සංහිඳියා කුසගින්නට දොළදුකක් වූ නව ව්‍යවස්ථාව

May 12th, 2017 | By | Category: LEAD NEWS, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමට ද?

යුද්ධයෙන් වසර හතක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුව ද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ පැවසීම, වගවීම, හානි පූර්ණය සහ යළි ඇති නොවන බවට තහවුරු කිරීම ලෙස සිව් විධ අංගයන්ගෙන් සමන්විත වූ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියෙහි අවසන් කොටස වන යළි ඇති නොවන බවට තහවුරු වීම යන්න සාක්ෂාත් කර ගැනීමෙන් තොරව සංහිඳියා කුසගින්න නිවා ගැනීම කිසිසේත් කළ නොහැක්කකි. අතීතයේ ගැටුම්වලට හේතු වූ මූලික සාධක නොවෙනස්ව පවතින විට අතීතයේ මෙන් අනාගතයේදී ද මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වීමට ඇති ඉහළ සම්භාවිතාවය පිළිබඳව ජනතාව නිරන්තර බියෙන් පසුවීම ඊට ප්‍රධානම හේතුවයි. එබැවින් එවන් මානව හිමිකම් උල්ලංඝනයන් යළි ඇති නොවන බවට සියලු ජනතාවට සහතික වීම අත්‍යාවශ්‍ය වේ.

යළි ඇති නොවීම පිළිබඳ සහතික වීමේදී රජයක් විසින් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් ඇත. රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය, මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයේ නීති සංශෝධනය කිරීම හෝ මුලිනුපුටා දැමීම, ජනතාව තුළ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය පිළිබඳ විශ්වාසයක් ඇති කිරීම සහ ජනතාව හට සිය අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම ආදී කටයුතු ඊට අයත් වේ. ඉහත කී යළි ඇති නොවීම පිළිබඳ සහතිකය ලබා දීමේදී ශ්‍රී ලංකාව විසින් ගත යුතු ම වන අනිවාර්ය ක්‍රියාමාර්ගයක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම හඳුන්වා දිය හැකිය.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එබැවින් රටෙහි සියලු ජනතාව තම සුරක්ෂිතභාවය, අයිතීන් මෙන්ම සිය රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී බව පිළිබඳව මූලික විශ්වාසය ඇති කරගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමෙනි. රටෙහි උත්තරීතර නීතිය මගින් ඒ රටෙහි ජනතාවට ලබා දී ඇති අයිතීන් සහ සුරක්ෂිතභාවය දෙස බැලීමෙන් එරට තුළ ජනතාව අතර ගැටුම් ඇතිවේද නොවේද යන්න පුරෝකථනය කළ හැකිය. මේ බව පහතින් සිදු කර ඇති ශ්‍රී ලාංකේය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලිව දකින්නට ලැබේ.

එවන් තත්ත්වයක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ශ්‍රී ලංකාවේ සංහිඳියාව අපේක්ෂා කරන සියලු දෙනාගේ දොළදුකක් බවට පත් වී ඇත. එනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැතිව සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම කිසිසේත් කළ නොහැක්කක් බවට පත්ව ඇත. එහෙත් ඊට බාධා බොහොමයකි. ඉන් ප්‍රධානතම ගැටලුවක් බවට පත් ව ඇත්තේ ඇතැම් පිරිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පවත්නා ගැටලු හා ඒවා අප විසින් මුහුණ දුන් තිස් අවුරුදු යුද්ධයට හේතු වූ අයුරු පිළිබඳ අවබෝධයකින් තොරව හෝ/සහ විවිධ දේශපාලන අරමුණු හේතුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අවශ්‍යතාවයට විරුද්ධ වීමයි. කෙසේ හෝ මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන වැඩපිළිවෙළෙහි පාර්ලිමේන්තු උප කමිටු වාර්තා 6 ඉදිරිපත් වී අවසන්ය. නමුදු මෙම ක්‍රියාවලියෙහි ඉදිරි ගමන කෙසේ වේද යන්න තවමත් ගැටලු සහිතය. මෙම ලිපිය මගින් අතීත වර්තමාන කරුණු සසඳමින් ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සාර්ථක කරමින් සංහිඳියාව ඇති කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවයේ වැදගත්කම පැහැදිලි කෙරෙනු ඇත.

constitution

  • ශ්‍රී ලංකාවේ යුද්ධය, මානව හිමිකම් උල්ලංඝනයන් හා බැඳුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය

1948 වසරේ නිදහස දිනා ගැනීමෙන් අනතුරුව 1972 වසර තෙක් ශ්‍රී ලංකාව තුළ පැවතුනේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහි 29(2) වගන්තිය තුළින් සැබෑ ලෙසම සමානාත්මය තහවුරු කරන ලදී. එනම් කිසිදු විශේෂ සැලකීමකින් හෝ පහත් කොට දැක්වීමකින් තොරව සෑම ආගමකටම සහ ජනවර්ගයකටම නීතියේ සමාන සැලකීම තහවුරු කර තිබිණ.

එහෙත් එවකට ඉංග්‍රීසි ජාතිකයන් විසින් ලබා දුන් අධ්‍යාපනික වරප්‍රසාද බහුතර දමිළ ජනතාවක් භුක්ති විඳීම සහ උගත් පාන්තිකයන් බහුතරයක් වූ දමිළ ජනතාව රජයේ ඉහළ තනතුරු දැරීම නිසා සිංහල ජනතාව අතර හිත් අමනාපකම් විය. සැබෑ ලෙසම දමිළ ජනතාවගේ ඒ පිළබඳ කිසිදු වරදක් නොතිබුණ ද සැබෑ වරද එසේත් නැතිනම් එය බෙදා පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස භාවිත කළේ ඉංග්‍රීසි ජාතිකයන් වුව ද තත්ත්වය නිවැරදිව ජනතාව වෙත අවබෝධ කර දීමට තරම් අවංක වූ දේශපාලන නායකත්වය රට තුළ නොතිබුණි. එනිසාවෙන්ම දේශපාලන නායකත්වය කළේ ඉංග්‍රීසින් සිදුකළ අයුරින්ම සිංහල ජනතාව තුළ තිබූ අපේක්ෂා භංගත්වය දඩමීමා කරගනිමින් ඔවුන් දමිළ ජනතාවට එරෙහිව උසි ගන්වමින්, ජාතිකත්වය නම් ඇම යොදා ගෙන ඡන්ද බිලී බා ගැනීමයි. එහි මුල් පියවර ලෙස ඔවුන් සිංහල ජනතාව සතුටු කළේ අහිමිව ඇති වරප්‍රසාද ඔවුන්ට ද ලබා දීමෙන් නොව, දමිළ ජනතාව සතු දේ උදුරාගෙන එය සිංහල ජනතාව වෙත ලබා දීමෙනි. භාෂා පනත යොදා ගනිමින් දමිළ රාජ්‍ය සේවකයන්ට උසස්වීම් සඳහා සිංහල අනිවාර්ය කරමින් සිංහල භාෂාව මුල් තැනත්, දමිළ භාෂාව දෙවන තැනත් තබමින් උස් පහත් භේදය තීව්‍ර කිරීම මගින් ආණ්ඩු කිරීමේ ක්‍රමවේදයක් රට තුල ආරම්භ කෙරිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂා භේදය, ආගම් භේදය පදනම් කර ගත් සමානාත්මතාවය බැහැර කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත් විය. වසර 6කට සීමා වූ 72 ව්‍යවස්ථාව රට තුළ මූලික අයිතිවාසිකම් හා සමානාත්මතාව ආරක්ෂා කිරීමට සමත් වූයේ නැත. ඉන් අනතුරුව 1978 වසරේ සිට අද දක්වාම රටෙහි උත්තරීතර නීතිය ලෙස පවතින්නා වූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද 1972 ව්‍යවස්ථාව තුළ තිබූ විශේෂකොට සැලකීම් ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන විත් තිබේ. අප රට තුළ වසර 30කට අධික කාලයක් පැවති යුද්ධය ආරම්භ වූයේ මේ කාල වකවානුවේ බව අප විසින් අමතක නොකළ යුතුය. එමෙන්ම එම යුද්ධයට පණ පෙවූවේ අසාධාරණ ලෙස සැලකීම් සහ එකී අසාධාරණකම් නීත්‍යනුකූල කිරීමත්, සුළු ජාතීන්ගේ හඬ අවදි කිරීමට ප්‍රමාණවත් ඉඩප්‍රස්ථා නොතිබීමත්, බලය විමධ්‍යගත කිරීමට ජනතාව අතරින්ම ඉදිරිපත් වූ දිස්ත්‍රික් සභා වැනි යෝජනා ප්‍රතික්ෂේප වීමත්, තරුණයින්ට හිමිව තිබූ අවස්ථාවන් උදුරා ගැනීමත් (විශ්වවිද්‍යාල ප්‍රවේශය) බවද අප අමතක නොකළ යුතුය.

ඊට අමතරව ලෝකයේ වෙනත් කිසිදු රටක දකින්නට නොලැබෙන ආකාරයට රටෙහි උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරමින් පවා නීති සැකසිය හැකි වන පරිදි ව්‍යවස්ථාදායකයට බලය පැවරූ වගන්ති 1978 ව්‍යවස්ථාව තුළ දක්නට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 වගන්තිය එහි උච්චතම අවස්ථා වන අතර 16 සහ 80 (3) වගන්ති ද ඊට ඉඩ සලසන වගන්තිවලට නිදසුන් වේ. අසල්වැසි ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පවා ප්‍රතික්ෂේප කර ඇති එවැනි වගන්ති අප රටෙහි උත්තරීතර නීතියෙහි අන්තර්ගත කර ගනිමින් ශ්‍රී ලාංකික දේශපාලකයන් සිදු කළ අනුවණ ක්‍රියාව නිසා වර්තමානයේ අප රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම එහි උත්තරීතරත්වය පාවා දුන් එකක් බවට පත් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටෙහි උත්තරීතර නීතිය ලෙස සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරන්නක් නොව එකී අයිතීන් පාගා දැමීමට යොදා ගත හැකි මෙවලමක් විය. එනිසාවෙන්ම අප රටට 30 අවුරුදු යුද්ධයකටත්, 70, 80 දශකයන්හි දකුණේ භීෂණයටත් මුහුණ දීමට සිදු විය.

සරණී ගුණතිලක

Recent Posts

Tags:

Leave a Comment