සමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් මේ මොහොතේ ප්‍රමුඛතාවයක් නොවන්නේ ඇයි?

May 4th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපන, ආර්ථික, කාලීන, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මානව හිමිකම්, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්, සමාජ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව කලකට පෙර නිකුත් කරන ලදී.(http://english.constitutionalassembly.lk/images/pdf/01-Fundamental-Rights-ste.pdf)

එහි සභාපතිත්වය දරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ විසිනි. එහි මෙසේද සඳහන් වේ. “මෙම අයිතිවාසිකම් පනත් කෙටුම්පත්වල සිවිල්, දේශපාලන (පළමු පරම්පරාවේ අයිතීන්) ආර්ථික, සමාජයීය, සංස්කෘතික (දෙවන පරම්පරාවේ අයිතීන්) පාරිසරික සහ සංවර්ධනය (තෙවන පරම්පරාවේ අයිතීන්) යන අයිතිවාසිකම් ඇතුළත් වේ. දකුණු අප්‍රිකාව (1997) නැගෙනහිර ටිමෝරය (2001) ඉක්වදෝරය (2008) බොලිවියාව (2009) සහ කෙන්යාව (2010) යන රටවල ව්‍යවස්ථාවන් ප්‍රගතිශීලි සහ නම්‍යශීලි අයිතිවාසිකම් පනත් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ලෙස සැලකිය හැකිය.”

123

එහි අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය යටතේ වන අයිතිවාසිකම් අතර මෙයද සඳහන් වේ. “රජය මඟින් සැපයෙන නිදහස් අධ්‍යාපනය ඇතුළුව සෑම යෝග්‍ය ක්‍රමයක්ම යොදාගනිමින් ධාරිතාව සහ සමාන අවස්ථා මත පදනම් වෙමින් උසස් අධ්‍යාපනය සියල්ලන්ටම ලබා දිය යුත්තේය.” එමෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඇති අයිතිය යටතේ වන අයිතිවාසිකම් අතර මෙයද සඳහන් වේ. “අත්කර ගත හැකි ඉහළම ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වය අත්විඳීමට හා නිවාරණ හා රෝග නාශක සේවාවන් අවශ්‍ය සියල්ලන් වෙනුවෙන් රජය විසින් සපයනු ලබන නිදහස් සෞඛ්‍ය සේවාවන් තුළින්ද ඇතුළුව එබඳු සේවාවන් කරා ප්‍රවේශ වීමටද සැම පුරවැසියකුටම හිමිකම ඇත්තේය.”

මේ දිනවල විශේෂයෙන්ම දෙවන පරම්පරාවේ අයිතීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම පිළිබඳව විවාදයක් පවතී. එක්සත් ජනපද ව්‍යවස්ථාව වැනි පළමු පරම්පරාවේ ව්‍යවස්ථාවල සිවිල් සහ දේශපාලන අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස ඇතුළත් වූ අතර ඉහත දැක්වූ රටවල ව්‍යවස්ථාවල දෙවන සහ තෙවන පරම්පරාවල අයිතීන් ඇතුළත්ව ඇත. එබැවින් අපගේ නව ව්‍යවස්ථාවේද ඉහත රටවල මෙන් මෙම අයිතීන් ඇතුළත් විය යුතු බවට අනුකමිටුව කල්පනා කළ නිසා ඉහත දැක්වූ උදාහරණ දෙක ඇතුළුව ආර්ථික ද සමාජයීය අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව අනුකමිටුව යෝජනා කර ඇත.

මෙම ඇතුළත් කිරීමට විරුද්ධව නැගෙන එක් ප්‍රධාන තර්කයක් වන්නේ ප්‍රතිපත්තියක් ලෙස පිළිගත්තත් ක්‍රියාත්මක කිරීමේදී එය කරන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. එමෙන්ම ආර්ථික සහ සමාජයීය තීරණ පිළිබඳව රාජ්‍යය විසින් ගත යුතු තීරණ ගැනීමට අධිකරණයට අවකාශ සලසා දීම මඟින් රාජ්‍යයේ පාලන කටයුතුවලට ඇඟිලි ගැසීමට අධිකරණයට ඉඩ සලසා දීමයි.

මෙම කාරණා පිළිබඳ අර්ථ නිරුපණයේදී අධිකරණය විසින් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම සහ යුතුකම් කෙරෙහි සැලකිලිමත් විය යුතු බවද යෝජනාවල සඳහන් වේ. එයට යටත්ව පළමුවන උදාහරණයේ සඳහන් උසස් අධ්‍යාපනය පිළිබඳ අයිතිය සැලකිල්ලට ගතහොත් පළමුවෙන්ම අධිකරණය විසින් “සෑම යෝග්‍ය ක්‍රමයක්ම” යන ඡේදය අර්ථ නිරුපණය කළ යුතුය. රජයේ විශ්වවිද්‍යාලවල ඉඩ නොමැත්තේ නම් සහ යමකුට මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාවක් නොමැත්තේ නම් ඔහුට හෝ ඇයට සිය මූලික අයිතිවාසිකම ක්‍රියාත්මක කර ගැනීමට අධිකරණයට යා හැකිද?  සීමිත සම්පත් හේතුවෙන් රජය යම් සෞඛ්‍ය සේවාවක් අගනුවර පමණක් පවත්වාගෙන යන්නේ නම් සිය පළාතේද එම සේවය පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් පුද්ගලයකුට රජයට එරෙහිව නඩු පැවරිය හැකිද?
හිටපු අගවිනිසුරු සරත් සිල්වාගේ යුගයේදී මේ හා සමාන නඩු වලදී ඔහු දුන් අත්තනෝමතික තීන්දු අපට මතක තිබේ. ජනතාවට කෙලින්ම වග නොකියන අධිකරණයට මෙවැනි බලයක් පැවරීමට ප්‍රථම එහි සරත් සිල්වා වැනි පුද්ගලයන් නොමැති බවට සහතිකයක් තිබේද?

මෙවැනි අයිතීන් නීති පොතට ඇතුළත් කිරීමට ප්‍රථම සමාජය එම මට්ටමට ළඟා විය යුතුය. රට අනුක්‍රමයෙන් දියුණු වන විට රටේ රට වැසියන්ට ඉහළ ජීවන තත්ත්වයක් ලැබෙන විට නිරායාසයෙන්ම රටේ සියලුම පුරවැසියන්ට උසස් අධ්‍යාපනය සහතික කිරීමට තරම් මුදල් රාජ්‍යයට ලැබෙනු ඇත. රටේ බදු ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් 10% පමණ වන රටක උසස් අධ්‍යාපනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සියල්ලන්ටම සහතික කිරීම ප්‍රයෝගික වන්නේ කෙසේද? එයට පෙර ආණ්ඩුව දැනට රටේ බදු ආදායමෙන් 80% ක් වක්‍ර බදු මගින් අයකරගෙන සුළුතරයක් වන ධනපතියන් ගෙන් ඍජු බදු වශයෙන් 20% පමණක් අයකර ගන්නා බැවින්  අඩු වශයෙන් 40% ක් ඍජු බදු වශයෙන් අය කර ගත යුතු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම වඩාත් උචිත වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුත්තේ යම් රටක තිබෙන දේශපාලන සමාජ සහ ආර්ථික තත්ත්වයන් සලකාය. පළමු පරම්පරාවේ ව්‍යවස්ථාවල සමාජ සහ ආර්ථික අයිතීන් ව්‍යවස්ථාවලට ඇතුළත්ව නොතිබුණු නමුත් එම රටවල් ව්‍යවස්ථාවේ නොමැති නිසා එම අයිතීන් එම රටවල ජනතාවට ලබානොදී සිටියේ නැත. දැන් අවශ්‍ය නම් එම රටවලට මෙම අයිතීන් එම රටවල ව්‍යවස්ථාවලට ඇතුළත් කළ හැක. මක්නිසාද යත් සමාජයේ සෑහෙන ප්‍රතිශතයක් එම ප්‍රතිලාභ නොලබන තත්ත්වයක් එම රටවල නැති බැවිනි. එවැනි තත්ත්වයක් තිබේ නම් ව්‍යවස්ථාවට ඇතුළත් කළ පමණින් අධිකරණය හරහා එම ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත නොහැක. මක්නිසාද යත් එම අවස්ථාවේදී එය දේශපාලන ප්‍රශ්නයක් බැවිනි. එය ව්‍යවස්ථාමය සහ නීතිමය ප්‍රශ්නයක් බවට පත්වන්නේ සමස්ත සමාජයම එක්තරා මට්ටමකට පැමිණ සමාජයේ යම් කොටසකට අසාධාරණයක් සිදුවීමට ඉඩ ඇත්නම් පමණි.

උදාහරණයක් වශයෙන් කෲර ඒකාධිපතියකුගේ පාලනය පවතින රටක එම පාලනය පිළිගනිමින් පුරවැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතීන් එරට ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ තේරුමක් නොමැත. පළමුව කළ යුත්තේ ඒකාධිපති පාලනය පෙරළා දැමීමයි. ඉන් පසුව ඇතිවන අවකාශය තුළ ජනතාවගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන කථා කළ හැක.
එමෙන්ම රට සහ සමාජය යම් ආර්ථික මට්ටමකට පැමිණීමට පෙර ආර්ථික සහ සමාජයීය අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ නම් එය වඩාත් සුදුසු කාලයට පෙර කෙරෙන ක්‍රියාවක් වනු ඇත. පළමුව කළ යුත්තේ දේශපාලනිකව රට අවශ්‍ය කරන ආර්ථික සහ සමාජයීය මට්ටමට පත් කිරීමයි. දෙවනුව අවශ්‍ය නම් ව්‍යවස්ථාවට එම කරුණු ඇතුළත් කළ හැක. අනුක්‍රමයෙන් කෙරෙන සමාජ පරිණාමය නීති මඟින් එක රැයින් කළ නොහැක. අනික් රටවල කෙරෙන ප්‍රතිසංස්කරණ අප විසින් මෝස්තරයක් මෙන් අනුකරණය කළ යුතු නැත.

පුළුල් වශයෙන් බලන විට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් මඟින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව විසින් නොකළ යුතු දේ වන අතර සමාජ ආර්ථික අයිතිවාසිකම්, ආණ්ඩුව විසින් කළ යුතු දේ පෙන්නුම් කරයි. ආණ්ඩුව විසින් නොකළ යුතු දේ ව්‍යස්ථාවට ඇතුළත් කිරීම වඩාත් යෝග්‍ය සහ පහසු වන අතර ආණ්ඩුව විසින් කළ යුතු දේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම දුෂ්කර කාර්යයකි.

දියුණු රටවල් කාලයක් තිස්සේ ළඟා කරගත් මානව අයිතිවාසිකම් දියුණු වෙමින් පවතින රටවලට නීති මඟින් ලබාගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවිය හැකි එක් අතුරු ඵලයක් නම් සමාජයේ වඩාත් ඉසුරුමත් කොටස් උසාවි හරහා මෙම ප්‍රතිලාභ ලබාගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවීමයි.

එබැවින් සමාජ සහ ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේදී නීති සම්පාදකයන් ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුවේ. සමාජ ප්‍රගමනය නීති මඟින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගැනීම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවේ.■

සංවාදයට විවෘතයි

හර්ෂ ගුණසේන විසින් 2017.04.30 වන දින රාවය සමබිම අතිරේකයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment