“ස්ත්‍රීහුද මනුෂ්‍යයෝය”

Mar 13th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, TOP NEWS, කාන්තා, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය, සමාජ, සුදර්ශන ගුණවර්ධන

“සිරකරුවෝද මනුෂ්‍යයෝය” යනුවෙන් කෑ ගසා කියන වැලිකඩ සිරගෙදර බිත්තිය වැදගත් පණිවිඩයක් සන්නිවේදනය කරයි. ඒ ආකාරයෙන්ම සෑම නිවසකම, කාර්යාලයකම බිත්ති මත පින්තාරු කළ යුතු වැකියක් නම් “ස්ත්‍රීහුද මනුෂ්‍යයෝය” යන්නයි. කාන්තාව මවක, සහෝදරියක සහ දියණියක ලෙස සලකා ස්ත්‍රිය අගය කිරීමත්, එකී ස්ත්‍රියම වෛශ්‍යාවක ලෙස සලකා අගතියට පත් කිරීමත් යන පුරුෂ මූලික දැක්ම වෙනුවට එක් එක් ස්ත්‍රියගේ තරාතිරම නොබලා, ස්ත්‍රියද මනුෂ්‍යයකු ලෙස සලකා, සෙසු මනුෂ්‍යයන්ට හිමි සමාන ගෞරවයත්, නීතියේ සමාන රැකවරණයත් ස්ත්‍රියටද හිමි බව පිළිගැනීම ශිෂ්ට සමාජයක් වෙත ගමන් කිරීමේ එක් වැදගත් මං සළකුණක් වෙයි.

ජනගහනයෙන් බහුතරයකට දේශපාලන අයිතිවාසිකම් ඇතුළුව නීතියේ සමාන රැකවරණය අහිමි කරමින් සුළුතරය විසින් දකුණු අප්‍රිකානු ජනරජය විසින් ගෙන ගිය පාලන ක්‍රමය හඳුන්වන ලද්දේ “ඇපාතයිඞ්” නමිනි. විසිවන සියවස අවසන්වීමට පෙර එම ගර්හිත සමාජ දේශපාලන ක්‍රමය අවසන් විය. එහෙත්, ශ්‍රී ලංකාව ජනතා පරමාධිපත්‍ය බලයට උරුම කියන්නාවූ නිදහස් ස්වෛරී ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව පණවා ගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙක විසින්ම දේශපාලන සහ සමාජ ජීවිතයෙන් පිටමං කරනු ලැබූ එක් ජන කොට්ඨාසයක් නම් ජනගහනයෙන් බහුතරය වන ස්ත්‍රීන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ත්‍රීන්ටද නීතියේ සමාන ආරක්ෂාව සහතික කර ඇති බවත්, ස්ත්‍රී- පුරුෂ භේදය මත වෙනස්කමකට හෝ විශේෂයකට ලක් නොකළ යුතු බවත්, දේශපාලනයට පිවිසීමට ඉඩ අවහිර කර නොමැති බවත් සැබෑය. එහෙත්, සමාන අවස්ථා ලබා දී ඇතද එයින් සැබැවින්ම තත්ත්වයේ වෙනසක් ඇතිවී ඇත්ද යන්න විමසීමට ප්‍රතිඵලවල දියුණුවක් ඇත්දැයි විමසිය යුතුය. ප්‍රතිඵලවලින් පෙනෙනුයේ නිදහසින් වසර 69කට පසුවත්, ජනරජයක් බවට පත්වී වසර 45කට පසුවත්, ශ්‍රී ලංකාව තුළ දේශපාලන සහ මහජන ජීවිතයෙන් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ස්ත්‍රීන් පිටමං කරන “ඇපාතයිඞ්” ක්‍රමයක් නීතියෙන් නොවුණද භාවිතයෙන් ක්‍රියාත්මක වන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි සාමාජිකත්වයට සිය කැමැත්තෙන් ඇතුළත් වන්නා වූ සෑම රටක්ම එම සංවිධානය විසින් අනුදත් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් වලට අත්සන් කොට, ඒවායේ සඳහන් අයිතිවාසිකම් තම රට තුළ ක්‍රියාත්මක කිරීමට ශපථ කරති. එමෙන්ම එහි ප්‍රගතිය මැනබැලීම සඳහා අදාළ සම්මුතිය මගින් පිහිටුවා ඇති අධීක්ෂණ කමිටුවට තම වාර්තා ආවර්තිතව ඉදිරිපත් කිරීමටත්, එහි නිර්දේශ පිළිපැදීමටත් බැඳී සිටීමට එකඟත්වය පළ කරති.

එවන් ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුති අතර ස්ත්‍රීන්ගේ තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සොයා බැලෙන සම්මුතියක් ඇත. එය ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් සීඩෝ සම්මුතිය ලෙස හැඳින්වෙයි. ශ්‍රී ලංකාව එම සම්මුතියේ පාර්ශ්වකරුවෙකි. එම සම්මුතියට අදාළව අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අදාළ විෂය පිළිබඳ ස්වාධීන ප්‍රාමාණික විද්වතුන්ගෙන් සමන්විත සීඩෝ කමිටුව විසින් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද ආවර්තිත වාර්තාව පිළිබඳ සලකා බැලීම පිණිස 2017 පෙබරවාරි 22 වන දින ජිනීවා නුවර පැලේ ඩි නේෂන්ස් හිදී රැස්විය.

එහිදී සීඩෝ කමිටුව විසින් ද අවධානයට ගෙන තිබුණු එක් කරුණක් වූයේ දේශපාලන සහ පොදු කටයුතු වලට සහභාගි වීමට මෙන්ම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමටද කාන්තාවන්ට ඇති ඉඩකඩ අවම වීම පිළිබඳවය. පසුගිය වසර 15 මුළුල්ලෙහිම ජාතික පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය පැවතී ඇත්තේ 5% කට අඩු මට්ටමක බව සීඩෝ කමිටුව නිරීක්ෂණය කරයි. ජනගහනය අනුව මෙන්ම ඡන්ද දායක සංඛ්‍යාව අනුවද සියයට පනහකට වැඩි පිරිසක් ස්ත්‍රීන් වන රටක දේශපාලන නියෝජනය ඇත්තේ තිබිය යුතු සංඛ්‍යාව මෙන් 1/10 කි. කැබිනට් ඇමැතිවරුන් අතර සිටින ස්ත්‍රීන් සංඛ්‍යාවද ඉතා අල්පයකි. ස්ත්‍රී ප්‍රජාව තුළ සිටින සුළුතරයන් වන දෙමළ, මුස්ලිම් ස්ත්‍රීන් මෙන්ම ආබාධ සහිත ස්ත්‍රීන් කොපමණ ප්‍රමාණයක් තීරණ ගන්නා ස්ථානයන්හි නියෝජනය වන්නේද යන්න පිළිබඳව දත්ත ඉදිරිපත් කර නොතිබීම සම්බන්ධයෙන්ද සීඩෝ කමිටුව කණගාටුව පළ කරයි. අප රට විසින් පවත්වා ගෙන යන ලද ඇපාතයිඞ් ප්‍රතිපත්තිය මෙයින් මොනවට පැහැදිලි වෙයි.

කෙසේ වුවද ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් මේ ගැටලුවට අදාළව ආඩම්බරයෙන් සඳහන් කළ කරුණු දෙකක් සීඩෝ කමිටුව සාදරයෙන් පිළිගෙන ඇත. එයින් එකක් නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් පළාත් පාලන ආයතනයන්හි සභිකයන් අතරින් සියයට 25ක් ස්ත්‍රීන් සඳහා “කෝටාවක්” ලෙස වෙන්කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන ඒමට ආණ්ඩුව විසින් ගත් පියවරයි. දෙවැන්න, 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කොට, සෑම පළාතක් සඳහාම දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරන නාමයෝජනා ලැයිස්තුවෙහි අවම වශයෙන් 30% ක ස්ත්‍රී නියෝජනයක් ඇතුළත් කරන්නට කටයුතු කළ යුතුය යන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමයි.

සීඩෝ කමිටුව කලින් කලට තම විෂය පථයට අදාළ කරුණු සම්බන්ධයෙන් තම අත්දැකීම් ඇසුරෙන් “සාමාන්‍ය නිර්දේශ” නිකුත් කරයි. 1997 දී දේශපාලන සහ පොදු කටයුතු සඳහා ස්ත්‍රී නියෝජනය සම්බන්ධව අංක 23 දරණ සාමාන්‍ය නිර්දේශය නිකුත් කරන ලදී. එහි සඳහන් කරුණුවලට අනුරූපව තම කමිටුව විසින් මින් පෙර අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව වෙත කරන ලද නිර්දේශ පිළිබඳවද සිහි කැඳවමින් ජාතික මට්ටමෙහි මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙහිද තීරණ ගැනීමේ ක්‍රියාවලියට ස්ත්‍රීන්ට සමානත්වයෙන් යුතුව සහ පූර්ණ ලෙස සහභාගි වීම ප්‍රවර්ධනය කරන්නා වූ තිරසර ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවන ලෙස සීඩෝ කමිටුව ශ්‍රී ලංකාවට නිර්දේශ කරයි.

දේශපාලන පක්ෂ විසින් පළාත් සභා සඳහා ඉදිරිපත් කරන නාම යෝජනා ලැයිස්තුවල 30% අවම කෝටාවක් ස්ත්‍රී අපේක්ෂිකාවන් වෙනුවෙන් වෙන්කිරීමේ යෝජනාව නිශ්චිත කාලරාමුවක් තුළ නීතිගත කරන බවට සහතික වන ලෙසත්, ජාතික පාර්ලිමේන්තුව සඳහා ද ස්ත්‍රී අපේක්ෂිකාවන් උදෙසා එවන් කෝටා ක්‍රමයක් ඇති කරන ලෙසත් කර ඇති නිර්දේශය ඒ අතරින් කැපී පෙනෙයි.

එමෙන්ම, ඉහත දැක්වු නිර්දේශය යථාර්ථයක් කර ගැනීම උදෙසා මෙය මහජන කතිකාවට ඇතුළු කිරීමෙහි වැදගත්කම ගැනද, ඒ සඳහා රජය සතු වගකීම ගැනද මෙම නිර්දේශයන්හි දක්වා ඇත. විශේෂයෙන්ම පවුල තුළත්, ජන සමාජය තුළත් ස්ත්‍රීන්ගේ භූමිකාවන් සහ පුරුෂයන්ගේ භූමිකාවන් පිළිබඳව වන වෙනස්කොට සැලකීම්වලට තුඩු දෙන “ඒකාකාරී ප්‍රතිරූප” තුරන් කරනු පිණිස, තීරණ ගැනීමේ ක්‍රියාවලියට ස්ත්‍රීන් සහභාගී වීමේ වැදගත්කම පිළිබඳව පොදු මහජනයා සහ දේශපාලන පක්ෂ ඉලක්ක කරගත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසද සීඩෝ කමිටුව රජයට නිර්දේශ කර ඇත.

ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සමරන මෙම අවස්ථාවෙහි මේ නූතන ඇපාතයිඞ් තත්ත්වය තුරන් කිරීම පිණිස අප විසින් ගත යුතු පියවර මෙනෙහි කිරීමට කාලය වෙයි. පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීමේ පනත මගින් ස්ත්‍රීන්ට අනිවාර්ය ලෙස 25% ක නියෝජනයක් සහතික කිරීම සඳහා පනවා ඇති නීති ප්‍රතිපාදනය ඉවත් කිරීමට හෝ එය ක්‍රියාත්මක නොවන තැනට වැඩ සැලසීමට දුෂ්ට උත්සාහයක් ක්‍රියාත්මක වන්නේ නම් එයට විරුද්ධ වීමට කෙනෙකු දෙවරක් සිතිය යුතු නැත.

“ස්ත්‍රීහුද මනුෂ්‍යයෝය” යන ප්‍රකාශය අර්ථවත් වන්නේ ස්ත්‍රීන් පමණක් නොව පුරුෂයන්ද ඒ වෙනුවෙන් කැපවුවහොත් පමණකි. ■

නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017-03-12 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි.

Recent Posts

Leave a Comment