
මේ තත්ත්වය 1972 හෝ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාර සම්බන්ධයෙන් ඇතිවූ අභ්‍යන්තර දේශපාලන මානයන්ට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. 1972 ආණ්ඩුක්‍රම සිරිමා බණ්ඩාරණායක – කොල්වින් ආර්. ද සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණය අතරතුර ඒ ව්‍යාපාරයේ නායකත්වයට පහර දෙන හෝ විවේචනය කරන ආකාරයේ යමක් සිදුකරන්නට එකී දේශපාලන ව්‍යාපාරයේ මන්ත්‍රීවරයෙකු හෝ ආධාරකරුවෙකු කටයුතු කරනු ඇතිද? එලෙසින්ම 1978 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අතරතුර ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වය අභියෝගයට ලක්කරන පරිදි කටයුතු කරන්නට ඔහුගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු හෝ ඔහුගේ ආධාරකරුවෙකු කටයුතු කරනු ඇතිද? මේ යුග දෙක තුළම අති දැවැන්ත දේශපාලන නායකත්වයන් (සහ ඒ හා බැදුණු අතිශය ස්ථාවර පාර්ලිමේන්තු බලය) විසින් කිසිඳු අභ්‍යන්තර බලවේගයකට එකී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන් අඩාල කළ නොහැකි බවට වග බලා ගන්නා ලදි. එහෙත් අද – අද අප හමුවේ ඇති දැවැන්තම අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියා තැබිය යුත්තේ කුමක්දැයි කල්පනාකිරීම  නොවේ. ඊට පෙර ලියා තබන්නේ කවරක් වුව එය සම්මත කරගන්නේ කෙසේදැයි වද විය යුතුව ඇත. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතය ද අතිශය වැදගත්ය යන කාරණය වෙනුවෙන් සෘජුවම පෙනී සිටින අතරම එකී ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ කාර්යයට ලැබෙන නායකත්වය සම්බන්ධයෙන් ඉහතකී සාමාන්‍ය නොවන පෙනුමේ අදහස වෙනුවෙන්ද මම පෙනී සිටිමි. ශ්‍රී ලංකාවේ දේශපාලන කඳවුරු දෙකක් එකට එක් වීමෙන් ආරම්භයේදී නිර්මාණය වූ දේශපාලන නායකත්වය අද වනවිට ඇල්මැරී නින්දට ගොස් ඇත. දැන් ආරම්භක පිතිකරු යුවළ නොමැතිව සෙසු ක්‍රීඩකයන් ඒකාබද්ධ විපක්ෂයේ වේග පන්දුවලට මුහුණ දෙමින් සිටී. එසේ ඒ පිරිසට පවා මුහුණ දෙන්නට සිදුව ඇත්තේ නොහික්මුණු ජාතිවාදී පන්දුයවන්නන් විසින් දමා ගසන නරක්වී ගඳ ගසනා අභියෝගයන්ටය.
මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපළ මෙතරම් බියව සිටින්නට කාරණය කුමක්ද? ඒකාබද්ධ විපක්ෂය යනු මුළුමනින්ම නරක්ව ගිය දේශපාලන දේහයකි. උපන් ගෙයිදීම දුර්වලව සිටි මෙකී දේශපාලන කණ්ඩායමට පහර කිහිපයක් එල්ල කරන්නට තරම් අනෙක් පාර්ශවය ධෛර්යය සහ සැලසුමක් හෝ දෙකක් තිබිණි නම් මේ වනවිටත් එය ගිල්වා දමා අවසන්ය. ඒකාබද්ධ විපක්ෂය යනු කොතරම් නම් හිස් සංවිධානයක් දැයි ඔප්පු කරන කිසිසේත් බිඳ දැමිය නොහැකි සාක්ෂය කිහිපයක් ඉදිරිපත්කිරීමට මට මෙතැනදීම හැකියාව ඇත. පසුගිය ජනාවාරි 27 වනදා නුගේගොඩ ප්‍රදේශයට ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබූ මහජන රැස්වීම මෙහිදී නිදසුන් කරගත හැක. පූර්ව ප්‍රචාරක කාර්යයන් අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් විසින් තැන තැන කියා සිටි පරිදි මේ රැස්වීමට 100,000 කට අධික ජන ගංගාවක් පැමිණිය යුතුව තිබිණි. එහෙත් ජනවාරි 27 වන දා අදාළ රැස්වීම අවසන් වන අවස්ථාව වනවිට එතැනට පැමිණි ආධාරකරුවන්ගේ සම්පූර්ණ ගණනය කොතෙක්ද? 10,000 ක් වත් නොමැත.  ඒ බව තහවුරු කරන වාර්තා හෝ සටහන් ඕනෑ තරම් ඇත. ඒ අතර මා විසින් මෙතැනදී ඉදිරිපත් කරන අර්ධ-විද්‍යාත්මක මට්ටමේ ගණනය කිරීමක් ද වේ.

Photo (2) (1842 x 1388)

අදාළ රැස්වීමට පැමිණ සිටි ජනතාවගෙන් ප්‍රධාන කොටස පෙන්නුම් කරන එකම ආකාරයේ ඡායාරූපයක් රැස්වීමට පසුදින, එනම් 28 වන දා ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් දෙකක පළව තිබිණි. අදාළ පුවත්පත්වල මුල් පිටුවල සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලව පළ කර තිබූ මෙකී ඡායාරූපයක් ගත් මා එය වර්ග අඟල් 01 බැගින් වන සමාන කොටස්වලට බෙදීමට කටයුතු කරන ලදි. මේ ඒ ඒ කොටු තුළ පෙනෙන්නට තිබෙන මිනිස් රූප වෙන වෙනම ගණනය කළ මා ඉන් අනතුරුව ඒ සියල්ල එකට එක් කර ඡායාරූපය තුළ පෙනෙන්නට තිබෙන සමස්ත ආධාරකරුවන්ගේ ගණන සම්බන්ධයෙන් අවසාන අගයකට එන්නට උත්සාහ කරන ලදි. පිළිතුරු 1880 ක් ලෙස සටහන් විය. කිසිසේත් විය නොහැකිය. එවැනි අගයක් මේ තරම් විශාල ලෙස පෙනෙන දේශපාලන ව්‍යාපාරයකට තරම් නොවේ. ඒ නිසා අවමය 3,000 ක පමණ පිරිසක්වත් මෙතැන සිටියේ යැයි උපකල්පනය කරමු. අදාළ ඡායාරූපය රැස්වීමට සහභාගීව සිටි පිරිස පෙනෙන පරිදි රැස්වීම් භූමියට ඉහළින් කැමරාව මානා ගන්නා ලද්දකි. එසේ ග්‍රහණයට හසු කරගෙන ඇත්තේද රැස්වීමට සහභාගී වෙමින් සිටි පිරිස ප්‍රධාන වශයෙන් රැස්ව සිටි ප්‍රදේශයයි. ඒ අනුව එම කොටස මැදිවන පරිදි දෙපස තවත් පිරිස් සිටිය යුතුය. රැස්වීම පැවැත්වූ ස්ථානය සාපේක්ෂව ඉඩකඩ අඩු භූමියක් වන බැවින් පසුපසට වන්නට සිටින්නට ඇත්තේ සුලු පිරිසක් විය යුතුය. ඡායාරූපයේ සිටින පිරිසට ප්‍රමාණාත්මකව සැසඳෙන ප්‍රමාණයක ජනතාව එහි දෙපස ද සිටියේය යන සිතුවිල්ලේ සිටිමින් ගණනය කරද එදින රැස්වීමට සිටි සමස්ත පිරිසෙහි සංඛ්‍යාව ලෙස මට ලැබෙනුයේ 10,000 ට අඩු ගණනකි.
මා මෙතැන කියා සිටින්නට උත්සාහ කරන මූලික කාරණය රැස්වීමට සහභාගීවූ සමස්ත ප්‍රමාණයේ අගය නොව පිරිසක් රැස් කරගන්නට ඒකාබද්ධ විපක්ෂයට ඇති නොහැකියාවයි. මෙයින් තහවුරු වන්නේ පිරිසක් රැස් කරගන්නට ඒකාබද්ධ විපක්ෂයට ඇති නොහැකියාවයි, මහජන දායකත්වය අතින් එය කොතරම් දුර්වල සංවිධානයක්ද යන්නයි. මේ සංවිධානය එකඳු හෝ අසීරුවකින් තොරව දේශපාලනිකව ගිල්වා දැමීම හෝ මාර්ගයෙන් ඉවතට ඇද දැමීම කළ හැකිය. ඒකාබද්ධ විපක්ෂය තමන් විසින් නිතර සිදුකරන බාධාකිරීම් සහ කඩාකප්පල්කිරීම් තව තවත් ව්‍යාප්ත කරගැනීමට පෙර මෙය සිදුවිය යුතුව තිබේ. මේ කාර්ය වෙනුවෙන් අවශ්‍ය නායකත්වය සැපයීමට සිරිසේන ජනාධිපතිවරයා හෝ වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා තවදුරටත් බිය වන්නේ නම් ඒ වෙනුවට එතැනට පැමිණ කාර්යය භාරගත හැකි දෙවැනි පෙළ නායකයන්ද නොඅඩුව සිටී. එයිනුත් එපිටට ගිය කල නායකත්වයේ එකී හිස්තැන පිරවීමට සූදානම් සිවිල් සමාජ සංවිධාන ද සිටින බව පසුගිය පෙබරවාරි 07 වනදා මා සහභාගීවූ සිවිල් සමාජ සංවිධානවල සාකච්ඡාවක් විසින් මා හට තහවුරු කරන ලදි. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය ගත් කළ ඔවුන්ට ද මේ සම්බන්ධයෙන් වෙනස් මතවාද පවතින බව ස්ථිරය.
ආර්ථික වැඩපිළිවෙළක අවශ්‍යතාවය.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මෙසේ ඉදිරියට යන අතර ඈත ගම් ගොඩවල සිටින බණ්ඩලා සහ ජේන් නෝනලා සුපුරුදු පරිදි මෙසේ කියනු ඇත. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණා කියලා ඒකෙන් මට මගේ පවුලට කන්න දෙන්න බැහැනේ. මූලික අයිතිවාසිකම් තිබුණා කියලා අපිට මොකද අපේ ළමයි ඉස්කෝලෙට යවන්නවත් ඇඳුම් කැඩුම් ටික අරන් දෙන්නවත් ඒකෙන් බැහැනේ”. ඔවුන්ගේ මේ කතාව සත්‍යයකි. ඒ නිසාම සාමාන්‍ය ජනතාවගේ එදිනෙකා භෞතික ගැටලු දෙස සම්පූර්ණයෙන්ම ඇස් කන් පියා ඔවුන්ගෙන් ඈත්ව සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අරගලය කරන්නට යාමෙන් එකී ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මහජනතාවගෙන් ඈත්ව ගිය දුරාවබෝධ එකක් වනු ඇත. විශේෂයෙන්ම සිංහල ජනතාව එවැනි තත්ත්වයක් හමුවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හෝ බලතල බෙදාහැරීමේ අවශ්‍යතාවය පිළිබඳ නොතකන්නන් වනු ඇත. එසේ හෙයින් ආර්ථික ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට මහජනතාව ඒකරාශීකිරීමේ උත්සාහයේ අනිවාර්ය කොටසක් විය යුතුය.
මෙතැනදී ඔබ විසින් ඇසිය යුතුම ගැටලුවක් ඇත. ආර්ථික දියුණුව පිළිබඳ අභිලාෂයන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු හා එකිනෙක පෑහෙන්නේ කෙසේද? මෙයට දියයුතු පිළිතුරු කොටස් 03 කින් යුතුවේ. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ වූයේ කවදාද එදා සිටම එහි අඩුපාඩුවක් ව පවතින රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම පිළිබඳ පරිච්ඡේදයක් ව්‍යවස්ථාවට ඇතුළත් වන පරිදි ව්‍යවස්ථාව යළි සැකසීම එකී කාරණා 03 අතරින් පළමුවැන්නයි. ජාතික ආර්ථිකය ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මැදිහත්වීමට රාජ්‍ය පාලනයට ස්ථීර නියාමනයන් සැපයීම මෙම පරිච්ඡේදය විසින් සිදුකරනු ඇත. ඩෙන්ග් ෂියාවෝපිංග් සමයේ චීනයට එවැනි ව්‍යවස්ථාවමය පරිච්ඡේදයක් ඇවැසි නොවිනි. හේතුව චීන දේශපාලන ක්‍රමය තුළ කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත්වීම උත්තරීතර වන බැවිනුත් ඒ හරහා චීනයේ ආර්ථික පැවැත්ම නියාමනයවූ බැවිනුත්ය. ලී ක්වාන් යූ නායකත්වය හෙබවූ සිංගප්පූරුවට ද එවැනි ව්‍යවස්ථාමය පරිච්ඡේදයක් ඇවැසි නොවිනි. හේතුව ලී ක්වාන් යූගේ නායකත්වය කිසිසේත් ප්‍රශ්නකිරීමට ලක් නොවූ තත්ත්වයක් විසින් තමන්ට ඇවැසි පරිදි ආර්ථිකය නියාමනය කර පවත්වාගෙන යාමට ඔහුට ඉඩකඩ නිර්මාණය කර තිබූ බැවින්. එහෙත් ශ්‍රී ලංකාවට එය අවශ්‍යය. බලය පවත්වාගෙන යන්නාවූ ආණ්ඩුව මත ආර්ථික දියුණුව සහ නියාමනය සම්බන්ධයෙන් වන නිශ්චිත රාජකාරි සමූහයක් ඉටුකිරීමට අණ කරන රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම පරිච්ඡේදයක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබීම අත්‍යවශ්‍යය.
මහ ජනතාවට වඩාත් සමීප රටේ ආර්ථික ප්‍රශ්න පිළිබඳ අවධානය දැක්වීම ද ඇතුළත් වන පරිදි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් වන වර්තමාන ප්‍රයත්නයන් පුළුල්විය යුතුය. ඒ හරහා එකී ප්‍රතිසංස්කරණ වෙත එල්ලවිය හැකි ප්‍රතිචාර, බාධාකිරීම් සහ ඒකාබද්ධ විපක්ෂය යන මේ සියල්ලට එරෙහිව සටන් කරන ක්‍රියාන්විතය තවදුරටත් පළල්වීම ඉහත කාරණා අතරින් දෙවැන්නයි. නව කර්මාන්ත ඇතිකිරීම වේවා, ආර්ථික ක්‍රියාකාරකම් පුළුල්කිරීම හෝ වෙනත් රටක් (චීනය හෝ ඉන්දියාව වැනි රටවල්) සමග නව ආර්ථික ගිවිසුම්වලට එළැඹීම හෝ වේවා මෙකී සියලුම උත්සාහයන් ඒකාබද්ධ විපක්ෂයේත් ඔවුන්ගේ දේශපාලන කල්ලිවලත් අනිවාර්ය විරෝධයට, කඩාකප්පල්කිරීම්වලට සහ වැලැක්වීම්වලට ලක්වනු දැන් දැකිය හැකිය. සම්පූර්ණයෙන්ම අලුත් හෝ සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ගෙන ඒමේ අරගලය හා සහබද්ධිතවම ඔවුන්ගේ එකී ක්‍රියාකාරකම්ද පරාජය කළ යුතුව ඇත. ඒ හරහා අවසාන විග්‍රහය තුළ මෙම ව්‍යාපාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ලෙස අර්ථ කථනය වනවාට ද වඩා ඉහත කී විරෝධතා ස්ථරයන් පරාජයකරලීමේ ආර්ථිකමය සටනක් ලෙස අර්ථ කථනය විය හැක. එයිනුදු කම් නැත. ඒකාබද්ධ විපක්ෂය පරාජයකිරීමෙන් අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙන්ම ආර්ථික සහේතුකභාවයක්ද රට තුළ ඇතිවනවාට නිසැකය.
එකම එක ප්‍රශ්නයකට විසඳුම් සෙවීම පිණිස ජනාධිපතිවරණ සමය තුළ ගෙන ආ පොදු අපේක්ෂක ව්‍යාපාරය මේ මොහොතේ සිහියට නගාගත යුතුව ඇත. එකී ව්‍යාපාරය තුළ අප විසින් බලාපොරොත්තුවූ මුලුමහත් කාරණා සියල්ලම ඉටු නොවුනාය යන්න සත්‍යයකි. විධායක ජනාධිපති ධුරය අහෝසිවීමක් සිදු නොවුන අතර එහි බලතල කප්පාදුවක් පමණක් සිදුවිය. එහෙත් ඒ හැරුණු විට එකී ව්‍යාපාරය විසින් අපට ලඟාකරදුන් ප්‍රතිලාභවල තරම කොතෙක් නම්ද? මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කෙරුණු අතර, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ආරක්ෂා කරගැනුනි. ජාතික ප්‍රශ්නයට හේතුවූ දැවැන්තම සාධකය විසඳා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයක් ආරම්භ කරන්නට ඒ හරහා අවස්ථාව නිර්මාණය විය. ඒ හරහා මහජන දායකත්වය වැඩිකරගැනීම මගින් පරිපූර්ණ, නැතහොත් අඩුම තරමේ බොහෝ සෙයින් පරිපූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සම්මත කරගන්නට අප සමත් වන්නේද එයම අතිශය ඉහත කී පොදු අපේක්ෂක ව්‍යාපාරයේ අතිශය සාධනීය ප්‍රතිඵලයක් වනු ඇත. නමුත් නැවත නැවතත් මතක් කරන කාරණය නම් ප්‍රවේශම අත්‍යවශ්‍යය. ඒකාබද්ධ විපක්ෂය සහ එහි හෙංචයියන් දේශපාලනිකව අනාථකිරීමකින් මෙහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක සාර්ථකත්වය කිසිසේත්ම දැකිය නොහැකිවනු ඇත.
බලතල බෙදාහැරීම පුළුල් සංකල්පයක් වශයෙන් ගැනීම.
ආර්ථික සංවර්ධනය බලතල බෙදාහැරීමේ අවශ්‍යතාවය සමග බද්ධකිරීම ඉහත මා සඳහන් කළ කාරණා අතරින් තුන්වැන්නයි. මේ දක්වාත් බලතල බෙදාහැරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් රට තුළ සිදුවූ සියලූම සාකච්ඡාවන්හි අරමුණ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරුකිරීම හෝ ඔවුන්ට දේශපාලන සමාජ පැවැත්වමක් තහවුරුකිරීමයි. ආර්ථික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් බලතල බෙදාහැරීම කොතරම්නම් අදාළ වන්නේද යන කාරණය සාකච්ඡාකිරීම මේ සංවාදයන් තුළ මගහැරී ඇති නිසාවෙන්ම බලතල බෙදාහැරීම යනු සාකච්ඡාකිරීමට අතිශය පීඩාකාරී මතවාදයක් බවට පත්ව ඇත. මෙකී දුර්වලතාවය සම්බන්ධයෙන් ප්‍රමාණික අදහස් දැක්වීමක් සිදුකිරීම කෙරෙහි මගේ මෙම ලිපියේ අවසන් පරිච්ඡේද දෙක වෙන්වනු ඇත.
බලතල බෙදාහැරීම (විශේෂ විධිවිධාන) පිළිබඳ පනත් කෙටුම්පත 2016 වර්ෂයේ නොවැම්බර් 25 වන දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරන ලදි. මෙකී කෙටුම්පත මෙම සංවාදයට අපේක්ෂිත ආරම්භය සපයනු ඇත. මෙකී පනත් කෙටුම්පත කියවූ මා ජනවාරි 08 වන දා ඒ සම්බන්ධයෙන් මගේ අදහසද කෙටුම්පතෙහි අන්තර්ගතය වැඩිදියුණු වන පිණිස සිදුවිය යුතු වෙනස්කම්ද යෝජනා කරන ලදි.  කෙසේ නමුත් සමස්තයක් වශයෙන් බලතල බෙදාහැරීමේ උත්සාහයන් රටේ ආර්ථික අභිවෘද්ධිය පිළිබඳ අවශ්‍යතාවයන් සමග පෑහීමට මෙම කෙටුම්පත ගෙන තිබූ උත්සාහය මගේ ඇගයීමට ලක්විය. ඒ සියලු තත්ත්වයන් පිළිබඳ විස්තරකිරීමට මෙය අවස්ථාව නෙවේ (මෙකී කෙටුම්පත සම්පාදන ක්‍රියාවලියේ කිනම් හෝ තැනක නතරව ඇති බවක් පෙනෙන්නට තිබේ. ඇතැම්විට වරප්‍රසාද ලත් පන්තිය සහ ඔවුන් යටතේ වෙසෙන ලිබරල් ‘න්‍යායචාර්යවරුන්’ විසින් එය අතිශය බැරෑරුම් දුෂ්කර තත්ත්වයකට ඇද දමා තිබෙනවා ද විය හැක). අදාළ කෙටුම්පතෙහි නිල නාමය සංක්ෂිප්තව දැක්වූ පසු “ප්‍රවේගවත් කරන ලද ආර්ථික සංවර්ධනය,  යනාදිය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පහසුකරණ සැලසීම” යන්න සඳහන් වේ. රටෙහි සියලුම දිස්ත්‍රික්ක කොටස් 05 ක් තුළට ඇතුළත් කර සංවිධානයකිරීමට කෙටුම්පතෙහි යෝජනාව තිබිණි. ඒ හරහා කලාපීය සංවර්ධන මණ්ඩල යනුවෙන් හඳුන්වා තිබූ විශේෂ ව්‍යූහයන් 05 ස්ථාපිත කෙරෙන අතර ඒවාට කේන්ද්‍රීයව කටයුතු කරන ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයක් සහ සංවර්ධනය සඳහා වන නියෝජිතායතනයක්ද ස්ථාපිත කරන්නට යෝජනා කර තිබිණි. ඒ හරහා විමධ්‍යගත කරන ලද යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මක වන ජාතික සැලසුම් ක්‍රමවේදයක් සකස් කරලන පරිදි කෙටුම්පත සම්පාදනයව තිබිණි. වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය තුළ වන සැලකිල්ලට ගත යුතු කාරණය නම් එකී ව්‍යාපාරය විසින් යෝජනා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙවැනි ව්‍යූහයක් යෝජනාව නොතිබීමයි. නිශ්චිත යාන්ත්‍රණයන් පිහිටවීම රටේ සාමාන්‍ය නීතිය යටතේ සිදුවිය යුතු දෙයක්ය යන්න පිළිගත හැක. නමුත් එවැන්නක් සිදුවීමට නම් ඒ සඳහා අවශ්‍ය නියාමනයන් සහ මූලධර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව තිබිය යුතුය.
ලිපිය ආරම්භ කළේ යම්සේද එලෙසින්ම එය අවසානකිරීම මගේ අපේක්ෂාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආර්ථිකය, නීතිය සහ සාමය, බලතල බෙදාහැරීම හෝ දෙමළ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම යන මේ කිසිවක් ඒකාබද්ධ විපක්ෂය, අන්ත ජාතිවාදී කණ්ඩායම් සහ එකී පිරිස්වල එහෙයියන් පරාජයකිරීමකින් තොරව අත්පත් කරගත නොහැකිවනු ඇත. ජනාධිපති සිරිසේනට උතුරු මැද පළාතෙන් දහස් ගණනක් ජනතාව සංවිධානය කර ගෙන ආ හැකියැයි ඇතැමුන් විසින් කියනු දැකිය හැක. රවී කරුණානායක සහ රන්ජන් රාමනායක වැනි ඇමැතිවරුන් ඒවාට පත්වූයේ කෙසේ හෝ වේවා ඔවුන්ටද මහජනතාව දහස් ගණනින් වීදි බැස්සවිය හැකියැයි කියනු ලැබේ. සුදර්ශන ගුණවර්ධන, බි්‍රටෝ ප්‍රනාන්දු සහ පිලිප් දිසානායක වැනියන් හට මීගමුවේ සිට ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්ට පක්ෂව මිනිසුන් ගෙන ආ හැක. සෙසු වාමාංශික ව්‍යාපාරයන් හටද බස්රථ කිහිපයක් පිරෙන්නට වුව තරම්වන මිනිසුන් ප්‍රමාණයක් සැපයිමේ හැකියාව ඇත. ඒකාබද්ධ විපක්ෂයට මුහුණ දෙන පිණිස සුදානම් මිනිසුන් ඇත. එහෙත් මේ සියල්ලන් හට නායකත්වය දෙන්නන් නොමැත.
2017.02.19 දින රාවය ඉරිදා සංග්‍රහය වෙත පරිවර්තනය කලේ-ප්‍රගීත් ලියනාරච්චි විසිනි

Recent Posts

Leave a Comment