අලු‍ත් ව්‍යවස්ථාව හදන්න මෙච්චර අමාරු ඇයි?

Apr 18th, 2017 | By | Category: LEAD NEWS, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුද්ගල නිදහස, පුරවැසි සංවිධාන, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්, සුදර්ශන ගුණවර්ධන

ආණ්ඩුව බලයට පත්වූ පසු න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම තිබූ කරුණ වන්නේ අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම යැයි කිව හැකිය. 1970 බලයට පත්වූ සමගි පෙරමුණ ආණ්ඩුව 1971 අප්‍රේල් මාසයේ කැරැල්ලකට මුහුණ දීමෙන් පසුවද, 1972 මැයි මස 22 දින වන විට පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 1977 ජූලි මස බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1978 පෙබරවාරි 04 දින වන විට දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළේය. සමගි පෙරමුණු ආණ්ඩුවට 2/3ක බලයක් තිබුණු අතර එක්සත් ජාතික පක්ෂයට 5/6 ක බලයක් ලැබුණි. 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මුල් කොට ගත් සභාගයේ දේශපාලන සම්මුතිය අනුවය. පර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය කරන ලද එක්සත් ජාතික පක්ෂයද, කැරැල්ල තුළදී පරාජය කරන ලද ජනතා විමුක්ති පෙරමුණද, උතුරු-නැගෙනහිර දෙමළ දේශපාලනය නියෝජනය කළ ඉලංකෛ තමිළරසු පක්ෂයද සිටියේ එම සම්මුතියෙන් බැහැරවය. එමෙන්ම සමගි පෙරමුණේ දේශපාලන දෘෂ්ටිවාදය සහ එකී බලවේගවල දෘෂ්ටිවාද අතර එකඟතාවයක ඇතිකිරීම වනාහි කළ හැක්කක්ද නොවීය. නිදසුනක් ලෙස ‘සමගි පෙරමුණ’ රාජ්‍ය ධනවාදය මත පදනම් වූ අතර, එක්සත් ජාතික පක්ෂය වෙළෙඳපොළ ධනවාදය මත පදන විය. ඉලංකෛ තමිළරසු පක්ෂය ෆෙඩරල් ක්‍රමයක් මත පදනම්ව ස්වයං පාලන බලතල ඉල්ලා සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණ මෙන් ඒ හා සමාන්තර “විප්ලවවාදී”‍ සංවිධාන තෘප්තිමත් වූයේ සන්නද්ධ විප්ලවයකින් රාජ්‍ය බලය පැහැරගැනීමෙන් පසු නිර්ධන පාන්තික ආඥාදායකත්වයක් පිහිටුවීමෙනි.

1972 සම්පාදිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආයු කාලය වසර පහකට සීමා විය. ඉන් අනතුරුව බලයට පත් එක්සත් ජාතික පක්ෂය සිය 5/6 ක පාර්ලිමේන්තු බලය යොදා ගෙන දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළේය. 1977 මහ මැතිවරණයේදී ආසන 07 කට සීමා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එයින් බිඳී වෙන්ව ගොස් සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු නියෝජනය අහිමි කරගෙන සිටි සමසමජ- කොමියුනිස්ට් පක්ෂත්, කැරැල්ලට සම්බන්ධවීම නිසා සමගි පෙරමුණු ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත යටතේ නඩු අසා සිරගත කොට සිට පසුව එක්සත් ජාතික පක්ෂය විසින් සිරෙන් නිදහස් කරනු ලැබ දේශපාලන කටයුතු ආරම්භ කොට තිබුණු ජනතා විමුක්ති පෙරමුණත් මෙම නව සම්මුතියට ඇතුළු කරගැනීම නොකළ හැක්කක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වන වෙළෙඳපොළ ධනවාදය මත පදනම්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකී බලවේගයන්ගේ සම්මුතියක් ඇති කරගැනීම වනාහි නොකෙරෙන වෙදකමකි. එක්සත් ජාතික පක්ෂයට දෘෂ්ටිවාදීමය වශයෙන් එකඟතාවයක් ඇති කරගැනීමට හැකියාවක් තිබූ එකම බලවේගය උතුරු නැගෙනහිර නියෝජනය කරමින් පැමිණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණයි. එහෙත්, 1972 ජනරජ ව්‍යවස්ථාවට ප්‍රතිචාරයක් වශයෙන් වටුක්කෝට්ට සම්මේලනයෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ දෙමළ ලංකාවක් හෙවත් තමිළීළාමයක් වෙනුවෙන් සටන් කරන බවට දේශපාලන ස්ථාවරයක් ගෙන ඒ මත මහ මැතිවරණයට ඉදිරිපත් වී ජය ලබා පාර්ලිමේන්තුවට පැමිණි දෙමළ නියෝජිතයන්ට සහ එක්සත් ජාතික පක්ෂයට ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා පොදු එකඟතාවයකට හෙවත් සම්මුතියකට පැමිණීමට ඉඩක් නොතිබිණි.

එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කළේ දිස්ත්‍රික්කය මත පදනම්ව දේශපාලන බලය විමධ්‍යගත කිරීමේ වැඩසටහනකි. ඒ නයින් 1980 දී ඉදිරිපත් කළ දිස්ත්‍රික් සංවර්ධන සභා දෙමළ දේශපාලනයේ අවම ඉල්ලීමට වඩා බොහෝ සෙයින් අඩු වූවක් විය. දකුණේදී සංවර්ධන සභා මැතිවරණයට තරග කරන්නට ඉදිරිපත්වූ විපක්ෂ කණ්ඩායම වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමසමාජ- කොමියුනිස්ට් ඇතුළු වමේ පක්ෂ ඡන්දය වර්ජනය කළෝය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඡන්දයට ඉදිරිපත් වුවත්, උතුරේ නැගී එමින් පැවතුණු සටන්කාමී සංවිධාන ඡන්දය වර්ජනය කරන ලෙස බලපෑම් කළෝය.

1982 දී ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හතරක් සම්පූර්ණ වීමත් සමගම පළමු ජනාධිපතිවරණය පවත්වා නව රජයේ ජනප්‍රියත්වය උරගා බලන්නට එක්සත් ජාතික පක්ෂය තීරණය කළේය. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ නැගී එන වාමාංශික බලවේගයක් වශයෙන් වෙනම තරග කළ අතර, බොක්සිං න්‍යාය හෙවත්, දුර්වල ප්‍රතිවාදියා පළමුව බිම හෙළා ඉන් පසු ප්‍රධාන ප්‍රතිවාදියාට පහර දීමේ න්‍යාය අනුව ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිරිමාවෝ බණ්ඩාරනායක පිල සහ මෛත්‍රීපාල සේනානායක පිල ලෙස දෙකඩ වී තිබිණි. සමසමාජ පක්ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා වෙනම අපේක්ෂකයෙකු ලෙස තරග කළේය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඡන්දයට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළේය. බෙදුණු විපක්ෂයේ වාසිය ලබා ගත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

සුදර්ශන ගුණවර්ධන විසින්   2017.04.09 වන දින රාවය සමබිම අතිරේකයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , ,

Leave a Comment