යුරෝපා සංගමයේ කච්ඡපුට සම්ප්‍රදාය

Mar 7th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, ආර්ථික, කාලීන, දේශපාලන, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සුදර්ශන ගුණවර්ධන

බෞද්ධ සාහිත්‍යයෙහි එන සේරිවාණිජ ජාතකයෙහි කදා වළලු විකුණන සංචාරක වෙළෙඳුන් දෙදෙනෙකු ගැන කියැවෙයි. කච්ඡපුට සාරධර්ම සමග වෙළෙඳාම් කරන සාධාරණ වෙළෙන්දෙකි. හේ බෝධිසත්වයෙකු වන අතර මතු ආත්මයක බුද්ධත්වයට පත්වන්නේ ඔහුය. සේරිවාණිජ දුෂ්ට කට්ට කෛරාටික වෙළෙන්දෙකි. ඔහුගේ වෙළෙඳාමට සාරධර්ම අදාළ නොවෙයි. මතු ආත්මයෙහි දේවදත්ත ලෙස උපත ලබන්නේ ඔහුය.

බුදු දහම වෙළෙඳාම පිළිකෙව් කළේ නැත. එහෙත් එය අනුදැන්නා ලද්දේ “කච්ඡපුට” වර්ගයේ සාරධර්ම සහිත වෙළෙඳාමයි. බුදුන් වැඩිම කාලයක් වැඩසිටියේද “සැවැත් නුවර ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරමෙ” හිය. එය ඉදි කරන ලද්දේ සාරධර්ම සුරකින වෙළෙඳකු වූ අනාථ පිණ්ඩික හෙවත් අනේ පිඬු සිටුතුමාය.
කෙසේ වුවද, බුදු දහමින් ආභාසය ලැබුවේ යැයි කියන ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම සිංහල බහුතර ජනකාය අතර වෙළෙඳාම පිළිබඳව ඇත්තේ නිශේධනීය ආකල්පයකි.

වෙළෙඳාම සහ සාර්ධර්ම එකට ගමන් කළ නොහැකිද? කච්ඡපුට සම්ප්‍රදායේ වෙළෙඳාමක් බිහිකරගෙන වෙළෙඳාමට අහිමිව ඇති සමාජ පිළිගැනීම යළි ලබා ගත නොහැකිද? මේ වනාහි ව්‍යාපාරික ප්‍රජාව විසින් සිතා බැලිය යුතු කරුණුය. එහෙත්, ආණ්ඩුවට ආඩාපාළි කියනවා හැරුණු විට වෙළෙඳාමෙහි ප්‍රතිරූපය නංවාලීමට ඔවුන් ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කරන්නේද යන්න ප්‍රශ්නයකි.

සාරධර්ම රැකගෙන කරන වෙළෙඳාම හෙවත් කච්ඡපුට සම්ප්‍රදායේ වෙළෙඳාම පිළිබඳව සංකල්පය සිහියට නැගුණේ ජර්මානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ජෝන් රෝඞ් සමග ඬේලි එෆ් ටී පුවත්පතේ දරීශා බැස්ටියන් විසින් කළ සාකච්ඡාව පරිශීලනය කිරීමේදීය.

“යුරෝපා සංගමය යනු නිදහස් වෙළෙඳාම සහ පොදු වෙළෙඳපොළක් සඳහා පමණක් නොව වටිනාකම් වෙනුවෙන්ද පෙනී සිටින ප්‍රජාවකි. එය අපගේ ප්‍රධාන පණිවිඩය බව අපි විවෘතව කියා සිටිමු. ජීඑස්පී ප්ලස් යනු එම පණිවිඩයේ කොටසකි. ප්‍රධාන පණිවිඩය නම් අප වෙළෙඳාම සඳහා විවෘත නමුත් සාරධර්ම අමතක කර එය සිදු නොකරන බවයි.” මෙහිදී ජෝන් රෝඞ් තානපතිවරයා කියා ඇත. ජීඑස්පී ප්ලස් සහනය ලබා දීමට යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා ඇතැයි යනුවෙන් ලියන මාධ්‍යකරුවන්ගේ ප්‍රකාශ වලටද ඔහු විසින් පිළිතුරු දී ඇත.

ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කළේ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ආනයන තීරු බදු සහනයක් ඉල්ලා සිටීම සම්පූර්ණයෙන්ම රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ තීරණයක් බවයි.  ජීඑස්පී ප්ලස් සහනය සඳහා සුදුසුකම් ලැබීම පිළිබඳව සලකා බැලීමේදී යුරෝපා සංගමය විසින් සිදුකරන්නේ ශ්‍රී ලංකාව විසින් සිය කැමැත්තෙන්ම ශපථ කරන ලද මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් අනුගමනය කිරීමට ගන්නා ලද පියවර මැනබැලීම පමණක් බව ජර්මන් තනාපතිවරයා ප්‍රකාශ කොට ඇත. “ඇත්ත වශයෙන්ම ඒවා ආණ්ඩුව බලයට පත්වීමට පෙර මැතිවරණයේදී යෝජනා කළ ප්‍රතිසංස්කරණ යෝජනාවල අඩංගු දේ මිස අන් කිසිවක් නොවෙයි” යැයි ඔහු කියයි. සාරධර්ම රැකගෙන වෙළෙඳාමෙහි යෙදීමට ශ්‍රී ලංකාවට අවකාශයක් විවර වෙමින් පවතියි. එම අවස්ථාව රැකගැනීම ආණ්ඩුවෙහි පමණක් නොව ව්‍යාපාරික ප්‍රජාවෙහිද සිවිල් සමාජයෙහිද වගකීමක් වෙයි.

සම්මුඛ සාකච්ඡාවේදී “ජීඑස්පී ප්ලස් සහනය ලැබීම කිසියම් සාධක සම්පූර්ණ කිරීම පිළිබඳ කොන්දේසි මත තීරණය වන බැවින් ”සමලිංගිකත්වය අපරාධහරණය කිරීම” ආදී රටේ සංස්කෘතියට හානිකර ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ආණ්ඩුව කෙරෙහි යුරෝපා සංගමය වෙතින් බලපෑමක් එල්ල වී ඇති බවට හැඟීමක් වර්ධනය වෙමින් පවතියි. මෙය සාධාරණ විවේචනයක්ද?” යනුවෙන් දරීශා ප්‍රශ්නයක් නගයි. මේ සඳහා ජර්මන් තානාපතිවරයා ලබා දෙන දීර්ඝ පිළිතුර සියල්ල කැටි කර දක්වයි.

ජීඑස්පී ප්ලස් යනු යුරෝපා සංගමය විසින් ඒක පාක්ෂිකව ලබා දෙනු ලබන වෙළෙඳ සහනයකි. ආණ්ඩුවකට එය ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකිය. ඒ සඳහා කිසිවෙකු විසින් බලකිරීමක් සිදු නොකරන අතර එය ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක ස්වෛරී තීරණයකි. වර්තමානයේදී රටවල් 8ක් මේ යටතේ ප්‍රතිලාභ ලබයි.  අතීතයේදී ශ්‍රී ලංකාව සිටියේ මෙයින් ප්‍රතිලාභ ලබමිනි. නමුත්, ආණ්ඩුව තමා විසින්ම පොරොන්දු වූ එකඟතා අනුව කටයුතු නොකළ අතර යුරෝපා සංගමය මේ සහනය ඉවත් කරගන්නා ලද්දේ එබැවිනි. මානව අයිතිවාසිකම් සහ ප්‍රතිසංස්කරණ උදෙසා වන කැපවීම සමග බලයට පත් අලුත් ආණ්ඩුව මෙම සහනය ලබා ගැනීම සඳහා නැවතත් අයදුම් කරන බව ප්‍රකාශ කළේ සහනය නවැත්වීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන්ට ආදායම් අහිමිවීමක් සිදුවූ බැවිනි. නැවත අයදුම් කරන විට විවිධ මානව හිමිකම් සම්මුති යටතේ ශ්‍රී ලංකාව විසින් පිළිපැදීමට එකඟව ඇති වගකීම් සම්පූර්ණ කළ යුතුව ඇත. මෙය යුරෝපා සංගමයේ කැපවීමක් නොවේ. ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති ගණනාවකට අත්සන් කොට ඇත. ජීඑස්පී ප්ලස් සහනය ලබා දිමේදී මැනබලන්නේ ශ්‍රී ලංකාව විසින් එම සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳවය. එය සම්පූර්ණයෙන්ම ඔබ රටේ තීරණයකි.

ඔබට යමක් අවශ්‍ය නම්, එය ලබා ගත් පසුව ඔබ විසින් අදාළ ‘ගෙදර වැඩ’ කළ යුතුය. මා සිතන්නේ අප නිවැරැදි මාර්ගයට පිවිසී ඇති බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීමට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව කැපවී සිටියි. මෙය වඩා ඉක්මණින් කළ හැකිව තිබිණි. යුරෝපා පාර්ලිමේන්තුව විසින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට යන්නේ එම ප්‍රමාදය නිසාය. තීරණය මැයි මාසයේදී ලැබෙනු ඇත. නමුත් මා සිතන්නේ ආණ්ඩුව මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට කැමැත්තෙන් සිටින බවයි. ඇත්ත වශයෙන්ම ඒවා ආණ්ඩුව බලයට පත්වීමට පෙර මැතිවරණයේදී යෝජනා කළ දේ මිස අන් කිසිවක් නොවෙයි. ප්‍රශ්නය වන්නේ කෙතරම් වේගයකින් මෙම ප්‍රතිසංස්කරණ සිදු කරනේද යන්නයි. මෙහිදී කිසියම් අභියෝගයක් පවතියි.

යුරෝපා සංගමය යනු නිදහස් වෙළෙඳාම සහ පොදු වෙළෙඳපොළක් සඳහා පමණක් නොව වටිනාකම් වෙනුවෙන්ද පෙනී සිටින ප්‍රජාවකි. එය අපගේ ප්‍රධාන පණිවිඩය බව අපි විවෘතව කියා සිටිමු. ජීඑස්පී ප්ලස් යනු එම පණිවිඩයේ කොටසකි. ශ්‍රී ලංකාව ඇඟලුම් වෙළෙඳාමෙහි ඉතා ප්‍රබල ස්ථානයක සිටියි. බංග්ලදේශය සහ පාකිස්ථානය තම ඇඟලුම් වෙළෙඳාම වර්ධනය කරගෙන ඇති අතර ඔවුන් අගය දාමයෙහිද ඉදිරියට ගොස් ඇත. යුරෝපා සංගමය විසින් වියට්නාමය සහ සිංගප්පූරුව සමග නිදහස් වෙළෙඳාම පිළිබඳ සාකච්ඡ අවසන් කොට ඇත. සාකච්ඡාවන් ගණනාවකට පසුව අප කැනඩාව සමගද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කොට ඇත. ප්‍රධාන පණිවිඩය නම් අප වෙළෙඳාම සඳහා විවෘත නමුත් සාරධර්ම අමතක කර එය සිදු නොකරන බවයි.

බෝල්කන් රටවල් යුරෝපා සංගමය වෙත ඇතුළත් කරගැනීම පිණිස සාකච්ඡා කෙරෙමින් පවතියි. යුරෝපා සංගමයෙහි විවිධත්වය වැඩිවත්ම එහි සංකීර්ණත්වයද වැඩි වෙයි. විදේශිකයන් නොරිස්සන දේශපාලන පක්ෂ, සරණාගත ප්‍රශ්නය සහ ත්‍රස්තවාදය ප්‍රධාන අභියෝගයන් වේ. නමුත් සම්පූර්ණ චිත්‍රය දෙස බලන විට යුරෝපා සංගමය වනාහි සාර්ථක මොඩලයකි. ආර්ථික ඒකාබද්ධතාවය පිළිබඳව සැලකීමෙහිදී ලෝකයේ මේ කලාපයේදී අප කථාකරන්නේ “නිදහස් වෙළෙඳ ගිවිසුම්” පිළිබඳවය. නිදහස් වෙළෙඳාම යනු ආර්ථික ඒකාබද්ධතාවයෙහි පහළම මට්ටමේ ආකෘතිය වන අතර යුරෝපය එම තත්ත්වය ළඟා කර ගත්තේ 1958 තරම් ඈත කාලයකයි. වසර දහයකට පසු අපි “රේගු සංගමයක්” බවට පත් වුණෙමු. ඉන් පසුව පොදු යුරෝපීය වෙළෙඳපොළ ගොඩනගා ගන්නා ලද අතර දැන් අපි ආර්ථික සහ මූල්‍ය සංගමයක් බවට පත් ව ඇත්තෙමු. මෙය වනාහි මින් ඉහත ස්වාධීන රාජ්‍යයන්ගේ ඒකාබද්ධ ප්‍රජාවක් විසින් කිසිදු අවස්ථාවක ළඟා කරනොගත් මට්ටමේ සංකීර්ණ තත්ත්වයකි. එහිදී පවා එය වනාහි සමහර විට පියවර දෙකක් ඉදිරියට- සහ පියවර දෙකක් පසු පසට යාමකි. වසර හැටක කාලයක් තිස්සේ යුරෝපය සාමකාමීව පැවත ඇති අතර ඒ තුළින් ආර්ථික සමෘද්ධිය උදා කරගෙන ඇත. සමස්තයක් ලෙස ගත් කළ එය වනාහි නරක ප්‍රතිඵලයක් නොවේ.

ජීඑස්පී ප්ලස් සහනය නැවත දිනා ගැනීම උදෙසා ආණ්ඩුව විසින් ප්‍රමුඛතාවයක් ලෙස ගෙන ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කුමන ක්ෂේත්‍රයන්දැයි මෙහිදී මාධ්‍යවේදිනිය අසන ප්‍රශ්නයට ජර්මන් තානාපතිවරයා විසින් දෙන පිළිතුර පහත පරිදිය.

සංහිඳියාව, ඉඩම් ආපසු ලබා දීම සහ වන්දි සැපයීම වැනි නීති සකස් කිරීමට අවශ්‍ය නොවන ක්ෂේත්‍ර තිබේ. ඒවා ඉක්මණින් ක්‍රියාත්මක කළ හැකිය. තමන්ට හිමි ඉඩම් ආපසු ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූ නමුත්, එම පොරොන්දු ඉටු නොවීම නිසා මේ වන විට උතුරු පළාතේ උද්ඝෝෂණ පවතියි. විශ්වාසය ගොඩනගා ගැනීම උදෙසා යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි. එවිට, මේ කටයුතු හෙට සිදු නොවුණත්, ඉක්මණින්ම සිදුවනු ඇති බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති වනු ඇත. වසර දෙකක් ගතවීත් කිසිවක් සිදුනොවන්නේ නම් තවදුරටත් ආණ්ඩුවෙහි මේ පිළිබඳව කැපවීමක් තිබේදැයි ජනතාව ප්‍රශ්න කරනු ඇත. ආණ්ඩුව තම පොරොන්දු ඉටු කළ යුතුය. එය ඒ තරම් ම සරලය. දේශපාලනඥයකු සතුව පවතින වැදගත්ම ප්‍රාග්ධනය වන්නේ විශ්වාසනීයත්වයි. ■

නිතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017-03-05 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි.

Recent Posts

Leave a Comment