දැලි පිහියෙන් කිරි කන ආණ්ඩුවට GSP+ සහනය දෙන්න යුරෝපා පාර්ලිමේන්තුව එකඟ වෙයි

Apr 28th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපනය, ආර්ථික, කාලීන, දේශපාලන, පුවත්, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්, සමාජ, සංවාද, සුදර්ශන ගුණවර්ධන

GSP+ සහනය දෙන්න යුරෝපා පාර්ලිමේන්තුව එකඟ වෙයි. “436ක් පක්ෂයි:  119ක් විරුද්ධයි:  වැඩි ඡන්ද 325යි”

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්තවාදී පනතට අදාළ නීතිමය රාමුව අප්‍රේල් 25 දා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත. එසේ අනුමත කරන ලද කෙටුම්පත් ඒ වහාම බෙල්ජියමෙහි බ්‍රසල්ස් නුවර වෙත යවනු ලැබූ බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග සනාථ කළේය.

කඩිමුඩියේ මෙවැනි ලියැවිලි දෙකක් අනුමත කරගන්නා ලද්දේ ඇයි? ඒ ලියැවිලි ශ්‍රී ලංකාවේ රටවැසියන්ට දකින්නටවත් නොලැබී තිබියදී ඒවා බ්‍රසල්ස් නුවරට යවන ලද්දේ මන්ද? මේ සියල්ලට හේතුව යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දිය යුතුද නැද්ද යන්න පිළිබඳ විවාදයක් පවත්වා ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතවූ බැවිනි. 2017 අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දිය යුතු නැතැයි යනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට විපක්ෂව ඡන්ද 436ක්ද, පක්ෂව ඡන්ද 119ක් ද ලැබී වැඩි ඡන්ද 325කින් පරාජය විය. මන්ත්‍රීවරු 22 දෙනෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීමට යුරෝපා කොමිසම කළ නිර්දේශයට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන බව දැන් ස්ථිරය. අවසන් තීරණය දීමට පෙර විරෝධතා දැක්වීම සඳහා මැයි මස 15 දක්වා කාලය වෙන්වී ඇත.

තීරු බදු රහිතව යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ අපනයනය කිරීමට වරම් ලැබෙන ජී එස් පී ප්ලස් හෙවත් යුරෝපා සංගමය විසින් පිරිනමන වරණයන් පිළිබඳ සාමාන්‍ය ක්‍රමයට ඔබ්බට යන වැඩපිළිවෙළ යටතේ සුදුසුකම් ලාභියෙකු වීම සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රය සලකා බැලූ යුරෝපා කොමිසම 2017 ජනවාරි මාසයේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දිය යුතු බව තමන් නිර්දේශ කරන බවයි. ඒ මානව හිමිකම්, යහපාලනය සහ තිරසර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දක්වා ඇති කැපවීම පිළිබඳව කෙරෙන අගැයීමක් ලෙසය. අවසන් තීරණයට එළැඹීම යුරෝපා ඡන්දදායකයන් විසින් පත් කරන යුරෝපා පාර්ලිමේන්තුව විසින් මැයි මස 15 දිනට පෙර සිදුකරනු ඇති අතර ඉන් පසුව එය යුරෝපා කවුන්සිලය හෙවත් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යුතුය.  අප්‍රේල් 27 දින ඡන්ද විමසීම මඟින් පැහැදිලිව පෙනුනේ එම තීරණය ශ්‍රී ලංකාවට වාසිදායක වන බවයි.

ශ්‍රී ලංකාවට ජී එස්පී ප්ලස් සහනය ලබා දිය යුතු නැත යන යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ යුරෝපීය එක්සත් වාම/ නෝර්ඩික් හරිත වාම කණ්ඩායමට අයත් යුරෝපා පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 52 කු විසිනි. ඔවුන්ගේ තර්කය වන්නේ ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම විෂයෙහිලා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මන්දගාමී බැවින් ජී එස් පී ප්ලස් වෙළෙඳ සහනය මේ මොහොතේ ශ්‍රී ලංකාවට ලබා නොදිය යුතුය යන්නයි. ශ්‍රී ලංකා රජය විසින් ඉහත සඳහන් නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳ ලියැවිලි කඩිමුඩියේ කැබිනට් මණ්ඩලයේදී අනුමත කරගෙන යුරෝපා පාර්ලිමේන්තුව වෙත යවන ලද්දේ තමන් ප්‍රතිසංස්කරණ උදෙසා උකටලී නොවන බව ප්‍රදර්ශනය කිරීම මගින් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගැනීම පිණිසය. එම ව්‍යායාමය සාර්ථක වූ බව අතිවිශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පක්ෂව ලැබුණු ඡන්ද ප්‍රතිඵල වලින් පෙනී යයි.

හරිත සහ වාම මන්ත්‍රීවරුන් 52 දෙනාගේ කණ්ඩායම තම යෝජනාවෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම විෂයෙහිලා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමු කොට තිබිණි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා 2017 මාර්තු මස සිය වාර්තාවෙහි සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව විසින් 30/1 දරන යෝජනාව ක්‍රියාත්මක කිරීම “බරපතළ ලෙස මන්දගාමී” බව යැයි එම යෝජනාවෙහි දක්වා තිබිණි. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලැබේද නොලැබේද යන දෙගිඩියාව මතුව තිබිණි.

ආණ්ඩුවේ විවේචනයන් දළ වශයෙන් දෙකොට්ඨාශයකට බෙදිය හැකිය. පළමුව සිංහල ජාතිවාදී බලවේග බහුතරයක්ද සහිත පරාජයට පත් කරන ලද රාජපක්ෂ රෙජීමයේ සුන්බුන් වෙයි. ශ්‍රී ලංකාව තුළ-විශේෂයෙන්ම කොළඹ කේන්ද්‍රීය සිංහල බහුතරයක් අතර පවත්නා මහජන කතිකාව පාලනය කිරීමට ඔවුන්ට ඇති හැකියාව තවමත් විශාලය. පෞද්ගලික මාධ්‍ය ආයතනයන් සියල්ලේම පාහේ පමණක් නොව රාජ්‍යය සතුව ඇති මාධ්‍යන්හිහි පවා සේවය කරන මාධ්‍යවේදීන් මත මෙකී කණ්ඩායමෙහි බලපෑම තවමත් ඉහළ මට්ටමක පවතියි. ඔවුන් සඳහන් කරන ආකාරයට ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙත යුරෝපා සංගමය විසින් කොන්දේසි පනවා ඇත්තේය. එම කොන්දේසි ජාතික ආරක්ෂාවට අහිතකර වන ඒවා වන අතර ඒවා අනුගමනය කිරීම අපගේ ස්වාධිපත්‍යය පාවා දීමකි. යුරෝපා සංගමය අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්වලට අදාළව ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු බැඳීම් සහ වගකීම් අනුව ක්‍රියාකිරීම වුවත්, ඒ සියල්ල අධිපති කතිකාව තුළ උච්චාරණය වන්නේ යුරෝපා සංගමයෙහි කොන්දේසි ලෙසය. ඒ අනුව ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීමට ඉල්ලුම් කිරීම  වනාහි ස්වාධිපත්‍යය පාවා දීමකි. මේ තෙරපුම සහ ආණ්ඩුව තුළ ඇති ආණ්ඩුව හෙවත් රාජ්‍ය ආරක්ෂක න්‍යාය පත්‍රය අනුව මෙහෙයැවෙන “ඩීප් ස්ටේට්” එක විසින් ඇති කරන බලපෑම හමුවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ දෝෂමුක්තිය තුරන් කිරීමට අදාළ වැදගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තත්පර වෙයි.

ආණ්ඩුව කෙරෙහි වන දෙවන වර්ගයේ විවේචකයන් වන්නේ යාපනය කේන්ද්‍රීය උතුරු නැගෙනහිර සිවිල් සමාජය, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, විදේශගත දෙමළ ප්‍රජාවට සම්බන්ධ මානව හිමිකම් සංවිධාන සහ යම් දුරකට කොළඹ කේන්ද්‍රීය මානව හිමිකම් ප්‍රජාවයි. ඔවුන් කල්පනා කරන්නේ ආණ්ඩුව විසින් එකඟ වූ ප්‍රතිසංස්කරණ ඉදිරියට යාමේ වේගය මන්දගාමී බවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට කෙරෙහි පැවැති ජාත්‍යන්තර පීඩනය ඉවත් කර ගැනීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තත්, මානව හිමිකම් ආරක්ෂා කෙරෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මෙන්ම සංහිඳියාව ඇතිකිරීම සඳහා වන යාන්ත්‍රණ ඇති කිරීමටද ආණ්ඩුව පසුබාන බව ඔවුහු විශ්වාස කරති. ආණ්ඩුවේ ප්‍රගතිය මන්දගාමී බැවින්, එහි වෙනසක් නොවන්නේ නම් මේ අවස්ථාවේ ජී එස් පී ප්ල්ස සහනය ශ්‍රී ලංකාවට ලබා දිය යුතු නැති බව මෙම කණ්ඩායමෙහි පොදු මතයයි. ඇත්ත වශයෙන්ම 2017 මාර්තු මාසයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මෙන්ම 2017 අප්‍රේල් මාසයේදී යුරෝපා පාර්ලිමේන්තුවේ වාම සහ හරිත පාක්ෂික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවෙන්ද පිළිබිඹු වන්නේ මේ ආස්ථානයයි. කොළඹ කේන්ද්‍රීය සහ සිංහල බහුතරය කේන්ද්‍රීය කතිකාව කෙරෙහි ඔවුන්ගේ බලපෑම අවම බැවින් ආණ්ඩුව මේ පිළිබඳව එතරම් අවධානයක් නොදක්වයි. එහෙත්, ජාත්‍යන්තර මාධ්‍යයන්හි මෙන්ම ජිනීවා, බ්‍රසල්ස් වැනි මර්මස්ථානයන්හි මෙම කණ්ඩායම්වල බලපෑම ප්‍රබල ය.

එකිනෙකට පරස්පර, එහෙත් එකිනෙකින් බලගැන්වෙන, එකිනෙක මත අන්‍යොන්‍ය වශයෙන් පරායත්ත මෙම ස්ථාවරයන් දෙකෙහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ලෙස ප්‍රතිසංස්කරණ සිදුවීම පමා වන අතර, එහි බලපෑම මත ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබා දිය යුතු නැතැයි යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ හොත් ඉහත දෙපාර්ශ්වයම ජයඝෝෂා නගනු ඇත. එයින් බරපතළ ලෙස අමාරුවට වැටෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ හිතවාදී පාර්ශ්වයයි. එවන් තත්ත්වයක් යටතේ ඔවුන් දුර්වල වන අතර එය පෙරළා ප්‍රතිසංස්කරණ කෙරෙහි බරපතළ ලෙස අහිතකර බලපෑමක් ඇති කරන බව බොහෝ දෙනෙකු අමතක කරති. මේ අවස්ථාවේ ආණ්ඩුව කරන්නේ අතුරේ යනවා වැනි ගමනකි; දැලි පිහියෙන් කිරි කෑමකි. කෙසේ වුවද අවසානයේදී ආණ්ඩුව තමන් තවමත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට කැපවී සිටින බව සනාථ කරමින් මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වලට අදාළව වැදගත් පියවර ගණනක් ගනු ලැබීම ප්‍රතිසංස්කරණවාදීන්ගේ ජයග්‍රහණයකි.

ජී එස් පී ප්ලස් සහනය 2010 වසරේදී ශ්‍රී ලංකාවට අහිමි වීම කෙරෙහි බලපෑ එක් ප්‍රධාන සාධකයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි සමහර විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම හේතුවෙනි. 2010 වසරේදී ආණ්ඩුව විසින් 18 වන සංශෝධනය සම්මත කිරීමත් සමගම එම සම්මුතියේ අයිතිවාසිකම් නොතකා ශ්‍රී ලංකා ආණ්ඩුව ගමන් කරන බවට පැහැදිලි සංඥාවක් දෙනු ලැබුණු අතර, එනයින් ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීම වනාහි සිහිනයක් බවට පත් විය. නව රජය බලයට පත්වීමෙන් පසු සිදු කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීමට සුදුසුකම් ලැබීය. එහෙත් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය යොමු වූ එක් වැදගත් කරුණක් වූයේ ආණ්ඩුවේ ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී පවත්වා ගත් නීතිමය සහ ආයතනික ව්‍යුහය තවමත් එලෙසම පවත්නා බවත්, එම තත්ත්වය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු බැඳීම්වලට පටහැනි බවත්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වනාහි පුද්ගලයන් අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට, සාධාරණ නඩු විභාගයක් ලබා නොදීමට සහ විශේෂයෙන්ම වධහිංසාවන්ට සහ කෲර අමානුෂික සහ අවමන් සහගත සැළකිලිවලට ලක් කිරීමට බලධාරීන්ට ඉඩ ලැබෙන කැකිල්ලේ නීතියකි. එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන සේ සංශෝධනය කිරීම ආණ්ඩුව විසින් ඉටු කළ යුතු වගකීමකි. අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට නීතිඥයකුගේ සහය ලබා ගැනීමට අයිතිවාසිකමක් ඇති අතර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ හෙවත් ටී අයි ඩී යේ අත්අඩංගුවෙහි සිටින පුද්ගලයෙකුට එම අයිතිවාසිකම ලබා නොදීම එම කොට්ඨාශයේ නිලධාරීන්ගේ චර්යාවකි; පරිචයකි. එම චර්යාවට ඉඩ ඇහිරෙන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමද ආණ්ඩුව සතු වගකීමකි. ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව විසින් අඩු ගණනේ මෙම ප්‍රතිසංස්කරණයන් කෙරෙහි ආණ්ඩුවේ ඇති කැපවීම පෙන්නුම් කළ යුතුය යන්න යුරෝපා පාර්ලිමේතුවේ මන්ත්‍රීවරුන් කන්ඩායමක් විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට එවන ලද ලිපියක් මගින් දැනුම් දෙන්නේ මෙම පසුබිම යටතේය. එය ඉතා නිවරැදි ප්‍රමුඛතාවයක් බව මානව හිමිකම් ප්‍රජාව ප්‍රමුඛ සිවිල් සමාජයේ මෙන්ම මෙම ලියුම්කරුගේද මතයයි. ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ පියවර දෙක තුනක් පසු පසට ගමන් කරමින් සිටි ආණ්ඩුව දැන් දැන් පියවරක් ඉදිරියට තබා තිබෙන අතර ඉහත බැඳීම් ඉටු කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කර තිබේ. එය ජී එස් පී ප්ලස් සහනය නැවත දිනා ගැනීමට ඵලදායක ලෙස බලපාන බවට සැකයක් නැත. ආණ්ඩුවේ මෙම පියවර ඉදිරියට තල්ලු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිසංස්කරන්වාදීන්ගේ වගකීම වෙයි.

මේ වැදගත් ප්‍රතිසංස්කරණ දෙක මෙතරම් ප්‍රමාද කුමන ආකාරයේ කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සිටින ජාතික ආරක්ෂාව මූලික කොට ගෙන සිතන පරණ පන්නයේ නිලධාරී තන්ත්‍රය සහ අයිතිආසිකම් පාදක ප්‍රවේශයක් තුළින් මෙම ප්‍රශ්නය දෙස බලන ප්‍රත්සංස්කරණවාදීන් අතර පැවැති දරුණු ඝට්ටනයක ප්‍රතිඵලයක් ලෙසය. එවන් තත්ත්වයක් යටතේ කෙටුම්පත ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට දැනගැනීමට ලැබීමට පෙර බ්‍රසල්ස් නුවර වෙත යැවීමෙන් පාරදෘශ්‍යභාවය පිළිබඳ ආණ්ඩුව නොසලකන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිනී විජේදාස විසින් මතු කරනු ලදුව කොළඹ සිවිල් සමාජය විසින් වරනගන ප්‍රශ්නය වියුක්ත තලයේදී නිවැරැදි වුවත් සංයුක්ත තලයේදී නිවැරැදි නොවන්නේ යන්න අපගේ මතයයි. ඒ මන්ද යන්න කතා කිරීම පසුවට තබමු. එතෙක් නාමිනී ඇතුළු විවේචකයන් විසින් කළ යුත්තේ නාමිනී විජේදාස ලියන පුවත්පත වන සන්ඬේ ටයිම්ස් පුවත්පත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි සඳහන් අයිතිවාසිකම් ඉටු කිරීම යුරෝපා සංගමයේ කොන්දේසි ඉටු කිරීමක් බවට ප්‍රචාරය කිරීම පිටුපස ඇති දේශපාලනය විමසීමය.  ■

නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017.04.30 දින රාවය සමබිම අතිරේකයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , ,

Leave a Comment