ශ්‍රී ලංකා පොලිසියට පුවක් මල් කිනිත්තෙන් පිරිත් පැන් ඉසිය යුතුද ?

Feb 23rd, 2017 | By | Category: LEAD NEWS, නීතිය, පුද්ගල නිදහස, මානව හිමිකම්, සමබිම පුවත්
පුංකුඩුතිව්හි විත්‍යා අද වන විට අතීතයට එක් වී අවසන්ය. දහ අට හැවිරිදි යෞවනිය තිඹිරිගෙයට වඩා වැඩි වේදනාවක් අත් විඳිමින් සුසානයෙහි සැනසුම සොයා ගත් බව නොරහසකි. නීතිය වල්වැදුණු සමාජයක පෙති සුණු විසුණු වූ මලක් එලෙස මිහිදන් වෙද්දී, ඉන් අවසඟ දේශපාලනික සහ ජාතිවාදී මතවාද ඉස්මතු වේ නම් එය කල්පාන්තය පැමිණෙන බවට පෙර නිමිත්තකි. විත්‍යාට සිදු වූ දෙය සුළුවෙන් දකින මිනිසුනි, යාපනය වැසියන්ගේ හැසිරීම අපායගාමී යැයි සිතනා මිතුරනි, යළි ඉපදෙන ත්‍රස්තවාදයකට වේලාපත්කඩ සකසන්නට ඉක්මන් නොවන්න. බණ අසන්නට එන්න.
විත්‍යාට සිදු වූ දෙය අමතක කරන්න. ඇය උතුරුකරයේ වැසියෙකි. දෙමළ ජාතික යුවතියකි. ඇය ගැන වද වීමෙන් පලක් නැත. කොට්ට කිලෙංගු, තල් හකුරු, තෝලගට්ටි නෙල්ලි ක්‍රෂ් හැරෙන්නට යාපනයේ අන් සියලුම ජීවි අජීවි දෑ තුළින් කොටි පුල්ලි දකින්නේ නම් විත්‍යාට සිදු වූ දෙය ඇවැතක් නොවේ යැයිද සිතෙන්නට පුළුවන. නමුත් අපට මේ සියළු දේ හමුවේ ඇස්කන් පියා සිටින පොලිසිය අමතක කළ නොහැකිය. දකුණේ සරසවි සිසුන්ට එළව එළවා පහර දෙන, වැල්ලවත්තෙන් මුහුදට පනින සැකකරුවන්ට ආපසු ගොඩබිමට නොඑන්නට පහර දෙන, පුද්ගලික කෝන්තර මත අත්අඩංගුවට ගෙන ලුනාව වෙරළ තීරයේදී තරුණයන් දෙදෙනෙක්ට වෙඩි තබා මරා දමන පොලිසිය අමතක නොකරන්න. මත්තලදී එජාප නියෝජිතයන්ට පහර දෙද්දී, නගරාධිපති පිස්තෝලයක් රැගෙන තර්ජනය කරද්දී වදනකින් හෝ විරෝධය පළ නොකර ජංගම දුරකථනවලින් ඒවා රූ ගත කළේද ශ්‍රී ලංකා පොලිසිය බව අමතක නොකරන්න. ගොඩින් බැරි නම් මඩින් න්‍යායෙන් හෝ අවසානයේදී උතුරේ වැසියන් තම මල් කැකුළ කෙළෙසා දැමූවන් නීතියේ රැහැනට හසු කර ගන්නට සමත් නොවූයේද? මදක් කල්පනා කර බලන්න. දකුණේදීද එය එලෙසින්ම සිදුවීද?
1cb97e94-c5b4-11e6-b0e3-e12c29c152ce_1280x720
විත්‍යාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර වන ලැහැබක් තුළින් මතු වෙද්දී ඇගේ දෙමාපියන්ගේ හැඟීම් කෙසේ වන්නට ඇත්දැයි සිතන්නට උත්සාහ කළෙමි. යාල්පානමේ ඒ හදවත්වලට සිය දහස් වරක් සමානව ක්‍රියා කරන හදවත් දෙකක් සියනෑවේද තිබේ. විත්‍යා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමටම තම ආදරණීය දියණිය මෙයට වසර අටකට ඉහතදී මුහුණ දුන් බව ඔවුන් හඬනගා නොපවසනු ඇත. නමුත් විල්වත්ත ගම් පියසම දෙගොඩතලා යන තරමට ඔවුන් පිට කළ කඳුලැලිද, රූස්ස ගස් වුවද මුලිනුපුටා දමන තරමට ඔවුන් පිට කළ සෝ සුසුම්ද එපුවත් ඔබට පවසනු ඇත.
විල්වත්තේ නිෂාදි බුද්ධිකා නම් වූ තරුණියගේ මළ සිරුර දුම්රිය පොළ අසල වන ලැහැබකින් හමු වූයේ 2006 වසරේ නොවැම්බර් මාසයේ බව මතකය. මාස කිහිපයකට පසු මංගල ඇඳුමින් සැරසී කුල ගෙට පිය නගන්නට සිටි නිෂාදිගේ නිරුවත් සිරුර හමු වූයේ ඇය සොයා ගිය ඇගේම බාල සොයුරාට සහ පෙම්වතාටය. අවසානයේදී ගමේම තරුණයින්ගෙන් කටඋත්තර ගත් පොලිසිය වඬේ සුදා නම් වූ අපූරු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන වරද ඔහු පිටම පවරයි. එම සිදුවීමට දින දෙකකට පමණ පෙර හිරෙන් නිදහස් වී පැමිණි වඬේ සුදා පරස්පර විරෝධී පාපොච්චාරණ රැසක් සමඟ වරද භාරගනු ලබන්නේය. නමුත් ඩී.එන්.ඒ. පරීක්ෂණය පවසන්නේ අදාළ කිසිදු සාධකයක් වඬේ සුදාගේ ඩී.එන්.ඒ. සමඟ නොසැසඳෙන බවයි. එය එසේ තිබියදී වැරදිකරු බවට පත්වන වඬේ සුදා සිනා වෙමින් නඩු තීන්දුව අසා සිටිද්දී, උසාවිය යැයි අමතක වුණු නිෂාදිගේ මවුපියන්ට ඉබේටම කෑ ගැස්සවී හැඬුම් යන්නේය. ඔවුන් අදටත් පවසන්නේ නිෂාදිගේ සැබෑ දූෂකයාත් ඝාතකයාත් වඬේ සුදා නොවන බවයි. තම දියණිය වෙනුවෙන් යුක්තිය ඉටු නොවෙද්දී සහ පොඩි කර පාගා දැමූ තම දියණියගේ පිවිතුරු බවට නීතිය සරදම් කරද්දී ඔවුන්ගේ සිත් තවමත් ඇවිළුණු ගමන්මය. ඉන්පසුව අළුගෝසු තනතුර වෙනුවෙන් අයදුම්පත් කැඳවද්දී නිෂාදිගේ පියාණන් එම තනතුර වෙනුවෙන් අයදුම් කරන්නේ තම හද පත්ලේ තවමත් ඇවිලෙන ඒ ගින්දර නිසාමය. යුක්තිය ඉටු කිරීමට බාධාවක් වී ඇත්තේ අළුගෝසුවෙක් නොමැතිකම නම් තමන් එයටද සූදානම් බවද නිෂාදිගේ තාත්තා පවසද්දී වයස වැඩිකම නිසා එම අයදුම්පත ප්‍රතික්ෂේප වී යයි. නමුත් ඇවිළුණු හදවත්වල ගිනි දැල් තවමත් එසේමය.
දරුවා අතුරුදන් බවට පැමිණිලි කරන්නට පොලිසියට යන දෙමාපියන්ට පුංකුඩුතිව්වලදීද විල්වත්තේදීද ලැබෙන්නේ එකම පිළිතුරකි. එනම් ඔවුන්ගේ දියණිය කොල්ලෙක් සමඟ පැන යන්නට ඇති බවය. එය එසේ වූවා නම් යෙහෙකැයි සිතෙන තැනදී පොලිසිය ක්‍රියා කරන්නේද එකම ආකාරයටය. අඩුම ගණනේ උතුරුකරයේ වැසියන් ගල්මුල් රැගෙන පොලිසියට එරෙහිව යුද වැදුණහ. අපරාධකරුවන් නීතියේ රැහැනට ගෙන එන තැනට කටයුතු කළහ. විල්වත්තේ පවුලේ සාමාජිකයින්ට තනිවම යුද වදින්නට සිදු වූයේ හතු පිපෙන්නාක් මෙන් පැණ නැගුණු කටකතා සමඟය. දියණියගේ, සොයුරියගේ අකල් වියෝවටත් වඩා සිත් පාරවන කතා ඒ අතර විය. ඉන් පසුව සිදු වූයේ ගමේ තරුණයන්ගේ කට උත්තර ලබා ගැනීමය. ඒ හේතුවෙන් ගම්මු සහ නිවැසියන් අතර තිබූ හොඳ හිත පළුදු විය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ අහසින් පාත් වූ, කිසි දිනෙක වඬේ විකුණා නැති වඬේ සුදෙක් අපරාධය භාර ගෙන සිනා වෙවී නඩු තීන්දුව අසා සිටීමය.
bambalapitiya-sea_6
ඉදින්, යාල්පානම් වැසියනි… පොලිසියට ගල් ගැසීම අනුමත නොකළත්, මා ඔබ වෙත හිස නමා ආචාර කරමි… නීතිය යනු සැමටම එකක් යැයි පොතේ තිබ්බාට එය සැබෑ ලෝකයේදී එසේ නොවන වග තේරුම් ගන්නට තරම් සිහි බුද්ධියක් ඇති නිසාද, ඇස් පෙනෙන කන් ඇසෙන නිසාද, විටෙක කරදරයක් වෙන තරමටම අතීත සිදුවීම් මතකයේ ඇති නිසාද ඔබ වෙත මාගේ ප්‍රණාමය පුද කරමි. හැම දරුවෙක්ම තමන්ගේ දරුවා හා සමාන බව සිතන්නට තරම් උසස් වූ මනුසත් ගති ගුණ ඔබ තුළ ඇති නිසාද, අයුක්තිය අසාධාරණය නොඉවසන්නට තරම් නිවහල් වූ සිතිවිලි ඔබ තුළ ඇති නිසාද මම ඔබට හිස නමා ආචාර කරමි.
තවද, නිෂාදිට සාධාරණය ඉටු කරන්නට තනිව සටන් වැදුණු, අදටත් යුක්තිය කෙරෙහි අපේක්ෂා දල්වාගෙන දෙනෙත් කඳුලින් පුරවාගෙන සිටින ඒ ආදරණීය දෙමාපියන්, සොයුරු සොයුරියන් වෙනුවෙන් යාල්පානමේ හදවත් ගැසෙන මිනිසුන් වෙත හිස නමා ආචාර කරමි.
සහන් කසීර වික්‍රමසිංහ විසින් 2017 ජනවාරි/පෙබරවාරි සමබිම කලාපය වෙත රචිත ලිපියකින් උපුටා ගන්නා ලදි .

Recent Posts

Leave a Comment