කොයිතරම් සීතලද මේ උණු කඳුළු බින්දුවක්

Mar 13th, 2017 | By | Category: OTHER NEWS, කලාව, ප්‍රතිසන්ධානය, සාහිත්‍ය

යුද්ධයක ඇවෑමෙන් හිස්ව ගිය මුඩු බිමක් සේ වන මිනිස් සිත් සතන් යළි අස්වැද්දිය යුතු කාලය එළැඹ ඇත. එය එකිනෙකා කෙරෙහි නොසන්සිඳෙන පේ‍්‍රමයෙන්ද දයාවෙන්ද පුරවාලිය යුතුව ඇත. ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ගීතයන් එ් මුඩු බිමට පිනි ඉසින්නේය. ඔහුගේ ගීත පිිටුපස සැඟවී තිබෙන්නේ යුද්ධයෙන් බැට කෑ අපේම වේදනාවන්ය; මෙරට මව්වරුන් පියවරු හෙලූ කඳුළුය. ලෙයින් තෙත් වූ මිනිසුන්ගේ විලාපයන්ය. නැවත එවන් යුද්ධයක් රටේ ඇතිවීම වළක්වනු පිණිසත් රට තුළ සංහිඳියාව ගොඩනගනු පිණිසත් ජයතිලක බණ්ඩාරයන්ගේ ගීතමය අත්දැකීම් හා යාවුනු පසුබිම් කතාවන් සමබිම අපි සොයා ගියෙමු. මේ එවන් පසුබිම් කතාවකි.

1995 පෙබරවාරියේ දවසක්. එල්.ටී.ටී.ඊ සංවිධානය සහ රජයේ හමුදා අතර සටන් විරාමය පැවති කාලවකවානුවක්. සටන් විරාමය ප‍්‍රයෝජනයට ගනිමින් නැවත එවන් ශාපලත් යුද්ධයක් සිදුනොවන්නට කටයුතු කරනු පිණිස දකුණේ සිවිල් සමාජ ක‍්‍රියාධරයන් උතුරට නෑදෑ ගමනක් යන්නට සැලසුම් කළා. ආගමික නායකයන්, දේශපාලනඥයන් ඇතුළු පිරිසට මමද එක්ව සිටියා. යාපනයේදී අපට මඟ පෙන්වූයෙත් ආරක්ෂාව සැපයුවේත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සටන්කාමීන්. මේ කතාවට පසුබිම් වෙන්නේ එවැනි එක් තරුණ සටන්කාමියෙකුගේ කතාවක්.

තුවක්කු බටයක් අත දරාගෙන, සයනයිඩ් කරලක් බෙල්ලේ එල්ලගෙන, පපුව පුරා බෝම්බ එල්ලගෙන ඔහු මම ගමන් කළ රථයේම අසුන්ගෙන හිටියත් කිසිදු විටෙක ඔහුගේ හිස් තියුණු බැල්මට මාව හසුවුණේ නැහැ. මගේ සිනහවට ඔහුගෙන් ප‍්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මම ඔහු වෙත පළ කරන්නට උත්සාහ දැරූ සුහදත්වය පිළිගන්නා තරමේ කිසිදු ප‍්‍රතිචාරයක් ඔහු වෙතින් පළ වුණේ නැහැ. මගේම හදවතේ අර්ධයක් මට අවනත නොවුණත් මේ තරුණයා සමඟ කතා කරන්න මගේ හදවතේ අනෙක් අර්ධය මට බලකරමින් තිබුණා. අවසානේ මම කැඩිච්ච දෙමළෙන් ඔහුගෙන් ඇහුවා ‘සිංහල තේරෙනව ද’ කියල. ඔහු යාන්තමට හිස වනලා සිංහල තේරෙන බව මට ඇගෙව්වා. මම ඔහුට කිව්වා අපි සාමයට කැමති පිරිසක් බව, අපි ආවේ ඔවුන් සමඟ ගහ මරා ගන්න නොවෙන බව. ඔහු තියුණු බැල්මකින් මා දිහා බලා හිටියා. මම ඔහුගෙන් ඇහුවා මම ඔහු වෙත පළ කළ සුහදත්වයේ, මිත‍්‍රත්වයේ හැඟීමට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වූයේ ඇයි කියල. ඔහුගේ බැල්ම මොහොතින් වෙනස් වුණා. තියුණු දෑසේ දැඩි බවක් නලියන්න ගත්තා. ඔහුගේ පපුව ඇතුළේ දීර්ඝ කාලයක් නිහඬවම තැන්පත් වෙලා තිබුණ වේදනාවක් සියුම් කේන්තියක්ද සමඟින් වචන බවට පෙරළුණා. කැඩිච්ච සිංහලෙන් ඔහු කතා කළා.

ගිනිගත්හේන පදිංචිකරුවෙක් වුණු මේ ද්‍රවිඩ තරුණයාගේ පවුල 1983 කලබලයේ ගොදුරක් වෙලා තිබුණා. තමන්ගේ ගෙදරට කඩා වැදුණු සිංහල මිනිස්සු ඔහුගේ සහෝදරියව නිවසින් එළියට ඇඳගෙන ගොස් දූෂණය කරලා කපලා කොටලා මරා දමද්දී, ඔහුගේ මව කපා කොට මරා දමද්දී, නිවසේ සියලු දේවල් මංකොල්ල කද්දී කළ හැකි කිසිවක් නොමැතිව නිවස ඉස්සරහා මල් පඳුරක් අස්සේ බයෙන් හැංගිලා බලන් ඉන්න ඔහුට සිදුවී තිබුණා. මේ තරුණයා තමන්ගේ කතාව කියල ඉවර වෙද්දී මම හිතේ උපන් වේදනාව පෙරදැරිව මගේ සුරතින් ඔහුගේ දෑත වැළඳගත්තත් ඔහු එය ප‍්‍රතික්ෂේප කරමින් ඔහුගේ සුපුරුදු ලෙන්ගතුකමක් නැති නිහඬ බවේම ගිලී සිටියා.

අපි පාළු යාපන නගරය මැදින් ගමන් කරමින් සිටියා. එකවරම අර තරුණයා අපිට කතා කළා. ‘පිච්චමල් සුවඳ පිරුණු හඳුන්කුරු දුමින් වැහුණු හැම ගෙයක් ගෙයක්, කඩපිලක් ගානේම භජන් ගීත ඇහුණු යාපනේ හැටි දැන් පේනවද?’ ඔහු අපෙන් ඇහුවා. එහෙව් යාපනේ මූසල පාළුවකින් වෙළාගෙන තිබුණ හැටි විතරයි අපි දැක්කේ. නිවී ගිය වෙඩි බෙහෙත්වල දුමාරයත් ගන්ධයත් ඒ සුන්දර යාපනේ තනිය මකමින් තිබුණා. ඔහු කැඩිලා බිඳිලා පිළිස්සී විනාශව ගිය ගොඩනැඟිල්ලක සුන්බුන් පෙන්වමින් ඒ යාපනේ පුස්තකාලේ, ලිපි ලේඛන, පොත් අත්පිටපත් අනූපන්දාහකට වඩා ගිනිබත් කළා. ඒ කම්පනය දරාගන්න බැරිව අපේ මිනිහෙක් පපුව පැලිලා මැරුණා. කවුද ඒවා කළේ? කවුද මගේ අම්මාව අක්කව මැරුවේ? ඒවා කළේ සිංහල නුඹලා. ඉතින් ඔබ මට කියනවද ඔබ සමඟ කතා කරන්න, හිනාවෙන්න කියල ඔහුගේ හඬ බිඳී තිබුණා. මම උත්සාහ කළා ඔහුගේ වේදනාව, කෝපය සාධාරණ මෙන්ම ඒ සියල්ල වෙනුවෙන් සමස්ත ද්‍රවිඩ සමාජයෙන් අපි සමාව ඉල්ලා සිටිය යුතුව ඇති බව කියන්න. ඒ වගේම මම උත්සාහ කළා ඒ සිදුවූ සියල්ලට සමස්ත සිංහල ජනතාවගේ ආශිර්වාදය හෝ එකඟත්වය පළ නොවුණු බවත් එනිසාම මුළුමහත් සිංහල ජාතියටම වෛර කරන්න එපා කියලත් ඔහුට කියන්න. ඒත් නැවතත් ඔහු සුපුරුදු ලෙන්ගතුකමක් නැති නිහඬ බවේම ගිලුණා.

මේ ගමනේදී අනාථ කඳවුරුවල පිරිස්, සිවිල් සංවිධාන ක‍්‍රියාධරයන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිරිස් සමඟ පැවැත්වූ සකච්ඡාවලදී මට අවස්ථාව ලැබුණා දමිළ බසිනුත් ගී ගයන්න. ඒ ගායනා, සාකච්ඡාවන්හි හුවමාරු වූ අපේ අදහස් ඔවුන්ට විශාල බලපෑමක් කළා. ඒ පිරිස් වෙතින් ලද උණුසුම් ආදරණීය ප‍්‍රතිචාර හමුවේ මට දැනුණා අපි සන්නිවේදනය කරන්නට උත්සාහ කළ සංහිඳියාව වෙතට ඔවුන් තම දෑත් විදාහළ බව. අපේ කටයුතු අවසන්ව යාපනයට සමුදෙන්නට සැරසෙන මොහොතේ කිසිදු සුහදත්වයක් නොදක්වා මෙතෙක් මා සමඟ එකම රථයේ පැමිණි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තරුණ සටන්කාමීයා මගේ දෑත සිය දෑත් අතර සිරකරගත්තා. ඒ මුහුණේ ලෙන්ගතු සිනාවක් රැඳී තිබුණා. ඒ දෑස් දයාබරත්වයේ, සහෝදරත්වයේ උණුසුමින් බැබළෙමින් තිබුණා. ‘ආයෙත් එන්නො, අපි එකට සින්දු කියමු’ ඒ වදන් ඔහුගේ මුවින් ගිලිහුණා.

මේ පුද්ගලික අත්දැකීම පිළිබඳ හාංකවිසියක් නොදැන යුද්ධයේ පොදු අත්දැකීම කවියකට ගෙනා රත්න ශ‍්‍රී විජේසිංහ කවියා අතින් නිර්මාණය වූ ‘සීතලද බලන් මේ උණු කඳුළු යාපනේ’ ගීතයේ හැම පදවැලකම ඇමිණී තිබුණේ මම වින්ද පුද්ගලික අත්දැකීමම වීම විශේෂයක්. ‘පිච්ච මල් අසපුව ගිනිගනිද්දී අසපුව අවට සිටි මිනිසුන් ඒ ගිනිදැල්වල පහසින් මිනිස්සු නයි පොළො`ගුන් වෙලා සමාජගත කරන්නේ විෂ පමණයි. ඉර හඳ තරුවලට පවා වෙඩි වැදුණු බිමක කොට්ටකිලන්ගු අරන් ඉස්සර ඔබ බලන්න ආවා වගේ දැන් එන්න අපිට බැහැ. ‘ඒ වෙනුවට අපි එන්නම් ඇස් කෙවෙනි අග රැඳුණු සීතල කඳුළු අරන්. ඒත් ඒ කඳුළු ඇත්තටම සීතල නෑ’ රත්න ශ‍්‍රී කිව්වේ එහෙමයි.

දවා පිච්ච මල් අසපුව පෙනේ කළ කුරිරු ගින්දර

වෙලා ගත් නයින් පොළොගුන් දිව අදිනු පෙනේ

සීතලද බලන් මේ උණු කඳුළු යාපනේ

ගිනි වැදී කැදලි ගහයට හඬන බිළින්දෝ

පොත් ගුලේ නිදිද අළු වී ගියෙද දෙවින්දෝ

ආඬි ළිංවලින් උනනා ලේවලින් තිලක තියලා

කපුරු වී පුපුරු ගසනා හද වාවම්දෝ

පණ බයේ ගැහෙන අත පය අහිමි කිවින්දෝ

වෙඩි වැදී වැටෙන හඳ තරු කැබලි ඇහින්දෝ

කොට්ට කිලින්ගා වෙනුවට හාමතයි දුකයි පොදි බැද

තිරුක්කුරල් අළු දකුණට අරගෙන එම්දෝ

සීතලද බලන් මේ උණු කඳුළු යාපනේ

ගායනය     :ජයතිලක බණ්ඩාර

පද රචනය :රත්න ශ‍්‍රී විජේසිංහ

සංගීතය    :ඔස්ටින් මුණසිංහ

ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සමඟින් සාකච්ඡා කර  ජයනි අබේසේකර විසින් සමබිම 2017 ජනවාරි_පෙබරවාරි කලාපයට සකස් කළ ලිපියකි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment