දේශපාලනඥයාට කලින් සමාජය වෙනස් කරමු!

Apr 5th, 2017 | By | Category: LEAD NEWS, TOP NEWS, එම්.එෆ්.එෆ්.ඊ, කාලීන, දේශපාලන, නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය, පුරවැසි සංවිධාන, මාර්තු 12 ව්‍යාපාරය, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී සුදුස්සන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකත්වයට බලපෑමක් කිරීම අරමුණු කරගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 12 ව්‍යාපාරය පසුගිය 13 වැනිදාවේ කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඇරඹූ අතර අප්‍රේල් 7 වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන සමාප්ති උත්සවයෙන් නිමාවට පත්වේ.

මාර්තු 12 ව්‍යාපාරය ලංකාව වටා ගමන් කරමින් සිටින මේ මොහොතේ එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සමඟ සමබිම සංවාදගත විය.

මාර්තු 12 ව්‍යාපාරය නිල වශයෙන් සමාජගත වෙන්නේ 2015 වසරේ මාර්තු 12 වැනිදා. එහිදී සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ නාමයෝජනා ලබාදීමේදී සැලකිය යුතු අපේක්ෂක නිර්ණායක අටකට සිය එකඟත්වය පළ කරමින් ඔවුන් සිය අත්සන තැබුවා. ඉන් අනතුරුවයි මාර්තු 12 ප්‍රකාශනය බිහිවෙන්නේ. නමුත් මේ දේශපාලන පක්ෂ මේ ප්‍රකාශනයට අත්සන් තැබූ පමණින් එයට අනුගතව ක්‍රියාකරන්නේ නැහැ. ඒ නිසා එම නිර්ණායකවලට එකඟත්වය පළ කළ කණ්ඩායම සමඟ දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් යම් තෙරපුමක් ඇති කිරීම වෙනුවෙන් අපි කටයුතු කරන්න පටන් ගත්තා. මේ මොහොතේ අපි ක්‍රියාත්මක වෙන්නේ මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණයේදී නව මැතිවරණ ක්‍රමයක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු යන තේමාව යටතේ. එහිදී දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂකයන් තේරීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා ගැලපෙන සුදුසු දක්ෂතාවන් සහිත අපේක්ෂකයන් තේරීම සඳහා දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකත්වයට යම් බලපෑමක් කිරීමයි මෙම ක්‍රියාවලියේදී අපේ එක් අරමුණ වෙන්නේ. මේ ක්‍රමය සකස් වී තිබෙන්නේ ලැයිස්තු ක්‍රමයකට. එහිදී දේශපාලනඥයන් අසමත් වුණොත් සුදුස්සන් ලැයිස්තුවලට ගෙන ඒමට මැතිවරණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් නැහැ. මැතිවරණ පවත්වා ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීමට නම් ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරා පත් විය යුතුයි. අනෙක් කාරණය මේ ක්‍රියාවලියේදී ජනතාවට අවස්ථාව ලැබෙනවා තමන්ගේ ගමට සුදුසු නායකයා තෝරාපත් කරගන්න. ඡන්ද දායකයා පක්ෂ පාට බේදයකින් තොරව තමන්ගේ ගමට සුදුස්සා තෝරා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් මෙහෙයවීමත් මේ ගමනේ අරමුණක්. මාර්තු 13 වැනිදා මේ වැඩසටහන අපි කොළඹින් ඇරඹුවේ. මේ වන විට යාපනය, වව්නියාව, බණ්ඩාරවෙල, මහනුවර ආදි වශයෙන් දිස්ත්‍රික් දාහතකට වැඩි ප්‍රමාණයක ජනතාව දැනුවත් කරමින් අපි ගමන් කර තිබෙනවා. විවිධ ජාතීන් නියෝජනය කරන ජනතාවක් මේ ව්‍යාපරයේ අරමුණු සමඟ ඒකරාශි කරගැනීමට ඔවුන් ආමන්ත්‍රණය කිරීමට අපේ ව්‍යාපාරයට හැකියාව ලැබුණා. හැම දිස්ත්‍රික්කයකම ව්‍යාපාරික ප්‍රජාව, ආගමික නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති නායකයින් මේ ව්‍යාපාරය සමඟ ඒකරාශිව සහයෝගය දක්වනවා.  ඉස්පිරිතාලේදී ඇඳක් ගන්න, මළ ගෙදරට එන, මළගෙදරට මිනීපෙට්ටිය දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි අපට මෙයින් අවශ්‍ය වෙන්නේ.

ප්‍රාදේශීය දේශපාලනඥයන් මේ ව්‍යාපාරය වටා ඒකරාශී වීමක් දකින්න පුළුවන් වුවත් දිස්ත්‍රික්කවල සිටින ජාතික මට්ටමේ දේශපාලඥයන් මේ ව්‍යාපාරය සමඟ එකතුවීමේ යම් අඩුවක් තිබෙනවා. එසේ වුවත් සමස්ත ක්‍රියාවලිය තුළ ප්‍රාදේශිය දේශපාලන නායත්වයත් රාජ්‍ය නිලධාරීනුත් මාර්තු 12 ව්‍යාපාරය මේ ගෙන යන වැඩසටහන සඳහා දායකත්වය හොඳ මට්ටමකින් ලබා දෙනවා. ඒ වගේම මාර්තු 12 ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගත් ජාතික දේශපාලනයේ සිටින පිරිසත් මතවාදීමය වශයෙන් මේ මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරන මේ ක්‍රියාවලිය සමඟ සිටිනවා. ඔවුන් මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුය යන මතයේ සිටින පිරිසක්. නමුත් ප්‍රශ්නය ඔවුන්ට මේ පවතින දේශපාලන සංස්කෘතියෙන් ගැලවීමේ නොහැකියාවක් තිබෙනවා. තවමත් සමාජය ඒ තත්ත්වයට වෙනස් කිරීමේ හැකියාව අපිට ලැබිලා නැහැ. දේශපාලනඥයාට හැසිරෙන්න වෙලා තිබෙන්නේ ඒ සමාජ ඉල්ලුම සමඟ. මාර්තු 12 ව්‍යාපාරයේ මේ ව්‍යායාමය ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් කටයුතු කිරීම. එය අද හෙට නොවෙන්න පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් කටයුතු කිරීම මාර්තු 12 ව්‍යාපාරයේ අරමුණයි. ■

ජයනි අබේසේකර විසින් 2017.04.02 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහයට සකස් කරන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , ,

Leave a Comment