මරණීය තුවාලෙට-දේව භක්තිය බෙහෙතක්ද?

May 9th, 2017 | By | Category: LEAD NEWS, කලාව, දේශපාලන, සාහිත්‍ය, සිනමාව

1995 දී “මුක්තීර් ගාන්” (විමුක්ති ගීතය) නමැති විශිෂ්ට වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට පිවිසෙන ටරෙක් මසුඞ්ගේ කුළුදුල් සිනමා කෘතිය 2002 දී නිර්මාණය කළ මනීර් ටොයිනාය. එයට 2002 වර්ෂයේ ලොව විශිෂ්ටතම සිනමා උළෙලක් වූ ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ Director’s Fortnight අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස තිරගත වූවා පමණක් නොව එයට FIPRESCI සම්මානය වෙන්කිරීමට සිදු විය. එමෙන්ම ඇකඩමි සම්මාන උළෙලෙහි හොඳම විදේශීය භාෂා චිත්‍රපටය වෙනුවෙන් තරගකාරී අංශයට තෝරාගත් ප්‍රථම බංග්ලාදේශ චිත්‍රපටය ද එය විය. නමුත් මුස්ලිම් ආගමික බැතිමතුන් කෙරෙහි හා ඔවුන්ගේ දැඩි ආගමික භක්තියට සරදම් කරන කතා තේමා ඇතුළත් වීම නිසා බංගලාදේශ රජය එයට වාරණ නියෝග පැනවීය. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ටෙරෙක් මසුඞ් අධිකරණයේ පිහිට පැතීය. බංග්ලාදේශ අධිකරණය රාජ්‍ය වාරණ නියෝගය කණපිට පෙරළීය. එමෙන්ම 2005 වසරෙහි එහි DVD පිටපත් අලෙවියට මුදාහැරිණි.

a8f76435-7d54-4da5-a536-ab9297e99705

1971 බංග්ලාදේශ නිදහස් සටන පාදක කරගත් මැසූඞ්ගේ මෙම සිනමා කෘතිය ඔහුම නිදහස් අරගල සමයෙහි අත්දුටු සිදුවීම් ඇසුරෙන් ඔහුගේ බිරිඳ කැත්රීන් මසූඞ් සමඟ එක්ව තිර රචනා කොට නිර්මාණය කරන ලද්දකි. ආගමික භක්තිය නමැති මායාවේ ගිලුණු ඉස්ලාම් බැතිමතුන්ට යථාර්ථය නොපෙනෙයි. ඉස්ලාම් පමණක් නොව, කුමන ආගමක වුව ද බැතිමතෙකු වුවහොත් ඔහුට ඇයට යථාර්ථය නොපෙනෙන බව මසූද්ගේ සිනමා කෘතිය හරහා අප උගත යුතුය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ අනූගේ පියා වූ කාසි (ජයන්ටෝ චට්ටෝපාධ්‍යාය) ගේ කුඩා දියණිය, එනම් අනූගේ බාල සොහොයුරිය අස්මා මිය යන්නේ ද කාසිගේ අන්ධ ආගමික භක්තිය නිසාමය. අස්මා දැඩි ලෙස රෝගාතුර වෙයි. සිය පියා වූ කාසි ආගමික ප්‍රතිකාර කරමින් නොපෙනෙන දෙවියෙකුගේ (අල්ලාගේ) පිහිට පතන්නේ වෛද්‍යවරයෙකු වෙත යාම ප්‍රතික්ෂේප කරමිනි. තරුණ බුද්ධිමතෙකු වන කාසිගේ බාල සොහොයුරු මිලාන් (සොයෙබ් ඉස්ලාම්) කොමියුනිට්ස්වාදියෙකි. ඔහු බංග්ලාදේශ නිදහස් සටනට දායකත්වය සපයන තරුණ විප්ලවවාදියෙකි. සිය වැඩිමල් සොහොයුරු කාසිගේ අනුවණ ක්‍රියාව දකින මිලාන්, කාසිට හොරෙන් කාසිගේ බිරිඳ වෙත දැඩි ලෙස ගිලන්ව සිටින කාසිගේ දියණියට පෙවීමට ප්‍රතිජීවක ඖෂධ බෝතලයක් ගෙනවිත් දෙනු ලබයි. නමුත් දියණියගේ අවාසනාවට බිරිඳගේ අතේ සඟවාගෙන සිටි ප්‍රතිජීවක ඖෂධ කුප්පිය කාසිගේ උකුසු ඇස්වලට අසුවෙයි. ඔහු සිය බිරිඳට ද දෝෂාරෝපණය කරමින් එය මිදුලට විසි කරන්නේ තමා විසින් කරන ලද ආගමික ප්‍රතිකාරවලට ප්‍රතිජීවක ඖෂධ අහිතකර වන බව පවසමිනි. නමුත් අවසානයේ අත්වන්නේ මහා ඛේදනීය ඉරණමකි. කාසිගේ දියණිය මියයයි. ඉන්පසු කාසි ආගමික ප්‍රතිකාර අත්හැර දැමුව ද ඔහුගේ දැඩි ආගමික භක්තිය අතනොහරී. ඒකාධිපති පකිස්තානු මිලිටරිය විසින් (බටහිර පකිස්ථානය) බංග්ලාදේශය (නැගෙනහිර පකිස්ථානය) ආක්‍රමණය කරනු ලබන්නේ ඉස්ලාම් ආගම ආරක්ෂා කිරීමට බව ඔහු පවසයි. පාකිස්තානු මිලිටරි ඒකාධිපතිත්වයෙන් බංග්ලාදේශය මුදා ගැනීමේ සටනට දායක වී සිටින මිලාන්ව ඔහු දකින්නේ මෝඩයෙකු ලෙසය.

චිත්‍රපටය ආරම්භයේදීම අප දකින්නේ ආගම මත පදනම් වූ සමාජ ක්‍රමය ස්ථාපනය කරන යාන්ත්‍රණය පාසල තුළින්ම නිර්මාණය කරන ආකාරයකි. ගංගාව අයිනේ පියගැටපෙළ සහිත පාසලෙහි ළාබාල කුඩා ළමුන් සමූහයක් බිම වාඩි වී හිස ඉහළ පහළ පද්දමින් කුරාණය කටපාඩම් කරන දර්ශනයක් චිත්‍රපටය ආරම්භයේදීම අප දකියි. අධ්‍යක්ෂක මසූඞ් අපට පෙන්වා දෙන්නේ අනාගත මහා ඛේදවාචකයක් පොලා පනින කේන්ද්‍රීය ලක්ෂණයයි. එනම් යථාර්ථය දකින, ක්ෂිතිජයට ඉහළින් ලෝකය දකින විශ්වීය තරුණ පරපුරක් නිර්මාණය කිරීමේ සමාජයීය නොහැකියාවයි. එනම් මිථ්‍යාවේ ගිලී ඇති සමාජයක මූල ලක්ෂණයයි. අනූගේ (නුරුල් ඉස්ලාම් බබ්ලු) අසාමාන්‍ය ගති පැවතුම් ඇති මිතුරා, රෝකොන් (රසල් ෆරායි) වරෙක දැඩි ලෙස රෝගාතුර වෙයි. ඔහුට කිසියම් මානසික ආබාධයක් තිබෙන බව ගම්‍ය වේ. දැඩි ආගමික භක්තියකින් යුත් විද්‍යාලයේ ගුරුවරුන් හිමිදිරි උදයේ සීතලේ ඔහුව පියගැටපෙළ අසල ගංගා ජලයට බස්සවා දැඩි සීත ජලයෙහි ගිලෙන ලෙස අණ කරයි. රෝකොන් අසරණව ගංගා ජලයෙහි ගිලීමට යයි. ඉදිරියේ පෙනෙන අනතුර දකින වයෝවෘද්ධ නේවාසිකාගාර පාලක තැන ජලයට පැන ඔහුව බේරාගනී.

60 දශකයේ අග භාගයේ නැගෙනහිර පකිස්ථානයේ ඇති වූ නිදහස් අරගලයේ ප්‍රතිඵලයන් වූ උග්‍ර දේශපාලනික අර්බුදයන් හමුවේ ඈත පිටිසර නගරවල ජීවත් වූ වැසියන්ට මුහුණ දීමට සිදු වූ ඛේදවාචකයන් කාසිගේ පවුල හරහා මසූඞ් අපට පෙන්වා දෙයි. සමස්ත පකිස්ථානය තුළ ඉස්ලාම් ආගමික ඒකීයත්වය අපේක්ෂා කරන ‘කාසි’ විමසන්නේ මුස්ලිම් ජාතියක් තවත් මුස්ලිම් ජාතියක් ඝාතනය කරන්නේ ඇයිද යනුවෙනි. ආඥාදායක පාකිස්ථාන ඒකාධිපති මිලිටරි පාලනයේ කෲරත්වය හා ආගමික ඒකාධිකාරය ඔහුට නොපෙනෙයි. දෙරටේ යුද වාතාවරණය තුළ ඈත පිටිසර නගර වැසියන්ගේ ජන ජීවිත, පවුල් අර්බුද මෙන්ම පුරුෂ මූලික සමාජ සංස්ථා දෙදරා යාම මසූඞ් ඉතා සිත්ගන්නා සුලු අයුරින් තිරයට නගා ඇත.

THE CLAY BIRD, (aka MATIR MOINA), Lameesa R. Reemjheem, Jayanto Chattopadhyay, Nurul Islam Bablu, Rokeya Prachy, 2002, (c) Milestone

ලොව කුමන ඉසව්වක, කුමන රටක, කුමන හෝ ආගමක වුව ද, දැඩි භක්තිය, අපට නොපෙනෙන දෙවියන් පිළිබඳ අන්ධ දේව විශ්වාසයන් මෙන්ම ආගමික හෝ ජාතික ස්වෝත්තමවාදයන් ඔස්සේ සිදුවන දේශපාලන ව්‍යසන සහ සමස්ත මානව වර්ගයාගේ ඛේදවාචකයන්ගේ විශ්වීය අත්දැකීමක් ලෙස ටරෙක් මසූඞ්ගේ සිනමාව අපට වින්දනය කළ හැකිය.

භක්තිය යනු අවිද්‍යාවයි. එය සියලු ආගම්වලට පොදු වූවකි. අවිද්‍යාව මිනිසාව සත්‍යයෙන් දුරස් කරයි; ආගමික භක්තිය නමැති මායාවේ ගිලුණු සමාජයකට යථාර්ථය නොපෙනෙයි. එවැනි සමාජයකට ඉදිරි ගමනක් නැත. දැඩි ආගමික භක්තිය හා දේශප්‍රේමය ඒකාධිපතිත්වයට යන මාවතක් පමණි. එක රටේ දෙපිරිසක් මරාගත් 30 වසරක දරුණු යුද්ධයක ව්‍යසන අත්විඳි අපට ටරෙක් මසූඞ්ගේ සිනමාව වඩාත් සංවේදී වන්නේ අපේ රටේ මිනිසුන්ගේ හෘද ස්පන්දනය කලාපීය සිනමාවේ විශිෂ්ටයෙකු වූ මසූඞ්ගේ සිනමා කෘති තුළ අප දකින නිසාවෙනි. ලාංකේය වර්තමාන සිනමාව කලාපීය සිනමාව තුළ ස්ථානගත කළ යුත්තේ කවරාකාරයෙන්ද යන්න දැන්වත් විමසා බැලිය යුතු නොවේද?

සපුමල් ලියනාරච්චි 

THE CLAY BIRD, (aka MATIR MOINA), Nurul Islam Bablu, Soaeb Islam, 2002, (c) Milestone

 

THE CLAY BIRD, (aka MATIR MOINA), Nurul Islam Bablu, 2002, (c) Milestone

Recent Posts

Tags: , , , , , , , , , , ,

Leave a Comment