මම හරි ‘අමු ගැහැනියක්’

Feb 22nd, 2017 | By | Category: OTHER NEWS, කලාව, කාන්තා, දේශපාලන, සිනමාව
ඇය ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද වන්නීය. සම්මානිත ‘සුළං කිරිල්ලී’ ඇයගේ පළමු සිනමා කෘතිය වූ අතර ‘සින්ඩරෙල්ලා’ ඇයගේ දෙවන සිනමා කෘතිය විය. සිය පළමු සිනමා කෘතියෙන්ම සිනමා අධ්‍යක්ෂණය නම් වූ භූමිකාවේ නොමැකෙන ස්ත්‍රී සලකුණක් තැබූ ඇය සමඟින් ‘ලාංකේය සිනමා අධ්‍යක්ෂණයේ ස්ත්‍රී පුරප්පාඩුව’ පිළිබඳ ‘සමබිම’ සංවාදගත විය.

maxresdefault

 

නීතිඥ වෘත්තිය පසෙකලා ඔබ පිවිසෙන්නේ පුරුෂයන් අරක් ගත් ක්ෂේත්‍රයකට. ඔබේ ස්ත්‍රී අනන්‍යතාව ඔවුන් පිළිගත්තේ කොහොමද?
රූපවාහිනි මාධ්‍ය අධ්‍යක්ෂකවරියක ලෙස පය තැබූ මොහොතේ පටන් මගේ වෘත්තීය චාරිකාව පුරාම මට වැඩි වශයෙන්ම අත්දකින්නට ලැබෙන්නේ මානසික බිඳ වැටීම්, උසුළු විසුළු, උපහාස කතා හා ප්‍රතික්ෂේප කිරීම්. සුසන්තිකා ජයසිංහට තරග බිමේදී දුවන්න ලැබෙන්නේ සමාන ලිංගිකත්වයක් දරන තමන් වැනිම ස්ත්‍රීන් කණ්ඩායමක් සමඟයි. නමුත් අපේ වෘත්තිය තුළ මුල් වෙන්නේ මනසයි. එය වඩා විවෘත වීම නිසාම අපිට සිදුවෙනවා වැඩිවශයෙන් පිරිමි පාර්ශ්වය සමඟ කටයුතු කරන්න. අධ්‍යක්ෂණය කරන්නේ ගැහැනියක් වුවත් ඇය යටතේ වැඩකරන කණ්ඩායමේ රංගන ශිල්පිණියන් හැරුණු විට කාර්මික ශිල්පීන් සියයට අනුනවයක්ම පිරිමි. එවැනි වටපිටාවක අධ්‍යක්ෂකවරියක් ලෙස තමන්ගේ මතයට ඔවුන් හසුරුවා ගැනීම විශාල අභියෝගයක්. සිනමාවේදී නිර්මාණකරුවාගේ දෘෂ්ටිය අවසන් නිර්මාණය තුළ ස්ථාපනය විය යුතුයි. එහිදී නිර්මාණයට ලැබෙන නිර්මාණශීලි දායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට යෑමේදී නිර්මාණකරුවා ගැහැනියක වීම නැවත ප්‍රශ්න කෙරෙනවා. මොකද පුරුෂයන්ගේ ආකල්පයට අනුව ගැහැනියක් තමන්ගේ මනෝභාවයන් ප්‍රශ්න කිරීම ඔවුන් බාර ගන්නේ තමන්ගේ පුරුෂභාවයට කළ නිගරුවක් ලෙසයි. එහිදී නැවත නැවත බලපාන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් සමාජය දරන පොදු ආකල්පයයි. මේ යථාර්ථය සමඟ හැප්පෙමින් මගේ සින්ඩරෙල්ලා චිත්‍රපටියට සම්බන්ධ වුණු ප්‍රධාන කාර්මික ශිල්පීන් ගණනාවක් අවස්ථා ගණනාවකදී ඉවත් කිරීමට මට සිදුවුණා. ඉතිම් මම ඒ කටුක යථාර්ථයට හැමදාම මුහුණ දුන් කෙනෙක්.
විවිධ ක්ෂේත්‍රවලදී ගැහැනිය අතවරයට ලක්වීම සුලභයි. මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම කුමනාකාරද?
ඒ කාරණාවට මම සියයට සියයක් එකඟයි. එහෙත් කාරණා දෙකක් හේතු කොටගෙන මේ මොහොත වන තෙක් මගේ ක්ෂේත්‍රය තුළ මම එවැනි තත්ත්වයකට මුහුණ දීලා නැහැ. එකක්, මේ කාරණයත් එක්ක ගැටගැහිලා තිබෙන දෙයක් ‘අධිපතීත්වය’. මගේ කණ්ඩායම තුළ ප්‍රධානියා මම. මගේ අධ්‍යක්ෂණ භූමිකාවට ඉහළින් ඉන්නව නම් කෙනෙක් ඒ නිෂ්පාදකවරයායි. එතනදී මම විවිධ නිෂ්පාදකවරු සමඟ කටයුතු කරල නැහැ. එලෙස කටයුතු කරන්න ලැබුණු අවස්ථාවලදී පවා මගේ නිර්මාණ මතයන්ට ඔවුන්ගේ එකඟතාවන් සම්බන්ධයෙන් ගැටලු මතු වූ අවස්ථාවලදී මම එය බැහැර කළා. මම මගේ නිර්මාණ ආධ්‍යාශයන් එළි දැක්වීමට පහසු පාර්ශ්වයන් සමඟ පමණයි හැම විටම කටයුතු කළේ. ඒ නිසාම නිර්මාණ කාර්යය තුළ අනෙකෙකුගේ පීඩනයට ලක් වීමට මට සිදුවුණේ නැහැ. දෙවැනි කරුණ මම හරි ‘අමු ගැහැනියක්’. මගේ වෘත්තියභාවය තුළ තෝරා ගැනීමේ නිදහස මා ළඟම තියා ගන්නවා. ඒ නිසා යම් කෙනෙක් මාවෙත පැමිණෙන අරමුණ අනුව මම කටයුතු කරනවද නැද්ද කියන දේ තෝරා ගැනීමේ නිදහස මට තිබෙනවා. මම හිතනවා ස්ත්‍රියක වුවත් පුරුෂයෙකු වුවත් තමන්ගේ වෘත්තියභාවය තුළ කොන්ද කෙළින් තියාගෙන වැඩ කිරීමේ පරිසරය තමන් සකස් කරගත යුතුයි කියල.
ලාංකේය සිනමාවේ කැමරාවක් පිටුපස ගැහැනියක් දක්නට ලැබීම දුර්ලභ සිදුවීමක්. නමුත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට කාන්තා දායකත්වය තිබෙනවා. චිත්‍රපටි, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳ පාඨමාලාවන්ට තරුණියන් සම්බන්ධ වෙනවා. නමුත් ප්‍රධාන සිනමා ධාරාවේ අධ්‍යක්ෂණය නම් භූමිකාව තුළ ගැහැනියක් දැකීම විරලයි.
ඔබ නිවැරදියි. සිනමාව කියන මාධ්‍යය අළෙවි මාධ්‍යයක් වෙලා තිබෙන්නේ. ඒ නිසාම ලංකාව වගේ රටක මේවා පූර්ණ කලාවක් ලෙස සිදුකිරීම යමෙකුට අපහසුයි. එසේ සිදුකිරීමට යම් නිර්මාණකරුවෙක් ඉහළ අදියරකට එසවී සිටිය යුතුයි. නිදසුනක් විදිහට ප්‍රසන්න විතානගේට හෝ අශෝක හඳගමට හෝ සිනමා කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය මූල්‍යමය දායකත්වයන් සපයාගෙන එය කළ හැකිව තිබෙනවා. ඒ දක්වා ඔවුන් මේ ක්ෂේත්‍රයේ පරිණතව එම අදියරට ගොඩනැගී තිබෙනවා. ඉන් මෙහා නවක නිර්මාණකරුවෙක් සම්බන්ධයෙන් තත්ත්වය වෙනස්. අධිපතීත්වය සමඟ බැඳුණු මහා දේශපාලනයක්, ඒකාධිකාරයක්, නොපෙනෙන මාෆියාවක් මේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. එකී සියලු කාරණා නිර්මාණකරුවෙකුට සාපේක්ෂව නිර්මාණකාරියකට වඩාත් බලපානවා. පුරුෂයෙකු මේ ප්‍රශ්න එක්ක ගැටෙන්නේ තමන්ගේ සමාජ බලය සහ පුරුෂභාවය සමඟයි. මේ ක්‍රමය ඇතුළේ පිරිමින් දිනාගන්න දේවල් ස්ත්‍රියකට එලෙසින්ම දිනාගන්නට බැහැ. ඇයට එවැනි දිනා ගැනීමක් වෙනුවෙන් ඇතැම් විට තමන්ගේ ස්ත්‍රීත්වය අභියෝගයට ලක් කිරීමට සිදුවෙනවා. කෙටි චිත්‍රපටියක් අද පෞද්ගලික මට්ටමින් යහළුවන් සමඟ එකතු වෙලා නිර්මාණය කරලා අන්තර්ජාලයට මුදා හරින්නට පුළුවනි. නමුත් ප්‍රධාන ධාරාවේ සිනමාවට එද්දී අර ‘බල අරගලය’ මුණගැහෙනවා. මම සින්ඩරෙල්ලා චිත්‍රපටිය හදලා අවුරුදු හතරක් බලන් හිටියා. දැන් එහි දෙවෙනි කොටස මුදා හරින්න බැරිව අවුරුද්දක් පුරා බලන් ඉන්නවා. ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන තිබෙන මමත් ඉන්නේ මේ බල අරගලයේ නම්, තවමත් ක්ෂේත්‍රය අතපත ගාන අහිංසක තරුණ ගැහැනු ළමයින් ගැන කුමන කතාද? කෙටි චිත්‍රපටි නිර්මාණයෙන් සම්මාන ගත් තරුණ ගැහැනු ළමයින් ඉන්නවා. ඒත් ඔවුන් ටෙලි නාට්‍යයක් හෝ අධ්‍යක්ෂණය කළා කියල අහන්නවත් නැහැ. වෘත්තාන්ත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන නිර්මාණකාරියන් දෙදෙනෙක් පමණ දැනට සිටියත් ඔවුන් එය කරන්නේ දැවැන්ත ව්‍යාපාරිකයන්ගේ මුදල් ආයෝජනවලින්. ඔවුන් අදක්ෂ නොවුණත් දක්ෂතා පෙන්වලා සම්මාන පවා දිනාගත් නිර්මාණකාරියන්ට මතු වීමේ අර්බුදයක් මෙහි තිබෙනවා. මෙයින් නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරන්නේ මේ ක්‍රියාත්මක බල අරගලය තුළ ගැහැනිය ඉන්නේ පියවර ගණනාවක් පිටුපසින් බවයි.
ddවත්මන් ඉන්දියානු සිනමාව තුළ ගැහැනිය නම් වූ විෂය අරඹයා නව පිබිදීමක් හා සාකච්ඡාවක් දකින්න පුළුවන්. ලාංකේය පශ්චාත් යුද සිනමාව ඇතුළේ එවැනි සාකච්ඡාවක් ඇති නොවන්නේ ඇයි?
ලංකාව ඇතුළේ එහෙම වෙන්න දුන්නේ නැහැ. හොඳම උදාහරණය “සුළං කිරිල්ලී” වැනි මතවාදීමය වෙනසක් ඇති කළ සම්මානනීය කලාත්මක සිනමා කෘතියක් කළ මට නැවත කරන්නට සිදුවෙන්නේ “සින්ඩරෙල්ලා” වැනි වාණිජ ධාරාවේ චිත්‍රපටියක්. මොකද සින්ඩරෙල්ලා කළ යුගය තුළ ඔබ කිව්ව ආකාරයේ සාකච්ඡාවක් ඇති කළ හැකි මට්ටමේ සිනමා කෘතියක් කිරීමේ සමාජ, දේශපාලනික වටපිටාවක් අපිට තිබුණේ නැහැ. එවන් වටපිටාවක සිනමා කෘතියක් කරලා ප්‍රදර්ශනය කරගත නොහැකිව සිරවී සිටීමට නොහැකි නිසා මම සින්ඩරෙල්ලා වැනි සිනමා කෘතියක් කළා. නමුත් මම එහිදී වාණිජ සිනමාවේ හැමෝම හදන කොත්තුව වෙනුවට ඒ පාරේ ගිහින් අතුරු මාවතකට හැරිලා ගමන් කළා. ආකෘතිකමය වශයෙන් සහ එහි අන්තර්ගතය යම් නෛසර්ගික ගුණවලින් පෝෂණය කළා. ඒ නිසාම එය බලාපොරොත්තු වූ අන්දමේ ආදායමක් ඉපැයුවේ නැහැ.
ඉන්දියානු සිනමා කෘතියක් තුළ ස්ත්‍රිය සම්බන්ධව සිදුවන සාකච්ඡාව පමණක් නෙවෙයි වෘත්තිය වශයෙන් පවා සිනමාකාරියන් හැටියට තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ඉන්දියානු ස්ත්‍රිය සමත්වෙලා තිබෙනවා. සෝයා අක්තර්, අපර්ණා සෙන්, කිරන් රාඕ වැනි විශාල පිරිසක් ඉන්දීය සිනමාකාරියන් ලෙස වෘත්තිමය වශයෙන් ප්‍රබල නමක් දිනාගෙන තිබෙනවා. කුල බේද, ජාති බේද තිබෙන භාෂා එකසිය ගණනක් කතා කරන ඉන්දියාව වැනි රටකත් සිනමාව තුළ වෘත්තිය වශයෙන් ගැහැනිය අපිට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා.
සාකච්ඡා කළේ ජයනි අබේසේකර

Recent Posts

Leave a Comment