මාර්තු 12 ව්‍යාපාරය පුරවැසියන් සොයා ගමන් අරඹයි…

Mar 13th, 2017 | By | Category: LEAD NEWS, TOP NEWS, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය, පුරවැසි සංවිධාන, මාර්තු 12 ව්‍යාපාරය, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරය යනු මේ වන විට ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජාතීන්, ආගම්, ස්ත්‍රී පුරුෂ හා වෙනත් යන සියලු ජනකොටස් අතර ප්‍රචලිත පුළුල් මහජන ව්‍යාපාරයකි.

150623190600March 12 Movement_ok
බහුතරයක් තරුණ ප්‍රජාව තුළ දේශපාලනය යනු සිය අකමැතිම වචනය බවට පරිවර්තනය වෙමින් පවතින කාලයක එහි ඇති වැදගත්කමත්, මගහැර යා නොහැකිකමත් පිළිබඳ අලුතින් සිතන්නට පෙළඹවූ මාර්තු 12 ව්‍යාපාරය හරහා ලාංකික සමාජයට අප්‍රසන්න වෙමින් පවතින වත්මන් දේශපාලන භාවිතාවන් අභියෝගයට ලක් කරනු වස් විශාල ප්‍රයත්නයක් ගෙන ඇත.

නුසුදුස්සන්, දූෂකයන්, දුරාචාරයේ යෙදෙන්නන් සහ යොදවන්නන්, කොමිස් සහ අල්ලස් ලබාගන්නා අයවලුන්, ජාතීන් හා ආගම් අතර භේද ඇතිකර ඡන්ද ලබාගන්නන් හට මැතිවරණ සඳහා නාමයෝජනා ලබා දෙමින් දිනන අස්සයින් පිටියට දැමීමේ සූදුව නිසා ඇතැම් දේශපාලන පක්ෂ විසින් ලාංකික සමාජයේ දේශපාලන ජන විඥානයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවන්නේය.

මෙම අනාගත අභියෝගයට මුහුණ දීමටත් මෙරට පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම උදෙසා දේශපාලන පක්ෂ මෙන්ම ඡන්ද දායකයාද හුරු පුරුදු කිරීම උදෙසාත් මාර්තු 12 ව්‍යාපාරය රට පුරා සැරිසරමින් ඡන්ද දායකයන් දැනුවත් කරමින් ජනතාව පෙළගැස්වීමට ගත් උත්සාහය ඉකුත් මැතිවරණයන්හිදී ඇතැම් දේශපාලන පක්ෂවල නාමයෝජනා ලබාදීමේදී සැලකිල්ලට සහ පිළිගැනීමට ලක්විය. එයින් නොනැවතී එකී දේශපාලන පක්ෂ මාර්තු 12 ව්‍යාපාරයට අත්සන් තබමින් ව්‍යාපාරයේ අරමුණු මත පිහිටා කටයුතු කරන්නට පොරොන්දු වූහ.

තවද ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය ප්‍රචාරක කටයුතු සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක ජනමාධ්‍යය ඔස්සේ පිළිගනිමින්, පුවත්පත් දැන්වීම්වලට යොදාගනිමින් අපේක්ෂකයන් ජනතාවට පොරොන්දු දෙන ලදී.

එම ඉදිරිගාමී පියවරයන් පිළිබඳ මාර්තු 12 ව්‍යාපාරය ලෙස අපට පූර්ණ තෘප්තිමත්භාවයක් ලැබීමට නොහැකි වුවද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇතැම් පුද්ගලයන්ට නාමයෝජනා නොලැබී ගියෙත්, එවැන්නන් ප්‍රතික්ෂේප වන අන්දමේ ජනමතයක් ගොඩනැඟුණෙත් මාර්තු 12 ව්‍යාපාරය වැඩි ජනතා පදනමක් මත ශක්තිමත්ව සමාජගත වීම නිසාවෙනි.

දැන් අප සිටින්නේ අද හෙට පළාත් පාලන මැතිවරණයකට මුහුණ දෙන්නට සූදානම් වෙමිනි. එම පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයා හෙට දිනයේ අපගේ මහජන නියෝජිතයා වනු ඇත. ඔහුගෙන් හෝ ඇයගෙන් අපගේ දෛනික ජීවිතයට එල්ල වන බලපෑම සුළුපටු නොවන්නේය. එනිසා ඔහු හෝ ඇය අපගේ මහජන නියෝජිතයා හෝ නියෝජිතවරිය ලෙස තෝරාගැනීමට හෝ නොගැනීමට දැන් අපට අවස්ථාව ලැබී ඇත. එහෙත් පුද්ගලයෙකුට මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාදීමේ බලය හා වගකීම ඇත්තේ හුදෙක්ම දේශපාලන පක්ෂවලටය. එම වගකීම මනා ලෙස දේශපාලන පක්ෂ ඉටු නොකළහොත් එයින් ඇතිවන අනිටු ප්‍රතිඵලයට මුහුණ දෙන්නට සිදුවන්නේද අපටමය.

එනිසා ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා අපේක්ෂකත්වය සුදුස්සන්ට පමණක් ලබාදෙන ලෙසත් එහිදී මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායකවලට අනුගතව එය සිදු කරන ලෙසත් දේශපාලන පක්ෂවලට බල කර සිටිය යුත්තේ පුරවැසි ඔබය. ඔබගේ දුවා දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා එහි වගකීම පැවරෙනුයේ ඡන්ද දායක ඔබ වෙතය.

ඒ සඳහා අප එක්විය යුතුය. බලපෑම් කණ්ඩායමක් ලෙස ක්‍රියාකළ යුතුය. පළාත් පාලන මැතිවරණ සඳහා අපේක්ෂකයන්ට නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්ෂවලට යහපත් බලපෑමක් කරන්නට පෙළගැසෙමු, එක්වෙමු, එක්වී සමාජයේ ප්‍රබල හඬක් නගමු.

මෙම සමාජ ප්‍රයත්නය හා එක්වන ඔබව එහි අරමුණු සහ වගකීම පිළිබඳව දැනුවත් කරමින් 2017 මාර්තු මස 13 වන දින කොළඹින් ආරම්භ කිරීමට නියමිත රටපුරා දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් සහ යෝජනා එකතු කරගැනීමේ දිස්ත්‍රික් සාකච්ඡාව සඳහා සහභාගීවීමටත් මාර්තු 12 ව්‍යාපාරය පුරවැසි ඔබට ආරාධනා කර සිටියි.■

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකා මනෝරි කලුගම්පිටිය විසින් 2017-03-12 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි.

Recent Posts

Tags: , ,

Leave a Comment