අලුත් ව්‍යවස්ථාවක්! කාන්තාවන්ට නායකත්වයක්!

Mar 12th, 2017 | By | Category: LEAD NEWS, ඇන්ටිගනී, කාන්තා, කාලීන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය

ජගත් කාන්තා දින සැමරුම යෙදුනු මාර්තු අටවැනි දින එය සමරනු වස් රට පුරා විසිරී සිටින කාන්තා ක්‍රියාධරනියන් නිදහස් චතුරස්‍රයට පැමිණියහ. නව ව්‍යස්ථාවක් පිළිබඳ කාරණයත් රටේ දේශපාලනය තුළ ස්ත්‍රී නියෝජනය ඉහළ නැන්වීමත් ප්‍රධාන අරමුණ කරගනිමින් මෙවර කාන්තා දින සැමරුම නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ශ්‍රී ලංකා තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමයේ සුභාෂිණී පෙරේරා, ආචාර්ය සුභාංගි හේරත්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළුව විවිධ සංවිධාන හා සංගම් නියෝජනය කරමින් සහභාගී වූ නායක නායිකාවන් රැසක් මෙහිදී අදහස් දැක්වූ අතර ප්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර විසින් මේ සඳහා සිය ගීතමය දායකත්වය සැපයීය. මෙම අවස්ථාව පදනම් කරගනිමින් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සමබිම වෙත සිය අදහස් පළ කළාය.

DSC_0180

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පැමිණ සිටි පිරිස අමතමින්

“අලුත් ව්‍යවස්ථාවක්, කාන්තාවන්ට නායකත්වයක්, රටට සාමයක්, ජනමතය ජයග්‍රහණය කරවීම සඳහා කාන්තාවනි ඉදිරියට එන්න” යන්න තේමා කරගනිමින් මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම පැවැත්වූ අතර කාන්තා සංවිධාන කිහිපයක් මේ සමඟ අත්වැල් බැඳගනු ලැබුවා. විශේෂයෙන්ම ලක්බිමේ මව්වරු සහ දියණියෝ, ශ්‍රී ලංකා තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමය සහ කාන්තා දේශපාලන පීඨය, ස්ත්‍රී මධ්‍යස්ථානය ඇතුළු ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධාන ජාලයේ ග්‍රාමීය, වතුකර සහ නිදහස් වෙළෙඳ කලාපීය සංවිධාන මෙහිදී අප සමඟ එක්ව සිටියා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සඳහා උක්ත කාරණාවන් තේමා කර ගැනීම තුළ, රටේ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා වන කාර්යයේදී කාන්තාවන්ට ලැබී තිබෙන්නා වූ අවකාශය ප්‍රයෝජනයට ගනිමින් එහි අන්තර්ගත විය යුතුයැයි සිතනා යෝජනාවන් සම්මත කරගැනීම සඳහා කටයුතු කිරීම අප අරමුණයි. ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා වන කාර්යයේදී රටපුරා මහජන අදහස් වීමසීම් සිදු කරනු ලැබුවා. එම කමිටුව වෙත ලැබුණු මහජන අදහස් විශාල ප්‍රමාණයක් අතුරින් කාන්තාවන්ගේ දේශපාලනය සම්බන්ධව යම් යම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුබව වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ එයට සංවේදී වූ භාෂාවක් භාවිතා කළ යුතුයි යන කාරණාවත් එම යෝජනා අතර තිබුණා.

කාන්තා දින සැමරුම් උත්සවයට පැමිණි පිටි පිරිස උත්සවයේ සමාරම්භක අවස්ථාවේ ඉටිපහන් දල්වමින්

ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම යන කාර්ය හුදෙක් සරල අර්ථයෙන් ගත නොහැකියි. එය රටේ පාලනය සම්බන්ධයෙන් නව දැක්මක් සකස් කරන්නක්. එය නීතියක් සකස් කිරීමට වඩා රටේ පාලනයත් එම පාලනය බෙදා ගැනීමත් නව රාජ්‍ය සංකල්පයක් නිර්මාණය කර ගැනීමත් පිළිබඳ ක්‍රියාවලියක්. එහිදී නව පාලන ක්‍රමවේදය තුළ එනම් මැතිවරණ සංශෝධනය කිරීම් වේවා, බලය බෙදා හැරීම හරහා ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම වේවා, මානව හිමිකම් ස්ථාපනය කිරීම් පිළිබඳ කාර්යයන් වේවා මේ සඳහා කාන්තා නියෝජනයත් කාන්තා සහභාගීත්වයත් අත්‍යවශ්‍යය යන අදහස අප පිළිගෙන තිබුණා වුනත් මේ ක්‍රියාවලීන් තුළ බහුතර කාන්තා නියෝජනය තිබෙන්නේ නාමිකව පමණයි. මෙවැනි අවස්ථාවන් සහ කාර්යන් තුළදී කාන්තාව සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් මැදිහත් විය යුතු වුවත් එවැනි මැදිහත් වීමක අඩුවක් දක්නට අද දක්නට ලැබෙනවා.

නිදහසින් අවුරුදු හැට ගණනාවකට පසුව කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න කාන්තා මන්ත්‍රණ සභාවක් ලෙස රැස්වී කතිකා කර ගත යුතුව ඇතැයි අපි කල්පනා කළා. ඒ අනුවයි මෙවර කාන්තා දින සැමරුම සඳහා නිදහස් චතුරස්‍රය තෝරාගනු ලැබුවේ. එහි පාමුල සිට අපි පාලකයන්ගෙන් විමසුවේ නිදහස් අරගලය තුළත්, වාමාංශික ව්‍යාපරයන් තුළත් සිටී කාන්තාවගේ නායකත්වය අද දේශපාලනික ක්‍රියාවලිය තුළ තිබෙන්නේ කොහෙද කියා. කාන්තාවන් ඉදිරියට ගෙන ඒම සඳහා අවශ්‍ය උපායමාර්ගයන් වහාම ගත යුතු බවත් අලුත් රටක් නිර්මාණය කිරීම සඳහා වන ක්‍රියාවලියේදී කාන්තාවන් ඒ සඳහා සහභාගී කර නොගන්නේ නම් අලුත් රටක් නිර්මාණය නොවන බවත් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ඒත්තු ගැන්වීම මෙම සැමරුමෙහි අරමුණක් වුණා.

මේ කාර්ය වෙනුවෙන් උර දෙනු ලැබුවේ අවුරුදු විසිපහක් පමණ තිස්සේ කාන්තාව දේශපාලනයේ සිටිය යුතුයි යන මතය වෙනුවෙන් පෙනී සිටී කාන්තා ක්‍රියාධරියන්. මෙම අවස්ථාවට අපි එක්රැස් කළේ රටපුරා විසිරී සිටින කාන්තා නායකත්වයන්. අද වන විට සියලුම දේශපාලන පක්ෂ ෆැෂන් එකක් ලෙස කාන්තා දින සැමරීම් සිදුකරනවා. එහෙත් කාන්තාවන් දේශපාලනයට යොමු කිරීමට මෙතෙක් අසමත් වූ එවැනි දේශපාලන බලවේග කාන්තා දින සැමරීම් සිදුකරන ආකාරයට නොවෙයි අපි මෙම කාන්තා දින සැමරුම සිදු කළේ. අදාළ දිනයට පමණක් කාන්තාවන් ගෙන්වා ඔවුන් උද්දාමයට පත් කර විසිර යැවීමයි අද බොහෝ විට මෙම සැමරීම් තුළ සිදුවන්නේ. එහෙත් අපි කාන්තා නායකත්වය ගෙන්වීම හරහා බලාපොරොත්තු වුණේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ කමිටුවට අපි විසින්ම ඉදිරිපත් කරන ලද යෝජනා, අදහස් ඇතුළත් වාර්තාවන් දෙකක් මේ වන විටත් සකස් වී ඇති තත්ත්වයක එම වාර්තාවන්හි ඇතුළත් යෝජනාවන් පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡාවන්, මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් පීඩනයක් ඇති කළ හැකි කාන්තා පෙරමුණක් බිහිකර ගැනීමයි. මෙවර කාන්තා දින සැමරුමෙහි අපේ ක්‍රියාකාරී සැලසුම වශයෙන් පැවතුණේ එයයි. මේ සඳහා සහභාගී වූ කාන්තා නායිකාවන්ගෙන් සියයක් පමණ ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්වන අය වන අතර තවත් කාන්තා නායිකාවන් සියයක් පමණ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් ඇතිකිරීමට සහභාගී වන පිරිසක්. අනෙක් කාන්තාවන් සියදෙනා සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධ ක්‍රියාවලියේදී නායකත්වය ගෙන අතුරුදන්වූවන්ගේ දෙමාපියන් සම්බන්ධයෙන් හා උතුරු නැගෙනහිර සාමය සඳහා පෙරට එන කාන්තාවන්ගේ ජාලයක් ගොඩනැඟීම සඳහා මැදිහත් වීමට බලාපොරොත්තුවන පිරිසක්. මාර්තු අට වැනි දින කාන්තා දිනය සමරමින් නිශ්චිත කරගත් මෙකී කාරණාවන් සහ එම ක්‍රියාකාරීත්වය ඉන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අප කටයුතු කරනවා. බොරු පොරොන්දු දෙන දේශපාලන හස්තයන් තුළ තවදුරටත් කාන්තාව රැඳවීමේ ක්‍රියාදාමයට එරෙහිව, එයට විකල්පවයි නිදහස් චතුරස්‍රයේදී මාර්තු අටවැනි දින අපි කාන්තාවන් වශයෙන් එක්රැස් වුයේ. ■

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු විසින් කරල ලද කතාවක් ඇසුරින් 2017.03.12 වන දින රාවය පුවත්පතේ සමබිම ඉරිදා අතිරේකයේ පලවූ  ලිපියකි.

Recent Posts

One Comment to “අලුත් ව්‍යවස්ථාවක්! කාන්තාවන්ට නායකත්වයක්!”

  1. podhu says:

    ලංකාවෙ කාන්තාවන් රජයේ රැකියා වල ප්‍රමුඛතාවය ගෙන ඇත. එජිඑ කර්‍යාලවල කාන්තාවන් පිරිඇත එ නිසාම එහි කටයුතු මන්දගාමි වි ඇත. බොහොවිට ඔවුන්ට සිතා බලා තැනට සුදුසු තිරනයක් ගත නොහැක. මේ නිසා ගැටළු වලට විසදුම් නැත. උදා ඔනිතරම් ඇත රන්ජන්ගේ සිද්දිය එයට හොදම උදාහරණයයි.
    ලංකාව් ජනගහනයේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් බවට පත් වි ඇත. මෙ නිසාදේශපාලනන්ච්යින් ඔවුන් දිනා ගැනිමට යොමුවි ඇත. මේ වගෙම දෙයක් වුනා එ දෙමල ගැටලුව දෙමල චන්ද දිනා ගැනිමට දේශපාලනන්ච්යින් ඔවුන්ට බොරු කියා වෙනම රාජ්‍යයක් වැනි අනවශ්‍ය මත ඔවුන්ගේ ඔලුවලට දැම්මා එයින් වුනු විනාශයේ තරම අප දුටුවා මේ පිලිබද විවුරත කථාබහක් ඇතිවිය යුතුමය. එය අප ජාතියට කරන ලොකු සෙවයක් වනු ඇත.

Leave a Comment