GSP + වාසිය ව්‍යාපාරික ප්‍රජාවටද? සිවිල් සමාජයටද?

May 5th, 2017 | By | Category: LEAD NEWS, අධ්‍යාපන, ආර්ථික, කාලීන, දේශපාලන, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය, සමබිම පුවත්, සමාජ, සුදර්ශන ගුණවර්ධන

ජි එස් පී ප්ලස් වෙළෙඳ සහනය ශ්‍රී ලංකාව වෙත නැවතත් ලැබීමෙහි ඉඩකඩ පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සතුට පළ කොට ඇත. “මෙම සහනය ලැබීමෙන් ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය වෙත කරනු ලබන අපනයනයන් කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති වනු ඇත. ඇඟලුම්, අමු සහ සකසන ලද ආහාර නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන, කෙළි බඩු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ ආදිය ජී එස් පී ප්ලස් සහනය හේතුවෙන් ලැබෙන අමතර තීරු බදු සහන හේතුවෙන් ප්‍රතිලාභ ලබන ක්ෂේත්‍ර වේ.” යැයි කියන ලංකා වාණිජ මණ්ඩලය මේ වන විටත් 2017 වසර සඳහා වන ඇණවුම් බොහොමයක් ලබා ගෙන අවසන් බැවින් මෙම සහනය හේතුවෙන් ඇති වන සැබෑ වර්ධනය දැක ගත හැකිවන්නේ 2018 සිට බව කියයි. කෙසේ වුවද, ජී එස් පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලැබෙන බව සැලවීමත් සමගම යුරෝපා සංගමයෙහි සමහර ගැණුම්කරුවන් තම ඇණවුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ සමාගම් සමග සාකච්ඡා කොට ඇත.

යුරෝපා සංගමය වෙත යවන තම අපනයනයන් පුළුල් කිරීමේ හැකියාව ඇති ක්ෂේත්‍රයන්ට සහය ලබා දීම සඳහා ඉලක්කගත සහ කඩිනම් වැඩපිළිවෙළක් දියත් කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි. ජී එස් පී ප්ලස් සහනය නිසා සෑහීමකට පත් නොවී එය “හුස්ම ගැනීම සඳහා ලැබුණු ඉඩ කඩක්” ලෙස සලකා අපනයන වෙළෙඳ පොළේ තරග කිරීමේ හැකියාව ඇති කරගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවේ වෙළෙඳාම සහ අපනයනය පිළිබඳව කටයුතු කරන ආයතන සහ අපනයනකරුවන් එක්ව සාමූහිකව ගොඩ නගා ගත යුතු යැයි වාණිජ මණ්ඩලය කියා සිටියි.

ලංකා වාණිජ මණ්ඩලය වෙළෙඳාම ගැන උනන්දු වෙයි. වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. එහෙත් ජී එස් පී ප්ලස් සහනය වෙළෙඳාම පිළිබඳව පමණක් නොවේ. එය සාරධර්ම රැකගෙන කරන වෙළෙඳාම පිළිබඳවය. සාරධර්ම රැකගැනීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය තම නිවේදනයෙහි කිසිවක් නොකියයි. එසේ නම් සාරධර්ම ගැන කථා කිරීමේ වගකීම ඇත්තේ සිවිල් සමාජයට පමණද? ජී එස් පී ප්ලස් සහනය ලබන ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්, යහපාලනය සහ තිරසර සංවර්ධනය ආරක්ෂා කරගැනීමට සිවිල් සමාජය සතු කාර්ය භාරය සාකච්ඡා කිරීමට “සමබිම” ඉරිදා සංග්‍රහයෙහි ඇති ඉඩ කඩ යොදා ගැනීමට අපි අපේක්ෂා කරමු.

ජී එස් පී ප්ලස් කතාව

ජී එස් පී ප්ලස් යනුවෙන් ජනප්‍රිය වහරේ කියැවෙන්නේ යුරෝපා සංගමය විසින් හඳුන්වා දී ඇති “යහපාලනය සහ තිරසර සංවර්ධනය උදෙසා දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන” යි. මෙය ක්‍රියාත්මක වන්නේ යුරෝපා සංගමයේ “වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය” හෙවත් ජී එස් පී වැඩසටහන යටතේ ය. යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයන් වෙත සිය නිෂ්පාදන අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට, එම අපනයන වෙනුවෙන් තීරු බදු මුළුමනින්ම නොගෙවා සිටීමට හෝ අවම තීරු බද්දක් ගෙවීමට පහසුකම් සපයන වෙළෙඳ විධි ක්‍රමයකි.

යුරෝපා සංගමය විසින් ජී එස් පී ප්ලස් හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රතිලාභී රටවලට ජී එස් පී සහන ක්‍රමයෙන් ලැබෙනවාට වඩා පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශයක් ලබා දීමේ ඉලක්කය ඇතිවය. මෙහිදී අදාළ ප්‍රතිලාභී රටවල් මානව අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය සම්බන්ධව පවත්නා ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගිවිසුම් සිය රට තුළ වලංගු කිරීමත්, සාධනීය ලෙස ක්‍රියාත්මක කිරීමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ වෙනුවෙන් දිරිගැන්වීමක් ලෙස අදාළ ප්‍රතිලාභී රටවලට තම නිෂ්පාදිත 7200 කට වැඩි ප්‍රමාණයක් සඳහා තීරු බදු රහිතව යුරෝපා වෙළෙඳපොළට ඇතුළු වීමට අවකාශ ලබා දී ඇත.

ජී එස් පී ප්ලස් සහ කොන්දේසි:

ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා ඇතැයි යන්න ජනප්‍රිය විශ්වාසයකි. “දිවයින” වැනි සිංහල පුවත්පත් පමණක් නොව “සන්ඬේ ටයිම්ස්” ඉංග්‍රීසි පුවත්පත පවා විශ්වාස කරන්නේ එවන් කොන්දේසි පවතින බවය.

කිසියම් රාජ්‍යයක් ජී එස් පී ප්ලස් වෙළෙඳ වරණය ලබා ගැනීමට සැපිරිය යුතු අත්‍යවශ්‍ය කොන්දේසි හතරකි.

1.අදාළ රාජ්‍යය අත්‍යවශ්‍යයෙන්ම “අනතුරාසන්න” (Vulnerable) මට්ටමේ පැවැතිය යුතුය. එහි තේරුම ලෝක බැංකු වර්ගීකරණය අනුව එම රාජ්‍යය අනුක්‍රමික වසර තුනක් තුළ ඉහළ ආදායම් ලබන රටක් හෝ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණයට ලක්ව නොතිබිය යුතුය. වෙනත් වචනයකින් කිවහොත් එම රාජ්‍යය ප්‍රාමාණික ජී එස් පී ප්‍රතිලාභියෙකු විය යුතුය.
2.යුරෝපා සංගමය එම රාජ්‍යයෙන් කරන ජී එස් පී ආවරණිත ප්‍රධාන ආනයන වර්ග හතෙහි වටිනාකම ජී එස් පී ආවරණිත මුළු ආනයනවල වටිනාකමින් 75%ක ප්‍රමාණයක් නියෝජනය කළ යුතුය. එමෙන්ම අදාළ රාජ්‍යයෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන ජී එස් පී ආවරණිත ආනයන ප්‍රමාණය, යුරෝපා සංගමය සිය මුළු ප්‍රතිලාභීන්ගෙන් ලබන ජී එස් පී ආවරණිත මුළු ආනයන ප්‍රමාණයෙහි වටිනාකමින් 2% ට වඩා අඩු විය යුතුය.
3. අදාළ රාජ්‍යය අවශ්‍යයෙන්ම මානව අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් 27ක් සිය රට තුළ වලංගුභාවයට පත් කළ යුතු අතර, එකී ගිවිසුම් වලින් තහනම් කළ කිසිවක් කිරීමෙන් හෝ එහි එන අරමුණු සහ අභිමතාර්ථවලට පරස්පර විරෝධී ලෙස ක්‍රියාකිරීමෙන් තොරව ඒවා සාධනීය ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
4.අදාළ රාජ්‍යය එකී ජාත්‍යන්තර ගිවිසුම් මගින් ආරෝපණය කර ඇති අවශ්‍යතාවලට සහ අධීක්ෂණ ක්‍රියාවලියට මෙන්ම, යුරෝපා කොමිසමෙහි මඟපෙන්වීම මත යුරෝපා සංගමය විසින් ජී එස් පී ප්ලස් කෙරෙහි ස්ථාපිත කර ඇති අධීක්ෂණ ක්‍රියාවලියටද අවනත විය යුතුය.

මේ හැරෙන විට වෙනත් කොන්දේසි කිසිවක් ජී එස් පී ප්ලස් කෙරෙහි අදාළ නොවෙයි. මෙම අවශ්‍යතාවයන් සපුරා ඇති රාජ්‍යයක් තම කැමැත්ත පරිදී යුරෝපා සංගමයේ ජී එස් පී ප්ලස් සහනය තම රට වෙත ලබා ගැනීමට අයදුම් කළ හැකිය. මේ අනුව තම රට මෙම කොන්දේසි හතර සපුරා ඇතැයි විශ්වාස කළ ශ්‍රී ලංකාව ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීම උදෙසා අයදුම් පත ඉදිරිපත් කරන ලද්දේ 2016 වසරේදීය. එම අයදුම් පත සලකා බැලූ යුරෝපා කොමිසම 2017 ජනවාරි මාසයේදී ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දෙන ලෙස තමන් යුරෝපා පාර්ලිමේන්තුවට සහ යුරෝපා කවුන්සිලයට නිර්දේශ කරන බවයි. එම නිර්දේශයෙන් පසු විරෝධතා දැක්වීම සඳහා මාස හතරක කාලයක් ලබා දී තිබුණු අතර යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් අනතුරුව යුරෝපා කැබිනට් මණ්ඩලය වන යුරෝපා කවුන්සිලය විසින් 2017 මැයි මස 15 දිනට පෙර අදාළ තීරණයට එළැඹෙනු ඇත.

ජී එස් පී ප්ලස්- හිමි වීම සහ අත හැරීම:

2005 වසරේදී යුරෝපා සංගමය විසින් ජී එස් පී ප්ලස් සහනය හඳුන්වා දෙන ලද අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාව එහි ප්‍රතිලාභියකු විය. එහි තේරුම නම් ඒ වන විටත් ශ්‍රී ලංකාව ඉහත සඳහන් කළ කොන්දේසි සම්පූර්ණ කොට ඇති රාජ්‍යයක් ලෙස යුරෝපා සංගමය විසින් පිළිගන්නා ලද බවයි. කෙසේ වුවද, 2010 අගෝස්තු 15 වන දා සිට යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීම අත්හිටුවීම නිසා ශ්‍රී ලංකාව නැවතත් ප්‍රාමාණික ජී එස් පී හිමිකම් ලබන රටක් බවට පත් විය. මෙසේ අත්හිටුවීමට හේතු වූයේ ශ්‍රී ලංකාව විසින් එකඟව වලංගු කොට ඇති ජාත්‍යන්තර ගිවිසුම් 27ක් අතුරෙන් 3ක් ක්‍රියාවට නැංවීම පිළිබඳ අඩු ලුහුඬු කම් යුරෝපා කොමිසම විසින් සිදු කරන ලද විමර්ශනයකදී හෙළි වූ නිසාවෙනි. ඒ ගිවිසුම් නම්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍ය්න්තර සම්මුතිය, වධහිංසා සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය සහ ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය වෙයි. අදාළ සම්මුති වලට පාර්ශ්වකරුවන් බවට පත් ව ඇති රාජ්‍යයන් තම බැඳීම් ඉටු කර ඇති ආකාරය පිළිබඳව අධීක්ෂණය කිරීම පිණිස පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ අධීක්ෂණ කමිටු විසින් ලබා දී ඇති වාර්තාද සැලකිල්ලට ගත් යුරෝපා කොමිසම එකී අඩු ලුහුඬු කම් ආමන්ත්‍රණය කිරීම පිළිබඳව පියවර ගැනීමට සංවාදයකට එළැඹීමට උත්සාහ ගත්තද එවකට පැවැති රජය ඒ පිළිබඳව ප්‍රතිචාරයක් නොදැක්වීය.

නැවතත් හරි පාරට:

2015 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරය පදනම් වූයේ යහපාලනය ස්ථාපිත කිරීමේ පොරොන්දුව මතය. විපක්ෂයේ අපේක්ෂකයා ජනධිපති ධුරයට පත්ව පිහිටුවනු ලැබූ නව රජය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අරම්භ කළ අතර, ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමද ඇරැඹීය. ඉන් අනතුරුව නැවත වතාවක් ජී එස් පී ප්ලස් සහනයට හිමිකම් ලැබීම උදෙසා වන අයදුම් පතක් යුරෝපා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.

2014 වසරේදී සිදු කරන ලද සංශෝධනයක් මගින් ජී එස් පී ප්ලස් සහනයට අදාළ අධීක්ෂණ ක්‍රියාවලිය දැඩි කර ඇති අතර එකී ක්‍රියාවලියට සිවිල් සමාජයෙහි කාර්ය භාරයද ඇතුළත් කොට තිබේ. සිවිල් සංවිධාන අධීක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමෙන් වඩා වාස්තවික ලෙසත්, විනිවිදභාවයෙන් යුක්තවත් අධීක්ෂණ ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට යුරෝපා සංගමයට හැකි වෙයි.

යුරෝපා සංගමය විසින් පිරිනමන ජී එස් පී ප්ලස් වෙළෙඳ වරණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව යුරෝපා කොමිසම විසින් නිර්දේශ කෙරුණේ 2017 ජනවාරි මාසයේදීය. මේ සම්බන්ධ අවසාන තීරණයට 2017 මැයි මස මැද දී යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කවුන්සිලය විසින් එළැඹීමට නියමිතය.

කෙසේ වුවද, 2017 අප්‍රේල් 21 දා සවස 1.00 ට මිනිත්තු කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා නොදිය යුතුය යන යෝජනාවක් ඉදිරිපත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවේ යුරෝපීය එක්සත් වාම/ නෝර්ඩික් හරිත වාම කණ්ඩායමට අයත් යුරෝපා පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 52 කු විසින් කටයුතු කළහ. අප්‍රේල් මැද භාගයේ ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බැලීමක නිරතවූ ලොලා සන්චෙස් කල්දෙන්තේ සහ ඈන්- මරී මිනුවෙ යන මන්ත්‍රීවරියන් දෙදෙනාද ඒ අතර වූහ. ඔවුන්ගේ තර්කය වූයේ ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම විෂයෙහිලා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මන්දගාමී බැවින් ජී එස් පී ප්ලස් වෙළෙඳ සහනය මේ මොහොතේ ශ්‍රී ලංකාවට ලබා නොදිය යුතුය යන්නයි.

යුරෝපා පාර්ලිමේන්තුව සාමාජික රටවල් 28හි මහජන ඡන්දයෙන් තේරී පත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 751 කින් සමන්විත වෙයි. ඒ අතරින් විශාලතම කණ්ඩායම යුරෝපීය ජනතා පක්ෂය වන අතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 216කි.  දෙවන විශාලතම කණ්ඩායම මන්ත්‍රීවරුන් 189 කින් සමන්විත සමාජවාදී කණ්ඩායම වෙයි. මන්ත්‍රීවරුන් 73කින් සමන්විත කොන්සර්වැටිව් කණ්ඩායම තෙවන විශාලතම කණ්ඩායමයි. මධ්‍ය-දක්ෂිණාංශික ලිබරල් කණ්ඩායම වන යුරෝපය උදෙසා ලිබරල්වාදීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සන්ධානයට මන්ත්‍රීවරුන් 68ක් සිටින අතර, හරිත පක්ෂයට මන්ත්‍රීවරුන් 51ක නියෝජනයක් හිමිය. ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කළ යුරෝපිය එක්සත් වාමාංශික/ නෝර්ඩික් හරිත වාම කණ්ඩායම මන්ත්‍රීවරුන් 52කින් සමන්විත වෙයි.

හරිත පක්ෂය ලොව පුරා සිවිල් නිදහස සහ පාරිසරික සුරක්ෂිතතාවය පිළිබඳව අවධානයක් යොමු කරන කණ්ඩායමකි. එබැවින් ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳව දක්වා ඇති ප්‍රගතිය පිළිබඳව ඔවුන් වෙතින් පළවන්නේ විවේචනාත්මක සහයෝගයකි. යෝජනාව ඉදිරිපත් කළ යුරෝපීය එක්සත් වාමාංශික/ නෝර්ඩික් හරිත වාම කණ්ඩායම රැඩිකල් වාමාංශිකයන්ගෙන් සමන්විතය. මෙම කණ්ඩායම දැඩි වෘත්තීය සමිතිවාදී ස්ථාවරයක් දරන අතර ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන්ගේ නියෝජිතයන් දෙදෙනා ප්‍රකාශ කළේ ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබුණහොත් එයින් ලැබෙන ප්‍රතිලාභවලින් 50%ක් කම්කරුවන් වෙත ලැබිය යුතු බවය. ඔවුහු මෙම ඉල්ලීම කම්කරු සබඳතා අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාට ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ඔහුගේද එකඟත්වය ලැබුණු බව පළ විය.

කෙසේ වුවද 2017 අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා යුරෝපා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දිය යුතු නැතැයි යනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට විපක්ෂව ඡන්ද 436ක්ද, පක්ෂව ඡන්ද 119ක් ද ලැබී වැඩි ඡන්ද 325කින් පරාජය විය. මන්ත්‍රීවරු 22 දෙනෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියහ.

ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දීමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට ඇති කාලය ඉකුත් වන්නේ මැයි 11 වන දින බව යුරෝපා සංගමය පැහැදිලිව නිවේදනය කොට ඇත. මැයි මස 11 වන දින ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දිය යුතුය යන යුරෝපා කොමිසමේ නිර්දේශය සාමාජික රටවල ආණ්ඩුවල නියෝජිතයන්ගෙන් සමන්විත යුරෝපා කවුන්සිලය නොහොත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන අතර එහිදී අවසන් තීරණය ගැනීමට නියමිතය.

“යුරෝපා සංගමයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාරක සභාව මැයි මස 3 සහ 4 දිනවල පැවැත්වෙන රැස්වීමෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳව තවදුරටත් අදහස් හුවමාරු කරගැනීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි.” යුරෝපා සංගමය විසින් බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති රොඞ්නි පෙරේරාට දැනුම් දී ඇත. එම සාකච්ඡාවට තානාපතිවරයාට ආරාධනා කොට ඇත්තේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ නවතම තත්ත්වය ගැන සහ ජී එස් පී ප්ලස් සහනයට අදාළ ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම උදෙසාය.

නීතීඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017.05.07 දින රාවය සමබිම අතිරේකයට ලියන ලද ලිපියකි.

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment