දෙයියො මම වගේද – මම දෙයියො වගේද?

May 12th, 2017 | By | Category: OTHER NEWS

විශ්වාස සහ ඇදහීම් විවේචනය කළ යුතුද? හා ඒවාට උසුළු විසුළු කළ යුතුද යන්න සම්බන්ධයෙන් රන්ජන් ප්‍රනාන්දු මහතා විසින් ලියන ලද ලිපි මාලාවේ පළමුවන කොටස පසුගිය ජනවාරි-පෙබරවාරි සමබිම කලාපයෙන් ඔබ වෙත ගෙන ආ අතර මෙවර පළවන්නේ එහි දෙවනි සහ අවසන් කොටසයි.

god
ආගම් විවේචනයටත් හාස්‍යයටත් ලක් කිරීමටත් සීමාවක් නැද්ද?
නැත. කොහෙත්ම නැත. එයට හේතුව වන්නේ අවසාන විග්‍රහයේදී එවැනි සීමාවන්වල ඇත්තේ විෂයබද්ධ කරුණු නොව මනෝබද්ධ කරුණු වන හෙයිනි. එනම් තම තමන්ගේ පසුබිම, රසාස්වාදය, සිතුවිලි වැනි කරුණු මතය.
අපි සාකච්ජා කරන මාතෘකාව ඔබට පැහැදිලි ඇතැයි සිතමි. උදාහරණ වශයෙන් මෑතකදී මුස්ලිම් නිලධාරියෙකුට, “තොපේ එවුන්ව පෙති ගහනවා” කිවූ චීවරධාරියාත් අන් ආගමිකයින්ගේ බෙලි කපන, බුදු පිළිම වැනි සංස්කෘතික අංගයන් විනාශ කරන ඉස්ලාමීය අයි. එස්. අයි. එස්. වරුන්ගේ ක්‍රියාවනුත් මෙයට අඩංගු නැත. ආගමික කටයුතු පසෙක තැබූ විට ඉඩම් හෝ දික්කසාද වැනි හබයකදී වුව ද ශාරීරික තර්ජන කිරීම් දණ්ඩ නීතියෙන් ආවරණය වේ.

අවසාන විග්‍රහයේදී අපි සාකච්ඡා කරන්නේ සාහිත්‍යමය කරුණකි. එහිදී සීමාවන්, තහංචි දැමීම වැනි දෑ, බිම් බෝම්බ ඇති පෙදෙසකට ඇස් වසාගෙන ඇවිදීමක් ලෙස මා දකිමි. එයට හේතුව වන්නේ මේ සම්බන්ධයෙන් වූ තහනම් නියෝග වැනි දෑ ඒ ඒ අධිකාරීන්ගේ සිතුම් පැතුම් අනුව පමණක් ලබා දෙනු ලබන ඒවා වන හෙයිනි. එම නිසා මේ කාරණාවේදී නීතියේ සරණ පැතීම ඉතිහාසය පුරාම හාස්‍යයට ලක් වී ඇත.
මා හට අවුරුදු 14 ක් පමණ වන අවදියේදී ඇති වූ සිද්ධියක් මෙහිදී මගේ සිහියට නැගේ. ගමේ චීවරධාරියෙක් ‘කන්නි මරියාගේ හැටි’ යනුවෙන් කවිපොතක් ලියන ලද අතර එයට විරුද්ධව, එය තහනම් කළ යුතුයැයි කියමින් කතෝලිකයින් වීදි බැසි අයුරු මට මතකය. ගමේ හන්දියේදී පොතක පිටපතක් පිච්චූ අතර එකලද මා පැවසුවේ “තහනම් කරන්න එපා. තමා කැමති නැත්නම් ඒක කියවන්නේ නැතුව හිටියම ඉවරයි”යනුවෙනි.

Salman-Rushdie-s-Satanic-007 (600 x 360)
මා එංගලන්තයේ විසූ කාලයේ 1988 දී සැල්මන් රශ්ඩී නම් මුස්ලිම් සම්භවයක් ඇති බ්‍රිතාන්‍යය කවියා විසින් ‘සාතන්ගේ කවි’ (Satanic Verses) නම් පොතක් ලියන ලදී. මුස්ලිම් ජාතිකයින් එම පොත තහනම් කළ යුතු බව කියමින් උද්ඝෝෂණය කළ අයුරු මතකය. පොතපත, නාට්‍ය, සිනමා, චිත්‍ර වැනි සාහිත්‍යමය කෘතීන් තහනම් කිරීම දියුණු සමාජයකට කළ හැකි දෙයක් නොවන බව අදාළ නිලධාරින් එම පිරිසට තේරුම් කරන ලදී. නමුත් ඉරානයේ ආගමික නායකයා අයතොල්ලා, මේ කවියාට විරුද්ධව ෆත්වා අණක් (ඉස්ලාමික නීතිය අනුව දෙන තීන්දුවක්) නිකුත් කළ අතර එය මරණ දඬුවමක් විය. ඒ අනුව ඔහුව මරන මුස්ලිම්වරයෙකුට ස්වර්ගයට යා හැකි වන අතර එය නිශ්ප්‍රභා කිරීමට කිසි අයකුට නොහැකිය. එම නිසා එදා සිට අද දක්වාත් බ්‍රිතාන්‍යය පොලිසිය විසින් මේ කවියාට විශේෂ ආරක්‍ෂාවක් සපයනු ලබයි.

ඉහත කී පොත් දෙකම මම කියවා නැත්තේ එහි අඩංගු හාස්‍යය මට ගැලපෙන්නේ නැති බැවිනි. එය මගේ පුද්ගලික තීරණයකි.
පුද්ගලයින්, විශ්වාස ඇදහීම් වැනි දෑ සම්බන්ධ හාස්‍යවල යම් ප්‍රමාණයක ‘කැපීමක්’ ඇත. අපේ අන්දරේගේ කතාවල පවා මේ පහර ගැසීමේ අවස්ථා අඩංගුය. ඒ හාස්‍යයේ ස්වභාවයයි!

එම නිසා, හාස්‍ය සාහිත්‍යයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍ය කාර්යභාරයට අපේ ගත්කරුවන් අතහිත දීමේ වගකීම තවදුරටත් ප්‍රමාද නොකළ යුතුය.

★ ★ ★

එහෙනම් මේ ලිපියත් විහිළු තර්කයකින්ම අවසන් කරන්නෙමි.

“මම ඇවිල්ලා පූර්වකාලීන අදේව දෘෂ්ටිකයෙක්! ඒ කියන්නේ මගේ කල්පනා ලෝකයේ මැවුම්කාර දෙවියෙක්, භූතයෙක්, යක්‍ෂයෙක්, ස්වර්ගයක්, නරකාදියක් වැනි අදහස් අස්සක මුල්ලක හැංගිලාවත් නැහැ.

මං හිතන්නේ දෙයියොත් කැමති මං වගේ අයට. ඇයි? අපි කවදාවත් දෙවියන්ට කරදර කන්නලව් කරන්නේ නෑනේ. “අනේ දෙයියනේ විභාගේ පාස් කරලා දෙන්න, රස්සාවක් අරං දෙන්න, මේ ලෙඬේ හොඳ කරලා දෙන්න” කියල අපි කවදාවත් කියන්නේ නෑනේ.
මට හිතෙනවා මේ මැවුම්කාර දෙවියන් අදේවදෘෂ්ටිකයි කියලා! මොකද මේ දෙයියන්ටත් දෙයියෙක් නෑනේ. එයත් මං වගේමයි. කාටවත් වදින් නෑ. ආගමකුත් නෑ. පල්ලියකට දේවාලයකට යන්නේත් නෑ. එහෙම බැලුවම එක්කො දෙයියො මං වගේ නැත්නම් මං දෙයියෝ වගේ!

මොක වුණත් ඔය පාෂාණ යුගයේ ඇති වුණ දේවවාදයටත් ඒවා පස්සේ යන ඇදහිලිවන්තයන්ටත් මම ඉඳලා හිටලා උසුළු විසුළු කරනවනේ. මගේ ඇත්තේ ද්වේශයක් නෙවේ. මට ඕන කරන්නේ ඒ මෝඩ අදහස්වලින් ගැලවෙන්නට ශක්තිය ධෛර්යය දෙන්නටයි. හැබැයි දෙයියො ඉන්නවනං, එයාටත් සමහරුන්ට වගේ හාස්‍ය රසයක් නැත්නම්? ඔන්න එතකොට මම අමාරුවේ!”

‘සිනහ වෙන්න, ලෝකයම ඔබ සමඟ සිනහ වෙයි. එරෙව්වොත් ගෙරෙව්වොත් ඔබට තනියම නිදාගන්න වෙයි.’

රන්ජන් ප්‍රනාන්දු

Recent Posts

Tags: , , ,

Leave a Comment