අලුත් ව්‍යවස්ථාව උදෙසා ජාතික ව්‍යාපාරය සමගි වීම

Mar 3rd, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප‍්‍රබෝධ රත්නායක, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

ලෝක රාජ්‍ය නොවන සංවිධාන දිනය පෙබරවාරි 27 වනදාට යෙදී තිබිණි.  එදින සවස් කාලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන් කරන ලද්දේ දිවයිනේ නන් දෙසින් පැමිණි රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටය. අගමැතිවරයාගේ උපදෙස් මත මෙම හමුව සංවිධානය කරන ලද්දේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය සහ සමගි බලවේගය විසිනි. “සම්මුතිවාදී මහජන ගිවිසුම” හෙවත් “සමගි බලවේගය” වනාහි 2013 අගෝස්තු 22 දා කොළඹ මහජන පුස්තකාලයට රැස්වූ එවක ප්‍රධාන විපක්ෂය ලෙස සිටි එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, නිදහසේ වේදිකාව ඇතුළු සිවිල් සංවිධාන, ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන සහ වෘත්තික සංගම් සියයටකට වැඩි ගණනන් එකඟතාවයෙන් පිහිටුවා ගත් සංවිධානයකි. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මූලික කරුණු 10 කට එකඟ වීම මත “සමගි” ගොඩනැගුණි. එසේ සමගි බලවේගය විසින් එකඟ වූ කාරණා වන්නේ;

01. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම.
02. 18 වැනි සංශෝධනය අහෝසි කරමින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත සම්මත කිරීම තුළින් රාජ්‍ය ආයතනවල පූර්ණ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම.
03. ශ්‍රී ලංකාව නිජබිම කොටගත් සියලු ජාතික ප්‍රජාවන්ගේ අයිතීන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අනන්‍යතා සුරක්ෂා කිරීම.
04. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම.
05. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කිරීම.
06. නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය නැවතත් ස්ථාපිත කිරීම.
07. ජීවන වියදම පාලනය කිරීම හා දූෂණයට එරෙහි නීතිරීති ශක්තිමත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
08. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ඇතුළු සුබසාධන සමාජ ක්‍රමය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම.
09. පාලකයන්ගේ වාසිය සඳහා නොවූ සැබෑ ජනතාවාදී සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වාදීම සහ ඇති – නැති පරතරය අවම කිරීම.
10. යහපාලනය ප්‍රතිෂ්ඨාපනය සඳහා වූ මූලික පියවරක් වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (එල් එල් ආර් සී) වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා සියලු ජනතාවන්ගේ ස්වෛරීභාවය සහතික කිරීම මගින් දිවයිනේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම.

2013 අසීරු යුගයක සමගි බලවේගය ගත් ඒ ආරම්භය 2015 ජනවාරි මාසයේදී ජයග්‍රහණය කරන ලදි. ඒ නිසා 2015 ජනවාරි වෙනස ඇති කිරීමෙහි එක් පදනම් ලියවිල්ලක් ලෙස “සමගි එකගතාවය” හැඳින්විය හැකිය. අප එදා ගත් උත්සාහය කෙතෙක් සාර්ථක වී දැයි මැන ගැනිමට දර්ශකයක් ලෙසද මෙම ලියවිල්ල යොදා ගත හැකිය. දැන් මේ එකඟතාවයන් දෙස බැලීමේදී පෙනෙන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම, 18 වන සංශෝධනය ඉවත්කිරීම, අධිකරණයේ ස්වාධීනතාවය ඇතිකිරීම, ස්වාධීන කොමිසන් සභා ඇතිකිරීම ආදිය මේ වන විටත් ක්‍රියාත්මක කෙරී ඇති බවයි. ජාතික සංහිඳියාව සඳහා ද ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමේ සිට අවතැන්වූවන්ගේ ඉඩම් ආපසු ලබා දීම, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම, අතුරුදන්කිරීම අපරාධයක් බවට පත් කරන නීති ගෙන ඒම, ත්‍රස්තවාදය වැළැක්වීමේ කැකිල්ලේ නීතිය අහෝසි කිරීමට පියවර ගැනීම සහ සත්‍යය, යුක්තිය සහ ප්‍රතිසන්ධානය උදෙසා කොමිසන් සභාවක් පත්කිරීම දක්වා පියවර ගැනෙමින් පවතියි.

002

ශාක්‍ය නානායක්කාර සභාව පිළිගනිමින් – වික්‍රමබාහු, සිරිමසිරි, තීනියාවල පාලිත හිමි, රනිල් වික්‍රමසිංහ, මනෝ ගනේෂන් මුලසුනේ

ඉතිරිව ඇත්තේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම, අසීමිත බලතල ඇති විධායක ජනාධිති ක්‍රමය අහෝසිකොට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම, සියලු ජාතීන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සහ ජනතාවාදී ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් සකසා ගැනීම වැනි කාරණාය. මේවාට අදාළ සමහර ක්‍රියාමාර්ගද ගැනෙමින් පවතින බවක් පෙනෙන්නට තිබෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජාතික ගැටලුවට දේශපාලන විසදුමක් ලබා දීම වැනි කාරණා වලට පවතින 1978 ව්‍යවස්ථාව විසින් පැනවී ඇති සීමාව තුළ යා හැකි දුර මේ වන විටත් ගොස් අවසන්ය. එම නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංවාදය මෙතනදී පැහැදිලිවම අවශ්‍ය වේ.  2015ට පෙර සිටම අප සටන් කළේ මේ ව්‍යුහාත්මක වෙනස රටේ ඇති කිරීම වෙනුවෙන්ය. මෙහිදී අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවාට විරුද්ධ වන්නේ මේ ඓතිහාසික ගමනේදී අප සමග සිටි අය නොවන බව තේරුම් ගැනීමට න්‍යායන් අවශ්‍ය නොවන්නේ අලුත් ව්‍යවස්ථාවට එරෙහි අයගේ මුහුණු දෙස බැලීමෙන්ම එය පෙනෙන බැවිනි.

“ජනවාරි 8 වන දින ජනාධිපතිවරණයට පෙර අප හා එකතු වූ රටේ සිවිල් සංවිධාන ඊයේ දිනයේ (27), අරලියගහ මන්දිරයේදී මා හමුවූවා. එහිදී ඔවුන් සමඟ ආණ්ඩුව විසින් සිදුකරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ පිළිබඳවත්, සමාජ සංවර්ධන කටයුතු පිළිබඳවත් ගැඹුරින් සාකච්ඡා කරනු ලැබුවා. එසේම එහිදී එම නායකයින් විසින් රට තුළ ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩප්‍රස්ථාව විවර වී ඇති බව මා සමඟ පැවසුවා. ජනවාරි 8 වනදා පොරොන්දු වූ පරිදි යහපත්, නිදහස් රටක් ගොඩනැගීමට අපි කැපවී සිටින්නෙමු.” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ මේ සටහන තැබෙන්නේ ඉහත සඳහන් කළ හමුව පිළිබඳවය.  අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ, අමාත්‍ය මනෝ ගනේෂන්, අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, නීතිඥ ශාක්‍ය නානායක්කාර, නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ සිරිමසිරි හපුආරච්චි මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙම රැස්වීමේදී පැමිණි සිටි සිය ගණනක් රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් එකඟතාවයකට පැමිණියේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පුළුල් මහජන සංවාදයක් රට තුළ ඇතිකර අලුත් ව්‍යාවස්ථාව ජනමත විචාරණයකින් ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීමටය.

රාජ්‍ය නොවන සංවිධාන සමඟ අගමැතිවරයාගේ මේ හමුව පැවැත්වුණු පෙබරවාරි 27 වන දා උදෑසන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් තවත් දැවැන්ත ක්‍රියාන්විතයක ආරම්භය සනිටුහන් විය. එනම් අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ මංගල මාධ්‍ය හමුව පැවැත්වීමයි. පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය වැනි සිවිල් සංවිධාන ගණනාවක නියෝජිතයන්ද, වෘත්තිය සමිති, කලාකරුවන්, මාධ්‍ය සංවිධාන සහ සිවිල් සහ දේශපාලන ක්‍රියාධරයන්ද එක්ව අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය පිහිටුවා තිබේ. පූජ්‍ය දඹර අමිල හිමි,  මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, බි්‍රටෝ ප්‍රනාන්දු සහ සමන් රත්නප්‍රිය මෙම මාධ්‍ය හමුවේදී අදහස් ඉදිරිපත් කරන ලදි. එම මාධ්‍ය සාකච්ඡාවේදී ද විශේෂයෙන් අවධාරණය කෙරුනේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ 2015 වෙනස වෙනුවෙන් කටයුතු කළ බලවේගයේ ජයග්‍රණය තහවුරු වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි වන, බලය බෙදා හදා ගැනෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීමෙන් පමණක් බවයි. ඒ වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන එක් කර පුළුල්ම බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් “අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” කටයුතු කරයි. දැනටමත් මේ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා සමග මෙන්ම අනෙකුත්  ප්‍රධාන දේශපාලන පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කර ඇති බවත් එහිදී ඔවුන්ගේ ප්‍රතිචාරය ඉතා සුබවාදී බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගෙන සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර සහ 2015 වෙනසට උරදුන් සිවිල් සමාජ බලවේගයන් අතර බෙදීමක් ඇති කිරීමට ජාතිවාදීන් දැරූ උත්සාහය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල වන බව මේ ඉහත ක්‍රියාකාරීත්වයන් දෙකෙන් පමණක් වුව වටහා ගත හැක. සමගි බලවේගයේ “සමගි” යන්නෙහි තේරුම “සම්මුතිවාදී මහජන ගිවිසුම” යන්නයි. එහි තේරුම 2013ටත් වඩා අදට අදාළ වන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සම්මුතිවාදී මහජන ගිවිසුමක් විය යුතු නිසාය. එම නිසා මේ මොහොතේ ඒ සමගිය වෙනුවෙන් අප සියලු දෙනා ක්‍රියාකාරී විය යුතුය. ■

001

සමගි බලවේගයේ රැස්වීමට පැමිණ සිටි රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගෙන් කොටසක්

photo (1) (1)

සමගි බලවේගයේ මුල්ම ඇරයුම්පත

ප්‍රබෝධ රත්නායක විසින් 2017-03-05 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි.

Recent Posts

Leave a Comment