අලු‍ත් ව්‍යවස්ථාව හදන්න මෙච්චර අමාරු ඇයි? _ 2

Apr 28th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපන, ආර්ථික, කාලීන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමබිම ඉරිදා අතිරේකය, සුදර්ශන ගුණවර්ධන

චන්ද්‍රිකා, මහින්ද ජේ.ආර්ගේ පාරේ ගිය හැටි

අප්‍රේල් 09 ඉරිදා‘සමබිම’ සමග සබැඳේ..

1982 දී එක්සත් ජාතික පක්ෂය ජනමත විචාරණයක් පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයේ ජනවරම මත පදනම්ව පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකින් දීර්ඝ කරගැනීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය 2/3 ක විශේෂ බහුතර බලය ඒ වන විට ආණ්ඩුවට තිබුණත්, 2 වන ජනරජ ව්‍යවස්ථාව මගින් ඇති කළ සමානුපාතික නියෝජන ක්‍රමය මත පවත්වන පාර්ලිමේන්තු ඡන්දයකදී එම ශක්තිය කිසිදු පක්ෂකට තනිව ලබා ගත නොහැකි වීම නිසා ආණ්ඩුව විසින් ඒ වන විට ක්‍රියත්මක කරමින් සිටි වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට එරෙහි ජනප්‍රියවාදී බලවේගයක් පාර්ලිමේන්තුව තුළට ඇතුළුවීමෙන් ආණ්ඩුවෙහි ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල වීම වැළැක්වීම එහි අරමුණ වූවා විය හැකිය. විශේෂයෙන්ම විධායක ජනාධිපතිවරයකුට ධුරය දැරිය හැකි වාර ගණන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වාර දෙකකට සීමා කොට ඇති තත්ත්වයක් තුළ, ජේ. ආර්. ජයවර්ධන මහතාට නැවත වරක් තරග කරන්නට අවකාශ නොමැති තත්ත්වයක් තුළ ඔහු දුර්වල ජනාධිපතිවරයෙකු බවට පත් වන අතර, පක්ෂය තුළ දෙවන පෙළ නායකයන් අතර ඇති විය හැකි බල අරගල විසින් ආණ්ඩුවේ ආධිපත්‍යය දුර්වල වී, පාර්ලිමේන්තුව බල අරගලයේ මර්මස්ථානයක් විය හැකිව තිබිණි. දෙවන වරට ජනාධිපති ධුරයට පත්වූ ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙහි මෙම පියවරට සමාන උත්සාහයක් 2000 වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කරගැනීමට උත්සාහ කරමින් 1999 වසරේදී දෙවන වරට විධායක ජනාධිපති ධුරයට පත්වූ චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය විසින් දරන ලදී. එහි බලය බෙදා හදා ගැනීමේ විධිවිධානද, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන මෙන්ම පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත් කරගන්නා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම උදෙසා වන යෝජනාද ඇතුළත් විය. එහෙත් විපක්ෂයේ සහය ඇතිව එම කෙටුම්පත සම්මත කරගැනීම උදෙසා චන්ද්‍රිකා විසින් ගන්නා ලද උත්සාහය අසාර්ථක වීම නිසා ඇයගේ දෙවන ධුර කාලය කිසිදු ඵලදායී ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට නොහැකි වූ අසාර්ථක කාල සීමාවක් බවට පත් විය. 2010 වසරේදී දෙවන ධුර කාලය සඳහා පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ද කුප්‍රකට 19 වන සංශෝධනය මගින් සිදු කරන ලද්දේ අනාගත ප්‍රතිසංස්කරණ උදෙසා නිර්බාධී බලයක් තමා වෙත රඳවා ගැනීම වෙනුවෙන් විය හැකි අතර එය වනාහිද තම පූර්වගාමී ජනාධිපතිවරුන් ගත් පියවර අනුව යාමක් ලෙස සැලකිය හැකිය.

මෙම තත්ත්වය දෙස ආපසු හැරී බැලීමේදී සිංහල කේන්ද්‍රීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධක රාජ්‍යය දුර්වල කරමින් වෙළෙඳපොළ ශක්තිමත් කරන සහ රෙගුලාසිහරණය කරන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කොහොමත් ජනප්‍රියතාවය හීන කරගෙන සිටින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, සදාචාර සම්පන්න නොවන ආකාරයට වුවද ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තුව තුළ තමාට ඇති විශේෂ බහුතරය ආරක්ෂා කරගැනීමට ගත් පියවර පසුපස දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ දේශපාලන එකඟතාවයකට පැමිණ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ගෙන ජනවාර්ගික සාමය ඇතිකිරීම සඳහා අවශ්‍ය බලය රඳවා ගැනීම ද නොතිබුණේ යැයි කිව නොහැකිය. සමස්ත විපක්ෂයේ මෙන්ම සිවිල් සමාජ බලවේගයන්හිද විරෝධය මධ්‍යයේ වුවද ජනමත විචාරණයෙන් පහසු ජයක් ලබා ගැනීමට ආණ්ඩුව සමත් විය.

එහෙත්, 1983 දී සිදුවූ දෛවෝපගත සිදුවීමක් නිසා වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම මෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට ඇති ඉඩ ප්‍රස්ථාවන්ටද බාධා ඇති විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සම්මේලනය කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව උතුරේ දෙමළ සටන්කාමී කණ්ඩායම් විසින් සිදු කළ බිම් බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය වීමත් සමගම රට පුරා දෙමළ විරෝධී ජාති භේදවාදී කළ කෝලාහල ඇති වූ අතර, එය මැඩ පැවැත්වීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් විශාල පසුබෑමක් ඇති විය. කෝලාහලය මැඩ පැවැත්වීමට ආණ්ඩුවෙ ආරක්ෂක අංශ පියවර නොගත් අතර, සමහර අවස්ථාවල ඔවුන් විසින් ඇවිළෙන ගින්නට පිදුරු දැමූ බවද වාර්තා විය. මේ සියල්ලටම වඩා එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති ව්‍යාපාරය වන ජාතික සේවක සංගමයෙහි නායකයා ව සිටි, ප්‍රකට දෙමළ විරෝධී උද්ඝෝෂකයෙකු වන සිරිල් මැතිව මහතා මෙම කෝලාහල පිටුපස සිටි බවට වන චෝදනාව අතිශය බරපතළ විය. රට බෙදීම වෙනුවෙන් උද්ඝෝෂණය කිරීම නොකරන බවට ප්‍රතිඥාවක් දීමට මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රධාන රාජ්‍ය සේවකයන්ට බලකෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 6 වන සංශෝධනය ගෙන ඒමත්, ඒ අනුව දිවුරුම් දීමට එකඟ නොවූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙහි නියෝජිතයන් පාර්ලිමේන්තුවෙන් පිටමං වීමත් හේතුවෙන් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් උදෙසා සාකච්ඡා කිරීමට තිබූ අවකාශය පටු වී ගියේය.

කෙසේ වුවද, සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා දේශපාලන විසඳුමක් පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව කටයුතු ආරම්භ කළේය. 1984 ජනවාරි සිට දෙසැම්බර් දක්වා වසරක කාලයක් පුරා පැවැත්වූ වටමේස සාකච්ඡාව හෙවත් සර්ව පාක්ෂික සමුළුවට මේ වන විට පාර්ලිමේන්තුවෙන් ස්වයං පිටුවහල්වීමකට ලක්ව සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාවන්ට සහභාගි කරගැනීමට ආණ්ඩුවට හැකි නොවීය. කෙසේ වුවද මෙහිදී තම වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි දෘෂ්ටිවාදීමය සතුරන් වූ ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටි විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයත්, නව සමසමාජ පක්ෂයත් සර්ව පාක්ෂික සමුළු වැඩසටහනට ඇතුළත් කරගැනීමට ජේ ආර් ජයවර්ධන මහතා සමත් විය. මෙම පක්ෂ සහ කණ්ඩායම් සියල්ලම පාහේ 1980 මහා වැඩවර්ජනයට සිය වෘත්තීය සමිති හරහා නායකත්වය ලබා දී, ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් වැඩ වර්ජනය පොඩි පට්ටම් කිරීම සමගම සංවිධානාත්මක ශක්තියෙන් දුර්වල වූ දේශපාලන බලවේග විය. කෙසේ වුවද සර්ව පාක්ෂික සමුළුවට හැකි වූයේ දේශපාලන බලය විමධ්‍යගත කිරීම පිළිබඳ අවම මට්ටමේ යෝජනා මාලාවක් බිහි කිරීමට පමණි මෙය එකවරම දෙමළ නියෝජිතයන්ගේ මෙන්ම දැඩි මතධාරී බෞද්ධ භික්ෂූන්ගේද හෙළා දැකීමට ලක් වූ අතර, එය ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව විසින් නායකත්වයක් ලබා දුන්නේද නැත.
මෙයට සමාන්තරව දෙමළ සටන්කාමී සංවිධානවල නියෝජිතයන් සමග භූතානයේ තිම්පු නුවර දී සුප්‍රකට තිම්පු සාකච්ඡා ද පැවැත්විණි. එහිදීද කොළඹ ආණ්ඩුවේ යෝජනා සහ දෙමළ සංවිධානවල යෝජනා අතර සාම්‍යයක් ඇති කර ගැනීමට නොහැකි වූයේ දෙමළ දේශපාලනයේ අවම ඉල්ලීම සහ කොළඹ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ උපරිම යෝජනාව අතර පරතරය විශාල වීම නිසාය. එම ක්‍රියාවලියෙහි අවසානයක් දකින්නට පෙර, කොළඹ බෝම්බ පිපිරවීම මගින් යුද්ධය අගනුවරට ගෙන ඒමට දෙමළ සටන්කාමීන් කටයුතු කළ අතර, එයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව විසින් උතුරේ යුද්ධය උත්සන්න කරන ලදී. මේ සම්බන්ධව ඉන්දියාව විසින් මැදිහත්වීම හේතුවෙන් උතුරේදී ඉන්දියාවට පිළිගැනීමක් ද, දකුණු ප්‍රදේශවල ඉන්දියානු විරෝධයක් දියත් විය. අවසානයේදී දේශපාලන විසඳුම ලෙස මධ්‍යම ආණ්ඩුවේ බලයෙන් පංගුවක් පළාත් සභාවන්ට පැවරෙන පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමත්, දෙමළ භාෂාවට රාජ්‍ය භාෂා තත්ත්වය ලැබීමත් සිදු වූයේ 1987 දී අත්සන් කළ ඉන්දු- ලංකා සාම ගිවිසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් සම්මත කළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි.

ඉන්දු-ලංකා සාම ගිවිසුමට එරෙහිව දකුණු ප්‍රදේශයන්හි ජනප්‍රිය සටන්කාමිත්වයක් ඇති විය. එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ව මහජන එක්සත් පෙරමුණ ඇතුළු තවත් කණ්ඩායම් වල සහයෝගයෙන් පිහිටුවා තිබූ “මවුබිම සුරැකීමේ පෙරමුණ”‍ නායකත්වය ලබා දුන් අතර, ඒ වන විට තහනම් කොට තිබූ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් එම විරෝධතාව සංවිධානාත්මක කරන්නට කටයුතු කළේය. එක්සත් ජාතික පක්ෂයේද සැලකිය යුතු කොටසකගේ සහයෝගයද ඉන්දු- ලංකා සාම ගිවිසුමට සහ 13 වන සංශෝධනයට එරෙහිව මතුවූ ජනප්‍රියවාදී අරගලයට ලැබිණි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ගෙන ආ 13 වන සංශෝධනයට සහයෝගය දැක්වූයේ පසුව එක්සත් සමාජවාදී පෙරමුණ ලෙස සංවිධාන ගත වූ සමසමාජ- කොමියුනිස්ට්-මහජන සහ නව සමසමාජ පක්ෂ ඇතුළු වාමාංශික කණ්ඩායම් විසින් පමණකි.■
තවත් කොටසක් බලාපොරොත්තු වන්න..

නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017.04.20 දින රාවය සමබිම අතිරේකයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , ,

Leave a Comment