අලුත් පාර්ලිමේන්තුවේ පරණ කතා

Feb 27th, 2017 | By | Category: LEAD NEWS, අවතැන්වූවෝ, දේශපාලන, නීතිය, පුද්ගල නිදහස, පුරවැසි අයිතිය, රුපවාහිනි දේශපාලන සංවාද, සමබිම ඉරිදා අතිරේකය
පසුගිය දා ටී වී දෙරණ හි විකාශය වන “අලුත් පාර්ලිමේන්තුව” නම් වැඩ සටහනෙහි “ඉතිහාස කතා මත පදනම් වූ සිංහල චිත්‍රපට” පිළිබඳව වැඩසටහනක් පැවැත්විණි. මෑත කාලීන ඉතිහාස කතා චිත්‍රපට යනු යුද වින්දන/ජාතිවාදී චිත්‍රපට මිස අන් කිසිවක් නොවන බවට තහවුරු කිරීමට වැඩසටහනට පැමිණි විදර්ශන කන්නගර එහිදී සිය කරුණු ඉදිරිපත් කිරීම කළේය. එම වැඩසටහනට සහභාගී වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සුමන්දිරන් සහ සම්බන්ධන් විවේචනය කිරීම වැනි සරල, ජනප්‍රිය ජාතිවාදී අදහස් නැවත නැවතත් පුනරුච්චාරණය කළ අතර, විදර්ශන දිගටම උත්සාහ කළේ ජාතිවාදයට මෙන්ම නව ලිබරල් ධනවාදයට එරෙහිව යම් න්‍යායික පිළිතුරුක් ගොනු කිරීමටය. සමස්ත සංවාදයේදී දක්නට ලැබුණු ප්‍රධාන කරුණක් වූයේ එහි සිටි අනුරුද්ධ ජයසිංහ චිත්‍රපට අධ්‍යක්ෂවරයා හැර වැඩසටහන මෙහෙයවූ නිවේදකයා, ප්‍රේක්ෂකාගාරය ඇතුලු ඉතුරු සියලු දෙනාම  සරත් වීරසේකර දැක්වූ ජාතිවාදී විග්‍රහය සමග අනන්‍ය වූ බවයි. මෙම ලිපිය එම වැඩසටහන ගැන කරන විග්‍රහයක් නොව  තවමත් ජාතිවාදය විසින් ඉතිරි සියලු සංවාදයන් යටපත් කරන ආකරය ගැන යම් අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමකි.
lll
තවමත් අපේ සමාජයේ ප්‍රධාන දෙබෙදුම වන්නේ පසුගිය රෙජීමය විසින් තහවුරු කළ දේශප්‍රේමී/ දේශද්‍රෝහී විභේදනයය.  රාජ්‍ය ජාතිවාදය (ඉසත් හුසේන්ගේ වචනයකි) මත පදනම්ව දිගින් දිගටම ඡන්ද ජයග්‍රහණය කරමින් පැවැතගෙන ආ ජාතිවාදී රෙජීමය 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට සිවිල් සමාජ සහ ප්‍රගතිශීලී බලවේගයනට හැකිවූ බව සැබෑය. එහෙත් එසේ පරාජය කිරීමට හැකි වූයේ එම බලවේගයන් විසින් දිගින් දිගටම පෙනී සිටි ජාතිවාදයට එරෙහි මතවාදය  ජයග්‍රණය කිරීමෙන් පමණක් නොවන බව අප නිහතමානීව පිළිගත යුතුය. රාජ්‍ය ජාතිවාදය පරාජය කළ හැකි වූයේ එවකට මහින්ද රාජපක්ෂ රෙජීමය සමග සිටි ජාතිවාදීන් /යුදවාදීන් පිරිසක් ද දුෂණ විරෝධය යන ආකෘතිය තුළ දූෂණ විරෝධීන් ලෙස ආණ්ඩු විරෝධී සටනට එකතු කර ගැනීමෙනි. එම නිසාම දැනට පවතින 2015-2020 ආණ්ඩුව තුළ ජාතිවාදී අඩංගුවක්ද පවතින අතර, එනිසාම එය වනාහි ආකෘතිමය වශයෙන්ම ජාතිවාදය සම්පූර්ණයෙන් පරාජය කළ හැකි ආණ්ඩුවක් නොවේ. එසේ වුවද විය යුතු පරිද්දෙන්ම මේ පාලනය තුළ දී ප්‍රාජතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු වී භාෂණයේ, ප්‍රකාශනයේ සහ සංවිධානය වීමේ නිදහස සෑහෙන පමණකින් ආරක්ෂා වී තිබේ. එම නිසා රට තුළ විවිධ සටන් සහ අරගල මතුවනු පෙනේ. එය ප්‍රජාතාන්ත්‍රික සමාජයක පැවතිය යුතු අත්‍යාවශ්‍යය යහපත් තත්ත්වයකි. එහෙත් මුලින් කියූ දේශප්‍රේමී/ දේශද්‍රෝහී දෙබෙදුම තවමත් දෘෂ්ටිවාදාත්මකව පරාජය වී නොමැති නිසා පොදු ජනයා සහ මාධ්‍ය අවකාශය තවදුරටත් පාලනය වන්නේ ජාතිවාදීන්ගේ ජනප්‍රිය තර්ක වලිනි. එම නිසා විවිධ සටන් ඉදිරියට ආවත් ඒවායේ තීරණාත්මක බලය අත් කර ගන්නේ ජාතිවාදීන්ය.
මෑත කාලීන උදාහරණ වලින් මෙම තත්ත්වය තේරුම් ගැනීමට උත්සාහ කරමු. හම්බන්තොට ඉඩම් චීන්නුන්ගෙන් බේරගැනීමේ සටන මතුපිටින් ප්‍රගතිශීලී වේශයක් දැරුවත් එය පාලනය වූයේ මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී න්‍යාය පත්‍රයෙනි. විල්පත්තු සටන මතුපිටින් පරිසරය වෙනුවෙන් කෙරෙන සටනක් යැයි පෙනුණත් එහි පිටුපස දැවැන්ත මුස්ලිම් විරෝධයක් සහිත ජාතිවාදී න්‍යාය පත්‍රයක් තිබෙන බව පෙනෙන්නට තිබේ. සයිටම් විරෝධය ද මතුපිටින් පෙනෙන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය විකිණීමට එරෙහි ප්‍රගතිශීලී සටනක් ලෙසින් වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන දේශපාලන වුවමනාවක් එහි පිටුපස පවතින බවත් එම දේශපාලන වුවමනාව අවසානයේ උදව් කරන්නේ ජාතිවාදයට බව පැහැදිලි සත්‍යයකි. මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීම අරභයා පැණ නැගුන අධිකරණ ස්වාධීනතාව සංවාදයේ පිටුපස ද ජාතිවාදය හැර කිසිවක් නැත.
මේ තර්කය මේ මොහොතේ පැන නැගී ඇති විවිධ අරගල ජාතිවාදයට ලඝු කොට අවතක්සෙරු කිරිමේ ඊනියා නව-ලිබරල්වාදී උත්සාහයක් යැයි යමෙකුට ගෙන ආ හැකිය. එසේත් නැති නම් අප අරගල කළ යුත්තේ රාජ්‍යයට හෝ ආණ්ඩුවට අවශ්‍ය පරිදිදැයි කෙනෙකුට ඇසිය හැකිය. නැත, මේ සටන් එලෙසින්ම කරගෙන යා හැක. මේ ඇතැම් සටන්  මෙහෙයවන්නේ නම් වලින් පැවැසිය හැකි  වාමංශික සහ සිවිල් සමාජ ප්‍රගතිශිලී නායකයන් කිහිප දෙනෙකු විසිනි. එහෙත් උතුරේ වේවා දකුණේ වේවා ඔවුන් වටා රැස්වන්නේ 2015 සිදුවූ වෙනසට එරෙහිව සිටි ජනබලවේගය මිස අන් කිසිවෙකු නොවේ. එම නිසා මේ අය නායකත්වය දෙන්නේ තමන් විසින් ගොඩනැගු ජනතා ව්‍යාපාරයකට නොව තව කාගේ හෝ සෙනගකටය. අනෙක් අතින් මේ සටන්වල නියම ප්‍රයෝජනය ගන්නේ දේශපාලනික අරමුණක් තිබෙන දැවැන්ත සමාගම් කිහිපයකට අයත් සිරස, දෙරණ, හිරු වැනි ව්‍යාපරික මාධ්‍ය කිහිපයකි. ඔවුන් ආණ්ඩුවට එරෙහි දැවැන්ත මහජන මතයක් තිබෙනවා යැයි කියා දුර්වල කිරීමට උත්සාහ දරන්නේ ආණ්ඩුවේ සිටින ජාතිවාදයට එරෙහි ප්‍රගතිශීලී වෙනසක් කිරීමට උත්සාහ දරන කණ්ඩායම මිස ආණ්ඩුවේ සිටින ජාතිවාදීන්ව නොවේ.
ජාතිවාදී අඩංගුවක්ද සහිතව ගොඩනැගුණු යහපාලන ආණ්ඩුවේ පෙර සදහන් කළ ආකෘතිය නිසාම ආණ්ඩුව ජාතිවාදයට මුහුණ දෙන්නේ වැනි වැනී දුර්වලවය.  එම දුර්ලතාවයේ වාසිය දැනට ගනු ලබන්නේ මහින්ද ඇතුලු ජාතිවාදී නඩය වන අතර ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ශක්තිමත්වීමට දරන උත්සාහය පරාජය කිරීමේ එක් ප්‍රධාන උපක්‍රමයක් වන්නේ  ව්‍යාපාරික මාධ්‍ය මගින් මෙම අවශේෂ සටන් උත්කර්ෂණයට නැංවීමය. ඒ නිසාම විල්පත්තු සිට සයිටම් දක්වා සියලු සටන් වල වාසිය හෙවත් අවසාන ප්‍රයෝජනය ගන්නේ ජාතිවාදය (මහින්ද ඇතුව හෝ නැතිව) මිස අන් කිසිවක් නොවේ. විමල් වීරවංශ ඒ කාලයේ කියපු කතාවක් ටිකක් වෙනස් කර කිව්වොත් දැන් සිදුවන්නේ විල්පත්තු විරෝධීන්, සයිටම් විරෝධීන් අඹ ගස් වලට ගල් ගසමින් ඉදිරියෙන් යන අතර  මහින්ද පිටුපසින් මල්ලක් රැගෙන විත් අඹ එකතු එකතුකර ගනියි.

DSC_0762

පසුගිය දා අප “නිදහසේ වේදිකාව” සහ “වීදියේ විරෝධය” සංවිධාන ලෙස උතුරේ මුලතිවු දිස්ත්‍රික්කයේ හමුදාව විසින් අත්පත් කර ගෙන ඇති පෞද්ගලික ඉඩම් නැවත ලබා ගැනීම වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන ගම් වැසියන් හමුවීමට ගියෙමු. මෙයින් එක් කණ්ඩායමක් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පෙබරවාරි 03 වනදා සිට සත්‍යග්‍රහයේ නිරත වන අතර අනෙක් පිරිස කේපාපිලව් පිල්ලක්පුඩිඉරුප්පු ප්‍රදේශයේ දී සිය සත්‍යග්‍රහය පවත්වමින් සිටියි; ඒ ජනවාරී 31 වනදා සිටය. එහිදී ඔවුන් අප සමග ප්‍රකාශ කර සිටියේ රජය සමග යම් සාකච්ඡා කිහිපයක් දැනටමත් පැවැති බවත්, ඒ අනුව ඔවුන්ගේ ඉඩම් නැවත ලබා දීමට යම් යම් ක්‍රියාමාර්ග ගැනෙමින් පවතින බවයි. නමුත් එම ක්‍රියාමාර්ග සිදුවන්නේ ඉතා සෙමින් බව අපට පැහැදිලි විය. නමුත් දශක  ගණනාවක් තිස්සේ කලක් එල්.ටී.ටී.ඊ යේද පසුව ශ්‍රී ලංකා හමුදාවේද මිලිටරි පාලනයකට යටත්ව තිබූ ප්‍රදේශවල ජනතාව ප්‍රජාතන්ත්‍රික ක්‍රම මගින් සිය අයිතිවාසිකම් දිනා ගැනීමට කරන අරගලයත්, එම අරගලය සිදු කරගෙන යාමට ඉඩ කඩ විවරව තිබීමත් යන කරුණු දෙකම සාධනීය කාරණාවන්ය. එහෙත්, උතුරේ සිදුවන එම අරගලයන්ට දකුණේ මුද්‍රිත හෝ විද්‍යුත් ව්‍යාපාරික මාධ්‍ය විසින් කිසිදු ඉඩ කඩක් ලබා දී නැත. විශේෂයෙන්ම විල්පත්තු හෝ සයිටම් වැනි ප්‍රශ්නයකට දකුණේ මාධ්‍ය විසින් ලබාදෙන ඉඩෙන් දශම ගණනක්වත් උතුරේ අරගලයන් වෙනුවෙන් වෙන් කොට නොමැත. එයින් පැහැදිලි වන්නේ දකුණේ මාධ්‍ය මේ මොහොතේ ඉඩ ලබා දෙන්නේ තමන්ගේ දේශපාලන – ආර්ථික න්‍යාය පත්‍රයට උදව් කරන සටන් වලට පමණක් බවය. සයිටම් සහ විල්පත්තු මෙම මාධ්‍ය න්‍යාය පත්‍රයට උදව් කරයි. එහෙත් පුදුකුඩුඉරිප්පු ඉඩම් අරගලය එයට උදව්වක් නොවේ. මේ මාධ්‍ය න්‍යාය පත්‍රය අන් කිසිවක් නොව එක්කෝ නැවත මහින්ද බලයට ගෙන ඒමයි. නැතිනම් පසුගිය ආණ්ඩුව වැනි ආණ්ඩුවක් මහින්ද නැතිව හදා ගැනීමයි. එම නිසා මේ සටන් වලට ලැබෙන මාධ්‍ය සහයෝගය සටන් මෙහෙය වෙන්නේ කාගේ න්‍යායපත්‍රයට ද යන්න මැනිය හැකි මීටරයක් ලෙස අවශ්‍යනම් භාවිතා කළ හැක.
බොහෝ වාමාංශික පක්ෂවල පදනම සිංහල-බෞද්ධ නිසා ජාතික ප්‍රශ්නයේදී ඔවුන් සෑම විටම පරාජය වී ඇත. නමුත් ධනවාදී එක්සත් ජාතික පක්ෂයේ පදනම ජාතිවාදී නැති නිසා ඔවුන් ජාතික ප්‍රශ්නය විසදීමට උත්සාහයන් දැරීමට බියවී නැත. කඳුකරයේ දෙමළ ජනතාවට පුරවැසි අයිතිය නැවත ලබා දීම, දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත්කිරීම, පළාත්වලට බලය බෙදා හළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 2002දී එල් ටී ටී ඊ ය සමග ඇති කරගත් සටන් විරාමය ආදී පියවර ගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසිනි. නමුත් ජාතික ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂය මූලික වූ ආණ්ඩුවකින් විසදෙනවාට බොහෝ වාමාංශිකයන් කැමැති නැත. ඒ නිසා මහින්ද නොව ගෝඨා නැවත ආවත් ඔවුන්ට ගැටලුවක් නැත. අවශ්‍ය නම් එයට න්‍යායක් වුවත් හැදිය හැක.
“1980 ජුලිය සහ 1983 කලු ජුලිය මෙරට දේශපාලන-සමාජ ජීවිතයේ නව අවධියක ආරම්භයය. 1980 ජුලි වර්ජනය පරාජය වීම සමග පන්තිය (මම්දානි ගේ වචන වලින් කියන්නේ නම් වෙළෙඳපොළ පදනම් කරගත් අනන්‍යතා) දේශපාලන-සමාජ හැඩගැසීම් හසුරුවන ධාවකය වෙතින් ඈත්විණි. 1983 ජුලිය එම හිඩැස පියවූයේ ජාතිය (සංස්කෘතික අනන්‍යතා) විසිනි. මෙම දේ තේරුම් ගත යුත්තේ ක්‍රියාවලීන් ලෙස මිස නිමේෂයන් ලෙස නොවේ. 1983 න් පසු අවධිය තුළ ජාතික ප්‍රශ්නය අනෙක් සියල්ල අධි-නිශ්චය කරන්නේ යැයි ආචාර්ය නිව්ටන් ගුණසිංහ පැවසීය. 2009 මැයි මස සමග මෙම අවධිය නිම වී යැයි මම සිතමි.”-  සුමනසිරි ලියනගේ ගේ ෆෙස් බුක් සටහනකි
මේ අනුව එක එක කාලයේදී අධි-නිශ්චය වන්නේ ජාතික ප්‍රශ්නයද – පන්ති අරගලයද යන්න තීරණය කිරීමේ සහ වරනැගීමේ බලය හිමි පිරිසක් ලංකාවේ සිටිති. ඒ ඒ කාලයේදී අප ඔවුන්ගෙන් එය අසා දැන ගත යුතුය. සමහර විට ඒ මොහොතේ බලය ඇත්තේ  එක්සත් ජාතික පක්ෂයටද නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද යන්න අනුව එය තිරණය වනවා විය හැක.
මේ මොහොතේ ජාතිවාදය පැරද්දීම සහ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම යන්න අප අනෙක් සියල්ලටම වඩා ඉහළින් තබා ගෙන ඇත්තේ එය අපගේ දීර්ඝකාලීන සටන නිසා පමණක් නොවේ. තවමත් සියලුම වාසි සහගත කොන්දේසි ඇත්තේ මේ ජාතිවාදීන්ට නිසාය. ආණ්ඩුවේ පාර්ශවයක සහයෝගයේ සිට දැවැන්ත ව්‍යාපාරික ප්‍රාග්ධනය, මාධ්‍ය සහයෝගය ඇත්තේ ඔවුන්ටය. ලිපිය ආරම්භයේ සදහන් කළ ටී වී දෙරණ වැඩසටහනේදී චිත්‍රපට අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් විමුක්ති ජයසුන්දර වැනි දේශද්‍රොහීන් එල්ලා මැරිය යුතු බවට පසුගිය ආණ්ඩුවේදී රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශය ඔහුට දැනුත් එලෙසම ප්‍රකාශ කිරීම පිණිස පෞද්ගලික මාධ්‍ය විසින් ඉඩ ලබා දී ඇත්තේ ඔවුන්ට ඇති එම බලය නිසාය. එම නිසා තාමත් සුළුතරය අපය. මේ මොහෝත් මතුකරන ඊනියා නව ලිබරල්වාදයට  එරෙහි සටහන් යනු එම සුළුතරය තවත් බෙදා වෙන් කිරීමකි. එම නිසා ජාතිවාදයට න්‍යායික පිළිතුරු ගොනු කරනමින් සිටිනවාට වඩා මේ මොහොතේ ප්‍රායෝගික වැඩපිළිවෙළකින් ජාතිවාදය පරාජය කිරීම වඩා වැදගත්ය. අප හරියට මහන්සි වුවහොත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම මේ සඳහා හොඳ ආරම්භයක් වනු ඇත. 
ප්‍රබෝධ රත්නායක විසින් 2017.02.26 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි 

Recent Posts

Leave a Comment