අන්තිමේදී GSP + ලංකාවට ලැබේ: යුරෝපා සංගමය ඇත්තටම කිව්වේ මොනවාද?

May 16th, 2017 | By | Category: LEAD NEWS, Today Lead News, මොකක්ද මේ GSP+, සුදර්ශන ගුණවර්ධන

”සමබිම” වෙබ් අඩවිය වෙනුවෙන් විශේෂයෙනි

ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබෙන බව යුරෝපා සංගමය නිවේදනය කළාය. ඒ අනුව යුරෝපා සංගමය වෙත ඇතුළු වන ශ්‍රී ලාංකික නිෂ්පාදිත භාණ්ඩ සඳහා දැනට අයකෙරෙන ආනයන බදු හෙවත් තීරු බදු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කෙරෙනු ඇත්තේය. ඒ වෙනුවෙන් යුරෝපා සංගමය පෙරළා කිසිදු ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. මෙම තීරු බදු සහනය ලැබෙන්නේ මානව හිමිකම්, කම්කරුවන්ගේ තත්ත්වය, පරිසරය ආරක්ෂා කිරීම සහ යහපාලනය යන විෂයන්ට අදාළ වන ජාත්‍යන්තර සම්මුතීන් 27ක් තම රට තුළ වලංගු කොට, ඵලදායක ලෙස ක්‍රියාත්මක කිරීම උදෙසා ශ්‍රී ලංකාව දක්වා ඇති කැපවීම අගය කිරීමකි. 

EU-parliament

පෙරළා කිසිදු ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවෙමින් සිදු කරන මේ වෙළෙඳ වරණය මගින් ඇඟලුම් සහ මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු නිෂ්පාදිත විශාල ප්‍රමාණයකට අදාළව තීරු බදු අය කෙරෙන වෙළෙඳ භාණ්ඩ වලින් 66%ක බදු සම්පූර්ණයෙන්ම ස්වත් වෙයි. මෙම තීරණය යුරෝපා සංගමයේ නිල ජර්නලයෙහි පළ වූ දිනට පසුදින සිට මෙම තීරු බදු ඉවත් කිරීම ක්‍රියාත්මක වීමට නියමිතය. එය ලබන සතියෙහි -එනම්, මැයි 22න් පසුව ඇරඹෙන සතියෙහි- සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ජී. එස්. පී. ප්ලස් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න සම්බන්ධව පොදුවේ ඇත්තේ ව්‍යාකූල භාවයකි. යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරන ”වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය” හෙවත් ජී එස් පී යටතේ ක්‍රියාත්මක වන විශේෂ යාන්ත්‍රණයක් වන ජී එස් පී ප්ලස් හෙවත් ජී එස් පී වලට වඩා වැඩි යමක් යනු යුරෝපය සමග වෙළෙඳාම වැඩි දියුණු කරගැනීම මගින් ආර්ථික සංවර්ධනය ඇති කරගැනීමට ඉඩ සැලසීමෙනුත්, තිරසර සංවර්ධනය උදෙසා ස්පර්ශීය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් දිරි දීමනාවන් ලබා දීමෙනුත් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට සහය දීම සඳහා  නිර්මාණය කරන ලද ක්‍රමයකි.

යුරෝපා සංගමයේ වෙළෙඳ කොමසාරිස් සිසීලියා මැල්ස්ට්‍රෝම් පැවසුවේ ”ශ්‍රී ලංකාවට ජී එස් පී ප්ලස් සහනය ලබා දෙන්නේ සියළු ශ්‍රී ලාංකිකයනට වැඩි වැඩියෙන් සහ වඩා හොඳ රැකියා අවස්ථා ලැබෙන, මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් වැඩිදියුණු කළ හැකි ස්ථිරසාර පදනමක් මත, පාරිසරික වශයෙන් චිරස්ථායී ලෙස තවදුරටත් ආර්ථික වශයෙන් සංවර්ධනය වීම සඳහා අවස්ථාවක් ලබා දීමේ අරමුණ කොට ගෙන” බවය.

Sri-Lanka-Tea

”එමෙන්ම, මෙය වනාහි ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය තවදුරටත් පවත්වාගෙන යනු ඇති බවට යුරෝපා සංගමය විසින් තබා ඇති විශ්වාසය පළ කිරීමක්ද වන්නේය. ශ්‍රී ලංකාවේ තත්ත්වය අඩු ලුහුඬු නැති, පරිපූර්ණ එකක් යැයි බොරුවට ඇඟවීමක් මෙහිදී සිදු නොවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කොට ඒ වෙනුවට වෙනත් නීතියක් ගෙන ඒමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුව තිබෙයි. වධහිංසා පැමිණවීම් පිළිබඳ සිදුවීම් තවමත් බොහොමයකි. ළමයින් බලහත්කරයෙන් විවාහ කර දීම් තවමත් සිදු වෙයි. ශ්‍රී ලංකාවේ සමහර ජනකොටස්වලට එරෙහිව වෙනස්කොට සැලැකීම් සිදු කරන සමහර නීති තවමත් ක්‍රියාත්මකය. මේ ව්‍යවහාරයන්වලට නැවතීමේ ලකුණ තැබෙනු දැකීමට අපට අවශ්‍යය. ඒ කෙරෙහි වන ප්‍රගතිය බරපතළ ලෙස අධීක්ෂණය කරනු පිණිස ආණ්ඩුව සහ රාජ්‍ය නොවන සංවිධාන සමග යුරෝපා සංගමය සමීපව කටයුතු කරනු ඇත.” වෙළෙඳ කොමසාරිස් සිල්වියා මැල්ස්ට්‍රෝම් තවදුරටත් ප්‍රකශ කළාය.

මෙම මාවතෙහි අවශ්‍ය ප්‍රගතිය පෙන්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත්, රට ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් බවට පත්වන තුරුම, මෙම ජී එස් පී ප්ලස් සහනය ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවෙයි. දැනට පවතින ප්‍රවණතාවය අනුව බලන විට අඩු ගණනේ 2021 වසර දක්වා ජී එස් පී ප්ලස් සහනය ලැබීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමිවේ. ශ්‍රී ලංකාවේ ලෝකය වෙත කරන අපනයනන්ගෙන් 2/3කට වගකියන යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොල වෙයි. 2016 වසරේදී ද්වි පාර්ශ්වික වෙළෙඳාම යුරෝ බිලියන 4 ක් පමණ වූ අතර, එයින් යුරෝ බිලියන 2.6ක භාණ්ඩ යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලැබීය. තීරු බදු ඉවත් කිරීම හේතුවෙන් ආසන්නතම ප්‍රතිලාභයක් ලෙස වසරකට ශ්‍රී ලංකාවට අමතර යුරෝ මිලියන 300කට වඩා ප්‍රමාණයක් ලැබෙයි. ශ්‍රී ලංකාව විසින් මෙම අවස්ථාව තම ආර්ථිකය විවිධාංගීකරණය උදෙසා භාවිතා කළ හොත්, මෙම ජී එස් පී ප්ලස් සහනයේ වටිනාකම එයට වඩා කිහිප ගුණයකින් වැඩි කරගත හැකිය.

production_intro1

යුරෝපීය වෙළෙඳපොළට භාණ්ඩ අපනයනය සඳහා අවශ්‍ය වන ප්‍රමිතිය සාක්ෂාත් කරගැනීමටත්, ජී එස් පී ප්ලස් සහනයෙහි පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සංවර්ධනය කිරීමට සහය වනු පිණිස යුරෝපා සංගමය ආණ්ඩුව සමග වැඩ කටයුතු කරමින් සිටියි. යුද්ධයෙන් වැඩිපුරම විපතට පත්වූ උතුරු නැගෙනහිර පළාත් සහ ඓතිහාසික වශයෙන්ම දිළිඳු බවෙහි ගැලී සිටින දකුණේ ප්‍රදේශ ද ඇතුළත්ව, ජන සමාජයෙහි හැකි තරම් පුළුල් පිරිසකට  ජී එස් පී ප්ලස් ප්‍රතිලාභයන් ලැබෙන බව සහතික කරනු පිණිස ආණ්ඩුවේ සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි හවුල්කරුවන් සමග දැනටමත් කරගෙන යන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කරනු ඇත.

කිසියම් රටකට ජී එස් පී ප්ලස් සහනය ලැබීමෙන් ජාත්‍යන්තර සම්මුති 27ට අදාළව එම ප්‍රතිලාභී රටෙහි තත්වය සම්පූර්ණයෙන් සතුටුදායක බව අදහස් නොවෙයි. ඒ වෙනුවට ජී එස් පී ප්ලස් මගින්, එකී සම්මුති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම දෙසට ඇති කරගන්නා ප්‍රගතියට ප්‍රති උපකාරයක් ලෙස වෙළෙඳාම සඳහා වන ප්‍රවේශය ඉහළ දැමීම නම් දිරි දීමනාව ප්‍රදානය කරන අතර, ප්‍රශ්නගත සියළු ක්ෂේත්‍රයන්හි ප්‍රතිලාභීන් සමග ක්‍රියාකාරීව සම්බන්ධ වීමට වේදිකාවක් සපයනු ලබයි. ජී එස් පී ප්ලස් සහනය විසින් ප්‍රතිලාභ ලබන අනෙක් සෑම රටකටම අදාල වන්නාසේ, ශ්‍රී ලංකාව සඳහා තීරු බදු ඉවත් කිරීම හා සමගම බරපතළ අධීක්ෂණ වැඩපිළිවෙළක්ද බැඳී පවතියි. 

—-

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින උදෙසා වන දූත මණ්ඩල කාර්යාලය විසින් 2017 මැයි 16 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරෙන් සිංහලට අනුවර්තනය කර සකස් කරන ලදී.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment