ශ්‍රී ලංකාවේ හැමදාම කුණු වෙන කුණු ප්‍රශ්නය

Apr 25th, 2017 | By | Category: LEAD NEWS, උපුටා ගැනිම්, කාලීන, විශේෂාංග

කුණු කන්දක්‌ නිසා ශ්‍රී ලංකාවම ගඳ ගස්‌වන කුණු ප්‍රශ්නය දැන් දියත් වී තිබෙන බව හැම කෙනාටම දැනෙන්නට වී තිබීම ලොකු දෙයකි. කුණු නිසා ශ්‍රී ලංකාව නව මාවතකට පිවිසීමට හේතුවී ඇති බව පෙනේ. කුණු හෙවත් අපද්‍රව්‍ය ආසියාවේ ප්‍රධාන නගරවලට තවමත් බලපාන විශාල ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ඒ සඳහා ඔවුහු විධිමත් ක්‍රමවේදයක්‌ අනුගමනය නොකිරීම නිසාය. ඇත්ත වශයෙන්ම කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන නගරවල හෙවත් දිවයින පුරාම කුණු ඇති කරගනු ලබනුයේද මිනිසා විසින්ම මිස වෙන අයකු විසින් නොවේ.

දිනකට ටොන් 850 ක පමණ ප්‍රමාණයක්‌ මීතොටමුල්ලට ගෙනගොස්‌ ගොඩගැසීම නිසා පසුගියදා මහා ව්‍යසනයක්‌ සිදුවූ අතර මේ වන විට වටිනා මිනිස්‌ ජීවිත 30 කටත් අධික ප්‍රමාණයක්‌ රටට අකාලයේ අහිමි විය. කුණු කන්දකට යටවී තම ජීවිත අහිමිවීම ඇත්තෙන්ම අතිශය ශෝචනීය කරුණකි. නැතිවූ නිවාස දේපළ ඇතුළු ද්‍රව්‍යයන් නැවත ඇති කර ගැනීමට හැකි වුවද අහිමි වූ ජීවිත කිසි දිනක නැවත ලබාගත නොහැකිය.

කොළඹට කුණු ගෙනෙනුයේ මීතොටමුල්ලේ කුණු කන්දට යටවූ මිනිසුන් හෝ එහි ජීවත් වන අය නොවේ. ලංකාව පුරාම වෙසෙන අය කොළඹට පැමිණීමත් සමඟ ඔවුහු කොළඹට කුණු රැගෙන එති. එසේම කොළඹට ගෙනෙන සියුලම නිෂ්පාදනයන් සමඟද කුණු ගෙන එති. එම කුණු කොළඹ ගොඩ ගැසෙන අතර නගරය පිරිසිදු කිරීම් වස්‌ එහි කුණු ගෙන ගොස්‌ තව තැනක ගොඩ ගසති. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මීතොටමුල්ල කුණු කන්දක්‌ ගොඩගැසී කලින් ශ්‍රී ලංගම ඩිපෝවකට ප්‍ර්‍රසිද්ධ වී තිබුණ මීතොටමුල්ල ලංකාවේ විශාල කුණු කන්දක්‌ බවට පත්වී ප්‍රසිද්ධ විය.

එම ප්‍රදේශයේ මෙම කුණු කන්ද දේශපාලකයන්ට පාරාදීසයක්‌ වුණේ මැතිවරණ කාලයේ දී කුණු කන්ද ඉවත් කරන බවට මහජනතාවට පොරොන්දු දී ඡන්දය ලබාගැනීම පිණිසය. කුණු කන්ද මේ දක්‌වා එහි ඡන්දදායකයාට බොරු කන්දක්‌ බවට පත්වූයේ හැම දේශපාලකයාම එය මහා ඡන්ද ගුණ්‌ඩුවක්‌ ලෙස සලකා ගැනීමෙනි. මීතොටමුල්ල ජනතාව හෙවත් ඡන්දදායකයා හැමදාම කුණු කන්දටයි බොරු කන්දටයි දෙකටම හසුවිය. ඡන්ද අපේක්‍ෂකයා කුණු කන්දක්‌ නිසා ජයග්‍රහණය කොට දියවන්නා ඔය මාළිගාවට පිවිසෙයි. ජනතාව හැමදාම කුණු කන්දට මැදිවෙයි.

ශ්‍රී ලංකාව නිදහස ලබා හැත්තෑ වැනි වසරට එළඹෙන විටත් මේ දක්‌වාම රටක දියුණුවට අත්‍යවශ්‍යම කරුණු ටික ඉටුකර ගැනීමට හැම රජයක්‌ම අපොහොසත් විය. සැලසුමක්‌ නැති කොළඹ නගරයට දින දෙකක්‌ නොකඩවා වැස්‌සොත් කාණු උතුරා ගොස්‌ නගරය අපිරිසිදු ජලයෙන් යටවේ. කොළඹ නගරය පමණක්‌ නොවේ ලංකාවේ බොහෝ ගම් දනව් නගරයන්හි විදුලිය ඇනහිටී. නගරවලට එකතුවෙන කුණුවලට විසඳුමක්‌ ලබාදීමට බැරිවිය. මාස කිහියක්‌ වැසි නොවැස්‌සොත් විදුලි බලය කපා හැරේ. 1977 එදා ඡේ.ආර්. ගෙ ආණ්‌ඩුව බලයට පත්වී ලක්‌දිව වික්‌ටෝරියා ජලාශය ඇතුළු පංච මහා ජලාශයන් ආරම්භ කළේ ලංකාවට පමණක්‌ නොව ඉන්දියාවටත් විදුලි බලය ලබාදීමට හැකි බව පවසමිනි. ඉන්දියාවට කෙසේ වෙතත් සම්පූර්ණ ලංකාවටම විදුලිය අඛණ්‌ඩව සැපයීමට අසමත් වී ඇති බව අප අමුතුවෙන් කිව යුතු නොවේ. අද වන තුරුත් දිගු පෑවිල්ලක්‌ ආවොත් රටම අඳුරේ බව රහසක්‌ නොවේ.

දෙමාපියන් සිටියට දරුවන් නැත. පන්සල් තිබුණට හිමිවරු නැත. පාසල් තිබුණට සිසුන් නැත. රෝහල් තිබුණට වෛද්‍යවරු නැත. කුණු තිබුණට ඒවා ඉවත් කර ගැනීමට විසඳුමක්‌ නැත. ලංකාවේ හැම පුද්ගලයෙක්‌ම ලක්‍ෂ 4 ක්‌ ණය වී ඇත. මෙබඳු තත්ත්වයන් යටතේ ලෝක සම්මාන ලබන මුදල් ඇමැතිවරු, ලෝක සම්මාන ලබන සෞඛ්‍ය ඇමැතිවරුන්ගෙන්ද අඩුවක්‌ නැත. මේ අතර තව පිරිසක්‌ ලෝකෙ සංවර්ධිත හොඳම රට ශ්‍රී ලංකාව යෑයි පුරසාරම් දොඩවති.

ඒ කෙසේ වුවද ලංකාවේ වැඩිම කුණු එකතු වන කොළඹ නගරයේ කුණුවලට ස්‌ථිර විසඳුමක අවශ්‍යතාව සඳහා ඉක්‌මනින්ම කටයුතු සැලසීම අවශ්‍ය වන්නේ එය ජාතික ප්‍රශ්නයක්‌ ලෙස සලකා ගැනීමෙනි. පසුගියදා මීතොටමුල්ලේ සිදුවූ මහා විපත මුල් කොටගෙන මෙතෙක්‌ මීතොටමුල්ලට රැගෙන ගිය කොළඹ කුණු කන්දරාව කැස්‌බෑව අධිකරණ බල ප්‍රදේශයට අයත් කරදියානට ගෙන ගොස්‌ දැමීමට අධිකරණ අවසරයක්‌ ලැබී ඇති බව මාධ්‍යවල පළවිය. කරදියානට හෝ කදිරානට කුණු ගෙන ගොස්‌ නැවතත් ගොඩ ගැසීමෙන් එහිද කුණු කන්දක්‌ බවට පත්වී මෙවන් විපතක්‌ හෝ ඊටත් වැඩි බරපතළ ව්‍යසනයකට මහජනතාවට මුහුණදීමට සිදු නොවේ යෑයි කාට නම් කිව හැකිද?

කුණු නිසා සමාජ තුළ විවිධ බෝවන රෝග පැතිරීමේ අවදානමක්‌ ඇතිවීම, පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ වීම ආදිය අනිවාර්යයෙන්ම සිදුවේ. අප අතින්ම රට තුළ කුණු ගොඩ ගැසෙන බව අප විසින්ම අමතක කළ යුතු නොවේ. ජනතාවගේ වැරැදි කවදාවත් ඔවුන් විසින් නිවැරැදි කරගන්නා සිරිතක්‌ අප තුළ දක්‌නට ලැබෙන්නේ කලාතුරකිනි. එම නිසා වැරැදි නිවැරැදි කර ගැනීම ළමා කාලයේ සිටම සෑම පුද්ගලයකුටම ඉගැන්විය යුතු වේ.

ජර්මනියේ නගරවල පමණක්‌ නොව ජනතාව සැරිසරණ කැලෑවල පවා කුණු කූඩ සවිකර ඇත්තේ තමන් භාවිත කරන ද්‍රව්‍යයන්හි අපද්‍රව්‍ය බහාලීම සඳහා ය. මඟතොටදී ටොෆියක්‌ කටට දා ගන්නා කුඩා දරුවාට එය ඔතා ඇති කොළය බිමට දැමීමට හෝ ඉවතට විසි කිරීම තහනම් කරන්නේ දෙමාපියන් විසිනි. එය ළඟම ඇති කුණු භාජනයට දැමීමට ඔවුහු ළමයින්ට කියා දෙති. එසේ කුණු භාජනයක්‌ නොවුණහොත් එම ටොෆි කොළය දරුවා සිය කමිසයේ හෝ කලිසමේ ඇති සාක්‌කුවට දා ගත යුතු වේ. එය සිය නිවස තෙක්‌ එසේ රැගෙන විත් නිවසෙහි ඇති කුණු දමන භාජනයට දැමිය යුතු වේ. එවැනි සුළු දෙයක සිට දෙමාපියන් දරුවන්ට, පරිසරයට ආදරය කරන හැටි එය සුරකින හැටි කියා දේ.

යුරෝපා මහාද්වීපය රටවල් 27 කින් යුතු වේ. එයින් පිරිසිදුම රටවල් දෙක වනුයේ ජර්මනිය සහ ස්‌විට්‌සර්ලන්තය යෑයි පැවසුවහොත් එය නිවැරැදිය. එයට හේතුව වී ඇත්තේ එම ජාතීන් දෙගොල්ලන්ගේම ලොකු කුඩා හැම කෙනෙක්‌ම පරිසරයට ආදරය කරමින් එය සුරැකීමට පුරුදුවී තිබීමය. සෑම බස්‌ නැවතුම්පළකම, දුම්රියපළකම අපද්‍රව්‍ය දැමීමට කුණු බඳුනකි. සිගරැට්‌ අළු කඩා දැමීමට එහිම සවිකොට ඇති වෙනම බඳුනකි. බියර් වැනි හිස්‌ බෝතල් ආරක්‌ෂා සහිතව රඳවා තැබීමට සවිකරන ලද රඳවනයකි. සතියකට දින කිහිපයක්‌ නගර සභාවෙන් එම රඳවනයන් තුළ තිබෙන අපද්‍රව්‍ය රැස්‌ කරති. පාරෙහි යම් හෙයකින් හෝ වැටී තිබෙන කඩදාසි කැබලි රැස්‌කරන සේවකයෙකි. සුනඛයන් කර ඇති මළපහ යන්ත්‍රානුසාරයෙන් රැස්‌කරන අතර ඉන් බයෝ ගෑස්‌ නිෂ්පාදනය කරති. අනතුරුව යන්ත්‍රානුසාරයෙන් පාරවල් අතුගා පිරිසිදු කිරීමෙන් යන්ත්‍රානුසාරයෙන්ම එම පාරවල් සෝදා පිරිසිදු කරති. මේ ජනතාවගෙන් නගර සභාව අය කරගන්නා බදුවලට රජයේ නාගරික සේවාවේ ක්‍රියාකාරිත්වයයි.

රටවල් 165 කින් පමණ බර්ලිනයට පැමිණ සිටින සියලු ජනතාවගේ සහ ජර්මන් ජාතිකයන්ගේ කුණු අදින්නේ ජර්මන් ජාතිකයන්ම වීම විශේෂයකි. ඒ සඳහා පිටරැටියෙක්‌ යොදාගතහොත් එම කාර්යය ඔවුන් අතින් නිසියාකාරව සිදු නොවීම එයට හේතුව වේ. නිවෙස්‌වලින් ඉවත් කරනු ලබන අපද්‍රව්‍ය වෙන වෙනම බඳුන්වලට දැමිය යුතු වේ. ඒ අනුව බෝතල් වීදුරු, කඩදාසි ඝන කඩදාසි, කාඩ්බෝඩ්, දැව නිෂ්පාදන, ප්ලාස්‌ටික්‌ බඳුන්, ඇළුමිනියම් ද්‍රව්‍ය, එළවළු, පලතුරු, ආහාර ද්‍රව්‍ය, මල් සහ පැළෑටි ජාතීන් එක බඳුනකටද ආදී වශයෙන් අපද්‍රව්‍ය වෙන වෙනම දැමිය යුතු වේ. ඒවා සතියකට දෙවතාවක්‌ විවිධ සමාගම්වලින් රැස්‌ කරති. එසේ රැස්‌ කරගෙන අපද්‍රව්‍ය යන්ත්‍රානුසාරයෙන් තෝරා බේරා වෙන්කරන අතර ඒවායෙන් නැවත ප්‍රතිජීවීකරණ වශයෙන් නිෂ්පාදනයන් ඇතිකොට නැවතත් වෙළෙඳපොළටම එවති. උදාහරණයක්‌ ලෙස පරණ කඩදාසි, පත්තර ආදිය යොදාගෙන ටොයිලට්‌ පේපර්ස්‌, අත් පිස්‌නා කඩදාසි, කාඩ්බෝඩ් සහ කාඩ්බෝඩ් පෙට්‌ටිද, වීදුරු බෝතල් පිරිසිදුකොට නැවත ප්‍රයෝජනයට සුදුසු පරිදි සකසා සමාගම්වලට විකිණීමද සිදු කිරීම දැක්‌විය හැකිය.

එසේම හිස්‌ ප්ලාස්‌ටික්‌ බෝතල් සහ හිස්‌ වීදුරු බෝතල් ආපසු මිලදී ගැනීම සඳහා වෙළෙඳ මධ්‍යස්‌ථානවල යන්ත්‍ර සවිකර ඇත. එබඳු යන්ත්‍රයකට බෝතල් දැමීමෙන් එක බොත්තමක්‌ එබීමෙන් තමන් දැමූ හිස්‌ බඳුන්වලට ගෙවනු ලබන මුදල රිසිට්‌ පතකින් සියතට ලැබේ. එම රිසිට්‌පත ඉදිරිපත්කොට එම වෙළෙඳ මධ්‍යස්‌ථානයෙන් අවශ්‍ය නම් ඒ මුදලට අදාළව වෙළෙඳ භාණ්‌ඩ මිලදීගත හැකිය.

බොහෝ දුප්පත් මිනිසුන් පමණක්‌ නොව පොහොසත් මිනිසුන්ද එබඳු හිස්‌ ප්ලාස්‌ටික්‌ හා බියර් බෝතල් වැනි බෝතල් එකතුකොට විකුණා මුදල් උපයති. දිනක්‌ හොඳට හැඳ පැළඳ ගත් තරුණ ජෝඩුවක්‌ එබඳු හිස්‌ බෝතල් රැස්‌ කරමින් ඒවා මලුවලට දාගෙන ඔසවාගෙන මා ඉදිරියෙන් ගමන් කරනු මට පෙණිනි. ඔවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පාරේ ගමන් කළ මට දැකගත හැකිවූයේ ඔවුන් ටික දුරක්‌ එසේ හිස්‌ බෝතල් රැස්‌කර ගෙන ගොස්‌ ඔවුන්ගේම නවීන පන්නයේ ජීප් රථයේ පිටුපස දොර විවරකොට එම බෝතල් පිරි මලු ජීප් රියට නංවාගෙන විකිණීම පිණිස පියාසර කරන අයුරුය. කෙසේ වුවද මෙහි වෙසෙන බොහෝ පිටරැටියන් ජර්මන් ජාතිකයන් මෙන් සිය අපද්‍රව්‍ය තෝරා බේරා වෙන වෙනම එම බහාලුම්වලට දමන බවක්‌ දක්‌නා නොලැබේ. එසේ වුවද යුරෝපයේ පවත්නා තාක්‍ෂණික දියුණුව නිසා එම අපද්‍රව්‍ය යන්ත්‍රානුසාරයෙන් තෝරා බේරා ගනිති.

වරෙක මගේ නෙත ගැටුණේ නගරයේ ආපන ශාලාවක්‌ ඉදිරියේ සිගරැට්‌ අළු කැඩීම සඳහා තබා තිබුණ තරමක්‌ උස්‌වූද වර්ණවත් වූද විශාල ප්‍රමාණයේ අළු බඳුනකි. එහි ගැඩවිළුන් හා පණුවන් ඇඳ තිබූ අතර එහි “ඔබලාගේ ගිනි අළු මගේ ඇඟ මතට දමන්න එපා” යනුවෙන් කාරුණික වදනක්‌ ලියා තිබිණි. මෙබඳු සංවේදී වදන් දකින දුම් බොන්නෙකුට සිගරැට්‌ටුවෙහි අළු ටික බිමට කැඩීමට සිත් නොදේ.

ජර්මනියේ අගනුවර වන බර්ලින් නුවර පාරවල් ගණනින් 27000 කි. ඒ දෙපස වෙසෙන ජනගහනය ලක්‍ෂ 45 කි. සෑම නිවසකටම හා මහල් නිවාසයකටම නගර සභාවේ සේවකයන්ට ළඟාවිය හැකි පරිදි මාවත් ඉදිකොට ඇත. සෑම නිවසකින්ම අපද්‍රව්‍ය ඉවත් කිරීම වෙනුවෙන් සහ පාරවල් පිරිසිදු කිරීම් සහ කාර්යාල කටයුතුද ඇතුළත්ව නගර සභාවෙහි යෙදී සිටින සේවක පිරිස 5430 කි.

දිනකට ඔවුන් අදින ජනතාවගේ කුණු ප්‍රමාණය ටොන් 2300 කි. එය වසරකට ටොන් 8,39000 කි. එම අපද්‍රව්‍යවලින් දිනකට බයෝ ටොන් 190 ක්‌ද, වසරකට ටොන් 69350 ක්‌ ලෙසද තෝරා බේරාගෙන බයෝ ගෑස්‌ නිෂ්පාදනය කරති. වසරකට ඔවුන් නගරය පුරා කිලෝමීටර් ලක්‌ෂ 12 ක්‌ සංචාරය කරමින් නගරය පිරිසිදු කරති. නගර සභාව ජනතාවගේ සහ රජයේ ආයතනවල කුණු ඇදීම වෙනුවෙන් වසරකට යුරෝ මිලියන 510 ක පමණ ප්‍රමාණයක මුදල් උපයති.

මේ සියල්ල ලංකාවේ සිදුකළ නොහැකි වුවද කුණු ප්‍රශ්නයට ජර්මනිය සහ යුරෝපයේ අනෙකුත් රටවල මෙන් හෝ ජපානය වැනි රටවල නගරවල අපද්‍රව්‍ය රටේ යහපතටම යොදා ගැනීමේ ක්‍රම භාවිත කරමින් අනෙකුත් කුණු ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම පසෙක තබා සත්‍ය වශයෙන්ම ඇති කුණු ප්‍රශ්නයට මෙබඳු කුණු දහනය කිරීමේ වැඩපිළිවෙළක්‌ දියත්කොට තිරසර ගමනකට පිළියම් යෙදීම රට කරවන අයගේ යුතුකම වේ.

අක්‌කර දහස්‌ ගණනක්‌ යට කරගෙන ඇති ටොන් දහස්‌ ගණනක කුණු කන්දක්‌ ඊයේ පෙරේදා ඇති වූ දෙයක්‌ නොවන බවද පසුගිය රජයවල් යටතේද මේ කුණු කන්ද ගොඩගැසුන බවද කිසිවකු අමතක කළ යුතු නොවේ. මෙයට හේතු වූයේ එදා මෙදාතුර කුණුවලට ස්‌ථිරසාර විසඳුමක්‌ නොලැබීමය.

එහෙයින් මැති ඇමැතිවරුන් සඳහා නවතම මෝටර් රථ ගෙන්වීමට යන කෝටි ගණන් මුදල්ද නගර සංවර්ධනය සඳහා යොදවන සියලු මුදල්ද යොදවා කුණු ප්‍රශ්නයට ස්‌ථිර සාර ජර්මනිය, ජපානය වැනි රටවල තිබෙන මෙබඳු වැඩපිළිවෙළවල් දියත් කිරීම රටක ප්‍රගතියට අත්‍යවශ්‍යම කරුණක්‌ බව දේශපාලකයන් සිහියට ගෙන කටයුතු කිරීම යාවත්කාලීන වශයෙන් වැදගත් සේම එය කුණු ප්‍රශ්නයට හොඳම සහ ස්‌ථිරසාර පිළියමද වේ. එසේ නොවුණහොත් ඡන්ද කාලයකදී මීතොටමුල්ලට යන්න බැරිවා සේම අනාගතයේ කරදියාන පෙදෙසටද එසේත් නැත්නම් කුණු ගොඩගසන පෙදෙසකටද ඔවුනට යන්නට බැරි වනවාට සැක නැත.

තැන් තැන්වල කුණු කඳු ඉදිකොට කුණු ප්‍රශ්නයට විසඳුම් සෙවීම අතීසාරයට අමුඩ ගැසීමකි. කුණු කඳු බවට පත් කිරීමෙන් ඒවාද නායයැම වැළැක්‌විය නොහැකි බව කුණු කඳු ගසන අය මීතොටමුල්ල කුණු කන්ද නායයැමෙන්වත් ආදර්ශයට නොගන්නා තෙක්‌ කුණු ප්‍රශ්නයට ස්‌ථිරසාර විසඳුමක්‌ නොලැබෙන බව නම් සහතිකය.

රඹුක්‌වැල්ලේ දේවානන්ද හිමි විසින් (බර්ලින් – ජර්මනිය) දිවයින පුවත්පතට ලියන ලද ලිපියකි.

 

Recent Posts

Tags: ,

Leave a Comment