terminator සහ සිවිල් සමාජය

Mar 20th, 2017 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්, සුදර්ශන ගුණවර්ධන

මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ගැලවුම්කරු වීමට නියමිත ජෝන් කොනර් නම් දස හැවිරිදි ළමයා ඝාතනය කිරීම සඳහා අනාගතයේ සිට එවා ඇති දුෂ්ට ඝාතකයා වන, ද්‍රවමය වානේ වලින් සාදන ලද ටී 1000 නම් දියුණු යාන්ත්‍රික මිනිසා විනාශ කොට ජෝන් ආරක්ෂා කරගැනීම සඳහා වෙහෙසෙන්නේ අනාගතයේ සිටම එවා ඇති දියුණුවෙන් අඩු ටී 800 වර්ගයේ තවත් යාන්ත්‍රික මිනිසෙකි. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය හොලිවුඞ් චිත්‍රපටයක් වන “ටර්මිනේටර් 2- ජජ්මන්ට් ඬේ” චිත්‍රපටයේ එම වීරයාගේ චරිතය රඟපාන්නේ ආනෝල්ඞ් ෂ්වාසෙනෙගර් වන අතර දුෂ්ටයා ලෙස රඟපාන්නේ රොබර්ට් පැටි්‍රක්ය.  ආනෝල්ඞ් ෂ්වාසෙනෙගර් හෙවත් ටී 800 විසින් අවස්ථා ගණනාවකදීම ටී 1000 යාන්ත්‍රික මිනිසා වන රොබර්ට් පැටි්‍රක් විනාශ කළද, ද්‍රවමය වානේ වලින් නිර්මිත ඔහු නැවත පණ ලබා, “ප්‍රේම දඩයමේ” ශේෂා නම් වූ නාග කන්‍යාව මෙන් විවිධ වේශයන් ගෙන් ජෝන් කොනර්, ඔහුගේ මව වන සාරා කොනර් සහ ආරක්ෂකයා පසු පස ලුහුබැඳ එයි. 2015 ජනවාරි 08 වන දා ශ්‍රී ලාංකික ඡන්ද දායකයන් විසින් පරාජයට පත් කොට අගෝස්තු 17 වන දින එය නැවතත් ස්ථිර කරන ලද දූෂිත බලවේගයද ඒ අයුරින්ම නැවත නැවතත් පණ ලබා විවිධ වේශයන් ගනිමින් ජයග්‍රාහකයා හඹා එයි.

“ටර්මිනේටර්” චිත්‍රපටයේ දුෂ්ටයා විටෙක පොලිස් නිලධරයකු වශයෙන් පෙනී සිටින අතර එක අවස්ථාවකදී ඔහු ජෝන්ගේ මව වන සාරා කොනර්ගේ වේශයෙන් පවා පෙනී සිටියි. ශ්‍රී ලංකාවේ ජන බලය හමුවේ පරාජිත දූෂිත බලවේගයද විටෙක හම්බන්තොට ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට එරෙහිවන්නන් ලෙසද, තවත් විටෙක “සයිටම්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වූවන් ලෙසද, තවත් විටෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට එරෙහි වන්නන් ලෙසද විවිධ වේශයන් ගනිමින් ආණ්ඩුව පසුපස හඹා එයි.

වෙනස විසින් බිහි කරන ලද ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලැබ තිබුණද, එය තවමත් ක්‍රියාකරන්නේ තමා විසින් තමාට ආරක්ෂාව සපයා ගත නොහැකි ජෝන් කොනර් වැනි දස හැවිරිදි ළමයෙකු ලෙසය. එබැවින් ආණ්ඩුවට තවමත් ආරක්ෂාව සැපයීමට සිදුව ඇත්තේ ජනවාරි 08 වනදා වෙනස ඇති කිරීමට දායක වූ “සිවිල් සමාජය” ට මය. “ටර්මිනේටර්” චිත්‍රපටයේ ළමයාගේ ආරක්ෂකයා වන ටී 800 හෙවත් ෂ්වාසෙනෙගර්ට මුහුණ දීමට සිදුව ඇත්තේ තමන්ට වඩා ඉතා දියුණු, කැමැති කැමැති ආකාරයට වෙස් මාරු කිරීමේ හැකියාව ඇති ටී 1000 යන්ත්‍රයටය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජයටද මුහුණ දීමට සිදුව ඇත්තේද තමන්ට වඩා ඉතා ප්‍රබල වෙස් මාරු කරගැනීමේ හැකියාවෙන් යුක්ත ප්‍රතිවාදියෙකුටය.
මෙම සතුරු බලවේගය සෑම ප්‍රතිසංස්කරණයකටම එක හෙළා විරුද්ධ වෙයි. ඒ සෑම උත්සාහයකදීම ආණ්ඩුවෙහි දොස් දකින ඔවුන් කරන්නේ “මෙහෙම ගියොත් නම් අප හැම මකර කටේ” කියමින් මහජනයා බිය ගැන්වීමේ දේශපාලනයක නිරත වීමයි. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ජනාධිපති ධුරයට පත්වූ වහාම උතුරේ හමුදා කඳවුරුවලට එල් ටී ටී ඊ හිතවාදීන් විසින් ගල් ගසන බවට ප්‍රචාරය කළ මෙම බලවේගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත්වූ යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන්නට ආණ්ඩුව විසින් පියවර ගැනීමත්, ජීඑස්පී ප්ලස් වෙළෙඳ සහනය නැවත ලබා ගැනීම මගින් අපනයනයන් වර්ධනය කොට ආර්ථික වර්ධනය සඳහා පියවර ගැනීමත් හෙළා දකියි. ඒ සඳහා දේශපාලන අනුග්‍රහය මත පසුගිය දශක දෙකෙහිදී පෝෂණය වූ ව්‍යාපාරික මාධ්‍යයන් වෙතින්ද විශාල ප්‍රචාරයක් ලැබෙයි. මේ සියලු චෝදනා සඳහා ආණ්ඩුව නම් ළමයා විසින් පිළිතුරු ලබා නොදෙන තත්ත්වයක් තුළ එහි වගකීමද පැවරෙන්නේ සිරිත් පරිදි ආණ්ඩුවේ ආරක්ෂකයා වීමට සිදුව ඇති සිවිල් සමාජයටය.

මෙවන් සන්දර්භයක් තුළ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ උත්සාහයට එරෙහිව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් එල්ල වී ඇති විවේචනය හමුවේ, නොසැලී එයට ප්‍රබල පිළිතුරක් දෙන්නට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් වීම සිවිල් සමාජය පැත්තෙන් මඳ හෝ අස්වැසිල්ලට කරුණකි. එබැවින් විදේශ අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් “සමබිම” වෙත එවන ලද එකී පිළිතුර මෙවර “සමබිම ඉරිදා සංග්‍රහය” වෙතින් ඔබ වෙත ගෙන එන්නට අපි කටයුතු කළෙමු. ■

නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017-03-19 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි.

Recent Posts

Tags: , , , ,

Leave a Comment